මෙහිදී මතක තබාගත යුතු එක් දෙයක් ඇත. දරුවන් වැරදි කරන්නේ කැමැත්තෙන් ම නොවේ. එබැවින් ඔවුන්ට කඩා පනින්නට නොයන්න. බොහෝ අය වැරදි කරන්නේ, තමන්ගේ කැමැත්තෙන්ම නොවන බව අමතක නොකරන්න.

ඊළඟ කාරණය ලෙසින් එම විශ්ව ලේඛණයේ දක්වා ඇත්තේ, වැරදි නිවැරදි කිරීමේ අවශ්‍යයතාවය යි. අපගේ සුදොතුම් පියා, තම ලේඛණයේ, Better Education යන කොටසේදී, කිසි විටෙක දරුවෙක් ව ‘විශිෂ්ඨ ප්‍රාඥයෙක් කරන්න’ යැයි පවසා නැත. එහි සඳහන් වන්නේ, ‘යහපත් මනුෂ්‍යයෙක්’ හදනා ආකාරය යි. ඒ සඳහා, වැරදි හදන්නට අවශ්‍යය වේ. මම ඉහත කී ජපාන උදාහරණයේදී, එම මව පළමුවර කොළ කැබැල්ල ඇගේ පසුම්බියේ දාගත් අතර, දෙවනවර තම දරුවාට, එය තමාගේම සාක්කුවේ දමා ගැනීමට පුහුණු නොකළේ නම්, එම මවට සෑමදාම, දරුවාගේ කුණු දාගැනීමට සිදුවනු නො අනුමාන ය. එමනිසා ඕනෑම කෙනෙකුගේ වරදක් ‘හැදීමට’ ඉදිරිපත් වීම ඉතා වැදගත් ය. වැරදි නිවැරදි කළ යුත්තේ, දඩුවම් දී රිදවා නොවේ. වැරදි නිවැරදි කරන්න අනුබල දිය යුතුය. පෙළඹුමක් ඇතිකළ යුතු ය. හොඳ දේවල් පුරුදු කිරීමට දරුවාට උත්තේජන ලබාදිය යුතු ය.

ශිෂ්‍යයා යන වචනයේ තේරුම, ‘ශික්ෂණය ලබන්නා’ යි. එනම්, යම් හික්මීමක් ලබන්නා යි. අධ්‍යාපනය යනු, දැනුමකින් ඔළුව පුරවා ගැනීම නොවේ. සෑම දෙයකින් ම ශික්ෂණ භාවයට පත්වීම යි. පාප්තුමා පවසන්නේ, දරුවන්ට හික්මීමක් ලබාදෙන ලෙසට යි. එසේ හික්මවා ගත යුත්තේ, ප්‍රගතිය කරා යාම පිණිස ය. උන්වහන්සේ පවසන්නේ, මේ සඳහා ප්‍රවේශයන් 2 ක් ඇති බවයි. 

  1. දරුවාගේ ආශාවට ඉඩදීම. නමුත් එවිට ළමයි හැදෙන්නේ කිසිම වගකීමක් ඇතිව නොවේ. එවිට හැම දේම ඔහුට ‘මගේ’ බවට පත්වේ. එවිට, ‘මගේ කෑම එක....මගේ සෙරෙප්පුව....මගේ.....මගේ......” වශයෙන් ආත්මාර්ථකාමීත්වයක් දරුවා තුළ ගොඩ නැගේ. මෙයින් අවසානයේ සිදුවන්නේ, ළමයින් පුද්ගලවාදී බවට පත්විම බව, උන්වහන්සේ පෙන්වා දේ. “මම විතරයි! මට අනෙක් අයගෙන් වැඩක් නෑ!”
  1. මානව ගරුත්වය ගැන හා වගකීම් ගැන දරුවාට දැනෙන්නට හැරීම. එයද බලහත්කාරයෙන් සිදුකරන ඉගැන්වීමක් නොවිය යුතු ය. එවිට යම් අතපසුවීමකදී වුවද, දරුවා විශාල පීඩනයකින් ජීවත්වන්නට ඉඩ තිබේ. ඉන්පසු ඔහුට ජිවිතය විශාල බරක් ලෙස දැනෙන්නට ඉඩ තිබේ. එය ද නිවැරදි නොවේ. දරුවා අන් අයගේ යහපත වෙනුවෙන් යමක් කළ යුත්තේ, නිදහසින් හා සතුටිනි. තමා ‘නැතිකරගෙන’ පරාර්ථකාමී වීම, සමාජයක් තුළ එතරම් ප්‍රායෝගික පිළිවෙතක් වනු නැත. “මගේ ජීවිතයම මම ගෙව්වේ එයාලා වෙනුවෙන්....” ආදී වශයෙන් පසුව ආඩපාලි කියැවෙන්නේ එවිට ය. “තාත්තා අප්සට් යයි කියලයි මම සයන්ස් කලේ....”, හෝ “ඔයා හින්දයි මම ඒ පියවර ගත්තේ” ආදී වශයෙන් පසුතැවිලි මානසිකත්වයක් පැවතිම ද යහපත් නොවේ.

උන්වහන්සේ පවසන්නේ, මෙම කාරණා දෙකම සමබර කරගෙන ජීවත්වීමේ වැදගත් කමයි. උදාහරණයක් වශයෙන් ආශාව කිරීමට ඉඩ ලබාදීමද සෑම විටකම අයහපත් යැයි පැවසිය නොහැක. එමෙන් ම තමා මෙන් ම අනෙක් අයටද, ආශාවන් ඇති බවත්, ඔවුනුත් සතුටින් ජීවත් වියයුතු බවත් තේරුම් ගැනීමත් වැදගත් ය. මෙය විශාල අභියෝගයකි. මෙය ඉටුකරන්නට, දෙමව්පියන් වශයෙන් අපට ‘ශුද්ධාත්ම අලෝකය’ අවශ්‍යය බව අමතක නොකරන්න. එය අවශ්‍යය වන්නේ ළමයින්ට නොව අපට ය. කිසිම පාසැලක ‘දරුවන් හදන හැටි’ උගන්වන්නේ නැත. අනෙක් ඕනෑම දෙයක් උගන්වන පාසැල් හෝ අධ්‍යාපන ආයතන ඇතත්, දරුවන් හදන ආකාරය හෝ Parenting ගැන උගන්වන්නට පාසැල් නැත. ලෝකයේ අපහසුම දේ වන දරුවන් යහමග යවන ආකාරය වන නමුත්, එය කියා දෙන්නට සැරසී ඇති ආයතනයක් නැත. මෙවැනි පවුල් ඥාණකාන්ති, වැදගත් වන්නේ එහෙයිනි.

ඊළඟට උන්වහන්සේ පවසන්නේ, මේ සඳහා අපට ඉවසිලිමත් යථාර්ථවාදී බවක් ඇතිකර ගැනීමේ අවශ්‍යතාවය යි.  ඔබට අවශ්‍යය දේ, එක්විටම ප්‍රතිඵලයක් ලෙස ලබාගත නොහැකි වීමට පුළුවන. ඉවසිලිවන්ත ලෙස බලා සිටිය යුත්තේ එහෙයිනි. ඉවසිලිවත් මෙන්ම යථාර්ථවාදී වියයුතු බව අත්‍යවශ්‍යය සාධකයකි.  මා සමහර නිවෙස්වලට ගොස් ඉන්නා විට, මගේ සමහර මිත්‍රයන්, තම දරුවන් ඉදිරියේ ඔවුන්ගේ මිතුරන් හා කතාකරන දේවල් අසන විට, මම විශ්මපත් වෙමි. “මචං ඊයෙ පාටියෙදි අපි පස් දෙනෙක් බෝතල් 6 ක් හිස්කළා....” වැනි ප්‍රලාප තම දරුවන් ඉදිරියේ වීරයන් මෙන් පවසනවා මට ඇසී ඇත. නමුත් සමහර දෙමව්පියන් ඊට වෙනස් ලෙස කටයුතු කරති. උදාහරණයක් වශයෙන් මගේ පියා ද “පිළිකා වැටි” පානය කළේය. ‘සිගරට්’ වලට මා කියන්නේ එම නමයි. (සිනා) සිගරට් යනු, පිළිකා වලට අතවනා, ඇඟට දමා ගැනීමකි. මගේ පියා මට පවසා සිටියේ, “පුතා මම මේවට ඇබ්බැහිවෙලා ඉන්නේ. හැබැයි මේක හොඳ දෙයක් නෙමේ” කියා ය.  අඩු තරමේ ඔහු එසේ කීමට තරම් නිහතමානි විය.

ශුද්ධෝත්තම පියතුමා පවසන්නේ මෙසේ යි. ‘ඔබ දුබලතා සහිත පුද්ගලයෙක් නම්, එම දුබලතා පිළිගන්න.’ මගේ පියාද මට වරෙක යම් කාව්‍යයමය භාෂාවකින් මෙසේ පැවසීය. “පුතා, මට ඔයාට හංගන්න දෙයක් නෑ ජීවිතයේ.” ඔහු තම දුර්වලතා පවා, අප වැඩිහිටි වයසට එනවිට අප සමග කියා ඇත.  සමහර තාත්තලා සිතන්නේ, "මං කළාට කමක් නෑ මං ගන්නේ පොඩ්ඩයි...ඒත් උඹලාට ඒවා තහනම්” කියා ය. එසේ කියා, තමාව සාධාරණීයකරණය කරගනී. එය නිවැරදි නොවේ. අපේ දුබලතා පළමුව අප විසින් පිළිගත යුතු වෙමු. “ඇයි තාත්තා බොනව නම්, මට බැරි?” යැයි දරුවා කවදා හෝ අසන දිනයක් පැමිණේ.

මෙහිදී මතක තබාගත යුතු එක් දෙයක් ඇත. දරුවන් වැරදි කරන්නේ කැමැත්තෙන් ම නොවේ. එබැවින් ඔවුන්ට කඩා පනින්නට නොයන්න. බොහෝ අය වැරදි කරන්නේ, තමන්ගේ කැමැත්තෙන්ම නොවන බව අමතක නොකරන්න.  දිනක් පාන්දර 4 ට පමණ, මා දන්නා ගුරුවරයෙක් මගේ නිවසට පැමිණියේ ය. මා ඔහුගෙන් ‘එතරම් පාන්දරින් පැමිණියේ ඇයි?’ යනුවෙන් විමසූ විට, ඔහු කීවේ ඔහු ඉතා කලකිරීමට පත්ව සිටින බව යි. ඔහු පාන්දර 3 ට පමණ අවදි වී, දරුවන්ගේ විභාග ප්‍රශ්න පත්‍ර බලන අයෙකි. එදින ඔහු අවදි වී දරුවන්ගේ කාමරය දෙස බලන කළ දැක ඇත්තේ, චාජ් කරමින් තිබූ ජංගම දුරකථනයකි. ඔහු එය අතට ගන්නා විට ම, ඔහුගේ ලොකු දුව පැමිණ, එම දුරකතනය අතට ගෙන, ඉක්මණින් ගලවා, චිප් එක ගෙන කටේ දමා හපා විනාශ කර ඇත. එම සිද්ධිය ගැන තවත් විස්තර පවසා ඔහු කීවේ, ඔහුට ‘සියල්ල එපා වු බව’ යි. මා දන්නා තරමින් මගේ මිතුරාද, ඔහුගේ දරුවන් ද ඉතා යහපත් අය ය. එබැවින්, මා පසුදින ඔහුගේ එම දියණිය හමුවි කතා කරන විට, ඇය පැවසුවේ, “අන්කල් අපේ තාත්තා හරි හොඳයි. මාත් නරක ළමයෙක් නෙමෙයි. ඒත් මට ‘ළමයෙක්’ වෙන්න බෑ ෆෝන් එකක් නැතිව....” කියා ය.  මා ඒ පිළිබඳ විමසීමේදී ඇය පැවසුවේ, සෑම දිනකම ඇයගේ යහළුවන් කණ්ඩායමක් හා සතුට-දුක-හාස්‍යය ආදිය බෙදා ගැනීමට, එය ඔවුන්ට අත්‍යවශ්‍යය ව ඇති බව යි.

ඇයට තම පියාව රිදවීමට අවශ්‍යය නොවුණත්, අද පවතින මේ සමාජ රැල්ල තුළ, එවැනි හරසුන් දේවල් අභිබවා යාමට තරම් වූ ‘අධ්‍යාත්මික පරිචයක්’ ඇය සතු නොවීය. ඔබ සහ මා ද, අද දින බොහෝ දේවල් අරබයා කටයුතු කරන්නේ රැල්ලට නොවේද යන්න කල්පනා කර බලන්න. අප ද විවිධ සමාජ රැළි වලට අසුවී, තේරුමක් නැති දේවල් කරන්නන් නොවේද යන්න මැදහත් සිතින් විමසා බලන්න. උදාහරණයක් වශයෙන් ලංකාවේ අපේ මිනිසුන්, විවාහ මංගල්‍යය සාදයන් ගන්නේ ම “අපරාදේ මේ නාස්තිය...” යැයි බැණ බැණ ය. තමා හෙළා දකින දේ ම තමා කරයි. නිවැරදි දේ කිරීමට ධෛර්යක් නැත. අප එසේ කරන්නෝ වෙමු නම්, අපේ දරුවන් එම වයසේදී, කෙසේ මෙම සමාජ රැල්ලෙන් බේරී ජීවත් වෙන්නද?  දරුවන් බොහෝ දේවල් කරන්නේ කැමැත්තෙන් නොව, රැල්ලට ය. ඔවුන්ට ‘ඊට එහා ගිය අධ්‍යාත්මයක් හදාගන්නට’ දෙමව්පියන් උපකාර කළ යුතු ය. 

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 9 වන සතිය 2018 මැයි 06

Comments powered by CComment