"පොඩි පොඩි ඇළ දොළ එකතු වෙලා - හැදෙනා ලෙස ලොකු ලොකු ගංගා.............. ටික ටික හොඳ වැඩ පුරුදු කරන කොට - හොඳටම හොඳ වෙනවා...................”

ක්‍රියාවෙන් කියා දෙන්න.

ළඟ වැදගත් කාරණය වන්නේ, මෙවැනි දේවල් ගැන, දරුවන්ට "බණ කියා" හදන්නට බැරි බව ය.   පුතේ මෙහෙම කරන්න........ අරෙහෙම කරන්න....... මොනවද ඔයාට වෙලා තියෙන්නේ. ? .... ඔහොමද හැදෙන්නේ? ... කරන දේ හරියට කරන්න......” ආදී වශයෙන් දෙමව්පියන් කියන බණ, දරුවන්ට එපා වී ඇත. එය දරුවන්ට නොවේ, විවාහක යුවළක, ස්වාමියා හෝ බිරිඳට වුව ද එය වලංගු ය. තවකෙකුට වුවද, තොරතෝංචියක් නැතිව කියවීමට’  නොයන්න. අද සමහර දෙමව්පියන්, අපට පවසන්නේ,  ර්‍අනේ සර් පොඩ්ඩක් කියන්නකො මෙයාට මීට වඩා කෑම කන්න කියලා...” ආදී වශයෙනි. අම්මලා විසින් පැවසිය යුතුව ඇති දේවල්, අපට කියා කරවා ගන්නට ඔවුන්ට සිදුව ඇත. "කොච්චර කිවුවත්, මෙයාලා අපි කියන දේ අහන්නෙ නෑනෙ සර්” යනුවෙන් ඔවුහු මැසිවිලි නගති. මෙවැනි දෙයක් පවා කියා ගන්න නොහැකි නම්, ඔබලා දෙමව්පියන් බවට පත්ව ඇත්තේ ඇයි දැයි ඔවුන්ගෙන් විමසිමට, මට අනේක වාරයක් සිතී ඇත. මෙය දෙමව්පියන්ට  "මාර ප්‍රශ්නයක්" බවට පත්ව ඇති බව පෙනේ. 

සැබැවින්ම ප්‍රශ්නය කුමක් ද? කියන විදිහ අවුල්.  ගැටළුව වන්නේ එය යි. යමක් කියන ආකාරය ඔවුන් නොදනී. දරුවන්ට බොහෝ දේවල් කටින් පවසා, ඉගැන්විය නොහැක.  පවසන ආකාරය වෙනස් විය යුතුය. යමක් කරමින් ඉගෙන ගත  යුතුව ඇත. මෙහිදී ප්‍රැන්සිස් පාප් වහන්සේ වචන 4 ක් යොදාගෙන ඇත. 

1. සංවේදී බව වර්ධනය කරන සාදාචාරවත් අධ්‍යාපනය. සෑම කරුණකදීම දරුවා සමග සංවේදි බවින් යුතුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් ය.

2. තේරුම් ගත හැකි භාෂාවකින් හා සංවාදශීලී ක්‍රියාකාරකම් වලින්, - අපේ රට තරම් බණ කියන, සංවාද පවත්වන, සම්මන්ත්‍රණ පවත්වන වෙන කිසිදු රටක් ලෝකයේ නැත. රූපවාහිනී නාලිකා සියල්ලෙන්ම, දිනපතා බොහෝ බණ දේශනා ඇසේ. සියල්ලෝම බොහෝ දේවල් පවසති. එහෙත් ඒවා පිළිපදින්නන් නැත. නාලිකා ආරම්භ කරන්නේත් බණ වලිනි. අවසාන කරන්නේත් බණ වලිනි. එහෙත් ප්‍රතිඵලයක් නම්  නැත. ඇත්තෙන් ම, වැඩිහිටි අප කිසිවෙක් එලෙස ඉගෙනගත්තෝ නොවන්නෙමු.  උදාහරණයක් වශයෙන්, කුඩා කළ පටන්, ගුරුවරු විසින් ඔබේ කන් වලට වත්කරන ලද දේවල්, කීයක් ඔබට මතක් කරගත හැකි ද? ඒවා මතක නැත. එසේනම්, ඔබට මතක ඇත්තේ කුමක් ද?  ක්‍රියාකාරකම් තුළින් ඉගෙනගත් දේවල් ය. ජිවිතයේ වැරදීම් තුළින් ඉගෙන ගත් දේවල් ය. අත්දැකීම් තුළින් වටහා ගත් දේවල් ය. එසේ නොවේ ද? 

සංවාදශීලී අධ්‍යාපනය ඉතා වැදගත් ය. යම් දරුවෙක්  "මට ෆෝන් එකක් ඕනෑ” යැයි පැවසුවොත්, එය වහාම ලබාදීම’ හෝ කෙසේවත් ලබා නොදීම’ දරුවාගේ වර්ධනයට සාධනීය පිළිතුරක් නොවේ.  ර්‍ඇයි පුතේ ෆෝන් එකක් ඔයාට?” කියා දරුවා සමග සංවාදයක් ගොඩනගා ගතයුතු ය. එවිට දෙපාර්ශවයට ම මැද මාවතකට පැමිණෙන්නට හැකිවනු ඇත. දෙමව්පියන් ලෙස ඒ සඳහා නිර්මාණශීලී ක්‍රම සොයාගත යුතුව ඇත.

3. යමක් ඒත්තු ගැන්වීම මිස නිතර නිතර කීමෙන් පලක් නොවේ. නිවසකදී දෙමව්පියන්ට දරුවන් සමග වැඩ කිරීමට, ක්‍රියාකාරකම් වල යෙදීමට අවශ්‍ය වේ. විශේෂයෙන් අසල්වැසියන් ගැන දැන ගැනීමට, ඔවුන් සමග කටයුතු කිරීමට දරුවන්ටත් සිදුවේ. උදාහරණයක් වශයෙන් අපේ අසල්වැසි නිවෙසක වයෝවෘද්ධ පුද්ගලයෙක් විය. මගේ දරුවන් ද, මගේ පියාගේ පියා හෙවත් ඔවුන්ගේ සීයාට, ඉතා ලෙන්ගතුව සිටියහ. සීයා මියගිය පසු ඔවුන් ඉතාමත් කණගාටු විය. මෙහිදී මා ඔවුන්ට පෙන්වා දුන්නේ, තම සීයාට ආදරේ නම්, කළයුතු වන්නේ, එම සීයාගේ යහළු සීයා හෙවත්, අසල්වැසිි සීයාට’ සැලකිය හැකි බවය. ඔහු ඉතා වයෝවෘද්ධ බැවින්, විටින් විට සුප් කෝප්පයක් සාදා ගෙනගොස් දිය හැක. වෙනත් උදව් උපකාර කළ හැක. මේ අනුවල මගේ දරුවන් එය ආදරයෙන් ඉටුකරණු ලැබීය. මේ ආකාරයේ සංවේදී ක්‍රියාකාරකම් වලින්, දරුවන්ට විශාල අධ්‍යාපනය ලබාදිය හැක. ඒවා දේශන වලින් කියා දුන්නාට පලක් නොවේ. ආචාර ධර්මානුකූල අධ්‍යාපනය විද්යාත්මකව උගන්වනවා මෙන් ඉගැන්වීමට නොහැකි ය. 

සීයලාට ආදරේ කරන ආකාරය, පන්ති කාමරයකදී ඉගැන්විය හැක්කේ කෙසේ ද? ඔබලා සීයලාට ආදරය කරන ආකාරය දරුවන් දැකිය යුතු ය. ඔබ ඔබේ මව්පියන්ට ආදරය කරන ආකාරය දරුවෝ දැක නැත්නම්, ඔවුන් කිසිදිනෙක ඔබලාට ආදරය කරන්නේ කෙසේ ද? ඔබලා වයෝවෘද්ධවූ දිනෙක, අපේ දරුවෝ අපිට සලකන්නේ නැතැ’ යි දරුවන්ට බැන බැන රට පුරා ගියාට පලක් නොවේ. ඔබ විසින් ඔබේ දෙමව්පියන්ව උණුවතුරින් නෑමට හැකි වතුර මලක් හෝ නවීන කොමඩ් එකක් සාදා දීම ආදිය, ආදරයේ ක්‍රියාවන්’ විය හැකි ය. එහෙත්, උණුවතුර භාජනයක් ලිපේ තියා වතුර උතුරන තෙක් නටවා, අම්මාව රැගෙනවිත්, භාජනය පසුපසින් තබාගෙන, තම දරුවෙකුට කතාකරල  " දූ ඔයා ආච්චිගේ පිට අතුල්ලන්න. මම වතුර දාන්නම්” හෝ  "චූටි පුතේ, ඔයා සීයාගෙ ඔළුවට වතුර වක්කරන්න. මම කුණු අතුල්ලන්නම්” ලෙසින් ක්‍රියාවක් සිදු කළොත්, එය දරුවන්ට කිසිදා අමතක නොවන ආචාර ධර්මානුකූල අධ්‍යාපන (Ethical Education) වනු ඇත. එය ඔබ තනියම සිදුකරන ක්‍රියාවකට වඩා ඉතා සඵලදායී ක්‍රියාවක් වනු ඇත. එය සංවේදනාවේ අධ්‍යාපනයකි. අපේ සුදොතුම් පියා අපට පවසන්නේ, දරුවන්ට ඒවා ඉගැන්විය යුත්තේ ඒ ආකාරයෙන් බව යි. 

4. යහපත් දේවල් පුරුදු බවට පත්කරගත යුතුය. යමක් පුරුදු බවට පත්කරගත යුත්තේ, නිතර නිතර ක්‍රියා කිරීමෙනි. දරුවන් ලොකු මහත් වූ පසු යහපත් දේවල් ඉගැන්විය නොහැකි ය. උදාහරණයක් වශයෙන් අප සමග සිටි මගේ ආච්චි, අප පවුලේ සෑම දෙනෙකුගේ ම පිඟන් සේදීමට පුරුදුව සිටියා ය. අප වෙත දැක්වූ ඉමහත් ආදරය නිසා, ඇය අපට කෑම කා පිඟාන සේදීමට ඉඩ දුන්නේ නැත. මේ නිසා,  කෑම කා මගේ පිඟාන සේදිය යුතු බවට මා දැනගෙන සිටියේ නැත. පසුව මා එය ඉතාමත් අපහසුවෙන් පුරුදු වුයේ, උසස් පෙළ කාලයේ දී ය. එහෙත්, තවමත්, මගේ ඇඟේ පිඟන් සේදීමේ කම්මැලිකම පවතී. සමහර විට මට එය අමතක වේ. යමක් පුරුද්දක් වීමට, ජීවිතය තුළ ක්‍රියාත්මක වී තිබිය යුතු බව, පාප්තුමාගේ මෙම විශ්ව ලේඛණයෙන් අපට පෙන්වා දී ඇත. දරුවන් කරන්නේ, දරුවන් දකින දේ ය.  (Children See..... Children Do) යැයි පැවසෙන්නේ ඒ නිසා ය.

මේ දිනවල මගේ එක් දියණියක් සිටින්නේ ජපානයේ ය. ඇය දිනක් එහිදී දුම්රියෙන් යනවිට දුටු දර්ශනයක් මට පැවසුවා ය. තම කුඩා දරුවා අඩන විට, එක්තරා මවක් ඔහුට චොකලට් එකක් දුන් පසු, එම දරුවා චොකලට් එක කා කොළය විසිකර ඇත. එවිට එම අම්මා විදුලි සැර වැදුන අයෙක් සේ, වහාම නැවී කොළ කැබැල්ල ඇගේ පසුම්බියට දාගත්තේ, විශාල වරදක් සිදුවූ කලෙක මෙන් බව, ඇය මට පැවසුවා ය. එම  දුම්රියේ අධික තදබදයක් තිබූ බැවින්, ඇගේ දරුවා සිට ඇත්තේ වෙනත් කෙනෙකුගේ උකුල මත ය. ඉන්පසු මඳ දුරක් ගිය පසු, නැවත දරුවා කොල කැබැල්ලක් බිමට විසිකරනවා දුටු විට, එම මව, ඒ වනවිටත්  අනෙකෙකුගේ උකුලේ සිටි දරුවා ව වහාම අතට ගෙන, ඔහුව බිම සිටුවා, ඔහුව නවා ඔහුගේ අතින්ම කොළය ඇහිඳ ගැනීමට සලස්සවා, එම  කොළ කැබැල්ල ඔහුගේ සාක්කුවේ රුවා ගැනීමට සැලැස්වූ බව මගේ දියණිය පැවසුවේ, ඔවුන් තම දරුවන් කුඩා කළ පටන් ම විනයානුකූලව හදාගන්නා අකාරය ගැන උදාහරණයක් ලෙසට ය.  එම දරුවා වසර 2 ක පමණ පොඩි එකෙකි. ජපානය සුන්දර රටක් බවට ජපනුන් විසින් පත්කරගෙන ඇත්තේ එසේ ය. Education යනු එය යි. යහපත් දේවල් පුරුද්දක් බවට පත්කළ යුත්තේ එසේ ය. 

අපි කුඩා කළ ඉගෙනගත් ගීතයක් මට සිහිවේ.  

"පොඩි පොඩි ඇළ දොළ එකතු වෙලා - හැදෙනා ලෙස ලොකු ලොකු ගංගා.............. ටික ටික හොඳ වැඩ පුරුදු කරන කොට - හොඳටම හොඳ වෙනවා...........”

6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 8 වන සතිය 2018 අප්‍රේල් 29

Comments powered by CComment