හිසට සෙවණක් නැති වීමෙන් මහළු මිනිසෙකු මරණයට පත්වීම ප්‍රවෘත්ති නොවී කොටස් වෙළඳපොළ අගය ඒකක දෙකකින් අඩුවීම ප්‍රවෘත්තිය වන්නේ කෙසේද ? මෙය කොන් කිරිම් හා බැහැර කිරීමේ දුෂ්ට ක්‍රමයේ ප්‍රකාශයකි.

චතාරිකය යනු එතෙර වීමයි. නික්මයාමයි. පසුකරයාමයි.

පාස්කුවක් උදාකරන චතාරිකයක් ගත කරන්නට ලෝකවාසි කිතුනුවන්ට තම ජීවිත ආදර්ශය තුළින්ම ආරාධනා කරන ප්‍රන්සිස් සුදතුම් පියාණන්ගේ ප්‍රකාශන කිහිපයක් ඇසුරින් චතාරික භාවනාවක යෙදෙන්නට ඔබට කරන ඇරයුමකි මේ.

විශේෂයෙන් චතාරිකය හුදු පුද්ගල සුවය සැනසීම වෙත පමණක් යොමු කරන ජනප්‍රිය චතාරික වැඩසටහන් වලදි, මෙහෙයන් වලදි කිසිසේත්ම අවධාරණය නොකරන නමුත් ලෝකය තුළද අප රට තුළද සැබෑ ලෙස පුද්ගල ජීවිත තුළද එතෙර වීමක් සඳහා අත්‍යාවශ්‍ය මෙනෙහි කිරිමක් මේ ප්‍රකාශන තුළ ඇතුලත්ය.

දින තුන්සිය හැට පහෙන් චතාරිකයේ දින හතලිහ පමණක් ව්‍යාජ ලෙස වෙනස් වීමකට භාජනය වීමේ තවත් එක්තරා ආතල් එකක් භුක්ති විඳින කිතුනු ජනයාට මේ ප්‍රකාශන සැබෑ අභියෝගයකි. මෙම කියවීම්, ඉල්ලීම් අවධාරණයන් පූජකයින්, පැවිද්දන්, ගිහියන් යන සැමට යොමු වූ ඒවාය.

සුව පහසු පූජක දිවියෙන් එතෙරවන්න

”අපව අසංවේදි විනිසුරන් බවට පත් කරන නීති රෙගුලාසි තුළම හිර වෙමින්, අපගේ පූජක නිළ ඇඳුම් තුළම ආරක්ෂිත බව සොයමින්, මුනිවත රැකීම වඩා භයානක දෙයක් බව සිතා ක්‍රියා කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි”

අපට තව දුරටත් වෙන දෙයක් බලාගෙන අපගේ දේවස්ථාන නැමැති ගොඩනැගිල්ල තුළට වී සිටිය නොහැක.

අප පළමුවෙන් යා යුත්තේ අපට ප්‍රතිඋපකාර දෙන්නට නොහැකි දුගීන්, රෝගින් හා සමාජයෙන් කොන්වූවන් වෙත විනා අප මිතුරන් හා පෝසත් අසල්වැසියන් වෙත නොවේ.

දොර ජනල් වසා තැබීම නිසා ජීවත් වීම නොහැකි ලෙස පිරිසිදු වාත්‍රාශය නොමැතිවු සභාවකට වඩා මිනිසුන් අතර මහ මඟ හැසිරීම නිසා අපිරිසිදු වූ වෙහෙසකට පත් වු පීඩිතව වේදනා විඳින සභාවක් මම අගයමි

අසුබවාදි බවෙන් එතෙරවන්න.

පාස්කුවක් නොමැති චතාරිකයක් මෙන් ජීවිත ගත කරන කිතුනුවන් ද සිටි.
ධර්ම දූතිකයා අවමංගල්‍යකට සහභාගී වී මේ දැන් පැමිණියෙකු ලෙස පෙනීය යුතු නැත.
දහසකුත් එකක් කොන්දේසි සැපිරුණොත් මිස අපට සතුටු විය නොහැකි බව දැනීම ආත්මීය මරණයකි.
අපගේ උද්යෝගය නැවත සොයාගත හැක්කේ ද්‍රව්‍ය වලින් එහාට ගිය අරමුණක් ඇති බව දැකීමෙනි.

ආත්මාර්ථයෙන් එතෙරවන්න.

ජීවිතය වර්ධනය වන්නේ එය බෙදාගැනීම තුළයි. නියත වශයෙන්ම ජීවිතය විඳින බොහෝ දෙනා තමාගේ සුව පහසු නොසොයා තමාගේ ජීවිතය අනෙකා වෙත පිදීමේ යෙදී සිටින්නෝ වෙති.

ජීවිතය දුර්වල වන්නේ හුදකලා වීම සහ සුව පහසුව තුළයි. නියත වශයෙන්ම ජීවිතය විඳවන බොහෝදෙනා තමාගේ සුව පහසුව සොයන අනෙකාව තමා උදෙසා පාවිච්චි කරන අයයි.

”අපි යථාර්ථයේ ගැඹුරු නියමයන් සොයා ගනිමු. එනම් අනෙකා උදෙසා ජීවිතය දීමට අපි කොතරම් කැපවෙනවාද? යන මිම්ම මත ජීවිතයේ පරිණත බව ළඟා කරගත හැක.

මේ ලෝකයේ වටිනාකම් වලින් එතෙරවන්න.

අපි සෑම විටම දේව රාජ්‍යයේ ගුණාංග හා දේව කැමැත්තට පටහැනි ගුණාංග අතර වෙනස පැහැදිලිව හඳුනාගත යුතු වෙමු. මේ සඳහා ඒවා දැන ගැනීම, විග්‍රහ කිරීම පමණක් නොව යහපත් දෙය තෝරා ගැනීමක් අයහපත් දේ ප්‍රතික්ෂේප කිරීමට සාක්ෂි දැරීමක් සිදුවිය යුතුය.

සංතෘෂ්ඨිය සමඟ ජීවත්වන ජීවන ක්‍රමය මනුෂ්‍යා තුළින් ක්‍රමෙයන් ඈත්වන අතර අන් අය කෙරෙහි දක්වන ගෞරවය පිරිහී යාමත්, ප්‍රචණ්ඩත්වය රජවීමත් සමාජ සමානාත්මතාවය ක්‍රමයෙන් ඇති වීමෙන් සිදු වේ.

කුඩා හෝ අභිමානයක් සමඟ ජීවත්වීම සැබැවින්ම දුෂ්කර සමාජ ක්‍රමයක අපි ජීවත් වෙමු.

මේ සමාජ ක්‍රමයෙන් එතෙර වෙන්න.

ජීවිතය විනාශ නොකරව යනුවෙන් පනතක් පවතිනුයේ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම ආරක්ෂා කර ගැනීමටය.

අද අප එම ‘නොකරව’ යන විධානයම ‘කොන් කිරීම හා බැහැර කිරීම්’ අසමානාත්වය ඇති කරන අර්ථික ක‍්‍රමය වෙතද යෙදිය යුතුය. එනම් මේ සමාජ ක‍්‍රමය අනුගමනය නොකරව.

හිසට සෙවණක් නැති වීමෙන් මහළු මිනිසෙකු මරණයට පත්වීම ප්‍රවෘත්තියක් නොවී කොටස් වෙළඳපොළ අගය ඒකක දෙකකින් අඩුවීම ප්‍රවෘත්තියක් වන්නේ කෙසේද ? මෙය කොන් කිරිම් හා බැහැර කිරීමේ දුෂ්ට ක්‍රිමයේ ප්‍රකාශයකි.

ආත්මාර්ථකාමි අරමුණු වෙනුවෙන් උද්යෝගිමත් වීමෙන් අනුන් නොසලකා හරින ගෝලීයකරණයක් දියුණු වී ඇත.

අද හැම දෙයක්ම පාලනය වන්නේ තරඟකාරිත්වයේ නීති මාලාවකට හා ක‍්‍රය ශක්තියේ බලය මතය. මෙහි ප්‍රතිඵලය ලෙස විශාල වශයෙන් මිනිසුන් කොන් වී සහ නොසලකා හැර දමනු ලැබ ඇත.

මේ ක්‍රමය ගැන අවබෝධයකින් තොරවීම නිසා අප දැන් ළඟා වී සිටින්නේ අසරණ මිනිසුන්ගේ විලාප හඬට සංවේදි නොවන, අන් අය වෙනුවෙන් හඬා නොවැටෙන උදව් කිරීම් අවශ්‍යතාවයක් නොදැනෙන මිනිසුන් ලෙසය.

වෙළඳපොළ ආර්ථිකයෙන් එතෙරවන්න.

බලයට හා ධනයට ඇති පිපාසාව සීමාවන් නොහඳුනයි. වැඩි ලාභ ලැබෙන මාර්ගයක් අවහිර කරන සියලූ දේ ගිල දමනවා මෙන්ම පද්ධතියක් තුළ එක ලෙස පාලනය වන දේවත්වයට පත් කරන ලද වෙළඳ පොළ ඉදිරියේ දුර්වල වන කුමන දෙය වූවද අනාරක්ෂිතයි.

මුදල දේවත්වයෙන් පිදීමෙන් එතෙර වන්න.

අතීතයේ පැවැති රූප වන්දනාව අද කාලයේ මුදලට පමණක් වන්දනා කිරීම තුළින් සිදු වේ.

සියල්ල හැකිතරම් පරිභෝාජනය වෙත යොමුකර ඇත. මනුෂ්‍යත්වය පිළිබඳ සැලකිල්ල අත්හැර දමා ඇත.

සේවය කිරීමට බාධාවන මූල්‍ය ක‍්‍රමයෙන් එතෙර වන්න.

යම් සදාචාර ධර්ම සැලකිල්ලට මූල්‍ය ප්‍රතිපත්තියක් වෙත යොමු වීම සියලූ දේශපාලන නායකයින්ගේ වගකීමය.

මුදල පවතින්නේ සේවය පිණිස මිස අපව පාලනය කිරීමට නොවේ.

මම මූල්‍ය විශේෂඥයන්ට හා දේශපාලන නායකයින්ට මතක් කරන්නේ පුරාණ මුනිවරයෙක් පැවසු වදන්ය. දුප්පතුන් සමඟ බෙදා නොගැනීම යනු ඔවුන්ගේ දේ හොරකම් කිරීම හා ඔවුන්ගේ ජීවන මාර්ග උදුරා ගැනීම අප රඳවා ගෙන සිටින්නේ ඔවුන්ගේ දේ මිස අපගේ දේවල් නොවේ.

ප්‍රචණ්ඩත්වය ජනිත කරන. අසමානතාවයෙන් එතෙරවීම.

අද බොහෝ රාජ්‍යන්හි ආරක්ෂාව සඳහා විශාල අවශ්‍යතාවයක් ඇති බව අපට අසන්නට තිබේ. එහෙත් සමාජයේ කොන් කිරීම හා අසමානතාවය තිබෙන තුරු අපරාධ හා අනාරක්ෂිත බව මුලිනුපුටා දැමීමට නොහැකිය.

සෑම කි‍්‍රයාවකටම ඒ හා බැදුනු විපාකයක් ඇත්නම් සමාජ ව්‍යුවහයට කා වැදි ඇති අයහපත විසින්ද මතු දවසක ඒ සමාජය කඩා බිඳ මරණයට පත් කරනු ඇත.

අද ආර්ථික යාන්ත්‍රණය උනන්දු කරන්නේ අධිකතර පරිභෝජනයයි. එහෙත් පාලනය කළ නොහැකි තරමේ පරිභෝජනවාදය අසමානතාවය හා සම්බන්ධ වන විට සමාජ රාමුවම දෙගුණයකින් පරිහානියට පත් වේ. අසමානාත්මතාවය ක්‍රමයෙන් අපරාධයන් උත්පාදනය කරන අතර ඒවා ආයුධ මගින් කිසිදා විසඳිය නොහැකිය.

සුදතුම් පියාණන් ඉතා පැහැදිලි ලෙස මේ අවධාරණය කරන්නේ කුරුසියේ දිවි පිදු කිතුතුමන් ප්‍රකාශ කළ දේව රාජ්‍ය උදෙසා එතෙර වීමට නම් පවතින සමාජ ආර්ථික දේශපාලන ක්‍රමෙයන් එතෙර විය යුතු බවයි. ඒ සුභාරංචිය ද ප්‍රකාශ නොකරන ඕනැම චතාරික වැඩසටහනක් සැබෑ චතාරික වැඩසටහන් නොවේ.

jesustodaysl 2 වන වසර 3 වන සතිය 2018 මාර්තු 25

 

Comments powered by CComment