සියලුම සභාවන්, සභා සංවිධාන, ආයතන ජාතිවාදි ආගම්වාදි ආකල්ප පිළිබඳ ගැඹුරු සිත් හැරිමකට යොමු විය යුතුය. ඒ සඳහා පසුගිය අතීතය තුළ තම තමන්ගේ ජාතිවාදි ආගම්වාදි භාවිතාවන් පිලිබඳ ආත්ම සෝදිසියකට ඇතුළු වීමට ආරාධනා කළ යුතු අතර ඒ පිළිබඳ අභ්‍යන්තර සංවාදයක් හා ස්වයං විවේචනයක් ගැඹුරින් සිදු කළ යුතුය. අවංක පිළිගැනිමකින් යුතුව ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මිදුණු සැබෑ ක්‍රිස්තියානි භාවිතාකවකට පිවිසීමට කටයුතු කළ යුතුය.

උතුරේ ප්‍රශ්නය නොව උතුරේ යුද්ධය නිමා වු පසුව ගෙවුණු වසර නවයක පමණ කාලය තුළ මුස්ලිම් ජනයා සිංහල ජාතියේ සතුරා බවට පත් කරන අගතිගාමි මතවාදය ප්‍රචාරය කරමින් මුස්ලිම් ජනතාවට එරෙහිව සංවිධානාත්මකව හිංසාව මුදාහැරීම ද සිදුවන බව පැහැදිලිව දකින්නට ලැබේ.

අලුත්ගම දර්ගා නගරය, ගාල්ල ගිංතොට, අම්පාර, මහනුවර දීගන සිදුවීම් ඒ බව සනාථ කරන ප්‍රධාන සිදුවීම් කීපයක් පමණක් වන අතර තව බොහෝ සිදුවීම් හා නිරතුරු සමාජ මාධ්‍ය හරහා සිදුකරන වෛරි ප්‍රචාර මෙය හුදකලා සිදුවීමක් නොව පැතිරුණු අඛණ්ඩ ක්‍රියාවලියක් බව තහවුරු කරයි.

එම එක් එක් සිදුවීමේදි “සාමකාමි වන්න” ශ්‍රී ලාංකිකයන් ලෙස සිතන්න” “වරදකරුවන්ට දඩුවම් දෙන්න” “ඕක අවාසනාවන්ත තත්වයක්” “රජය වගකීමෙන් කටයුතු කරන්න” වැනි ප්‍රකාශ නිකුත් කිරීම පමණක් කිසිසේත්ම කිතුනු වගකීම, යුතුකම නොවන බව අපි අවධාරණය කරමු.

මෙරට සියලුම කිතුනු සභා තම ජනතාව අතර අඛණ්ඩව ක්‍රියාවට නංවන ජාතිවාදියට විරුද්ධ වු දේව ධාර්මික කතිකාවක් බිම් මට්ටමින් ක්‍රියාවට නැංවීම වහාම ආරම්භ කළ යුතු බව අපි යෝජනා කරමු.

එසේම මෙම සිද්ධින් තුළින් මතුවන මූලික ගැටළු සඳහා නිශ්චිත පිළිතුරු ලැබෙන ක්‍රියාමාර්ග ගැනීමට රජයට අඛණ්ඩ තෙරපුමක් ඇති කළ යුතුය. ඒ සඳහා සියළු කිතුනු සභාවන්ගේ යුක්තිය හා සාමය පිළිබඳ කාර්යාංශ ඉදිරි පස් වසර සඳහා සැලසුමක් සකස් කර ක්‍රියාවට නැංවිය යුතුය. එවැනි ප්‍රධාන කරුණු කීපයක් මෙසේය.

1 බේරුවල, ගාල්ල, අම්පාර, නුවර ආදි සෑම සිදුවීමකදිම පොලිසිය හා විශේෂ බලකාය සිටියදීම මුස්ලිම්වරුන්ගේ පූජනීය ස්ථාන හා දේපලවලට හානි කිරිම් සිදු වු බව වාර්තා වී ඇත. ඒ පිළිබඳ පරික්ෂණයක් පවත්වා වහාම ක්‍රියා මාර්ග ගත යුතුය. විශේෂයෙන් කාලාන්තරයක් තුළ පොලිසිය, හමුදාව තුල ගොඩනැගි ඇති සිංහල පොලිසිය, සිංහල හමුදාව යන ජාතිවාදි මානසිකතාවය සුවපත් කිරීම සිදු විය යුතුය.

2 මෙම සිදුවීම් බිම් මට්ටමේ ජන වර්ග අතර ගැටුම් නොව ප්‍රචණ්ඩත්වය මුදා හැරිම තම දේශාපලන ක්‍රමවේදය බවට පත් කරගත් පිරිසකගේ ක්‍රියා බව රටේ ඉහලම දේශපාලන අධිකාරිය පුන පුනා කීවද අලුත්ගම සිදුවීමේ සිට මේ දක්වා වු කිසිදු සිදුවීමකදි ඒ පුද්ගලයින් නීතිය ඉදිරියට පැමිණවීමක් සිදු නොවීය. ඒ නිසා අලුත්ගම සිදුවීමේ සිට සියළු සිදුවීම් පරීක්ෂාවට ලක් කිරීමට කොමිසමක් පත්කර ඒ සංවිධානාත්මක පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

3 මෙම සිදුවීම්වලදි පැහැදිලිව පෙනෙන ලෙස ජාතිවාදය වැපිරු ආගමික පූජ්‍ය පූජක පක්ෂය පිළිබඳ ඒ ඒ ආගමින සංස්ථාවල නායකයින් විනය ක්‍රියාමාර්ග ගත යුතු අතර ආගමික පූජ්‍ය පූජක පක්ෂය යැයි විශේෂයක් නොකර ඔවුන්ටද නීතිය ක්‍රියාත්මක කළ යුතුය.

4 සමාජ මාධ්‍ය හරහා වෛරි අදහස් ප්‍රකාශ කරන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරිම සිදු නොකර සමාජ මාධ්‍ය වාරණයට ලක් කිරීම කිසිදු ඵලක් ඇති ක්‍රියාවක් නොවේ. අතීතයට බල පැවැත්වෙන පරිදි සියලු ආකාරයේ ජාතිවාදි ප්‍රචාරවල යෙදෙන මාධ්‍යවල එකි වැරදි සහගත ප්‍රචාර සඳහා පවතින නීතිය යටතේ ක්‍රියා කිරීමේ ඒකකයක් ස්ථාපිත කළ යුතුය. පවතින නීතිය යටතේ වුවද ජාතිවාදය වැපිරීම අපරාධ වරදකි. අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසිමේ මෝඩ ක්‍රියාමාර්ග රජය නතර කළ යුතුය.

5 මුස්ලිම් ජනයාට එරෙහි වු ප්‍රචණ්ඩත්වය පැහැදිලිව පෙනෙන්නට තිබිය දීම එය අමතක කොට සියලු පාර්ශවවල ප්‍රචණ්ඩත්වය යැයි තත්වය සමතුලනය නොකළ යුතු අතර පැහැදිලිව තත්වය සන්නිවේදනය කළ යුතුය.

6 දේශපාලන වාසි ලබාගැනිම සඳහා තම දේශපාලන න්‍යාය පත්‍ර අනුව තත්වය අර්ථදැක්වීම හෙලා දැකිය යුතු අතර ජාතිවාදි හා ආගම්වාදි දේශපාලනය ප්‍රතික්ෂේප කිරීමට ක්‍රියා කළ යුතුය.

7 කිතුනු සභාවන් තුළ ද මුස්ලිම් විරෝධි අදහස් ප්‍රචලිත කරන වැරදි මතවාදි අස්ථානයක් තුළ සිටින පූජක ගිහි පිරිස් සිටින අතර ඔවුන්ගේ ක්‍රියාමාර්ගද වැලැක්වීමට සභා නායකත්වයන් ක්‍රියා කළ යුතුය. ප්‍රැන්සිස් සුදතුම් පියාණන් මුස්ලිම් කිතුනු සංවාදය සඳහා පෙන්වා දී ඇති මාර්ගය අනුගමනය කිරීමට ප්‍රායෝගික වැඩසටහනක් සකස් කළ යුතුය.

8 සියලුම සභාවන්, සභා සංවිධාන ආයතන ජාතිවාදි ආගම්වාදි ආකල්ප පිළිබඳ ගැඹුරු සිත් හැරිමකට යොමු විය යුතුය. ඒ සඳහා පසුගිය අතීතය තුළ තම තමන්ගේ ජාතිවාදි ආගම්වාදි භාවිතාවන් පිළිබඳ ආත්ම සෝදිසියකට ඇතුළු වීමට ආරාධනා කළ යුතු අතර ඒ පිළිබඳ අභ්‍යන්තර සංවාදයක් හා ස්වයං විවේචනයක් ගැඹුරින් සිදු කළ යුතුය. අවංක පිළිගැනීමකින් යුතුව ජාතිවාදයෙන් ආගම්වාදයෙන් මිදුනු සැබෑ ක්‍රිස්තියානි භාවිතාකවකට පිවිසීමට කටයුතු කළ යුතුය.

මෙලෙස එක් අතකින් සියලු ශ්‍රී ලාංකිකයින්ට සමාන හිමිකම් සුරැකෙන ශ්‍රී ලංකාවක් සහතික කරනු වස් මුස්ලිම් ජනයාට එරෙහි ප්‍රචණ්ඩත්වයට අදාළව දැනටමත් සිදු වී ඇති අසාධාරණයන්ට වන්දි ගෙවීමෙන් ඔබ්බට ගොස් යුක්තිය ඉටු කිරීමට හා ජාතිවාදි ආගම්වාදි භාවිතා අහෝසි කිරීමට දිවැසිවර මෙහෙවරක යෙදීම කළ යුතුය. අනිත් අතින් අප තුළ ඇති ජාතිවාදි ආගම්වාදි ස්ථාපිතයන්ගෙන් මිදිමේ ක්‍රියාවලියක නිරත වීමටද දෙවිඳුන් කරන ආරාධනයට පිළිතුරු දෙමු.

අවසාන වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දී සිටින සංකීර්ණ අර්බුදය ජයගැනීම සඳහා රට තුළ සිදුවිය යුතු ගැඹුරු සමාජ ආර්ථික දේශපාලන පරිවර්තනයක් සඳහා මැදිහත්වීමේ දූත මෙහෙවර සඳහා කැපවීම දේව රාජ්‍ය උදෙසා අත්‍යාවශ්‍ය බව සඳහන් කරමු.

     6cac3e4af71ab8dda6dba234a97e4887 jesustoday ශ්‍රී ලංකා

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 18

 

Comments powered by CComment