දරුවාට ඇසුර කරන අයගෙන් ලැබෙන්නේ මොනවාද ?

ෆ්‍රැන්සිස් පාප්තුමා පැහැදිලිව අපට කියා සිටින්නේ, දරුවාට කාලය දෙන ලෙසට යි. Love යනු  Time ය. ආදරය යනු කාලය යි. ඔබට කාලය නොදී කිසිවෙකුට හෝ කිසිවකට ආදරය කළ නොහැකිය. ආදරය යනු කාලය බව අමතක නොකරන්න.  ‘මා ඔබට ආදරෙයි!’ කීවාට පලක් නොවේ.

ශුද්ධෝත්තම පියතුමා තවත් ලස්සන වචනයක් යොදා ඇත. දරුවා ඇසුරු කරන අයගෙන්, දරුවාගේ ‘ඔළුවට එන්නේ’ මොනවාද කියා පරීක්ෂාකාරී වන ලෙසට ද උන්වහන්සේ ඉල්ලා සිටී. එයා ‘තුළට’ ගලාගෙන යන්නේ මොනවාද කියා බැලිය යුතුව ඇත.  ඔබේ දරුවන් වැඩි වේලාවක් ඉන්නේ රූපවාහිනිය ඉදිරිපිට විය හැකි ය. දරුවන් ඔබලා සමග සිටින වෙලාවට වඩා වැඩි වෙලාවක්, රූපවාහිනිය ඉදිරිපිට සිටිනවාද යන්න දන්නේ, ඔබලා ම පමණි. ‘ඔබලා සමග දරුවන් සිටිනවාද’ යනුවෙන් මා විමසන්නේ, දරුවා ගෙදර සිටීම ගැන නොවේ. ඔබලා දරුවා සමග වාඩිවී, දිනකට පැය කාලක් පමණවත් කතා කරනවා ද?  නමුත් ටෙලිවිෂනය, දරුවාගේ මූණ බලාගෙන, පැය 3 ක් පමණ ඔහුට කතා කරයි. දරුවා සහ මොබයිල් දුරකතනය පැයක් දෙකක් කතාකරයි. දරුවා සහ පරිගණකය ද පැයක් දෙකක් එකිනෙකා හා කතා කරමින් සිටී. දෙමව්පියන් වශයෙන් ඔබලා විනාඩි 15 ක් වත් කතා කරන්නේ නැති නම්, එහි ඇති අනතුර ඔබට පෙනෙනවා ද? සත්‍යය එය යි! මේ නිසා දරුවාගේ ඔළුවට එන්නේ මොනවා ද? ඒ හරහා ඔහුගේ ඇතුළට කාන්දු වන්නේ මොනවා ද?  දරුවන්ට ‘වඩා හොඳ අධ්‍යාපනයක්’ දෙන්නට නම්. මේ ගැනද සෙවිය යුතු ව ඇත. මෙය සාරාංශ කරගැනීමට අවශ්‍යය නිසා, මා ඔබට කෙටියෙන් පවසන්නේ, දරුවා තුළට ඇතුළු වන්නේ මොනවා ද යන්න ගැන සාවධානවත් වන ලෙසට ය.

එමනිසා මතක තබාගත යුත්තේ, නිදහසට කරුණු කීමෙන් පලක් නොවන බව යි. දෙවියන් වහන්සේ තුළ නිදහසට කාරණා දිය නොහැකි ය. ඔබට දරුවන් දී ඇත්තේ, ඔවුන්ට වඩා හොඳ අධ්‍යාපනයක් දෙන්නට ය. අවසාන විනිශ්චයේදි, “ස්වාමිනී...ගේ හදන්න තිබුණා....රට යන්න වුණා....වැඩ ගොඩාක් තිබුණා....ඒ හින්දා සමහර දේවල් ‘මිස් වුනා” ආදී වශයෙන් නිදහසට කාරණා කීවාට, ඔබට ලැබෙන ප්‍රතිඵලයට, ඒවා ‘සහනයක්’ බවට පත් වන්නේ නැත. අල්ලපු ගෙදර මිනිහා තාප්පයක් හැදූ නිසා, ඔබත් තාප්ප හදන්න ගොස්, දරුවාට ආදරය කරන්න වෙලා නැතිවීම ඔබගේ මෝඩකමක් මිස, දෙවියන් විසින් සලකා බැලිය යුතු දේවල් නොවේ. ඒවා සමාජ තරඟය ඔස්සේ, ඔබ විසින් ඇතිකරගත් දේවල් ය. දෙවියන් වහන්සේ ඔබට කියා ඇත්තේ ‘වෙනත් වැඩකි’. ඔබ එය නොකර, වෙනත් වෙනත් දේවල් කර කර සිටියාට දෙවියන් පළි නැත. මේවා පටලවාගෙන, පසුව දෙවියන් වහන්සේ සමග රණ්ඩුකරගැනීමට නොයන්න.

ෆ්‍රැන්සිස් පාප්තුමා පැහැදිලිව අපට කියා සිටින්නේ, දරුවාට කාලය දෙන ලෙසට යි. Love යනු  Time ය. ආදරය යනු කාලය යි. ඔබට කාලය නොදී කිසිවෙකුට හෝ කිසිවකට ආදරය කළ නොහැකිය. ආදරය යනු කාලය බව අමතක නොකරන්න.  ‘මා ඔබට ආදරෙයි!’ කීවාට පලක් නොවේ. මම හලාවත ප්‍රදේශයේ මෙවැනි වැඩ සටහනකට පැමිණි විට, එක්තරා දරුවෙක් මා හමුවී, මට කතා කරන්නට අවශ්‍ය බව පැවසීය. ඊට පසු දිනයෙක මා වෙන්නප්පුව ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ වැඩසටහනකට ඒමට නියමිතව තිබුණ බැවින්, එම වැඩසටහන ආරම්භ කිරීමට පෙර, එක පැයක් ඔහු වෙනුවෙන් කාලය වැය කිරීමට මම සැලසුම් කරගෙන, ඔහුට පැවසීමි. ඒ අනුව, එම දින‍යේදී ඔහු මා හමුවිය. ඔහු මට මුලින්ම පෙන්නුවේ, තම පියා විසින් එවා තිබූ ඊ-මේල් පණිවිඩයක් සහිත කොළයකි. එහි සඳහන්ව තිබුණේ, “පුතේ, ඔයාගේ එකවුන්ට් එකේ ලක්ෂ 48 ක් තියෙනවා. ඔයා විභාගය පාස් වුණහම, මම තවත් ලක්ෂ 2 ක් දාලා, ලක්ෂ 50 කට කාර් එකක් ඔයාට අරන් දෙනවා. ඒ නිසා සතුටු වන්න” කියා ය. එය දුටු විට මට ද එක්විට ම කියවුණේ, “ඔයාගේ තාත්තා ඔයාට හරි ආදරේ නේද?” කියා ය. එවිට එම දරුවා මට පවසන ලද දේ, මෙම සභාවේ විවෘතව පැවසිය නොහැකි වුවත්, එය සංස්කරණය කර පවසනවා නම්, ඔහු කීවේ, “මට හිතෙනවා සර් තාත්තට කියන්න, එයාගේ ලක්ෂ 50 ගහගන්න එයාගේ පස්ස පැත්තේ කියලා” යනුවෙනි.

පසුව ඔහු මට ඔහුගේ කතාව පවසන ලදි. “සර් මම ඉන්නේ තට්ටු 3 ක ගෙදරක. අපේ ගෙදර ගේට්ටුවත් ලක්ෂ 3 ක් විතර ඇති. හැබැයි සර්, මගෙ තාත්තයි අම්මයි මට ආදරය කළේ නෑ. ඒ දෙන්නම පිටරට. අවුරුදු දෙකකට, මාසයක් විතර ලංකාවට ඇවිත් යනවා. මම 7 වන පංතියේදී, මම සෙල්ලම් කරන්න ගිය ගෙදරක අයිය කෙනෙක්, මාව ලිංගිකව පාවිච්චි කෙරුවා. මට ඒ කාලේ ඒවා තේරුණේ නෑ. දැං මං ඒකට ඇබ්බැහි වෙලා, දැං මට ඒක නැතිව බෑ සර්. මමත් දැං එහෙම කරනවා. එදා සර්ගෙ කතාව අහල මට බය හිතුනා. ඒකයි සර්ට කතාකරන්න හිතුවේ. “ මෙසේ කී ඔහු අඬන්නට විය. “මගේ ඇඟේ මේ වගේ ‘අමාරුකම්’ තියෙනවා සර්.”

ඒ වනවිට මගේ දේශනයට කාලය පැමිණ තිබුණු බැවින්, මා හඳුනන මිගමුව රෝහලේ වෛද්‍යවරයෙකුට කතාකර, මා ඔහුව එම වෛද්‍යවරයා වෙත යොමුකර දේශනය වෙත යොමුවූ අතර, එදින හවස මගේ මිතුරා මට කතා කර පැවසුවේ, “නාමල්, මාර අප්සට් එකක් මචං. ඔයා එවපු කොල්ලට තියෙන්නේ, සුව කරන්න බැරි සමාජ රෝගයක්!” කියා ය. තාත්තෙකුගේ ලක්ෂ 50 කට, දරුවෙකුගේ ජිවිතය ගෙන එන්නට බැරි ය. දෙමව්පියන්, ලක්ෂ 3 කට දැවැන්ත ගේට්ටු හැදුවාට, දරුවාගේ ජීවිතයට ඔවුන් දශමයක් වත් දී තිබුණේ නැත. එම ගේට්ටුවෙන් දරුවා ආරක්ෂා වී තිබුණේ නැත. මට මෙවැනි අත්දැකීම් සිය ගණනක් ඔබ සමග බෙදා ගැනීමට හැකි ය. මම අද උදේ මෙතනට ආවේ ද ඒක නිසාය. මෙය මගේ රැකියාව නොවේ. ක්ලෝඩ් පියතුමා මගේ මිතුරෙක් බැවින්, මා මෙහි ආවේ, එතුමා නිසා ම නොවේ. මේ දරුවන් අපේ අනාගතයයි. මේ දරුවන් අපේ ජීවිතය යි. ඉහත කී ආකාරයේ දරුවන් දහස් ගණනක් මේ සමාජයේ ඇත. මා එමනිසා දෙමව්පියන් වන ඔබෙන් ඉල්ලා සිටින්නේ, කරුණාකර ඔබේ දරුවන්ට කාලය ලබාදෙන ලෙස යි. කාලය යනු ආදරය යි.

අද දිනයේ ද මෙය අවසන් වූ පසු, මා 12.30 ට පිටත්වන්නේ, හෙට දින උදේ මා රඹුක්කන සිටිය යුතුව ඇති බැවිනි. ඒත් මගේ දියණිය මට පැවසුවේ, හෙට දින ඔවුන් විසින් කළුතර සංවිධානය කර ඇති වැඩ සටහනකට සහභාගී වන ලෙසටයි.  හෙට දින මගේ කාර්යබහුල කාලසටහන ගැන දැනුවත්ව සිටින මගේ දුව “අප්පච්චි පැය බාගයකට හරි එන්න” යනුවෙන් කළ ඉල්ලීම, මට මොනතරම් හිරිහැරයක් වුවත්, එය මට කිසිසේත් පැහැර හැරිය නොහැකිය. රඹුක්කන වැඩ සටහනට පසු, එහි සිට නැවත කළුතර ට ඒම යනු, අති වෙහෙසකාරී වැඩකි. නමුත් ඇය වෙනුවෙන් එම කාලය දෙන්නට මා කෙසේ හෝ යා යුතුව ඇත. කොතරම් හිරිහැර වුවත්, දෙමව්පියන්ගේ යුතුකම විය යුත්තේ එය යි. ඔබේ දරුවන්ට ඔබේ කාලය දෙන්න. ඔවුන් එය ආදරයෙන් බලාපොරොත්තු වේ.  ආදරයේ මාවත වන්නේ එය යි. කෙතෙරම් කටුක වුවද, එම මාවතේ යා යුතුව ඇත. ඔබේ පහසුව තකා මේ මාර්ගයෙන් ඉවත්වීමට ඔබට හැකියාවක් ඇත්තේ ද නැත. එහෙත් දෙවියන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ ඔබේ පහසුව නොවේ. ආදරය යනු කාලය යි!

   6cac3e4af71ab8dda6dba234a97e4887 ප්‍රීති ජයසූරිය

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 18

Comments powered by CComment