දරුවන් සඳහා වඩා හොඳ අධ්‍යාපනයක්! - 01 (Better Education for our Children)

(මහින්ද නාමල් මහතා විසින් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නවතම විශ්ව ලේඛණයේ 7 වන පරිච්ඡේදය අනුසාරයෙන් පවත්වන ලද දේශනයේ සංක්ෂිප්තයකි.සටහන - ප්‍රීති ජයසූරීය)

අපගේ පවුල් සේවා අධ්‍යක්ෂක පියතුමා මට ලබා දී ඇති මාතෘකාව වන්නේ, සුදොතුම් පියාගේ ආමෝස් ලැටිෂියා හෙවත් ‍‍‘ප්‍රේමයේ ආනන්දය’ නම් වූ විශ්ව ලේඛණයේ, 7 වන පරිච්ඡේදයේ කියැවෙන, “දරුවන් සඳහා වඩා හොඳ අධ්‍යාපනයක්” යන්න යි.

7 වන පරිච්ඡේදයේ කතා කෙරෙන්නේ, දරුවන් සඳහා ‘වඩා හොඳ අධ්‍යාපනයක්’ ගැන ය. ලංකාවේ 90% ක් විතර දෙමව්පියන් මහන්සි ගන්නේ, තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් දෙන්නට ය. මෙහිදී ශුද්ධෝත්තම පාප්තුමාද භාවිතා කරන වචනය වන්නේ, Better Education යන්න ය. එනම් ‘වඩා හොඳ’ අධ්‍යාපනයක් ලබා දීම ය. 

දෙමාපිය වගකීම

දරුවෙක් සාර්ථක වුණත්, අසාර්ථක වුණත්, ඒ දෙකටම දෙමව්පියන් වගකිව යුතු වේ. සාමාන්‍යයෙන් ගමකදී නම් පැවසෙන්නේ, “එහෙම කරලා තියෙන්නේ....අහවලාගේ පුතා නෙ” ආදී වශයෙනි.  ජේසුටත් මිනිසුන් කීවේ එලෙස ය. “අර ජෝශොප්ගෙ පුතා නෙමෙයි ද?” යනුවෙන් මිනිසුන් විමසූ බව ශුද්ධවූ බයිබලය පවසයි. දෙමව්පියන් දරුවන්ට ‘හොරකම් කරන්න’ යැයි පවසන්නේ නැත. එහෙත් දරුවා හොරකම් කර අසුවුවහොත්, මිනිසුන් පවසන්නේ, “මේ අරයගෙ පුතා නෙ....” කියා ය. එමනිසා දරුවාගේ ක්‍රියා නිසා, දෙමව්පියන්ට වගකීමෙන් නිදහස් වන්නට බැරි ය. එය හොඳින් තේරුම් ගත යුතු ය.

සුදොතුම් පියා තම ප්‍රකාශනයේ මුලින් ම පවසා සිටින්නේද, දරුවාගේ ‘සියළු දේවල් වලට’ වගකිව යුතු වන්නේ, දෙමව්පියන් බව ය. එමනිසා පවුලකට පැවරෙන ප්‍රධාන වගකීම වන්නේ, දරුවන්ට වඩා හොඳ අධ්‍යාපනයක් ලබා දීම යි. පවුලට පැවරෙන සුවිශේෂී වගකීමක් වන්නේ, ‘හැම දෙයකට ම දෙවියන්ට ගණන් දෙන්නට වෙනවා’ යන්න, දරුවන්ගේ සිත් තුළට කැවීම යි. එමෙන්ම තමන් දෙමව්පියන් ලෙසටද, අන්තිම විනිශ්චයේදී, ළමයින්ට වඩා හොඳ අධ්‍යාපනයක් දුන් බවට, දෙවියන්ට ගණන් දෙන්නට සිදුවන බව ද අමතක නොකළ යුතු ය.  මේ පැවසෙන්නේ, දරුවා හොඳ ලොකු විද්‍යාලයකට ඇතුල් කලා යන්න නොවේ. ඔබ එසේ සිතා සිටිනවා නම්, එය සම්පූර්ණයෙන් ම වැරදි ආකල්පයක් බව වටහා ගන්න. වඩා හොඳ අධ්‍යාපනය යනු, ලංකාවේ පළමුවැනියා වීම නොවේ.

සමහර දෙමව්පියෝ, තම දරුවන්ව ශිෂ්‍යත්වය සඳහා ‘මරවා’ පාඩම් කරවා, ප්‍රසිද්ධ විද්‍යාලයකට දැමීමට පොරකති. ඉන්නේ හලාවත නම්, මගේ දරුවා යන්නේ ‘හෝලි ෆැමිලි’ යැයි කියන්නට දත කට මැදගෙන සිටිති. ඉන්නේ වෙන්නප්පුවේ නම්, දරුවා යන්නේ ‘ජෝශප් වාස්’ යැයි පැවසීම ආඩම්බරයක් යැයි සිතති. අනුරාධපුරයේ නම්, ‘විහාර මහා දේවි’ එකට යැවීම එකම අරමුණ ය. ‘වඩා හොඳ අධ්‍යාපනය’ කියන්නේ එයට නොවේ.

ගිය අවුරුද්දේ මම කොළඹ සිට කලුතරට දුම්රියෙන් යනවිට, එක්තරා ගැහැණු ළමයෙක්, කොල්ලුපිටියේදී මා ගමන් කරමින් තිබූ දුම්රියට පැන මියගියේය. මම ද කවුළුවෙන් එබී බලන විට දුටුවේ, ඇය  සුන්දර යුවතියක් බව ය. ඇයගේ ශරීරයේ හිස එක පසෙක වූ අතර, කඳ කොටස අනෙක් පස වැටී තිබිණ. මා ඉතා කණගාටුවෙන් එදින නිවසට පැමිණි අතර, පසුදින පුවත්පත් වල ලොකු අකුරු වලින් පළවී තිබුණේ, ඇය විශේෂඥ වෛද්‍යවරු දෙපළකගේ දියණියක් බව ය. ඇය ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්ව සිටි යුවතියකි. පෙර කී ලෙස, වඩා හොඳ අධ්‍යාපනයක් ලැබෙනවායැයි පැවසෙන පාසැලක අධ්‍යාපනය ලද ශිෂ්‍යාවකි. ඇයගේ මව සහ පියා, ඉතාමත් හොඳ වෛද්‍යවරුන් ය. කොළඹ ඉහළම විද්‍යාලයක ඉගෙනුම ලබා, දිස්ත්‍රික්කයේ ඉහළින් ම ලකුණු ලබා, වෛද්‍ය විද්‍යාලයට තේරුණු දක්ෂ දරුවෙකි. ඇයගේ දෙමව්පියන් ඇයට වඩා හොඳ යැයි ඔවුන්ට සිතුනු අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කර තිබුණි.  නමුත් ඇය ජීවිතයේ ‘මූලික ම දේ’ ඉගෙන ගෙන තිබුණේ නැත.  ශුද්ධෝත්තම පියතුමා අද දින උද‍යේ ඔබට මේ පවසන්නේ, ඔබ තුළ තිබෙන ‘ජනප්‍රිය’ යැයි පැවසෙන අදහස පුපුරවා දමන ‍ලෙසට යි. ජනප්‍රිය යන අදහස අත්හැර දමන ලෙසට යි. උන්වහන්සේ මුලින්ම අපෙන් අසන්නේ මෙය යි. ඔබේ දරුවා ‘ඉන්නා තැන’ කොතනදැයි ඔබ දන්නවා ද? ඔබේ දරුවා කාලය ගතකරන්නේ කෙසේද? කොතැනක ද? කා සමග ද? යන්න ගැන දැනුමක්, සෑම දෙමව්පියෙක් තුළම තිබිය යුතු ය.

‘දරුවා ඉන්නේ කොහේද?’ යනු, සැබැවින්ම ඔහු භෞතිකව ඉන්නා තැන නොවේ. දරුවා උදේ වරුවේ ඉන්නේ පාසැලේ. දවල් ඉන්නේ ටියුෂන් පන්තියේ. රාත්‍රියට ඉන්නේ අපේ ගෙදෙර යනුවෙන් පැවසීම, දරුවා ඉන්නා තැන ගැන ඔබ දන්නවා යන්න ඇඟවෙන්නේ නැත. ඔබේ දරුවා ‘මානසිකව’ ත් ‘ඉන්නේ කොහේද’ යන්න පිළිබඳ නිවැරදි දැනුමක්, ඔබලා සතුව පැවතිය යුතු ය. මෙය ඉතාම වැදගත් ය. මම දිනක් පාසලක දේශනයකට සහභාගීවෙමින් සිටියදී, පාසැල් දරුවෙක් පැමිණ, “සර් මට සර් එක්ක ගෙදරදී කතා කරන්න පුළුවන්ද?” කියා විමසීය. මා එම පිරිමි දරුවා සමග ඔහුගේ නිවසට ගියෙමි. එහිදී ඔහුගේ මව පැමිණ, තම පුතාට ඉතා හොඳ චරිත සහතිකයක් දෙමින් කතා කළා ය. අම්මලා එහෙම ය! ඇය බොහෝ විස්තර පවසා අවසානයේ, “එයා වෙන ළමයි වගේ නෙවෙයි. කාමරේමයි ඉන්නේ සර්....වෙන කොහොටවත් යන්නේ නැහැ....”යි ආදී වශයෙන් ද පැවසුවාය.

පසුව මම දරුවා සමග කතාකිරීමේදී ඔහු පැවසුවේ, “අම්ම එහෙම කිව්ව තමයි සර්. ඇත්තටම මම කාමරේ තමයි  ඉන්නෙ. හැබැයි මම මගේ මනසින් ඉන්නේ, මාර තැන්වල තමයි සර්. මට ඒකයි කතා කරන්න ඕනෙ කලේ. මම හරියට ‘න‍රක’ පත්තර බලන්න පුරුදුවෙලා ඉන්නේ” ආදී වශයෙන් විශාල විස්තරයකි. ඔහුගේ අම්මා මේ පිළිබඳ හාංකවිසියක් දැනගෙන සිට නැත. හැබැයි අම්මාට අනුව, තම පුතා ‘මාර හොඳ’ පුතෙකි. ඔහු ඉන්නේ ගෙදරම ය. පාඩම් කරනවාද පෙනේ. කියන දේ ද අසන දරුවෙකි. ඒ නිසා සියල්ලම හරි ය. එම දරුවා, තම කාමරයේ සිවිලිම හැර, විශාල කාම සඟරා හා පත්තර මිටියක් මට පෙන්වීය.  එම මවගේ පුතා භෞතිකව කාමරයේ සිට ඇත. එහෙත් ඔහු මනසින් සිට ඇත්තේ කොහිද?

ශුද්ධෝත්තම පියතුමා පවසන්නේ, වඩා වැදගත් වන්නේ, ළමයා භෞතික ඉන්නා තැන නොව, ළමයා මනසින් ඉන්නා තැන ගැන අවධානවත් වන්න කියා ය. අධ්‍යාත්මිකව ඔහු ඉන්නේ කොහේද යන්න ගැන අවධානවත් වීම, සෑම දෙමව්පියෙකුගේ ම වගකීමකි. මා අද දින මෙතැන සිටින මේ දෙමව්පියන්ගෙන් විමසන්නේ, ඔබේ දරුවා අධ්‍යාත්මිකව හා මානසිකව සිටින්නේ කුමන තැනකද යන්න ගැන, ඔබ ඉන්නේ සාවධානවත්වද යනුවෙනි. මම ගුරුවරයෙක් වශයෙන් සිටින නිසා, මෙවැනි තත්වයන් මුල්වරට දැනගන්නා දෙමව්පියන්, විශ්මිත ව පවසන වදන් වලට සවන් දී ඇත්තෙමි. “අනේ සර් අපි හීනෙකින්වත් හිතුවේ නෑ අපේ දරුවා මේ වගේ කියලා!” යනුවෙන් පවසමින්, ‘ඇස් උඩ’ තියාගත්තාට වැඩක් නැත. කිසිම අම්මා කෙනෙක් ‘මගේ දරුවා එහෙම කෙනෙක්’ කියා සිතන්නේ නැති බව සත්‍යයකි. එහෙත් මේවා අද දිනයේ අප දකින මහා ඛේදවාචකයන් ය.

බොහෝ දෙමව්පියන් දරුවා දෙස බලා ඇත්තේ, ඔහු භෞතිකව ඉන්නා තැන ගැන පමණ ය. කරුණාකර තම දරුවන් ‘මනසින් ඉන්නා තැන’ ගැනත් සොයා බලන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිමි. දැං ඔබට ප්‍රශ්නයක් ඇත. මගේ දරුවා මනසින් ඉන්නා තැන දැනගන්නේ කොහොම ද?  පළමු අවශ්‍යතාවය, ළමයි එක්ක වැඩ කිරීම යි. ළමයි එක්ක නිවසේ විවිධ වැඩ කටයුතු වලට සහභාගී වනවිට, ඔවුන් මනසින් සිටිනා තැන ගැන දෙමව්පියන්ට අදහසක් ගත හැකි ය. දෙවන කාරණය, තම දරුවන් සමග ‘කතා කළයුතු’ බව යි. දරුවන් සමග කතා කරනවිට ඔවුන්ගේ ප්‍රතිචාර වලින්, අපට දරුවන් ‘සිටින තැන’ ගැන අවබෝධයක් ලැබේ. එසේ නොමැතිව, දරුවන්ගේ මනස් තුළට රිංගීමට කිසිවෙකුටවත් බැරි ය.  ඔබ හුදෙක් දරුවන්ගෙන් ප්‍රශ්න කරන්න යනවිට, දරුවන් ඒවාට උත්තර බඳින ආකාරය ද දනී.  මේවා, ‘ප්‍රශ්න කර දැනගන්නට’ හැකි දේවල් නොවේ. දරුවන් සමග කතාබහ කරනවිට, ක්‍රියා කරන විට, දරුවන් සමග ගමන් බිමන් යනවිට, දෙමව්පියන්ට තම දරුවන්ගේ ස්වභාවය  දැනේ. දරුවාගේ ආශාවන්, සිතුම් පැතුම්, ආකල්ප ආදිය දැනගත හැක්කේ එවැනි ප්‍රයෝගික ක්‍රියා පිළිවෙත් මගිනි.

අම්මා එක්ක කතා කරමින් සිටියද, සමහර දරුවන් මනසින් ඉන්නේ ‘වෙනත් තැන්වල’ බව ද හඳුනාගෙන ඇත.  අප පාසල් වල උගන්වමින් සිටින විට, අපට දරුවා භෞතිකව, පාසැල් බංකුව මත ඉන්නා බව පෙනේ. ඔවුන් අප දෙස ම බලාගෙන සිටී. අප කියන දේ ද ලියයි. ඒත් සමහරු ‘පාඩමේ’ නැත. දරුවා ඉන්නේ වෙන තැනක ය. අප දරුවන් දෙස තික්ෂණව බලන විට, මේවා අපට පෙනේ. මෙම දේශනයේ මුලදී ම, ‘මට ඔබගේ ඇස්දෙක බලාගෙන කතාකරන්න ඕනෑ’ බව මම පැවසුවේ එහෙයිනි.

දරුවා දිනයේ වැඩි වෙලාවක් ගතකරන්නේ, ‘කා සමග ද?’ යන්න ඉතාමත් වැදගත් කාරණයකි. ඊයේ දිනයේ, ඔබගේ දරුවන් 120 ක පමණ පිරිසකට මම කතා කෙරුවෙමි. ඒ ඔබේ ම දරුවන් ය. “ඔබේ පවුලේ සාමාජිකයන් සියළු දෙනා, දිනකට විනාඩි 10 ක් හෝ ‘එකට එකතු වෙන’ අය ඉන්නවා නම් අත ඔසවන්න” යැයි මා ඉල්ලා සිටි විට, එම 120 ක පමණ පිරිසකගෙන්, අත් එසවූයේ 15 දෙනෙකු පමණ ය. පැහැදිලි ද? ඒ ඔබේ ම දරුවන් ය. දැං ඉතිං දරුවන් ඉන්න තැන හොයන්න පටන් ගන්න.  මම ඔවුන් ගැන තේරුම් ගන්නා පිණිස, “ඔබේ පවුලේ කී දෙනෙක් ඉන්නවා ද?” යන ප්‍රශ්නය වෙන වෙනම ඇසුවෙමි.  එම 120 දෙනාගේ ම පැවසුවේ, “තාත්තයි-අම්මයි-මායි-නංගියි” හෝ “තාත්තයි-අම්මයි-මම විතරයි....” ආදී වශයෙනි. එම පිරිසෙන් කිසිවෙකුත්, තම පවුල සමගම ජීවත්වෙමින් සිටි, ‘ආච්චි- සීයා’ හෝ ‘ලොකු අම්මා-ලොකු තාත්තෙක්’ ගැන පැවසුවේ නැත.  අප දරුවන්ට උගන්වා ඇත්තේ කුමක් ද? මොකක් ද ඔබලාගේ පවුල? දරුවෙකුගෙන් ඔබේ පවුලේ අය ගැන ඇසූ විට, පිළිතුරු ලැබෙන්නේ එලෙස ය. මෙන්න අපේ අධ්‍යාපනය! මෙන්න අපි මනසින් ඉන්නා තැන්! දරුවන්ගේ මනස් වල, ආච්චි කියා හෝ සීයා කියා චරිතයක් නැති සේ ය. එවන් දරුවෙක් තම සීයාට ආච්චිට ආදරයක් දක්වන්නේ කෙසේ ද? ආදරය විසුරුවා හැරීමේ ආබාධයකින් අපේ දරුවන් පෙළෙන්නේ මේ නිසා ය. මම ඔබලාගේ දරුවන් සමග ‘මාර සමික්ෂණයක්’ ඊයේ දවසේ සිදු කෙරුවෙමි. මට ඔබලා සමග ඒවා බෙදා ගැනීමට වෙලාවක් නැති නමුත්, ඒවා මගේ ඉදිරි කටයුතු වලට ඉතාමත් වැදගත් ය. මෙන්න ඔබේ දරුවන් මනසින් ඉන්නා තැන!

jesustoday 53 සතිය 2018 මාර්තු 04         

Comments powered by CComment