2018 පෙබරවාරි 04 වෙනිදා පැවැති 70 වැනි නිදහස් සැමරුම ගාලු මුවදොර පිටියේ පැවැතියේ ශ්‍රී ලංකාවේ “නිදහසක් නැති නිදහස” මනාව සංඛේතවත් කරමිනි. එය සංඛේතවත් කරනු ලැබුවේ උත්සවය හා එය පැවැති හාත්පස පරිසරය විසිනි. පලාත් පාලන ඡන්දයත්, බැදුම්කර විගඩමත් දෙස බලා සිටි කිසිවෙකු ඒ බව දුටුවාදැයි සැක සිතේ.

කුමක්ද ඒ හාත්පස පරිසරය

1 අමුත්තන් වාඩි වී සිටියේ මුහුද දෙස බලාගෙනය. ඔවුන් සඳහා ඉදිකළ වේදිකා පිටුපස තිබුනේ ගාලු මුවදොර ඉදි වී ඇති හා ඉදිවන නව අධිරාජ්‍යවාදින්ගේ මහා හෝටල්    හා වෙළඳ ගොඩනැගිලිය. ඒවා පිලිබඳ දැවැන්ත ප්‍රචාරක පුවරුය. ඒවා ඇස් මට්ටමේදි තිර රෙදිවලින් වැසී තිබුණද සක් සුදක් සේ පෙනී ගියේය. රාජ්‍ය නායකයා          ඇතුළු මැති ඇමතිවරුන්ට ඉදිරියෙන් පෙනෙන්නේ කොළඹ දකුණ වරාය හා ඉදිවන පෝට් සිටියයි. ඒ දෙකම චීන ආර්ථීක අධිරාජ්‍යවාදයට අපේ යටත් ජීවිත බව            පෙන්වයි.

2 නිදහස් උළේල යනු තනිකරම හමුදා ක්‍රියාකාරම් දැක්මකි. මිලිටරි සංදර්ශනයකි. ඒ මිලිටරි සංදර්ශනය තුළ මුළු මනින්ම වාගේ රැඳි තිබුනේ සිංහල ස්වොත්තමවාදයයි.
  ඊනියා නිදහසින් වසර හැත්තෑවකට පසුත් අප සිටින්නේ දරුනු වහල් භාවයකය. එහි මුහුණුවර දෙකකි. පළමුවැන්න භාහිර අධිරාජ්‍යවාදයයි. දෙවැන්න අභ්‍යන්තර          ස්වොත්තමවාදයයි.

බාහිර අධිරාජ්‍යවාදය චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ කොට අප රට තුළ අද දවසේ බලපැවැත්වෙයි. ගෝලීය ධනවාදයේ මෙම යුගය තුළ එකි අධිරාජ්‍යවාදයට සැබෑවට එරෙහි වන කිසිවෙක් රට තුළ නැත. මහා දේශ ප්‍රේමියා සේ පෙනී සිටින සියල්ලෝ ඒ අධිරාජ්‍යවාදයේ කීකරු සේවකයින්ය. පවතින ගෝලිය තත්වය තුළ වෙනත් විකල්පයක් නැතැයි යන බරසාර තර්කය තුළ සියල්ල නිහඬතාවයේ ගිලි සිටි.

අභ්‍යන්තර ස්වොත්තමවාදය බාහිර අධිරාජ්‍යවාදය සමඟ අත්වැල් බැඳගෙන සිටි. රණවිරුවක් අධිතිශ්චය වී තිබීම මේ මොහොතේ අභ්‍යන්තර ස්වොත්තමවාදයේ ඉහළ ප්‍රකාශයයි. යහපාලන (?) රජය ගෝඨාභය රාජපක්ෂ අත් අඩංගුවට නොගැනීම මෙන්ම ඉතා දරුනු අපරාධ වලට සම්බන්ධ හමුදා සාමාජිකයින්ට ලබාදෙන සහන සේවයේ පිහිටුවීම්, අපරාධවලින් නිදහස් කිරිම් ආදි බොහෝ දේ මෙයට නිදසුන් ලෙස දැක්විය හැකිය. මේවායේ ප්‍රතිඵලය වන්නේ 2015 ජනවාරි 08 දින පුරවැසි ජනයා ජීවිත අවධානම් ගනිමින් පරාජය කළ ශ්‍රී ලංකාව තුළ නිදහස් ජීවිතයක් සඳහා වඩාම බාධා කාරි වු ජාතිවාදය නැවත වටයකින් ශ්‍රී ලංකාවේ බල කේන්ද්‍රය අත්පත් කර ගැනීමයි.
ඒ මගින් සිංහල බහුතරය හා අනිකුත් ජාතින් අතර වන පරතරය වර්ධනය කරනු ඇති අතර එමඟින් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ගොඩනැගීම තව තවත් ආපස්සට ගමන් කරනු ඇත.

ශ්‍රී ලංකාව නිතර සාඩම්බරයෙන් පවසන ධර්මද්වීපයේ පරිහානිය සටහන් කරන්නේ මෙම දෙආකාර ස්වභාවය මඟිනි.

බාහිර අධිරාජ්‍යවාදයට එරෙහිව අභ්‍යන්තරනේ පැන නැගුනු ස්වොත්තමවාදය මුළු මතින්ම බාහිර අධිරාජ්‍යවාදයට සේවය කළ බව, සේවය කරන බව පශ්චාත් නිදහස් ශ්‍රී ලංකාවේ අත්දැකිම් විසින් තහවුරු කොට තිබේ.

ශ්‍රී ලංකාව ආධ්‍යාත්මික මරණය කරා ගෙන ගිය සදාචාර පරිහානිය බලය ලබා ගැනීම සඳහා ස්වොත්තමවාදය යොදා ගත් ශ්‍රී ලාංකික දේශපාලකයින් විසින් ළඟා කර දෙන ලදී.

1948 හා 1949 පුරවැසි පනත් මගින් කඳුකර දෙමළ ජනයාට පුරවැසිභාවය අහිමි කිරීම හා ඡන්ද බලය අහිමි කිරීම ඩි. එස්. සේනානායකගේය. 1956 අංක 33 දරණ රාජ්‍ය භාෂා පනත එස් ඩබ්ලිව් ආර්. ඩි බණ්ඩාරනායකගේය. එතැන් සිට මේ දක්වා බලයට පත් වු සියලු දෙනාද බලයට පත් වීඹට අපෙක්ෂා කරන සියලු දෙනාද අඩුවැඩි වශයෙන් මෙම අභ්‍යන්තර ස්වොත්තමවාදය බලය සඳහා භාවිතා කළෝය. එමගින් ශ්‍රී ලංකාව බාහිර අධිරාජ්‍යවාදයට නතු කරමින් අභ්‍යන්තරකව ලේ ගලන රටක් බවට පත් කළේය. ශ්‍රී ලංකාවේ ණය බර අප බාහිර අධිරාජ්‍යවාදයට යටත් වී සිටින අයුරු පෙන්වන ප්‍රධාන මිනුම් දණ්ඩ ලෙස ගත හැකිය.

පාස්කුව.

ක්‍රිස්තියානියේ මූලිකම විමුක්ති අත්දැකිම නිදහස් අත්දැකිම වන පාස්කුව මෙකි බාහිර අධිරාජවාදයෙන් හා අභ්‍යන්තර ස්වොත්තමවාදයෙන් නිදහස, ගැලවීම, විමුක්තිය ලැබීම හා බැදුනු ආධ්‍යාත්මික පූර්ණත්වයක් පිලිබඳ අත්දැකිමක්.

පැරනි ගිවිසුමේ පාස්කුව ප්‍රධාන කොටම බාහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස්වීමේ අරගලය හා බැඳී තිබේ. ඊශ්‍රායල් ජනතාව ඊජිප්තුවේ පාරාවෝවරුන්ගේ අධිරාජ්‍යවාදයේ වහල්බවින් නිදහස ලැබිම් සිදුවීම පැරනි ගිවිසුමේ පාස්කුවයි.

ජේසු තුමන්ගේ මෙහෙවර යොමුවූයේ ඊශ්‍රායල් ජනතාවගේ සියොත්වාදි ස්වොත්මවාදයත් රෝම අධිරාජ්‍යවාදයත් විසින් ඇති කරනු ලැබු වහල්භාවයෙන් ජනතාව මුදා ගැනීමටයි මරණයේ පැවැත්මෙන් ජීවිතයේ පැවත්මක් වෙත ජනයා රැගෙන යාමටයි.

ශ්‍රී ලංකාව තුළ මේ මොහොතේ සිදු කෙරෙන පාස්කු මෙනෙහි කිරිම් වෙත අප මේ කරනු රැගෙන ආ යුතුය.

ජේසුගේ වෙනස

ලොව පුරා බාහිර අධිරාජ්‍යවාදයෙන් නිදහස්වීම් අරගලය මතු කරන ලැබුවේ ජාතිකවාදය මත පදනම්වය. එනම් බාහිර අධිරාජයවාදයට එරෙහි සටන තුළම අභ්‍යන්තර ස්වොත්තමවාදයේ නැගීම අන්තර්ගත විය. ඉන්දියාව තුලදි ගාන්ධි, තාගොර්, අම්බෙඞ්කාර් ආදින් මෙම අනතුර තේරුම් ගනිමින් ඉන්දීය නිදහස් අරගලය තුළ අභ්‍යන්තර ස්වොත්තමවාදිය ඉස්මතු වීම වැලැක්වීමට සුවිසල් අරගලයක් සිදු කරන ලදී. මහා ඉන්දීය ආධ්‍යාත්මක පෝෂණය වූයේ ඒ මැදිහත්වීම තුළිනි. අද වන විට ඒ ඉන්දීය මහා ආධ්‍යාත්මය දුර්වර්ණ වී තිබීම වෙතම සාකච්ඡා කළ යුතුය.

ජේසු තුමන්ගේ ආධ්‍යාත්මික ව්‍යාපාරයේ සුවිශේෂි කාරණය වන්නේ බාහිර අධිරාජ්‍යයාට විරුද්ධව අරගලය තුළ ට සවිඥානිකවම අභ්‍යන්තර ස්වොත්තමවාදයට එරෙහි අරගලයද එකතු කිරිමයි. උන් වහන්සේගේ මරණය බාහිර අධිරාජ්‍යවාදින්ගේ හා අභ්‍යන්තර ස්වොත්තමවාදින්ගේ එකඟතාවයකින් සිදු කරන මරණයක් වන්නේ ඒ නිසාය. වඩාත් නිවැරදිව කීවොත් බාහිර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයටත් වඩා ප්‍රබල ලෙස ජේසු තුමා අභ්‍යන්තර ස්වොත්තමවාදයට එරෙහි අරගල සිදු කළෝය.

අභ්‍යන්තර ස්වොත්තමවාදය බරපතළ ලෙස පරාජය නොකරන්නේ නම් බාහිර අධිරාජ්‍යවාදය තම පැවැත්ම සඳහා අභ්‍යන්තර ස්වොත්මවාදය භාවිතා කිරිම් අනතුර එතුමා දුටුවේය.

එසේම එතුමා බාහිර අධිරාජ්‍යවාදයට එරෙහි අරගලය යනු හුදෙක් සීසර්ගේ හෙරොද්ට පිලාත්ද එරෙහි අරගලයක් බව පැහැදිලිව මතු කළ සේක. ඒ නිසා අධිරාජ්‍යවාදයේ තර්කනය වන ධනය දෙවියන් කර ගැනීමෙන් නිදහස් වීම දැඩිව අවධාරණය කරන ලදී.

jesustoday 52 සතිය 2018 පෙබරවාරි 25 

Comments powered by CComment