සැබෑ පේ‍්‍රමය නොහොත් ආදරය යනු
ඒ සියල්ල ය.
ඒ සැබැ පේ‍්‍රමයේ බීජ
සෑම මනුෂයෙකු තුළ ම
නිදන්ගතව ඇත.

උඩගුව
තන්හාව
මසුරුකම
ඊර්ෂ්‍යාව
වෛරය
අකාරුණිකකම
කුහකකම ආදිය
අපගේ සතුට වනසන්නේය.

කීර්තීනාමය
ධනනාමය
ආධිපත්‍ය කාමය ආදි දේ
අපව
අසහනකාරි ලෙස අවිවේකි කරන්නේය.

එම අඳුරු වේදනාවන්
වර්ගවාදය
ආගම්වාදය
නිලධාරිවාදය
නාස්තිය
දූෂණය
අල්ලස
අපරාධ ආදිය
ක්‍රියාවට නඟන්නේය.

මගේ දුර්ගුණ නිසා
අනුන්ට රිදෙයි. අවැඩ සිදු වෙයි.
අනුන්ගේ දුර්ගුණ නිසා
මට රිදෙයි. අවැඩ සිදු වෙයි

දුර්ගුණ යනු
අනාර්ථකාරි නිස් ස්වභාවයන් ය.
බුදුන් වහන්සේ ඒ සියල්ල
ලෝභ ද්වේශ සහ මෝහ යනුවෙන්
තෙවගකට බෙදා පෙන්වූහ.

හේතුවාදින්ට
භෞතිකවාදින්ට
නාස්තිකවාදින්ට සහ
අනාත්මවාදි බෞද්ධයන්ට අනුව
ආධ්‍යාත්මය යනුවෙන් දෙයක් නැත.
මම යනුවෙන් කෙනෙක් නැත.

ඔවුන්ට අනුව
පුද්ගලයා හැසිරෙනුයේ
හුදෙක්ම
ආරයේ සහ පරිසරයේ බලපෑ අනුවය.

එහෙත් මට පෙනෙන හැටියට
එය එසේම නොවේ
අප තුළ අක්‍රියව පවතින දුර්ගුණ
ක්‍රියාවට නැගෙනුයේ
ඊට උචිත පරිසරය
නිර්මාණය වු විට බව සැබෑය.
එහෙත්
පරිසරයේ වහලූන් ම නොවීමේ හැකියාව ද
පුද්ගලයා සතුය.
මන්ද
දුර්ගුණ පමණක් නොව
යහගුණ ද
මනුෂ්‍ය ස්වභාවයේ දේව උරුමයන් නිසා ය.

දුර්ගුණ පිළිබඳව වු අනවධානය
එම දුර්ගුණ
අප තුළ
රහසින් වර්ධනය වීමට අනුබලයකි.

ඉවසීම
කැපවීම
කරුණාව
අව්‍යාජබව
නිහතමානිකම
යුක්තිගරුකබව
ප්‍රඥා ආදිය
උතුම් මනුෂ්‍ය ස්වභාවයන් ය.

සැබෑ පේ‍්‍රමය නොහොත් ආදරය යනු
ඒ සියල්ල ය.
ඒ සැබැ පේ‍්‍රමයේ බීජ
සෑම මනුෂයෙකු තුළ ම
නිදන්ගතව ඇත.

එමෙන්ම
සැබෑ ආදරය පිළිබඳව
ගවේෂණශීලි නොවීම
අප තුළ
අව්‍යාජ ආදරය මතුවීමට අවහිරය කි.

සරුව පිත්තල සේ ඉතා දීප්තිමත් වු
සම්ප්‍රදායික ආදරයට අමතරව
විමුක්තිදායක වු රන් වැනි ආදරයක්
අප තුළ යටපත් වී පවතින බව
අනුමාන කිරීමට පවා
එම අනවධානය අවහිරය කි.

රන් වැනි වු
ආධ්‍යාත්මික මාණික්‍යයෙහි අගය
අපි හඳුනන්නෙමු නම්
අප සතු සියලූ අතිරික්කයන් විකුණා
අප එය මිලට ගන්නා බව නිසැක ය.

දුර්ගුණ යනු
අනිසි ලෙස අපව මෙහෙයවන මායාව වේ.
මනුෂ්‍යයා තුළ වෙසෙන සාතන් වේ.
යහපත අයහපතට හැරවීමේ
රහසිගත ක්‍රියාකාරිත්වය වේ.

එය මායාවන් වන්නේ කෙසේද ?
උන්නතිකාමය මත පදනම් වු
සමාජ ක්‍රිමය තුළ
යහතින් විසීම සඳහා
යම් ප්‍රමාණෙයන් දුර්ගුණ අවශ්‍ය බව
බැලූ බැල්මට පෙනෙන නිසාය.

තමාගේ දුර්ගුණ හීනවීම
උනුන්ට වාසිදාක විය හැකි බවත්
තමන්ට අවාසිදායක විය හැකි බවත්
බැලූ බැල්මට පෙනෙන නිසාය.

කීර්තිකාමි, ධනකාමි, බලකාමි අරමුණු
සෑහෙන දුරට ජයගෙන ඇති උදවිය ගේ
කායික සුර ලොව අපට පෙනේ.
එහෙත් ඔවුන්ගේ මානසික අපාය
අපට නොපෙනේ.
එබැවින්
ඔවුන් වාගේ වෙන්නට
අපි වෑයම් කරමු.

ඔවුන් සැබැවින් ම කරනුයේ
දුක දුකක් බව නොදැක
සතුට පතා දුක වැපිරීමය.
මියැදෙන තෙක් ම ඔවු හු
සතුට සොයා වෙහෙසෙති.

ආදරය නොහොත් පේ‍්‍රමය යනු
නිසි ලෙස අපව මෙහෙයවන
ජීවනය වේ.

පේ‍්‍රමය
ඔබ තුළ
ප්‍රමාණවත්ව මතු වී ඇත්නම්
දූෂිතයෙකු වන්නට ඔබට බැරිය.
අවස්ථාවාදියෙකු වන්නට ඔබට බැරිය
පාවා දෙන්නෙකු වන්නට ඔබට බැරිය.
කිසිවකුව රවටන්නට ඔබට බැරිය
කොන්දක් නැති
එහෙයියෙකු හෝ පඹයකු වන්නට
ඔබට බැරි ය.

කොන්දේසි විරහිත සැබෑ පේ‍්‍රමයට
ලෝකය ම සුපවත් කළ හැකිය.
එහෙත් පළමුකොටම
පේ‍්‍රමය අවශ්‍ය වන්නේ
තමාගේ ම සුවය සඳහාය.

අනුන්ගේ අනාදරය
අකම්පිතව දරා ගැනීම සඳහා
පේ‍්‍රමය උවමනාය.

සම්ප්‍රදායේ වහලෙකු නොවීම නිසා
තමන්ගේම උදවිය අතර කොන්වීම
තමන්ට වේදනාවන් නොවනු සඳහා
පේ‍්‍රමය උවමනාය.

දැඩි ආත්මාර්ථයේ වේදනාවෙන්
පීඩා නො විඳින සඳහා
පේ‍්‍රමය උවනමාය.

කළ යුත්තේ සහ නොකල යුත්තේ
කුමක් දැයි
ඒ ඒ අවස්ථාවට උචිත ඇසුරින්
වඩාත් නිවැරදිව දැනගනු සඳහා
ඔබට ආලෝකය දෙන්නේ
පේ‍්‍රමය විසිනි.
හරි දේ කිරිමට ත්
වැරදි දේ නොකිරිමටත්
ඔබට ශක්තිය දෙන්නේ
පේ‍්‍රමය විසිනි.

හරි දේ කිරීමත්
වැරදි දේ නොකිරිමත්
ඔබට සතුටක් බවට පත් කරන්නේ
පේ‍්‍රමය විසිනි.

මෙලොවෙහි අප ජීවත් වන
ස්වල්ප ආයු කාලය
හැකිතාක්
සහනයෙන් ගත කිරීම සඳහා
පේ‍්‍රමය උවමනාය.

විනෝදය ඇතුළු
අනෙකුක් සියලූම සම්පත්
කොතෙක් නො අඩුව ඇතත්
පේ‍්‍රමය නොමැති නම්
සිතේ සහනය ඔබට අහිමි විය.

පේ‍්‍රමයේ මුහුණුවර ඇතත්
පේ‍්‍රමය ම නොවන
බොහෝ දේ ද ඇත.

ආලය
අනුකම්පාව
කෘතඥතාවයේ බැඳීම
ජනප්‍රියත්වය
ගෞරව ප්‍රශංසාව ආදිය
මායාවෙන් හා වෑයමෙන්
දිනාගත හැකිය.
සොරාගත හැකිය
රඟ පා
ප්‍රදර්ශනය කළ හැකි ය
එහෙත්
පේ‍්‍රමය නො හැකිය.

පේ‍්‍රමය සංවේදිවනුයේ
පේ‍්‍රමනීය හදවත්වලට පමණි.
පේ‍්‍රම කරන්නට ද
ඔබට නොහැකිය
එහෙත්
ඔබගේ සියලූ ක්‍රියා
පේ‍්‍රමනීය කරන්නට
පේ‍්‍රමයට හැකි ය.

පේ‍්‍රම කරන්නට අපට බැරි නම්
පේ‍්‍රමය
අප තුළ ප්‍රමාණවත් වනු පිණිස
අපට කළ හැක්කේ කුමක්ද ?

අපට කළ හැක්කේ
ගල්වීමට ඉඩ නොදී
අපේ හෘද සාක්ෂිය
සංවේදිව තබා ගැනීමය.

එය ගල් කරන්නට
සමාජ රැල්ලට හෝ
සම්ප්‍රදායික කාවැද්දුම්වලට හෝ
ආගමික උගැන්වීම්වලට හෝ
තමාගේ දැඩි මතවාදයන්ට හෝ
තමාගේ ආවේගයන්ට හෝ
ඉඩ නොදීමය.

තමාගේ හෘදය සාක්ෂිය සමඟ
සංවාදයේ යෙදීමය.
තමා විසින් තම හෘද සාක්ෂිය ද
තම හෘදසාක්ෂිය විසින් තමාව ද
සෝදිසි වන්නට සැලසීමය.

පේ‍්‍රමය යනු
ක්‍රිස්තියානි භාෂාවෙන්
ශුද්ධාත්මයාණන් වහන්සේය.
බෞද්ධ භාෂාවෙන් එය
ප්‍රභාෂ්වර සිතය.

මා තුළ ද
පේ‍්‍රමය ප්‍රමාණවත්ව නැත.
එහෙත්
මා දන්නා
පේ‍්‍රමණිය පුද්ගලයන්
සුළුතරයක් ඇත.
ඔවුන්ව ඇසුරු කරන්නට ලැබීම
මෙලොවෙහි මා ලද
අගනාම වාසනාව වේ.

එවැන්නෙකුව සිහිවීම පවා
ජීවිතයට
ආලෝකයකි, ශක්තියකි, සතුටකි.

ඔවුන් සහ මා අතර
නො එකඟතා ද ඇත.
එනම්
ඔවුන්ට පෙනෙන ඇතැම් දේ
මට නොපෙනේ
ඔවුන් පවසන ඇතැම් දේ
මට නොවැටහේ.

බී. ඒ. එන්. රංජිත්

jesustodaysl 2 වන වසර 4 වන සතිය 2018 අප්‍රේල් 01

Comments powered by CComment