ඉරුදින සුපුවත
චතාරික සමයේ පස්වන ඉරුදින

ජෙරමියා       31/31-34
හෙබ්‍රෙව්        5/7-9
ශු. ජොහාන්   12/20-33


දෙවියන්ගේ මිනිසුන් වීම.

ඊශ්‍රායල් හා ජුදා ලෙස උතුර හා දකුණ ලෙස වෙනස්කම් සහිතව දිවි ගෙවු ජනයා සමඟ නව ගිවිසුමක් පිහිටුවීමේ දෙව් අභිමතය ජරමියා දිවැසිවරයාගේ පොතෙන් අපට හමු වේ.
නව ගිවිසුමක් ඇති කරන්නට යන්නේ ඇයි. ජනතාව සීනයි ගිවිසුම කඩ කළ නිසාය.
සීනයි ගිවිසුම ගල් පුවරුවල ලියුවත් නව ගිවිසුම ලියන්නට යන්නේ හදවත් වලය.

“මම මාගේ අණ පනත් ඔවුන් තුළ පිහිටුවා එය ඔවුන්ගේ සිත් වල ලියන්නෙමි”

  •  ගිවිසුම ප්‍රතිඵලය වන්නේ කුමක්ද ?

“මම ඔවුන්ගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔව් හු මාගේ සෙනඟ වන්නෝය”

  • දෙවියන්ගේ අණ පනත් තම හදවත තුළ ලියාගෙන ඒ අනුව ජීවත්වීම මගින් මිස වෙනත් ආකාරයකින් අපිට දෙවියන්ගේ මිනිසුන් විය නොහැකිය.
  • ප්‍රසාද ස්නාපන සහතියක්, පවුල් පොතක්, දේවස්ථාන සභාවකට අයිති වීමක් මගින් පමණක් අපිට දෙවියන්ගේ මිනිසුන් විය නොහැකිය.
  • දෙවියන්ගේ මිනිසුන් ලෙස අපි රට දිහා, ගම දිහා අපේ පවුල දිහා බලනවාද ? මුස්ලිම් ජනතාව පිළිබඳ රට තුළ ඇති වී ඇති ප්‍රශ්නයේදි අපි දෙවියන්ගේ මිනිසුන්    ලෙස සිතුවාද ? ක්‍රියා කළාද ?

ඵල දරන ජීවිතයක්

  • අද සුවිශේෂය ගෙන හැර පාන සිදුවීමේ පසුබිම මදක් විමසීම නිසි අවබෝධයක් සඳහා වැදගත්ය.
  • ජේසු තුමා රාජ තේජසින් ජෙරුසලමට පැමිණි පසු සිදුවීමකි.

පාස්කු මංගල්‍යයට ආසන්නයේ සිදුවන්නකි. ජේසු තුමන්ව නැසීමට කුමන්ත්‍රණ දියත් වන පසුබිමකි. ජුවාම් සුවිශේෂයේ සඳහන් නොවුවද දේව මාළිගාව පවිත්‍ර කිරිමේ සිදුවීමද සිදු වු ඇතැමුන් ජේසු තුමන් තුල පැවැති අර්ථයේ දේශපාලන මෙසෙයා කෙනෙකුගේ මැදිහත්වීම ආපෙක්ෂා කරන අවස්ථාවකි. බොහෝ දෙනාගේ අවධානය ජේසු තුමා වෙත යොමු වී ඇති වටපිටාවකි.

 ග්‍රීකයන් කීප දෙනෙකු උන්වහන්සේව හමුවීමට පැමිණි පුවත සැල වු පසු ජේසු තුමා පවසන දෙයකි සුපුවතේ ඇත්තේ. එතුමාම පවසන පරිදි එය කැළඹිලි සහගත අවස්ථාවකි.

 මෙහෙවර අත් හරිනවාද ? මරණයට බිය නොවී, මෙහෙවර අත් නොහැරිමේ ප්‍රතිඵලය මරණය වූවද එයට නොබියව මුහුණ දෙනවාද ?

“ඉදින් මම කුමක් කියම්ද ? පියාණනි මේ මොහොතේ මා ගැලවුව මැනව කියා කියම්ද ? නැත."

මෙය එතුමා නොදැන පැමිණි ගමනක් නොවේ. කිතුනුවා මෙහෙවර කරන්නේ එයට ඇති ‘මිලය’ ‘පිරිවැය’ දැන ගෙනය.

“මෙහෙවරේ පිරිවැය මරණයද වුව විය හැකිය”

  • ගැලවීම රැඳී ඇත්තේ මරණයේ නොව මෙහෙවරේය.
  • නමුත් එතුමා මරණය දකින්නේද පරාජයක් ලෙස නොවේ. එයයි වැදගත්.
  • සෑම මරණයක්ම උත්ථානයක් නොවේ. සැබෑ මෙහෙවර තුළ ලැබෙන මරණය උත්ථානයකි. තව දහසක් ජීවිත ගලවන්නකි.

“ඒකාන්තයෙන්ම මම ඔබට කියමි”   

කොතරම් පැහැදිලිද එතුමාට ඒ සත්‍යය. පැකිලිමක් නැත. නිසැකවම දනී ප්‍රතිඵලය.

“තිරිඟු බීජය වැටී නොමළොත් එය තනි බීජයක් පමණක් වේ. එහෙත් එය   මළොත් සරු ලෙස ඵල දරයි.”

  • අද අපවද කැඳවන්නේ මේ ක්‍රමය පෙන්වන ‘ජීවිතය’ රැක ගැනීම වෙනුවෙන් ජීවත් වීමට නොවේ. සැබෑ ජීවනයෙන් යුතු ජීවිතය උදෙසා මේ ක්‍රමය පෙන්වන   ජීවිතයට ද්වේශ කරමින් ජේසු පෙන්වා දෙන ජීවිතය අයිති කර ගැනීමට ජීවත් වීමටයි. සැබැ පාස්කුවන් අත්දැකිය හැකි වන්නේ එම ජීවිත ක්‍රමය තුළය. දේව  කැමැත්තට අනුකූලව ජීවත්වීම තුළයි හුදු භක්ති අභ්‍යාස තුල නොවේ.
  • එම ජීවිතය සඳහා ඔබ ඇති කරගත් එතෙර වීම කුමක්ද ?
  • සිතන්න. පියවර ගන්න.

jesustodaysl 2 වන වසර 2 වන සතිය 2018 මාර්තු 18