කොළඹ කතෝලික පදවිය 2018 වර්ෂය යහපත් එඬේරා තේමා කොටගෙන ක්‍රියාත්මක වීමට තීරණය කර තිබේ. එය යුගf්ය අවශ්‍යතාවයකි. මන්ද යත් ජනතාව නැමැති බැටළු රැළ අද සිටින්නේ මං මුලාවය. අතර මං විය. කුලි කරුවන් වු ද සොරුන් වු ද ව්‍යාජ එඬේරුන් නිසා මං මුළා වු බැටළුවන්ට සැබෑ එඬේරුන් අවැසිම යුගයකි මේ.

යහපත් එඬේරෙකු වීම අතිශය බරපතල අභියෝගයකි. ඒ සඳහා මේ ලෝකයේ ඇති නායකත්ව ශෛලින් වලින් අත් මිදිය යුතුය. ලෞකික ජනප්‍රිය නායකත්ව කරිස්මාවන්ගෙන් බැහැර විය යුතුය. ස්ථිර ලෙසම කිතු තුමන්ගේ නායකත්ව අධ්‍යාත්මිකත්වය වැළඳ ගත යුතුය. ඇතුලාන්තයෙන් එන ඉහළින් එන ආලෝකයක් බලයක් ඒ සඳහා අවැසිය. කුරුසියේ ආලෝකය බලය ඒ සඳහා ලබාගත යුතුය.

ගලීලයේ මහා ඇඳුරාණෝ
කුරුසියේ පිදු ජීවිතෙන්
එළිය අරැගෙන බලය අරැගෙන
ඔබට යහපත් එඬේරා වෙමි
මං මුලාවු බැටළුවාණනි
ඔබට යහපත් එඬේරා වෙමි

යහපත් එඬේරා බැටළුවන්ගේ කටහඬ හඳුනති. ගඳ සුවඳ දනිති. දුබලකම් දනිති. කඳුළු සුසුම වේදනාව හඳුනති. යහපත් එඬේරාගේ ප්‍රමුඛ ලක්ෂණය වන්නේ ඔහු / ඇය නැති වු දුබල වු මං මුළා වු බැටළුවා කෙරෙහි පාන්නාවු ලුහුබදින ප්‍රේමයයි

“ඔබ අතරින් බැටළුවන් සීයයක් ඇති කවර මනුෂ්‍යයෙක් දෙන්නෙන් එකෙකු නැති වුව හොත් අනූනව දෙනා පාළුකරයෙහි හැර දමා නැති වු එකා පසු පස්සේ ගොස් වු සම්බ වන තුරු සොයන්නේ නැද්ද ? (ලුක් 15/3-4)

ජේසු තුමා පවසන මේ එඬේරිකත්වය මිස ඉන් බැහැර වු එඬේරිකත්වයක් දෙවිදුන්ට ප්‍රසන්න නොවේ.

ඇහෙනවා හඬ හඬ වැටෙනා හදවතේ
පෙනෙනවා මට දුකින් තැවෙනා වත ඔබේ
දැනෙනවා මට විදින ලතැවුල් ජීවිතේ
සොයනවා මම ඔබව ලුහුබැද ආදෙරෙන්.

ඇසෙන පෙනෙන පමණක් නොව බැටළුවන්ගේ දුක දැනෙන, දැනි බඬේ බඩවැල් උණුවන, සහකම්පාවට පත්වන, ඒ තමන්ගේම දුකක් සේ දැනෙන එඬේරා නැති වු බැටළුවා ලුහුබඳී. සම්බවන තුරු ලුහු බඳී.

එඬේරුන්ගේ භූමිකාව ප්‍රසාද ස්නාපනය තුළින් අප සැමටම විවිධ ආකාරයෙන් පැවරී තිබේ. ඒ භූමිකාවට ආදරෙයෙන් පණ පොවන්නට නොහැකි වු තැන බැටළුවන් නොමඟ යයි.

බැටළුවන් අප අතහැර ගියත් අප ඔවුන්ව අතර නෑර අල්ලා ගත යුතුය. අප පරිසිවරුන් මෙන් ක්‍රියා කළොත් පව්කාර ස්ත්‍රීයට ගල ගසන්නක් වුවහොත් අද සිටින දියණිවරු හෙට පව්කාර ස්ත්‍රීන් වනු ඇත. දැනටමත් ලංකාවේ ළමා හා මහළු නොවන කාන්තා ජනගහනයෙන් 1% ක් ගනිකා වෘත්තියේ යෙදේ හෙවත් ලිංගික සේවා සපයන්නියන් වේ.

අද අපි පව්කාර වැරදිකාර මුළාව ගිය පුතුන්ට යහපත් එඬේරුන් නොවුනහොත් හෙට දිනයේදි යහපත කුරුසියේ ඇණ ගැසිය යුතුයි කියන, යහපත පාවා දෙන ජුදාස්ලා බවට ඔවුන් පත්වනු ඇත. අවසාන විනිශ්චයේදි අපි බැටළුවන් ගැන ගණන් දිය යුතුය.

අත්හලොත් අද පාවා දෙන්නා හෙට නුඹයි
අත්හලොත් අද පව්කාර ලද හෙට නුඹයි
විනිස දවසේදි ගණන් දිය යුතු මා තමයි
ඔබට අත්වැල වෙන්න කැපවෙමි ආදරෙන්

මේ ගීතයේ එන අධ්‍යාත්මික ප්‍රතිපදාව 2018 වසරේදි අපට දිය හැකි නම්, ඒ ප්‍රතිඥාව ජීවත් කළ හැකි නම් නිසැකව මේ වර්ෂය ආශිර්වාදයේ වර්ෂයක් වනු ඇත.

(ගීතය අසන්න - ශ්‍රව්‍ය දෘෂය)


jesustoday 45 සතිය 2018 ජනවාරි 07