ඉරුදින සුපුවත
ආගමන සමයේ හතරවන ඉරුදින

2 සාමුවෙල්      7/1-6, 8-11

ලුක්              1/26-33

රෝම            16/25-27

 

අහස පුරා වැසුනු අඳුරු කඩ තුරාව ඉරා
පෑයු මහා තාරකායාණෝ
ගොපලු ලොවක් කරා පිරිනු
තේජ සිරිය දරා මංගල සුපුවත පෑවාණෝ

සීතලයට බිම හෙළනා
රෙදි කඩ ඇයි අඬන්නේ
නුඹ නරකයි කැතයි ගඳයි
කවුද නුඹට කියන්නේ

රජ මැදුරේ සිටු මැදුරේ
දොර මොනවද දොඩන්නේ
ගොපලු ලොවට පායන දේ
නැද්ද නුඹට පෙනෙන්නේ

 ජේසු තුමන්ගේ උපත දාවිත්ගේ රාජ වංශය හා බැදුනු පැරණි ගිවිසුමේ අනාගත සාම රජාණන්ගේ පැමිණීම හා සමපාතව තේරුම් ගැනීම විසින් ජුදා ජනතාව අතර ඇති     වුයේ වියවුලකි.
 ඊට හේතුව වන්නේ දේව රාජ්‍යයේ රජකම හා පවතින රාජ්‍යයේ රජකම අතර වෙනස හඳුනා ගැනීමේ ගැටළුවයි. ජුදාවරු තම රජුව කුරුසියේ ඇණ ගසන්නේ ඒ නිසාය.
 අද පළමු කියවීම පවසන්නේ දාවිත්ගේ රජ වංශයද, සිංහාසනයද සඳහටම පිහිටුවන බවය. එය අප තේරුම්ගත යුත්තේ පවතින අර්ථයෙන් නොවේ. දෙවියන්ගේ             අරුතෙනි.

දේව අර්ථය අනුව,

“සමිඳාණන් පමණක් සඳහටම රජකම් කරනු ලබයි”
ඒ අනුව සමිඳුන් රජකම් කරන ලෝකයක් පවත්වාගෙන යාම මිස මේ ලෝකයේ රාජ වංශයක් පවත්වා ගැනීම සමිදු අභිමතය නොවේ.
 තණ බිම් වලද, බැටළුවන් පසු පසද යමින් සිටි දාවිත් නම් එඬේර කොල්ලා රජකම වෙත ගෙන ආවේ දෙවිඳුන්ගේ සැලැස්ම උදෙසාය. එහෙත් දාවිත් තම පුතුව               රජකමට  පත් කරමින් සිදු කළේ සමිදුන්ගේ රජකම් කරන ලොවක් වෙනුවට තම වංශය රජකම් කරන ලෝකයක් සෑදීමයි. දේව අභිමතයට පිටුපෑමයි.
 දාවිත්ව තෝරාගත්තා සේම ජේසුගේ මව වීමට මරිය තුමියව තෝරා ගත්තේ සමාජ සම්මතයට පිටතිනි. ගලීලයේ සාමාන්‍ය ගැමි දියණියකි ඇය.
 ඒ නිසාම ඇය දේව දූතයාගේ ආචාරය ඉදිරියේ කැළඹිල්ලට පත් වේ.
 ඇය ඒ පිළිබඳ කල්පනා කරන්නීය. ප්‍රශ්න කරන්නීය.
 දේව කැමැත්ත පහසු දෙයක් නොවේ. එය තේරුම් ගැනීම මෙන්ම එයට නතු වීමද, පහසු දෙයක් නොවේ. දාවිත් ඒ කැමැත්ත නිසි පරිදි තේරුම් නොගත්ත නමුත්           මරියාවන් එය නිසි පරිදි තේරුම් ගත්තාය. “මහ නරපතින් සිහසුන් වලින් පහත හෙළ දිනයක් උසස් කරන” රාජකීය බව තම පුතුගේ රාජකීය බව ඕ හඳුනාගන්නීය.
 ඊශ්‍රායල් ජනයාට නොව සකල ජනයාට ගැලවීම සලසන දේව රාජ්‍ය උදෙසා තම පුතු සමඟ ඕ තුමිය කැපවූයේ ඒ නිසාය.
 පාවුළු තුමා රෝම වරුන්ට ප්‍රකාශ කරන්නේ ඒ සත්‍යයි. “එය සකල ජාතින්ට ප්‍රකාශ කොට ඇත”
 නත්තල යනු හුදු ස්විටි ජීසස්ගේ බර්ත් ඬේ පාටිය නොව දේව රාජ්‍ය සකල ජාතින්ට විවර කරන මේ ලෝකයේ රජකමට සපුරා වෙනස් වු රාජකීය මෙහෙවර ඉටුකරන       සේවක රජුගේ උපතයි.

අපි මොහොතක් නිහඬව ගත කරමු.

 අපි අද රෑ, හෙට දිනයේ සිදු කරන්නට යන්නේ මොනවාද ?

තවත් එක් පුරුදු වැඩ ටිකක්ද?

එසේ නැත්නම් දේව රාජය ගොඩනඟන්න උදව් වන යම් ක්‍රියාදාමයක් ද ?

 

Comments powered by CComment