"අද පවත්නා ගෝලියකරණය වු ආර්ථීකයේ යන්ත්‍රයන් මගින් පණ පොවනු ලැබෙන මනුෂ්‍යයා පිළිබඳ වු පාරිභෝජන දැක්මත්, සමස්ථ මානව වර්ගයාගේ උරුමය වු සංස්කෘතියේ අපරිමිත විවිධත්වය හීන කරමින් එය සමතලා කිරිමේ බලපෑමක් සංස්කෘතිය මත ඇති කරයි."

 

වේ ප්‍රශංසා විශ්ව ලේඛනය විමසුමක් 1

ප්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ වේ ප්‍රශංසා විශ්ව ලේඛනයේ ඇතුලත් පරිසර විෂයේදි ශ්‍රී ලංකාව තුලත් විශේෂයෙන් ලාංකේය කිතුනු ජනතාව තුලත් එතරම් කතා බහට ලක් නොවන කරුණු කාරණා කීපයක් විමසීමට මෙම ලිපි පෙළෙන් අදහස් කරයි.

මෙවර අපගේ අවධානය යොමුවන්නේ විශ්ව ලේඛනයේ හතරවන පරිච්ඡේදයේ II වන මාතෘකාව ගැනයි. එය නම් කොට ඇත්තේ සංස්කෘතික පරිසරවේදය නමිනි.
පාප් තුමන් මෙම මාතෘකාව ආරම්භ කරන්නේ මෙසේය. "ස්වභාව ධර්මයේ පිය උරුමයන් සමඟම ඒ හා සමානව තර්ජනයට ලක් වී ඇති ඓතිහාසික, කලාත්මක හා සංස්කෘතික ප්‍රවේණියක් ද වෙයි. මේ ප්‍රවේණිය එක් එක් ස්ථානය බෙදා ගන්නාවු අනන්‍යතාවයේ කොටසක් ද වේ."

පාප් තුමන් මේ මාතෘකාව මගින් පිවිසෙන්නේ පරිසරවේදය බරපතල රැඩිකල් අස්ථානයකට රැගෙන යාමටයි. පසුගිය කාලයේ අපරට තුල ද ජෛව විවිධත්වය රැකීමට මහා පරිමාණයෙන් කතා කල බොහෝ දෙනෙකු මේ රටේ ප්‍රමාණයෙන් කුඩා ජාතින්ගේ සංස්කෘතික විවිධත්වයට එරෙහිව ජාතිවාදයේ අවිය ලෙල වු හැටි අපි දුටිමු. පාප් තුමන් පවසන්නේ සංස්කෘතික විවිධත්වයක් සුරැකීම හා බැඳුනු පරිසරවේදයක් නොමැති නම් එය ව්‍යාජයක් බවයි.

අප රටේ කිතුනුවන් අතර ද පරිසරය ගැන කතා කල බොහෝ දෙනා තුල ජාතිවාදයේ විෂ රැඳි තිබෙනු දැකිය හැකිවිය. ජාතිවාදින්ට සැබැ පරිසරවේදින් විය නොහැකිය. යුධ සමයේ උතුරේ සිදුවු පරිසර විනාශය මෙරට බොහෝ පරිසරවේදින්ට පෙනුනේ නැත්තේ මේ නිසාය.

ජෛව විවිධත්වය සේම සංස්කෘතික විවිධත්වය භාෂා විවිධත්වය ප්‍රාදේශිය විවිධත්වය වටිනා සම්පතකි. එකි විවිධත්වයන් තුළම එකි අනන්‍යතා තුළම සොබාදහම රැකීමේ ගුණයද අනතර්ගත වේ.

ගෝලීයකරණ ක්‍රියාවලිය පරිසරය සමතලා කර දමනවා මෙන්ම සංස්කෘතික විවිධත්වය ද සමතලා කරන බව පාප් තුමන් පෙන්වා දෙයි.

"අද පවත්නා ගෝලියකරණය වු ආර්ථීකයේ යන්ත්‍රයන් මගින් පණ පොවනු ලැබෙන මනුෂ්‍යයා පිළිබඳ වු පාරිභෝජන දැක්මත්, සමස්ථ මානව වර්ගයාගේ උරුමය වු සංස්කෘතියේ අපරිමිත විවිධත්වය හීන කරමින් එය සමතලා කිරිමේ බලපෑමක් සංස්කෘතිය මත ඇති කරයි."

සංස්කෘතික, ප්‍රදේශිය විවිධතා නොසලකා මධ්‍යගත රජයන් විසින් බලෙන් පටවන ව්‍යාපෘති තුලින් විනාශයක් කැන්දන බව එතුමා පෙන්වා දෙයි. ඕනැම සංවර්ධන කාර්්‍යයක් කිරිමේදි ඒ ප්‍රදේශයේ ඉතා කුඩා පිරිසකගේ වුව අදහස් සලකා බැලීම, අනන්‍යතා සලකා බැලීම මෙන්ම ඒවා රැකෙන ලෙෂ එකි කාර්යයන් සිදුවිය යුතුය.

ශ්‍රී ලංකාවේ උතුරේ ජනයාට ආර්ථික වර්ධනයක් අත්පත් කර දීම පමණක් සංහිදියාවට ප්‍රමාණවත් නොවන්නේද ඉහත සංස්කෘතිකරණය නොසලකා හරින බැවිනි.

ස්වදේශිය සංඝ, (ජන කොටස්, කන්ඩායම්)හා සංස්කෘතික සම්ප්‍රදායන් වෙත විශේෂ සැලකිල්ලක් දැක්වීම අනිවාර්ය විය යුතුය. ඔව්හු හුදෙක් අනෙක් අය අතර සිටින සුළුතරයක් පමණක් නොවි විශේෂයෙන් ඔවුන්ගේ දේශයට, ප්‍රදේශයට බලපාන මහාපරිමාණයේ ව්‍යාපෘතින් යෝජනා කරන කල්හි ඒ පිළිබඳව සංවාදයට කැඳවන ප්‍රාථමික පාර්ශවකරුවන් විය යුතුය. ඔවුනට තම දේශය, භූමිය, ප්‍රදේශය වෙළඳ භාණ්ඩයක් නොව දෙවිදුන්ගෙන් හා එහි සැතපෙන තම මුතුන් මිත්තගෙන් තමන් ලද ත්‍යාගයකි.

ශ්‍රී ලංකාව පසුගිය දශක කීපය තුල සිදු කරන සංවර්ධන ව්‍යාපෘතිවලදි මේ යථාර්ථය මුළුමතින්ම අමතක කර දමා නැතිද?

jesustodaysl 2 වන වසර 25 වන සතිය 2018 අගෝස්තු 26

Comments powered by CComment