ජලය මැවීම ගැන දෙවිඳුන්ට තුති දෙන අතර ජලය අපගේ අවධානයෙන් ගිලිහී යා නම්, පොළව ගැන දෙවිඳුන්ට තුති දෙන අතර පොළව අපගේ අවධානයෙන් ගිලිහි යා නම් අප ගැඹුරු ආධ්‍යාත්මික අර්බුදයකට මුහුණ පා සිටිමු. සොබාදහම ගැන දෙවිඳුන්ට ප්‍රශංසා කරමින්, තුති දෙමින් සිටින අතර සොබාදහම දිනෙන් දින විනාශ වේ නම් අපගේ ප්‍රශංසා ගීත දේව අපහාස ගීත වීම වැලැක්විය නොහැකිය.

සොබාදහම, පරිසරය, මැවිල්ල පිළිබඳ සම්ප්‍රදායික කිතුනු ව්‍යවහාරයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ මැවිල්ල ගැන දෙවිදුන්ට ප්‍රශංසා කිරීමයි. බොහෝ කිතුනුවන් පැකිලිමකින් තොරව මැවිල්ල ගැන මැවුම්කරුවාණන් වන දෙවිඳුන්ට ප්‍රශංසා කරති. ස්තූති කරති. ශුද්ධ වු බයිබලය තුළ එවන් ප්‍රශංසා ගීත රාශියක් දැක ගත හැකිය.

ගීතාවලියේ 104 වන ගීතය නම් කර අත්තේම “මැවුම්කරුට ප්‍රශංසාවක් ” යනුවෙනි.

මාගේ සිත, සමිඳුන් පසසන්න.
මාගේ දෙවි සමිඳුනී,
ඔබ ඉතා උතුම් ය.
ඔබ තෙද මහිමයෙන්
සැරසී සිටින සේක.
ඔබ ආලෝකය නැමැති වස්ත්‍රය
හැඳ පැළඳ සිටින සේක;
වියනක් මෙන්
අහස විහිදාලන සේක.
ඔබේ මාලිගාව
ඉහළ දිය කඳ මත
පිහිටුවන සේක.

ඉහත ගීතය හැරුණු විට සොබාදහම ගැන දෙවිඳුන් පසසන බොහෝ ගීත බයිබලයේ දැක්වේ. ඉඩකඩ පිරිමැසීම සලකා අප ඒවා මෙහි මුළුමනින් උපුටා නොදක්වමු.

බලන්න

"අහස් තලය දෙවි මහිමය ප්‍රකාශ කරන්නේය. ගුවන් තලය එතුමන්ගේ අත්කම් විදහා පාන්නේය" (ගීතාවලිය 19/1-6)

"පොළොව ඵලදාව බහුලව නිපදවිය දෙවිදාණෝ අපේ දෙවිදාණෝ අපට ආසිරි දුන් සේක". (ගීතාවලිය 67/6 )

සමිඳුන්ට ප්‍රශංසා කරන්න.......

"එතුමාණෝ දෙරණ සීමාවෙන් වලාකුළු නංවන සේක. වර්ෂාව සඳහා විදුලිය හට ගන්වන සේක." (ගීතාවලිය 135/7)

අසමසම මැවුම්කරුවාණෝ

"මුහුදේ ජලය අල්ලට ගන්නටත් අහසේ දිග වියතකින් මනින්නටත් කවරෙකුට හැකිද?" (යෙසායා 40/12-15)

"මුළු සක්වළින් සමිඳුන්ට පැසසුම්. සමිදුන් පසසන්න. ඉර හඳ මඩලෙහි සමිඳුන් පසසන්න." (ගීතාවලිය 148)

බලන්න

උපදේශකයා      16/24-26

උපදේශකයා      42/15 සිට 43/33 දක්වා

අප ඉහත උපුටා දක්වා ඇත්තේ මැවිල්ලේ මහිමයත් මැවුම්කරුවන් ගැනත් සඳහන් වන ප්‍රශංසාවන්ගෙන් ස්වල්පයකි.

මෙම පරිච්ඡේදයෙන් අප අවධානය යොමු කරන්නේ එම පැසසුම් හිත ගැන විග්‍රහයන් නොවේ. මැවිල්ල ගැන මැවුම්කරුවාණන්ට ප්‍රශංසා කර කිතුනුවන් සාතිශය බහුතරය මැවිල්ල ආරක්ෂා නොකරන්නේ මන්ද? මැවිල්ල ගැන දෙවිඳුන්ට තුති දෙන ඔවුන් මැවිල්ල දෙස ස්තූති පූර්වකව නොබලන්නේ මන්ද? මැවිල්ලට කෘතඥ වීම දෙවියන්ට කෘතඥවීමක් ලෙස නොදකින්නේ ඇයිද? යන කරුණු ගැන අවධානය යොමු කිරිමයි.

ආදි අනාදියේ සිට මැවිල්ල ගැන මැවුම්කරුට ප්‍රශංසා කළ ජනතාවක් මැවිල්ල විනාශ කිරිම මැවුම්කරුට එරෙහිවීමක් ලෙස නොසිතීම කවර නොමඟ යාමක්ද? මැවුම්කරුට ප්‍රශංසා කරන ජනතාවක් මැවිල්ල විනාශ කිරිමට දායකවීම, මැවිල්ල විනාශ කරන බලවේග ඉදිරියේ ශතවර්ෂ ගණනාවක් පුරා මාරාන්තික නිද්‍රාවක සිටීම කවර අධ්‍යාත්මිකත්වයද?

"දෙවි සමිඳුන් හට තුති දෙව, ජලය මැව්වේ දෙවි තුමා” යැයි ගී ගයන කිතුනුවන්ට ජලය දූෂණය වීම ප්‍රශ්නයක් නොවන්නේ කෙසේද?"

"දෙවි සමිඳුන් හට තුති දෙව, පොළව මැව්වේ දෙව් තුමා” යැයි ගී ගයන කිතුනුවන්ට පොළව දූෂණය වීම ප්‍රශ්නයක් නොවන්නේ කෙසේද?"

"දෙවි සමිඳුන් හට තුති දේව අහස මැව්වේ දෙවි තුමා’ යැයි ගී ගයන කිතුනුවන්ට වායු දූෂණය ප්‍රශ්නයක් නොවන්නේ කෙසේද?"

ජලය මැවීම ගැන දෙවිඳුන්ට තුති දෙන අතර ජලය අපගේ අවධානයෙන් ගිලිහී යා නම්, පොළව ගැන දෙවිඳුන්ට තුති දෙන අතර පොළව අපගේ අවධානයෙන් ගිලිහි යා නම් අප ගැඹුරු ආධ්‍යාත්මික අර්බුදයකට මුහුණ පා සිටිමු. සොබාදහම ගැන දෙවිඳුන්ට ප්‍රශංසා කරමින්, තුති දෙමින් සිටින අතර සොබාදහම දිනෙන් දින විනාශ වේ නම් අපගේ ප්‍රශංසා ගීත දේව අපහාස ගීත වීම වැලැක්විය නොහැකිය.

මැවුම්කරුට මැවිල්ල ගැන කළ හැකි ඉහළම ප්‍රශංසා ගීතය වන්නේ, ඉහළම තුති ගීතය වන්නේ මැවිල්ල ආරක්ෂා කිරිමට කැපවීමයි. මැවිල්ල සුරකින ආධ්‍යාත්මිකත්වයක් ගොඩනගා ගැනීමයි.

ජල සම්පත සුරකිමු       අපි
ජලය මැව්වේ දෙවි       තුමා
පොළෝ තලය සුරකිමු    අපි
පොළව මැව්වේ දෙවි     තුමා
අහස්තලය සුරකිමු        අපි
අහස මැව්වේ දෙවි       තුමා

යනුවෙන් සිතමින් අදහමින් ක්‍රියා කරන ජනතාවක් බවට කිතුනුවන් පත්විය යුතුය.

මැවිල්ල ගැන කිතුනු චින්තනය විශ්වාසන්තරවාදි ප්‍රවේශයක් වෙත රැගෙන යාම අද අත්‍යාවශ්‍යය. මැවිල්ල පිළිබඳ දැක්ම මිනිස් මනසින් පෘථිවී මනසින් ඔබ්බට විශ්ව මනසක් දක්වා රැගෙන යා යුතුය. මැවුම්කරුට කළ හැකි ඉහළම ප්‍රශංසාව වන්නේ එයයි.

ඉතා පැරණි යුගවලදි මිනිසුන් වී විශ්ව මනස විවෘතව සිටියේ නැතත් මානව කේන්ද්‍රිය වු මිනිස් මනසට වඩා ඉදිරියෙන් සිටි බව පෙනී යනවා. ඔවුන් සොබාදහමට ගහකොළට සියළු ද්‍රවයන්ට ජීවයක් තිබෙන බව දුටුවා. විශේෂයෙන් පෙරදිග ඒ චින්තනය තිබුණ වේද කාව්‍යවලදි ඔවුන් ද්‍රවය පවා පෞරාණික දේ ලෙස ඇමතුවා. තමන් පාවිච්චි කරන ද්‍රවය පවා පූජනීය ලෙස සැලකුවා. ඒවාට ගරු කළා. බටහිර මානව වාදය වාණිජවාදය ධනවාදය සමඟ ඉදිරියට ඇවිත් ඒ චින්තනය මොට කළ බව පෙනී යනවා. ඒ නිසා තමයි මැවිල්ල විනාශ කරමින් මැවුම්කරුට ප්‍රශංසා කරන චින්තනය බිහිවුනේ.

දැන් අපට අවශ්‍ය වන්නේ ඒ පටු මනසින් මිදි මානව කේන්ද්‍රිය මනස වෙනුවට පෘථිවි මනසක් හා ඉන් එහාට යමින් විශ්ව මනසක් ගොඩනැගිමයි. මේ මහා විශ්වයේ අපගේ නවාතැන පාථිවියයි. අවම වශයෙන් අප පෘථිවි වාසියන් ලෙස සිතිය යුතුය.

අද වන විට විද්වතුන් පවසන්නේ වී තිබෙන්නේ විශ්වය තුළ අප පෘථිවිය පිහිටන මන්දාකිණිය වැනි ගැලැක්සි මිලියව ගණනක් පවතින බවයි. විශ්වය තුළ අපේ මන්දාකිණිය අංශූවකි. අපේ සූර්යා ඊටත් වඩා අංශූවකි. අපේ පෘථිවිය සූර්යා මෙන් තුන් ලක්ෂ වාරයක් කුඩා අංශූවකි. මිනිස් අප පෘථිවිය හා සමඟ සැසදීමේදි කොතරම් කුඩා අංශුවක්ද?

විශ්විය මනසකින් මැවිල්ල දෙස බලන විට අපට ඇත්තේ විශ්වය නම් ඉමක් කොනක් නොපෙනෙන මහා පවුලේ නෑදෑකමකි. මැවුම්කරුවා පැසසීමේදි අපගේ ප්‍රශංසා ගීත අතිශය දුප්පත්ය. විශ්ව මනසකින් යුතු මිනිසුන් ලෙස අප නැවත උපදිනතාක් කල් අපට සැබැ ලෙස මැවුම්කරු පැසසිය නොහැකිය.

jesustodaysl 2 වන වසර 24 වන සතිය 2018 අගෝස්තු 19

Comments powered by CComment