කිතු උපත සොබාදහමේ මංගල්‍යයි කිව හැකි තරමට ක්‍රිස්තු උප්පත්තිය සමඟ සොබාදහම බද්ධ වී තිබෙනවා. උඳුවප් මාසයේදි ගලා එන වැහිබර සීතල සමඟ සොබාදහම නත්තල ගැන අපට මතක් කර දෙන බවක් නැඟේ.

නත්තලේ සංස්කෘතිය තුළ සොබාදහමේ අපුරු චමත්කාරය ගැබ් වු බවක් දකින්නට පුළුවන්. මා මේ ලිපියෙන් මතු කරන්නට අත්සහ කරන්නේ කිතු උපත හා සම්බන්ධ සුපුවත වු ‘සාමය හා යුක්තියට’ මැවිල්ලේ පූර්ණත්වය ද ඇතුළත් වූවක් බවයි.

ක්‍රිස්තියානියේ ගැලවීම පැහැදිලිවම පරිසරයේ පූර්ණත්වය අන්තර්ගත වූවකි. නත්තල් සමය යැයි අප අද සලකන සමය තුළ තිබෙන පාරිසරික අත්දැකිම තුළින් මා දකින්නේ කිතු උපත තුළ නව ශුද්ධත්වයක් ලබන පරිසයයි.

මාංශගතවීමේ අභිරහස සොබාදහමේ නියාමයයි.

“වචනය තෙම මාංශගත වුනේය. අප සමඟ ද වාසය කළේ”

කිතු උපත කිතුනුවා දකින්නේ දෙවිදුන් මිනිසත් බව ගැනීම ලෙසයි. දෙවිඳුන් ඉතිහාසයේ දවසක මේ මහා පොළොව තුළ ලේ ඇට මස් නහර ලබමින් මහා පොළවේ පුත්‍රයකු බවත පත් විය. එමඟින් උන්වහන්සේ මිනිසාට මිනිසුන් ලෙසම ගැළවීමේ මඟට පිවිසීමට මාවත විවෘත කර දුන්නේය.

පොළොව හා බද්ධ නොවුනුණු විට කිසිවකුට පැවැත්මක් නොමැත. එක් එක් ප්‍රදේශයට එක් එක් දේශයට ගැළපෙන සේ පැවතීම සොබාදහමේ නීතියයි. සොබාදහමට අදාළ නීතිය බිඳ වැටෙන විට මානව වර්ගයාගේත් මුළු විශ්වයේත් පැවැත්ම බිඳ වැටෙයි.

අද ලොව පුරා පවතින පාරිසරික අර්බුදය මාංශගතවීමේ සත්‍යතාවය අමතක කිරීමේ ප්‍රතිඵලයකැයි අපට දැකිය හැක. එම නිසාම නත්තලේ සතුටට එක්වීමට අපට හැකිවන්නේ මේ පාරිසරික අර්බුදය විසඳීමට ක්‍රියාකාරි වන තරමටය. වෙන විදිහකින් කීවොත් පාරිසරික ප්‍රශ්න කෙරේ අනිවාර්ය සංවේදිතාවය නත්තල සැමරීමේ අනිවාර්ය අංගයක් විය යුතුමය. මාංශගත වු කිතු තුමන් අදහන සියල්ලෝ මැවිල්ලේ පූර්ණත්වයට දායක වීම තම කැඳවීම කරගත්තවුන් විය යුතුය.

ගැලවීම තුළ අඩංගු පරිසරය.

05

කිතු උපත යනු ගැලවීම පිළිබඳ බලාපොරොත්තුවයි. පැරණි ගිවිසුම පුරා ගැළවුම්කරුවාණන්, මෙසියස් පිළිබඳ බලාපොරොත්තුව බැඳී තිබුනේ ගැලවීම හෙවත් විමුක්තිය සමඟය.

ගැළවුම්කරුවාණන් තුළ මේ ලොව තුළ දි ලබන ගැලවීම පිළිබඳව කියැවී ඇති ශුද්ධ ලියැවිලි පාඨ මෙනෙහි කිරිමෙන් යුතුව කියවන කා හට වුවද ගැලවීම යන්නෙහි අනිවාර්ය අඩංගුවක් ලෙස සොබාදහමේ පූර්ණත්වය සහ මිනිසා සහ සොබාදහම අතර සංහිඳියාව අවධාරණය කෙරි ඇති බව පෙනී යනු ඇත.

මෙම ලිපිය සඳහා වන සීමිත ඉඩකඩ සලකා මා මෙහිදි ආගමන කාලයට අදාළ පළමු කියැවීම් කිහිපයකින් උපුටා ගත් කොටස් කිහිපයක් පමණක් ගෙනහැර දක්වන නමුත් මේ කාරණය ගැඹුරින් වටහා ගනු රිසි අයට එම ශුද්ධ ලියැවිලි පාඨ සියල්ල මෙනෙහි කරන ලෙස ඇරයුම් කරමි.

පැරණි ගිනිසුමේ ජනතාව දේව අනාවරණය කළ තේරුම් ගත් ගැලවීම ලේ ඇට මස් නහර සහිත මිනිසුන්ට පිරිපුන් දිවියක් ගත කරන්නට අවශ්‍ය සියළු ආශිර්වාදයත් පමණක් නොව සොබාදහමේ සියලු දේ වල නව පිරිපුන්බවයක් ද වේ.

අනාගත ගැලවීම පිළිබඳ පැරණි ගිවිසුමේ ශුද්ධ ලියැවිලි පාඨ කීපයක කොටස් පහත දැක්වේ.

“වනය ද වියළි දේශය ද ප්‍රීති වන්නෝය. කාන්තාරය ප්‍රීතිමත් වී සෙව්වන්දි මෙන් මල් දරන්නේය. එය ප්‍රීතියෙන් හඬ නඟන්නේය. ලෙබනොන් කන්ද මෙන් එය පියකරු වන්නේය. තර්මෙල් හා ශාරොන් කෙත් මෙන් සාරවත් වන්නේය. සමිඳුන්ගේ තේජාලංකාරය ද එතුමන්ගේ බල මහිමය ද සියල්ලෝ දකින්නෝය.

අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේය. බිහිරන්ගේ කන් ඇරෙන්නේය. කොර අය මුවන් මෙන් දුව පනින්නෝය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේය. මරු කතරෙන් ඇල දොලවල් බිඳී එන්නේය. මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි” (යෙසායා 35/5-7)

ස්වාමින් වන මම දවාලත් රාත්‍රියත් සමඟ ද අහසත් පොළවත් මෙහෙයවන නීතිරීති සමඟ ද ගිවිසුමක් පිහිටුවයි. මා එය ස්ථීර කළාක් මෙන් ජාකොබ්ගේ පරපුර සමඟත් මාගේ මෙහෙකාර වු දාවිත් සමඟත් කළ ගිවිසුම මම නොකඩවා ස්ථීරව පවත්වන්නෙමි. ආබ්‍රහම්ගෙන් ද ඊසාක්ගෙන්ද ජාකොබ්ගෙන්ද පැවත එන්නන් කෙරෙහි රජකම් කරන පිණිස දාවිත්ගේ පරපුරෙන් කෙනෙකු මම තෝරා ගතිමි. (ජෙරමියා 32/25-26)

“ඔබ බීජ වැපුරූ කල ඒවා වැඩෙන පිණිස ස්වර්ගයෙන් වර්ෂාව එවන සේක....” (යෙසායා 30/23)

“දේව අණට එකඟව වන රොද හා සෑම සුවඳ කුසුම් ගසුත් ඊශ්‍රායෙල් ජනයාට නව සෙවන දෙනු ඇත” (බාරුක් 5/8)

“සකල මිනිස් වර්ගයා තළ කොණ හා සමාන වෙති. ඔහුගේ සුන්දරතාව වන මල් මෙන් පහව යති” (යෙසායා 40/6)

“එවිට මම ඉශ්රායෙල් සෙනඟ වෙනුවෙන් වන සතුන් ද අහසේ පක්ෂීන් ද බිම බඩගා යන සතුන් ද සමඟ ගිවිසුමක් කරන්නෙමි” (යෙසායා 2/18)

මේ පාඨ කීපය තුළින් වුව ගැළවුම්කරුවාණන් තුළින් ප්‍රකාශ වෙන හෙවත් කිතු උපත තුළින් මතු කෙරෙන ගැලවීම යන්නෙහි අනිවාර්ය කොටසක් වන්නේ සොබාදහම සමඟ වන සහජීවනය සංහිඳියාව බව පෙනී යයි. ඒ නිසාය මා ඉහතින් පැවසුවේ නත්තලේ සුපුවත වන සාධාරණත්වය, සාමය, යුක්තිය යන්නට සොබාදහමේ පූර්ණත්වයද අයත් කියා...

 මිනිසා කේන්ද්‍රියව සිතීම නත්තලේ සුපුවතට විරුද්ධය.

06

කිතු උපත හා පරිසරය පිළිබඳ කථා කිරිමේදි පරිසරය පිළිබඳ සමස්ත කිතුනු දැක්ම පිළිබඳ මූලික ප්‍රශ්නයක් ගැනද බිඳක් කථා කිරීම අවශ්‍යව ඇත. එය කථා නොකිරීම සාමාන්‍ය කිතුනු විශ්වාසිකයාව පටළැවිල්ලකට පත් කිරිමක් වනු ඇත.

සාමාන්‍යයෙන් බොහෝ කිතුනුවන්ගේ අදහසක් වන්නේ මිනිසා මැවිල්ලේ ස්වාමියා එහෙමත් නැත්නම් පාලකයා බවයි. මිනිසාට තිබෙන ප්‍රයෝජනය අනුව මැවිල්ලේ අනික් ඒවාට වටිනාකමක් ඇති බවයි. එසේත් නැත්නම් මැවිල්ල ඇත්තේ මිනිසාගේ භුක්ති විඳීම සඳහා බවයි. මෙයට වඩා ටිකක් ඉදිරියට ගිය කිතුනුවන්ගේ මතය වන්නේ ද මිනිසා සොබාදහමේ භාරකරු බවයි. නමුත් මේ අදහස් දෙකම මිනිසා කේන්ද්‍ර කරගෙන බිහි වු ආත්මාර්ථකාමි අදහස් වේ.

අද බොහෝ දෙනා පරිසරය පිළිබඳ කිතුනු දැක්ම ලෙස හඟින්නේ ද එය බව පෙනී යයි. සැබැවින්ම මෙය බටහිර ධනවාදි වාණිජවාදි කාර්මික සමාජයට ගැළපෙන පරිදි බටහිර දේව ධාර්මික චින්තකයින් ඉදිරියට ගෙන ආ අදහසක් මිස පෙරදිග බිහි වු කිතු දහමේ හැබෑ මූලික හරය විය නොහැකි බව ඉහත ශුද්ධ ලියැවිලි පාඨ ඔස්සේ වුවද මෙනෙහි කරන විට ඔබට පෙනී යනු ඇත.

සැබෑ කිතු දහම තුළ මිනිස් ජීවිතයට ඇති ගරුත්වය ලොකු කුඩා සෑම මැවිල්ලකටම ඇති බව ප්‍රකාශ වේ. ගැලවුම්කාර කිතු තුමන් තුළ අපේක්ෂිත ගැලවීම සොබාදහම ද මිනිසාට ද ඇතුළු සමස්ත මැවිල්ලේම පූර්ණත්වයත්, පාරිශුද්ධත්වයත් බව ප්‍රකාශ වෙන නිසා හැබෑ දෙව් දහම මානවයා මැවිල්ලේ ස්වාමියා හෝ කේන්ද්‍රය යන බටහිර දේව ධර්මය විසින් ගොඩනගන ලද ප්‍රවාද ඉක්මවා යයි.

විශ්වීය විමුක්තිය හා පරිසරය

නත්තලේ උපන් පුතු ගෙනෙන විශ්වීය විමුක්තිය. මිනිසා හා මිනිසා අතරත් මිනිසා හා දෙවියන් අතරත් ඇති වන සහජීවනයක් පමණක් නොවේ. එය මිනිසා හා සොබාදහම අතරත් ඇති වන සහජීවනයකින් ද යුක්ත වන්නකි.

පාපයේ ප්‍රතිඵලය වන්නේ මිනිසා මිනිසාගෙන්ද මිනිසා දෙවියන්ගෙන්ද වෙන්වීම පමණක් නොවේ. මිනිසා සොබාදහමින්ද වෙන්වීමයි.

නත්තලේ ගැඹුරු පණිවුඩය ගවලෙන තාරකාව, සීත සුළං රැළි නොවේ, පූර්ණ විමුක්තිය අත්කර දෙන ‘ආදරයයි’ එම ආදරය මිනිසා දෙවියන් සොබාදහම අතර පැවැතිය යුතු ගැඹුරු සහජීවනයයි. එය ජීවිතේ පැවැත්මයි. පැවැත්මේ මාදිලියයි. එම ආදරය නම් සොබාදහමේ මැවිල්ලේ (මිනිසා ද ඇතුළු) නීතියයි. එනම් දීම ලබා ගැනීම හා බෙදා ගැනීමයි.

මේ ආදරයේ පැවැත්ම වඩාත් නිවැරදිව ජීව ගැන්වෙන්නේ සොබාදහම තුළ බව මඳක් අවදිව සොබාදහම දෙස බැලුවිට පෙනී යයි. මිනිසා එය තේරුම්ගෙන නැතිවා වාගෙයි. මන්ද මෙම ආදරයේ දම්වැල් බිඳ දමන්නේ ප්‍රධාන කොට මිනිසා විසින් වීමයි.

සාමය තුළ සොබා දහම

ඉහතින් උපුටා දැක් වු ශුද්ධ ලියවිලි පාඨවලට අමතරව තවත් එක් පාඨයක කිතු උපත තුළින් හැඟවෙන විමුක්තිය, සාමය දැක්වෙන්නේ මෙහෙමයි.

“වෘකයා බැටළුවා සමඟ වාසය කරන්නේය. දිවියා එළු පැටියා සමඟ ලඟින්නේය. සිංහ පැටියා ද වහු පැටියා ද එකට කෑම කන්නෝය. කුඩා දරුවෙක් උන් ගෙනයන්නේය. එළදෙන වළසා සමඟ එක්ව තණ කන්නෝය. උන්ගේ පැටව් එකට ලඟින්නෝය. සිංහයා හරහා මෙන් පිදුරු කන්නේය. කිරි දරුවා නාගයාගේ තුඹස පිට සෙල්ලම් කරන්නේය. සිඟිති දරුවා පොළඟාගේ ගුල පිට අත් තබන්නේය. ස්වාමින්වහන්සෙගේ ශුද්ධ කන්දේ සීමාව තුල කිසි නපුරක්වත් අනතුරක්වත් නොවන්නේය” (යෙසායා 11/1,6:9)

මෙම පාඨය තුළ කරුණු කීපයක් පැහැදිලි වන බව අප තේරුම් ගත යුතුය. දේව රාජ්‍ය තුළ සාමය යනු මුළු මැවිල්ලටම අදාළ වන්නක් බව ඉන් පළමු වැන්නයි. මේ පාඨය තුළ මිනිස් දරුවා ද අන් මැවිලි අතර එක් මැවිල්ලක් පමණි. එමඟීන් සෑම ජීවියෙකුටම සෑම දෙයකටම මැවිල්ල තුළ ස්වකීය වු වටිනාමක් ඇති බවත්, මිනිසාත් සොබාදහමේ තවත් පුරකක් පමණක් බවත් පැහැදිළි කරයි.

එසේම ‘සිංහයා පවා තණ කොළ කන්නේය’ යනුවෙන් හඟවන්නේ දේව රාජ්‍ය ආහාරය සඳහා වුව තව එකකුගේ ලේ වැගිරිමක් නොවන තරමේ සාමකාමි එකක් බවයි. එකිනෙකා මරා කන සතුන් අතර පවා සහජීවනයක් මගින් අරුත් ගන්වන්නේ ගැඹුරු අහිංසාවාදි ප්‍රේමාන්විත පැවැත්මක් පිළිබඳවයි. මෙය අතිශයෝක්තියක් ලෙස පෙනී යා හැකි නමුත් එයින් මතු කරන දැක්ම අප පිළිගත යුතුව ඇත.

ප්‍රායෝගිකව නත්තලේදි

නත්තල් සමය යනු බොහෝ කිතුනු ප්‍රදේශවල ඌරන්ගේ කුකුළන්ගේ මරළතෝනි ඇසෙන සමයකි. ඒ සතුන්ගේ කෑ ගැසිම් මඟින් බිඳ වැටෙන මැවීමේ සාමකාමි බව පිළිබඳ සංවේදිතාවයක් අපට ඇත්දැයි සැක සහිතය. මාංශ අනුභවය පවතින යථාර්ථය තුළ නත්තලේ සුපුවතට කොන්දේසි විරහිතව සපුරා විරුද්ධ බවක් ලියුම්කරු අදහස් නොකර නමුත් නත්තලේ ප්‍රීතිය සඳහා ලොව පුරා ඝාතනයට ලක්වන සතුන් දස ලක්ෂ ගණන පිළිබඳව පවතින අසංවේදිභාය පිළිබඳව කිතුනු ලෝකය හිතා බැලිය යුතු බව ලියුම්කරුගේ අදහසයයි.

නත්තල් ගස පිලිබඳ කාරණය නිසා නත්තලේ නාමයෙන් සෑම වසරකම කැපෙන ගස් අතු ප්‍රමාණය ගැන ද පැහැදිලි සිතා බැලිය යුතුය. සුළුතර කිතුනු පිරිසක් සිටියත් අප රට තුළ ද බටහිර හා වයඹ වෙරළ තීරුවේ ප්‍රදේශවලට නත්තල් සමයේදි ප්‍රවහනය කරන සයිප්‍රස් වැනි අතු ප්‍රමාණය සුළු පටු නොවේ. ඒ සඳහා මුළුමනින්ම ගස් විනාශ නොවුවත් මෙලෙස අතු කපා දැමීම වෙනුවට අවශ්‍ය නම් විකල්ප ලෙස මල් පෝච්චියක වවාගත් ගසක් භාවිතා කළ හැකිය. නත්තලේ අසිරිය හා සොබාදහම ඉතා කිට්ටුවෙන් බැඳී ඇති නිසා වඩාත් අරුත්බර වන්නේ සොබාදහම කිසියම් ලෙසකින් හෝ නොරිදවා එය සමරන්නේ නම් ය.

මෙවර 2017 නත්තල් සමය ඇරඹීමත් සමඟම එංගලන්තයේ සත්ව අයිතිවාසිකම් සංවිධාන පිනිමුවන් නත්තලේ විවිධ අංගවලට යොදා ගැනීම වළක්වන ලෙස උද්ඝෝෂණයක් දියත් කර තිබුණි.

පිනි මුවන් හා ඔටුවන් බලහත්කාරයෙන් නත්තල් සැණකෙළිය සඳහා යොදා ගැනීම අශෝභන හා හිංසාකාරි දෙයක් බව එම සංවිධාන පෙන්වා දී ඇත.

අවසාන වශයෙන්

පරිසරය පිළිබඳව සමස්ත කිතුනු ජනතාවගේ අවධානය ප්‍රමාණවත් නොවන යථාර්ථයක් තුළ විශේෂයෙන් ඒ පරිසරය පිළිබඳ දෙව් දහමක් යන්න ආගන්තුක ශ්‍රී ලාංකික කිතුනු ප්‍රජාවට ‘නත්තල හා සොබාදහම’ පිළිබඳ මෙම අදහස් දැක්වීම අළුත් එකක් වන්නට පුළුවන. (වඩාත් ප්‍රගතිශීලි වු දෙවන වතිකානු කතිකාවේදි පවා අවධානයට යොමු නොවන තරමට පරිසරය පිළිබඳ කාරණය ගැන කිතුනු ප්‍රජාවේ සංවේදි බව මද බව අපි පිළිගත යුතුය)

එහෙත්, අදින් වසර පන්දහකට පවා එපිටින් වුවද බයිබලීය ජනතාවට එය තමන්ගේ පැවැත්මේ අනිවාර්ය අංගයක් වී තිබුණු බව පැහැදිළිය.

එම නිසා කිතු උපත තුළින් මතු කරන සාමයට අදාළ ප්‍රාර්ථනය තුළ මැවිල්ලේ සාමකාමි බව ද ඇතුළත් බව අපි දකිමු. ඒ ගැන අවදි වෙමු.

“මිහි මත දේව ප්‍රසාදය ලත් ජනයා අතර සාමය වේවායි” යි යන නත්තල් පැසසුම් ගීය සමඟ පතන සාමය සැබෑ අත්දැකීමක් වනු සඳහා පරිසරය පිළිබඳව කැපවීමට මෙවර නත්තලේදි ජේසු තුමන් ඉදිරියේ අපි යොමු වෙමු.

1991 දී පැවැති කිතුනු සභාවන්ගේ සමුළුවේදි ප්‍රකාශ වු පරිදි ‘සාමය වේවා’ ‘ෂාලොම්’ යන වචනයෙන් යුක්තියේ සාමයේ හා මැවිල්ලේ පූර්ණත්වයේ ත්‍යාගයන් හා ඒවායේ අන්තර්ගත සම්බන්ධතාවයන්ගේ සහජීවනයේ පැවැත්ම ප්‍රකාශ වන බව අපි දැක ගනිමු.

සොබාදහමේ සහජීවනයට කැපවන නත්තලක් වේවා.

jesustoday 42 සතිය 2017 දෙසැම්බර් 17

 

Comments powered by CComment