තවමත් පෝට් සිටියට (වරාය නගරයට) විරුද්ධව යම් පිරිසක් විවිධ විරෝධතා දක්වමින් සිටිති. ඒ පිරිසෙන් අතිමහත් බහුතරය මීගමුව ආශ්‍රීත කිතුනු ජනයාය. ඉනුන් වැඩි පිරිස ස්ත්‍රීන්ය.

නිල කතෝලික සභාව මුළුමනින්ම පෝට් සිටියට පක්ෂය. විරෝධතාවයට එක් නොවන ලෙස ඇතැම් කතෝලික පියවරු ජනයාට පවසමින් සිටින්නේ ඒ නිසාය.

හෘද සාක්ෂියට විරුද්ධව සභාවේ සමාජ දර්ශනයට විරුද්ධව, ක්‍රිස්තු ඉගැන්වීමට විරුද්ධව මේ පිරිස ක්‍රියාකරන්නේ ඔවුන් ඒ කිසිවකට වඩා බලය, ධනය, නිලය මුල් කරගෙන ක්‍රියාකරන නිසාය. තේවත්ත බැසිලිකාවට චීනයේ මුදල් ලැබීමත්, ඇතැම් ධීවර සංවිධාන පෝට් සිටි සමාගමේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමත් මගින් මැවිල්ල විනාශ කරන දේ ඉදිරියේ මුනිවත රැකීමට ඔවුන්ට සිදු වී ඇත.

විරුද්ධ වීමට විරුද්ධ වන්නන්ගෙන් බොහෝ දෙනෙකු අසන ප්‍රශ්නය වන්නේ “විරුද්ධ වී ඇති ඵලය කුමක්ද ? දැන් එය හදනවා නේද” ? යන්නයි.

විරුද්ධ වීමට ඇති අයිතිය ජනතාවට තිබේ. පියවරු එයට වැට බැදිය යුතු නැත. කතෝලික සභාව තේරුම්ගත යුත්තේ තමන්ට පක්ෂ වීමට අයිතියක් ඇත්නම් ජනතාවට විරුද්ධව වීමට ද අයිතියක් ඇති බවයි.

වඩා වැදගත් වන්නේ තමන්ගේ කැමැත්ත නොව දේව කැමැත්තයි. ගරු පියවරු විමසා බැලිය යුත්තේ පරිසරය නසන සංවර්ධනය දේව කැමැත්තද ? යන්නයි. පෝට් සිටි විරෝධය ආරම්භයේදි අප විවෘත ලිපියකින් විමසු ප්‍රශ්නයට නිල සභාව කිසිදු පිළිතුරක් දුන්නේ නැත.

එනම් තේවත්ත බැසිලිකාවේ වහලය සඳහා තම රටේදි කතෝලිකයාට පීඩා කරන, මෙරටේදි ධීවර ජනතාව පීඩා කරන ව්‍යාපෘතියක් සිදු කරන චීන පෝට් සිටි සමාගමෙන් මුදල් ලබාගෙන නිහඬවීම ශුද්ධ වු බයිබලය අනුව හෝ ප්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ වේ ප්‍රශංසා විශ්ව ලෝඛනය අනුව සාධාරනිකරණය පෙන්වන ලෙසයි.

අවම වශයෙන් සභාව අවම ප්‍රජාතන්ත්‍රිවාදයට ගරු කිරීමට ක්‍රියා කළ යුතුය. පෝට් සිටි විරෝධි ජනයාට බලපෑම් කිරීමෙන් වැළකි සිටිය යුතුය.

පෝට් සිටි විරෝධින්ගේ විරෝධයට අරුතක් නැද්ද ? අරුතක් ඇත. අවම වශයෙන් පෝට් සිටිය ඉඳි වුවද පරිසර හානි අවම කරගැනීම සඳහා එමගින් කටයුතු කළ හැකිය.

සුප්‍රසිද්ධ කන්ඩලම හෝටලය ඉදි කිරිමට විරුද්ධව සිදුවූ සටනේ ප්‍රතිඵලයක් ලෙස කන්ඩලම හෝටලය පරිසර හිතකාමිව ඉදිවීම සිදු වු බව බොහෝ දෙනා අමතක සත්‍යයකි.

දිවැසිවරය තම ජීවිත කැඳවීමක් සේ ගන්නා කිතුනුවෝ ප්‍රතිඵලය අත්දුටුවාද නැතිද දිවැසිවර කාර්‍යයේ නිරත වෙයි. ඒ නිසා ‘දැන් මේක හදනවා ඒ නිසා විරුද්ධ වෙලා වැඩක් නෑ’ කියන තර්කය ක්‍රිස්තියානියට අදාල නොවේ.

jesustoday 40 සතිය 2017 දෙසැම්බර් 03

 

Comments powered by CComment