මයිකල් පියතුමා ප්‍රේමයේ අත්දැකීම එතුමාව ප්‍රේමය වඩා අවැසි ලංකා ඉතිහාසය තුල වඩාත් පීඩාවට පත් ජන සමාජයක් වූ ඌව වෙල්ලස්සේ බුත්තල ජනතාව අතරට රැගෙන ගියේය. විදෙස් විශ්ව විiාල වල කථිකාචාර්යධූර වෙනුවට බුත්තල ජන ජීවිතය වෙත එතුමා නික්මයාම ඇතැමුන්ට අනුවණකමකි. එහෙත් එය එතුමාට තම ස්වාමියාණන් වන දෙවිඳුන්ගේ ප්‍රේමයේ පනත ක්‍රියාවට නැංවීමක් විය.

(මයිකල් පෝල් රුදිගු නි.ම.නි. පියතුමාගේ 31 වෙනි අනුස්මරණය නිමිත්තෙනි )

 "අවස්ථාව එළඹි විට අප අපගේ ජනතාව වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සූදානම්ව සිටිය යුතුය"

මයිකල් රුදිගු පියතුමා එසේ ලිව්වේ එතුමන්ගේ ජීවිතයට ඇති තර්ජන ගැන විමසමින් සිය සොයුරිය ලියා එවු ලිපියට ලියු පිළිතුරු ලිපිය තුළය. එසේ ලියා මාසයක් ඉක්මවීමට පෙර බුත්තල අලුකලවිට “සුබසෙත් ගෙදර” නම් කුඩා කටු මැටි නිවස තුළ දිව්‍ය පූජාව පවත්වමින් සිටි එතුමා සාහසිකයෙකුගේ වෙඩි පහරකින් මරණයට පත් විය. ඒ 1987 නොවැම්බර් 10 වනදාය.

මයිකල් රුදිගු පියතුමාගේ 31 වන අනුස්මරණය එළඹෙන්නේ එතුමා ඝාතනය කිරීමට වසර හතකට පෙර එතුමා සේම දිව්‍ය පූජාව පවත්වමින් සිටියදි සහසිකයෙකුගේ වෙඩි උණ්ඩයකින් ඝාතනය කරනු ලැබු එල්සැල්වදෝරයේ අගරදගුරු ඔස්කා රොමේරෝ හිමිපාණන් සාන්තුවරයට එස වූ පසුබිමකය. සැබැවින්ම මයිකල් රුදිගු පියතුමාද ප්‍රාණපරිත්‍යාගිවරයෙකි.

ඔස්කෝ රෝමේරෝ හිමි ඝාතනය වූයේ කුඩා දෙව මැදුරක් තුළ පූජක ඇඳුමෙන් දිව්‍ය පූජාව පවත්වමින් සිටිය දීය. ඒ අවස්ථාවේ ඒ දිව්‍ය පූජාවට සහභාගී වූ වැඩි දෙනා පැවිදි සොයුරියන් විය. ඔවුන් ඇඳ සිටියේද නිල ඇඳුමයි. මයිකල් පියතුමා දිව්‍ය පූජාව පවත්වමින් සිටියේ එතුමා සාමාන්‍යයෙන් අඳිනු ලැබුනු සරම හා කමිසය පිටිනි. ඒ දිව්‍ය පූජාවට සහභාගී වූ පැවිදි සොයුරියන් දෙදෙනාද ඇඳ සිටියේ සාමාන්‍ය ගැමි ගැහැනුන්ගේ ඇඳුම්ය. නමුත් දෙතැනම සිදු වූයේ මර්ධන යුගයක් තුළ තම කැඳවීම මෙනෙහි කරමින් පවත්වනු ලැබු තම කැඳවීමට අවනත වීමට ශක්තිය අයැදිමින් පවත්වනු ලැබු දිව්‍ය පූජාවකි. ඇතැමුන්ට මයිකල් පියතුමාගේ ප්‍රාණ පරිත්‍යාගී වීම බාර ගැනීමට නොහැක්කේ නිල පූජක ඇඳුම නොමැති වීම නිසාය. ඔවුන් අමතක කරන සත්‍ය වන්නේ මහ ජීවිත පූජාව සිදු කළ ඔවුන්ගේ ස්වාමින් වහන්සේ කුරුසියේ පූජාසනයේ සිටියේ යන්තම් රෙදි කඩකින් විලි වසා ගෙන බවයි. එකල පැවැති නිල පූජකයින්ගේ ඇඳුම එතුමා සතු නොවූ බවයි. එකල විසු සාමාන්‍ය මිනිසුන්ගේ ඇඳුමෙන් එතුමා නිතර සැරිසි සිටි බවයි.

2018.11.09.11

      මයිකල් පියතුමාව වෙඩි තබා ඝාතනය කළ මොහාෙත

2018.11.09.12

          ඔස්කෝ රෝමේරෝ හිමි වෙඩි තබා ඝාතනය කළ මොහාෙත

අපගේ මෙම කෙටි ලිපියෙන් අරමුණු කරන්නේ මයිකල් පියතුමා හා ඔස්කෝ රොමේරෝ හිමි සැසදීම නොවේ. මයිකල් පියතුමා ක්‍රිස්තියානි දහමේ ප්‍රධානම සාරාර්ථය වන ප්‍රේමයේ පනත කොයිතරම් දුරට ජීවමාන කළ උතුම් පූජකයෙකුද මිනිසෙකුද යන්න කෙටියෙන් විමසීමයි.

මයිකල් රුදිගු පියතුමා දෙස් විදෙස් පතළ දෙව් දහම්ධරයෙකු ලෙස ප්‍රේමයේ පනත ක්‍රිස්තියානි ජීවිතයේ ප්‍රධාන ප්‍රතිපදාව බව පෙන්වා දුන් ධාර්මික ලිපි කීපයක්ම තිබේ. ඒ සියල්ලට වඩා වැදගත් වන්නේ එතුමා තම ජීවිතයෙන් එකී ප්‍රේමයේ ප්‍රතිපදාව ක්‍රියාවට නැංවීමයි.

“දෙවියන් වහන්සේ යනු ප්‍රේමයයි” එකී ප්‍රේමය තුළ පැවැතීම ක්‍රිස්තියානි ජීවිත ක්‍රමයයි. දෙවියන්වහන්සෙගේ ප්‍රේමය අත්දකින පුද්ගලයා එකී ප්‍රේමයෙන් පෙරලා තමන් ජීවත් වන සමාජයට ප්‍රේම කරනු ලැබීය යුතුය. එසේ නොවන්නේ නම් ඔහු / ඇය දේව ප්‍රේමය අත්දැක නැත. ප්‍රේමයේ දෙවිඳුන්ව අත්දැක නැත.”

මයිකල් පියතුමා මෙසේ සඳහන් කරයි.

“ක්‍රිස්තියානිය ජීවිත ක්‍රමයකි. එය පැමිණෙනේනේ අත්දැකීමක් තුළිනි. ඒ අබ්බා පියාණන්ගේ ආදරය පිළිබඳ අත්දැකීමයි. මම දෙවිඳුන්ගේ ප්‍රේමය අත්දකින නිසාම ඒ ප්‍රේමය මගේ ජීවිතය ගැඹුරු පරිවර්තනයකට ලක් කළේය. ඒ නිසාම දෙවියන්ගේ ප්‍රේමය අත්දුටු අයෙකු ලෙස ජීවත්වීම ඉබේ සිදුවන්නකි.”

මයිකල් පියතුමා ප්‍රේමයේ අත්දැකීම එතුමාව ප්‍රේමය වඩා අවැසි ලංකා ඉතිහාසය තුල වඩාත් පීඩාවට පත් ජන සමාජයක් වූ ඌව වෙල්ලස්සේ බුත්තල ජනතාව අතරට රැගෙන ගියේය. විදෙස් විශ්ව විiාල වල කථිකාචාර්යධූර වෙනුවට බුත්තල ජන ජීවිතය වෙත එතුමා නික්මයාම ඇතැමුන්ට අනුවණකමකි. එහෙත් එය එතුමාට තම ස්වාමියාණන් වන දෙවිඳුන්ගේ ප්‍රේමයේ පනත ක්‍රියාවට නැංවීමක් විය.

සමදර්ශක සුභාරංචිය ලෙස සැලකෙන මැතිව්, (22/34-40) මාක් (12/28-34) හා ලුක් (10/25-28) යන සුවිශේෂ ග්‍රන්ථ තුනේම ප්‍රේමයේ ආඥාව ගැන සඳහන් වේ. මාක් සුවිශේෂය තුළ එය සඳහන් කරන්නේ ශ්‍රේෂ්ඨතම ආඥාව පිළිබඳ කතිකාවක් තුළය.

ශ්‍රේෂ්ඨතම ආඥාව මේය.

“නුඹේ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු සිතින්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ මුළු වීර්යයෙන්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. දෙවැන්න නම් මේය. නුඹ නුඹටම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාට ප්‍රේම කරන්න. මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැත.”

මෙය ආඥා දෙකක් නොව එකම ආඥාවකි. මතෙව් සුවිශේෂය තුළ එය ඉතා පැහැදිලිව මෙසේ දැක් වේ.

“නුඹේ මුළු හෘදයෙන්ද මුළු බුද්ධියෙන්ද නුඹේ මුළු සිතින්ද නුඹේ දෙවි ස්වාමින් වහන්සේට ප්‍රේම කරන්න. මෙය ශ්‍රේෂ්ඨතම පළමු ආඥාවය. දෙවැන්නද මීට සමානය. නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වාසියාටත් ප්‍රේම කරන්න. මුළු ව්‍යවස්ථාවලීය හා දිවැසියාවලීය රදා ඇත්තේ මේ ආඥා දෙක මතය”

අසල්වැසියාට ප්‍රේම කිරීම හා දෙවිඳුන්ට ප්‍රේම කිරීම යනු එකම කාසියක දෙපැත්තය. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකර නොපෙනන දෙවියන්ට ප්‍රේම කළ නොහැකිය. දෙවියන්ට ප්‍රේම කළ හැක්කේ අසල්වැසියාට ප්‍රේම කිරීම තුළය. ජේසු තුමන් තම ජීවිතයේ විවිධ අවස්ථාවල මේ ප්‍රේමයේ පනත ගැඹුරින් විග්‍රහ කර ඇත. අසල්වැසියාට ප්‍රේම කිරීම යන්නේහිදි අසල්වැසියා යනු කවරෙක්ද යන ප්‍රශ්නය විමසු අවස්ථාවක එතුමා එය උපමාවක් මගින් පැහැදිලි කළ සේක.

(ලුක් 10/25-37) ඒ යහපත් සමාරියා පිලිබඳ උපමාවෙකි.)

සමාරිය ජාතිකයින් යනු ජුදා මහා ජාතිවාදය තුළ ඉතා පිළිකුල් ලෙස සැලකු ජන කොටසකි. ජුදාවරු සමාරිය දෙස බලා අවදි වීම පවා පිළිකුල් කළෝය. සමාරිය ප්‍රදේශිය මැදින් ඉතා කෙටි මගක් තිබුණත් එය මඟ හැර දිගු මඟකින් අන් ප්‍රදේශ කරා ගමන් කළේය. ජේසු තුමා මෙම උපමාව තුළින් සැබෑ අසල්වැසියා වූයේ සමාරිය ජාතිකයෙකු බව පෙන්වා දෙන්නේ අසල්වැසියා යන්නට ජාතිය, ආගම, කුලය වංශය අදාළ නොවන බව පෙන්වා දෙමිනි. අසල්වැසියා යනු පීඩාවට පත් වූ කෙනාව සැබෑ ලෙස ප්‍රේම කරන්නාය. අසල්වැසිකම මනින්නේ තමන්ට ආසන්න බවින් නොව පීඩිත බව මගින් බව පෙන්නා දුන් එතුමා ප්‍රේම කිරීමේ සමීප බව පීඩිත බවේ දිග පළල අනුව තීරණය වන බවත් පෙන්වා දුන්නේය.

මයිකල් රුදිගු පියතුමාගේ ප්‍රාණ පරිත්‍යාගී වීම නිල කතෝලික සභාව තුල එතරම් කථා බහට ලක් නොවීමට එක් හේතුවක් වන්නේ එතුමා ආගම වෙනුවෙන් ප්‍රාණ පරිත්‍යාගී වූවෙකු ලෙස නිල සභාව හඳුනා නොගැනීම බව පෙනේ. ඇත්ත එතුමා අවසන් කාලය තුළ තම ජීවිතය වැය කළේ ගැමි බොදුනු ගොවි ජනතාව වෙනුවෙනි. නමුත් සැබෑ ක්‍රිස්තියානි ප්‍රේමය තුල එතුමා පැහැදිලි ලෙසම ප්‍රේමයේ ආඤාව පිළිපැදි බව කිතුනුකම හඳුනන කාහට වූවද ප්‍රත්‍යක්ෂ වේ. ප්‍රැන්සිස් පාප් තුමන් සාන්තුවරයට හතරවන මාවතක් ඇත යනුවෙන් පැවසුවේ ජනතාවගේ විමුක්තිය, යුක්තිය, සාධාරණය වෙනුවෙන් දිවි පිදුවන්ද සාන්තුවරයට එසවිය යුතු බව ප්‍රකාශ කරමිනි.

මයිකල් පියතුමා අසල්වැයිසා ලෙස දුටුවේ ශුද්ධ වූ බයිබලය පැහැදිලිව පෙන්වා දෙන පීඩිත ජනතාවයි. “නුඹලා අතර වාසය කරන විදේශිකයා සැලකිය යුත්තේ නුඹලා අතර උපන් අයෙකු ලෙසය. නුඹලා නුඹලාට ප්‍රේම කරන ලෙසම ඔහුටද ප්‍රේම කළ යුතුය.” (ලෙවි 19/34) මෙම මගින් ජාතිය හෝ ආගම අසල්වැසිභවේ මිනුම නොවන බව පැහැදිලි වේ. එසේම විශේෂ කොට ආදරය කළ යුතු පිරිස් ලෙස ශුද්ධ ලියවිල්ල බලය නැති අය අනාථයන්, වැන්දඹුවන්, කොන්ඩුවන් දක්වා ඇත.

මයිකල් පියතුමා බුත්තල ප්‍රදේශයේ ජනතාව තෝරා ගන්නේ ප්‍රේමය පනත ලාංකීය සංදර්ශභය තුළ ජීවමාන කිරීම සඳහා ගැඹුරු දේව ධාර්මික පදනමක් තුළ පිහිටා සිටිමිනි. දෙවියන්ව හමුවීමට දෙවියන් අදහන පිරිසක්ම තෝරාගත යුතු නැත. දෙවිඳුන් අසල්වැසියා තුළ වැඩ සිටින එබැවින් අසල්වැසියා යනු දෙවිඳුන්ව විශේෂ කාරයකින් අත්දැකිය හැකි සක්‍රමේන්තුවක් බව මයිකල් පියතුමා පෙන්වා දුන්නේය.

ජේසු තුමා “අසල්වැසියා” කව්ද යන්න විස්තර කළා සේම “ප්‍රේම කිරිම” හා “ප්‍රේමය” කුමක්ද යන්නත් විස්තර කළ සේක. ඔබට ප්‍රේම කරන අයට පමනක් ප්‍රේම කරන්නේ නම් එය සැබෑ ප්‍රේමයක් නොවන බව පෙන්වා දුන් උන්වහන්සේ ඔබේ සතුරාට ප්‍රේම කරන්නැයි වදාළ සේක. එසේම තම මිතුරන් වෙනුවෙන් දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් නැතැයිද උන්වහන්සේ පැවසු සේක. දෙවියන් මිනිසුන්ට දක්වන ප්‍රේමය ස්වාමියෙකු සේවකයෙකුට දක්වන ප්‍රේමයක් හෝ වහල්හිමියෙකු වහලෙකුට දක්වන ප්‍රේමයක් නොව මිත්‍රත්වයේ සහෝදරත්වයේ ප්‍රේමයක් බව එතුමා පෙන්වා දුක් සේක.

මයිකල් රුදිගු පියතුමා තමා දේව ධාර්මිකව ඉගෙන ගත් ජේසු තුමා පෙන්වා දුන් ජේසු තුමා අත්දුටු ඒ ප්‍රේමය තමාව අත්දකිමින් ජනතාව සමඟ බෙදාගත්තේය. තම සමිඳුන් අනුව යමින් මරණය ඉදිරියේ ප්‍රේම කිරීම අත් නොකළ බැවින් ජීවිතය පූජා කිරීමට එතුමාට සිදු විය. “යුක්තිය හා සාධාරණත්වය නැති තැන ප්‍රේමය නැත” යන දේව ධාර්මික සත්‍යතාවය තුළ පිහිටා එතුමා යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් හඬ නැගුවේය. දුප්පත් ගොවියන්ගේ ඉඩම් බහුජාතික සමාගම් වෙත පවරා ගොවියන් තම ඉඩමේ කුලිකරුවන් බවට පත් කිරීමට විරුද්ධ නොවන්නේ නම් එතැන ප්‍රේමයක් නැති බව එතුමාගේ හදවතට දැනුනේය. පීඩිතභාවයට එරෙහිව කෑ මොර දෙන තරුණයින් රාජ්‍ය ත්‍රස්ත්‍රවාදය විසින් මරා දැමීමට විරුද්ධ නොවන්නේ නම්, තමා ප්‍රේමය අත් නොදකින බව එතුමාගේ හදවතට දැනුනේය. ජනතාවගේ දුක දැනෙනවිට බඬේ බඩවැල් උණු නොවන්නේ නම් එතැන ප්‍රේමයක් නැති බව කියු එතුමා සැබැවින්ම එවැනි ප්‍රේමයකින් ජීවත් විය.

වර්ථමාන යථාර්ථය ගත් විට ඌව වෙල්ලස්ස තුළ ගොවි ජනයා වඩ වඩා පීඩාවට පත් කරමින් තව වටයකින් ඉඩම් කොල්ලකෑමට පිඹුරුපත් සකස් කරමින් පවති. රට පුරා ගොවි කම්කරු ධීවර ජනතාව පීඩාවට පත් වෙමින් සිටිති. මයිකල් පියතුමන්ලා එක් අයෙකු නොව දහ දොලොස් දෙනෙකුගේ අවැසිතාවය මතුව ඇති කාලයකි මේ. මයිකල් පියතුමාට ආදරය කරන සැමට එතුමා සේම ප්‍රේමයේ පනත එහි නිසි අරුතින් ජීවත් කරවීමට දෙවිඳුන් ආරාධනා කරන සේක. මයිකල් පියතුමා සාන්තුවරයෙකු කිරීමට වඩා අද අවශ්‍යවන්නේ එතුමාගේ මෙහෙවර වත්මන තුළ ජීවත් කරවීමයි.

(ගරු මිල්බර්ගා ප්‍රනාන්දු සොයුරියගේ ලිපියක් ඇසුරිනි)

මහින්ද නාමල්

Comments powered by CComment