ශ්‍රී ලංකාවේ කිතුනු සභා සියල්ල සැලකිල්ලට ගත්ත ද ප්‍රගතිශීලි රදගුරු තුමන්ලා යැයි සැලකිය හැකි පිරිස ඉතා අල්පය. ලංකා සභාවේ (ඇන්ග්ලිකානු සභාවේ) ලක්ෂමන් වික්‍රමසිංහ රදගුරු තුමා ඒ අල්පය අතර ඉදිරියෙන් සිටියෙකි.

 

ශ්‍රී ලංකාවේ කිතුනු සභා සියල්ල සැලකිල්ලට ගත්ත ද ප්‍රගතිශීලි රදගුරු තුමන්ලා යැයි සැලකිය හැකි පිරිස ඉතා අල්පය. ලංකා සභාවේ (ඇන්ග්ලිකානු සභාවේ) ලක්ෂමන් වික්‍රමසිංහ රදගුරු තුමා ඒ අල්පය අතර ඉදිරියෙන් සිටියෙකි. එතුමා මිය ගොස් 2018 ඔක්තෝම්බර් 23 වන දාට වසර 35 ක් පිරේ. මේ ලිපිය එතුමාගේ මෙහෙවර අගයනු පිණිසය.

දකුණේ හම්බන්තොට ගොවීන් මෙන්ම උතුරුකරයේ ගොවීන්ද එදා කොළඹට රැස්වුනා. ප්‍රබල වාමාංශික සංවිධානද විවිධ සමාජ සංවිධානද එදින රැස්වුණා. විශාල බෞද්ධ භික්ෂූන් පිරිසක්ද සහභාගි වුණා. වික්‍රමසිංහ රදගුරුතුමන්ද එදින අප සමඟ එක්වුණා පෙළපාලිය අවසානයේදී මහජන රැස්වීමේදී එතුමා පැවසූ වදන් අදටත් අපට මතකයි.

පීඩිතයින් තම ඉල්ලීම් දිනා ගැනීමට නම් සියළු ආකාරයේ බේද අමතක කර එක්ව අත්වැල් බැඳගත යුතුයි. එසේ එක්සත්වී සටන් කීරීමෙන් මිස පාලකයින් ඉදිරියේ දණින් වැටීමෙන් පීඩිතයාට ඉල්ලීම් දිනාගත නොහැකි වනු ඇත.

අප අපගේ කුසගින්න, රැකියා, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් වෙනුවෙන් එක්රැස් වූ විට එතුමා අපට සහයෝගය පළකළේ ඒ දැක්ම තුල පිහිටාය. එතුමා අප අතරින් වියෝවූවත් ලක්ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමා යන නාමය පීඩිත පංතියේ අරගලයේ ඉතිහාසය තුළ මැකී නොයනු ඇත.
ලක්ෂ්මන් වික්‍රමසිංහ රදගුරුතුමාගේ මරණය වෙනුවෙන් සමස්ත ලංකා ගොවි සම්මේලනය නිකුත් කල පත්‍රිකාවේ එසේ සඳහන් වී තිබුණි. 1982 සැප්තැම්බර් 11 වනදා කොළඹදි පැවැති එක්සත් පෙළපාලිය හා රැළියට එතුමා සහභාගි විය.

ප්‍රභූ පවුලක උපත ලබමින්.

ලංකාවේ බල දේශපාලනයට සම්බන්ද වික්‍රමසිංහ පවුලේ සමාජිකයෙකු ලෙස ලක්ෂ්මන් වික්‍රමසිංහ උපත ලැබුවේ 1927 මාර්තු 25 වනදාය. 1932-45 කාලය තුළ කොළඹ රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු 1945 දි කොලඹ විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ශිෂ්‍යත්වයක් ලබා ගත්තේය. 1948 දී ආර්ථික විද්‍යාවෙන් පළමු පංතියේ උපාධියක් ලබාගත්තේ දේශපාලන විද්‍යාවද අප්‍රධාන විෂයක් ලෙස හදාරමිනි. 1948 -1950 දක්වා ඔක්ස්ෆර්ඞ් හී කේබර් විද්‍යාලයේදි දේශපාලන දර්ශනය හැදෑරීය.

වයස අවුරුදු විසි තුනේ දී ලංකා සභාවේ (ඇංග්ලිකානු සභාවේ) දේවගැතිවරයෙකු වීමට අදහස් කළ වික්‍රමසිංහ තරුණයා එහි දේවධර්ම ශාස්ත්‍රාලයේදි පූජකවරයෙකු වීමේ අධ්‍යාපනය ලබුවේය.

එංගලන්තයේදි පූජකවරයෙකුව

1952 දි තේවාචාර්ය වරයෙකු ලෙස පත්කරනු ලැබූ ඔහු ලන්ඩන් නුවර පොප්ලර් හි සියලු සාන්තුවරයන්ගේ දෙව්මැඳුරේ සහයක පූජක ලෙස සේවය කීරිමෙන් අනතුරුව 1953 දෙසැම්බර් 21 වනදා ලන්ඩන් දෙව්මැඳුරේදී පූජකවරය ලැබීය. ඔහුගේ ලන්ඩන් පූජක ජීවිතය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ විවෘතව සිතිය හැකි පූජකවරයෙකු නිර්මාණය කරන ලදී. ඉතා හොඳ විද්‍යාර්ථයෙකු වූ වික්‍රමසිංහ පියතුමා තම අධ්‍යාපනය තුළ දේශපාලන විද්‍යාව, ආර්ථික විද්‍යාව හදාරා තිබූ නිසාම සමාජ ආර්ථික දේශපාලන සංදර්භය තුළ දේවධර්මය දැකීමේ දුර්ලභ වාසනාවට හිමිකම් කීවේය. දේශපාලන විද්‍යාව හැදෑරීමේ දී මෙන්ම ඉන්පසු පත පොත කියවීමෙන්ද එතුමා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා මාක්ස්වාදි දෘෂ්ටි කෝණයේ ඇති සාධනීය ලක්ෂණ හඳුනා ගත්තේ ය.

දුප්පතුන් සමඟ

1954 දී ලංකාවේ මෝදර ක්‍රිස්තු රජානණ්ගේ දේවස්ථානයේ දී දෙවන සහයක පියතුමා ලෙස කටයුතු කිරීමට පැමිණි පසු එතුමා කොටහේන ප්‍රදේශයේ ජිවත්වූ දුප්පතුන් සමඟ කිට්ටු ඇසුරක් ඇතිකර ගත්තේය. දුප්පතුන් සමඟ වූ එකි පළමු ගනුදෙනුව තමා පත පොතින් උගත් සමාජ යථාර්ථය ඇඟට පතට දැනෙන දෙයක් බවට පත්කළ බව එතුමාට දැනුණේය. එසේම 1956 සමාඡ පෙරළියේ උණුසුම කොළඹ සිටි එතුමාට හොඳින් දැනුනේය. එකී පෙරලිය ඔහු තුළ පැවැති දේශජ හැඟීම් තවත් තීව්ර කළේ ය.

1958-1962 කාලයේදී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේදි ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයේ නේවාසික උපාධ්‍ය ලෙස ක්‍රිස්තියානි ශිෂ්‍ය සංගමය සමඟ ද වෙනත් පිරිස් සමඟද මහත් උනන්දුවෙන් කටයුතු කළේය. මේ කාලය තුළ එතුමා තුළින් සභාව ගැන මෙන්ම සමාජය ගැනද ඉතා රැඩිකල් මත පැන නගින්නට පටන් ගත්තේය.

ලාබාලම රදගුරු තුමා ලෙස

ලංකා සභාව තුල ප්‍රගතිශීලි දැක්මක් සහිතව දේශියකරණයට බර තබා ක්‍රියාකළ ලක්දාස් ද මෙල් රදගුරුතුමා ඉන්දියාව පකිස්ථානය, බුරුමය හා ශ්‍රි ලංකාව යන රටවල අග්‍ර රාජගුරු ප්‍රසාදි ලෙස පත්වීමත් සමඟම 1962 දෙසැම්බර් 21 කුරුණෑගල රදගුරු තුමා ලෙස එතුමා පත්වූයේ ලංකා සභාවේ එවකට සිටි තරුණම රදගුරුවරයා වශයෙනි.

ලක්දාස් ද මෙල් රදගුරු තුමා ආරම්භ කර තිබූ කටයුතු ඉදිරියට ගෙනයන අතරම තම දැක්ම තුල තමන්ගේම වැඩ පිළිවෙලක් ගොඩනඟා ගනිමින් ක්‍රියාකිරීමට එතුමා කටයුතු කළේය. රදගුරුවරය රැස් වළල්ලකින් වසා නොගෙන පූජකවරුන්ට හා පූජක සිසුන්ට ඉතා සමීපව ඔවුන්ගේ පවුල් පිළිබදව පෞද්ගලිකව සොයා බලමින් කටයුතු කළ එතුමා එම සමීපතාවයේ ගුණය සභාව තුළ මෙන්ම ඉන් පිටතද පවත්වාගන්තේ තම බැටළුවන්ගේ කටහඩ හොඳින් හඳුනන යහපත් එඬෙරෙකු වෙමිනී.

වික්‍රමසිංහ රදගුරු දැක්ම හා ක්‍රියාව

ක්‍රිස්තියානියේ විමුක්ති හරයෙත්, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයෙත්, මාක්ස්වාදයෙත්, සංකලනයෙන් ගොඩනැඟුනු දැක්ම හා ක්‍රියාව එතුමාව ජාතික වශයෙන් මෙන්ම අන්තර්ජාතික වශයෙන්ද වටිනා චරිතයක් බවට පත්කළේය කීවොත් එය ඉතා නිවැරදිය. එතුමා විවිධ අන්තර්ජාතික සමුළු වලදී පැවැත්වූ දේශනා තුළින් ඒ දැක්ම ලෝකයට නිරාවරණය විය. ඉන් පළමුවැන්න වූයේ 1979 මැයි 22 වනදා ලන්ඩන් නුවරදී ක්‍රිස්තියානි ධර්මදූත සංගමයේ වාර්ෂික දේශනයයි. ධර්මදූත මෙහෙය දේශපාලනය හා ධර්මදානය ” යනුවෙන් පැවැත්වූ එම දේශනයේ දී එතුමා ධර්මදානය හා දේශපාලනය කිරීම ධර්මදූත සේවයේ වෙන්කල නොහැකි අංග දෙකක් බව පෙන්වා දුන්නේ කිතුනුවන් විවාහයේදි ස්වාමි පුරුෂයා හා භාර්යාව සම්බන්ධ කරන උපුටනය අනුවය.

“දේශපාලනය හා ධර්මදානය අපූර්ව ලෙස කුළුපග වෙයි. එම නිසා දෙවියන් වහන්සේ මෙසේ එක් කල දෙය ශාසනය විසින් වෙන් නොකල යුතුය. ” යැයි එහිදි පැවසු වික්‍රමසිංහ රදගුරුතුමා ජනතාව නගා සිටුවීම සඳහා ප්‍රගතශීලි ආකාරයෙන් ආරම්භ කරනු ලැබූ ව්‍යාපෘති හා සංවිධාන පිළිබඳව විවේචනාත්මක වන්නේ මෙසේය.

“මෙකි ප්‍රතිසංස්කරණ හා ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්නාවු කොටස් විශේෂයෙන්ම ලැබෙන විදේශ ආධාර හේතුකොට ගෙන මුදලින් හා බලයෙන් කරවූ නව බල ගණයක් බවට පත්ව සිටිති. ධර්මදූත සේවකයන්ද අනෙකුත් ගිහි පැවිදි දෙපිරිසම පීඩිත බහු ජනතාව වෙනුවෙන් කටයුතු කරන තව ප්‍රභූ පංතියක් බවට පත්ව සිටිති. පංති විෂමතාවය බිඳ හෙලීමට කටයුතු කරන සභාවන්ට අයත් අය විසින් සියුම් ලෙස එකී බෙදීම පවත්වා ගනියි.”

එතුමාගේ ප්‍රසිද්ධ අනෙක් දේශනා දෙක වන්නේ 1978 දිම එංගලන්තයේ අන්තර් ආගමික සමුළුවෙදි පැවැත් වූ මිනිසත්කම, අද්විතීයභාවය, එකිනෙකා කෙරෙහි විස්වාසයේ ජිවිතය” හා 1981දි ඉන්දියාවේ පවත්වන ලද මිනිසුන් අතර කිතුතුමන් තුළ ජිවත්වීම” නැමති නයිල්ස් සමරු දේශනයයි. එකී තුන්වන දේශනයේ දී එතුමා පලකල අදහස් බොහෝ දෙනෙකු අද දක්වාම උපුටා දක්වයි.

“අපට ආවේනික වූ මාක්ස්වාදි සමාජවාදි චින්තනයක් අපට ඇති බව මගේ හැඟීමයි. එම චින්තනයේ ඇතුලත් වැඩ පිළිවෙළට, ක්‍රියාදාමයට සභාව ඇතුලත්විය යුතු බව මගේ දැඩි විශ්වාසයයි.”

පදවිය තුල

තම දැක්ම ජිවත් කරවූ අයෙකු ලෙස වික්‍රමසිංහ රදගුරුතුමා සැලකිය යුතුය. ඔහු පොදු ජනතාවට සමීපව ඔවුන්ගේ විමුක්තිය සඳහා ක්‍රියා කළේය. ඒ සඳහා විදේශ ගතවීමට තිබූ අවස්ථා පවා කැප කළේය. පදවියට ආවේනික තරුණ සංගමයක් ආරම්භ කර තරුණ තරුණියන් වඩා ක්‍රියාශිලි කළ එතුමා මව්වරුන්ගේ සංගමය තුළින් කාන්තාවන්ගේ, පූජකවරුන්ගේ බිරින්දෑවරුන්ගේ අවශ්‍යතා සඳහා මග පෙන්වීය. ක්‍රිස්තෝදය මඟින් කෘෂිකාර්මික කටයුතු පිළිබදව පිබිදීමක් ද රෙදි වියන මධ්‍යස්ථානයක් ද ණය දෙන සමිති ව්‍යාපාරයක් ද ගොඩනැඟුවේ ය. පදවියේ කටයුතුවලදි සියළු භාෂාවන්ට ඉඩකඩ ලැබෙන සේ ඒවා සංවිධානය කලේය. සමාජ වෙනසක් සඳහා පූජකයන් හා ගිහියන් පුහුණු කිරීමට ක්‍රියාකළ එතුමා ක්‍රියාකිරීමට පුහුණුව” නමින් පොතක්ද පල කළේය. එපමනක් නොව නාට්‍ය නැටුම්, ආදී සංස්කෘතික අංග ප්‍රවර්ධනය සඳහාද ක්‍රියා කළේය.

විවේචන, අපහාස, හෙලාදැකීම් විඳදරා ගනිමින්ම එතුමා පදවිය වෙනස්, විවෘත අත්හදාබැලීම් ක්‍රියාවන්ට යොමු කළේය.

සමාජ ව්‍යාපාර සමඟ

යහපත් සමාජයක් ගොඩනැඟීමට ඇති වගකීම පදවියට පමණක් සීමාවූවක් නොවන බව වටහාගත් එතුමා ප්‍රගතිශීලී සමාජ ව්‍යාපාර, සංවිධාන, වෘන්තිය සමිති ආදිය සමඟ එක්ව කටයුතු කළේය.

දේවසරණාරාමය, ක්‍රිස්තියානි කම්කරු ව්‍යාපාරය, මානව හිමිකම් ව්‍යාපාරය, සර්වෝදය ආදි ව්‍යාපාර හා සංවිධාන සමඟ මෙන්ම තිස්ස බාලසුරිය, පෝල් කැස්පර්ස්, ඇලෝසියස් පීරිස් ආදි පියතුමන්ලා සමඟ සමීපව කටයුතු කළේය. 1980 ජූලි වර්ජනයෙන් රැකියා අහිමිවූවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා වු සංවිධානය ගොඩනැඟීමට එතුමාද පත්විය.

රාජ්‍ය නායකත්වයට අභියෝගකරමින්

විධායක ජනාධිපති ධූරයක් ඇති කරගනිමින් ද විවෘත ආර්ථිකය මුදා හරිමින්ද ප්‍රජාතන්ත්‍ර විරෝධීව කටයුතු කළ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපති තුමාගේ ක්‍රියාකලාපයට විවෘතව අභියෝග කිරීමට වික්‍රමසිංහ රදගුරුතුමා නිර්භය විය.

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම අසාධාරණ බවත් එය ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශකරන බවත් දන්වා ලිපියක් ලියු එතුමා 1980 ජූලි වර්ජකයින්ට සැලකු ආකාරයත් කලාකරුවන්, නිතීිඥයින් ආදීන්ට මැරයන් ලවා පහර දූන් ආකාරයත් සැලකිල්ලට ගෙන නැවත ජනාධිපති වරයාට විවෘත ලිපියක් ලියමින් හිංසාව, බිය ගැන්වීම දේශපාලන කරලියට ඇතුල්කිරීම නැවැත්වූයේ නැත්නම් එය කෙටි කාලින දේශපාලන වාසි පමණක් ඉතිරි කරමින් රටේ ප්‍රජාතන්ත්‍රීය පදනම විනාශකර දමන බව පැවසීය. එතුමාගේ අනාවැකි පසුකාලයේ දී යථාර්ථයක් වූ අතර රට ඒකාධිපතිවාදයක් වෙත ගමන් කළේය. වර්ථමානය තුළ පාලකයින්ට ප්‍රශස්ති කියමින් පැවැත්ම රැක ගන්නවාට වඩා ධාර්මික සත්‍යතාවය තුළ ආභීතව ඔවුන්ට අභියෝග කළ හැකි එතුමා වන් එfඬ්රුන්ගේ හිඟය තදින් දැනේ. වික්‍රමසිංහ රදගුරු තුමා මේ අභියෝග සිදු කළේ එක්සත් ජාතික පක්‍ෂය හා තම නැදෑ පරපුරට තිබූ සබඳතාවද නොසලකා වීම සුවිශේෂීය.

ආගමික හා නිකායික සමඟිය උදෙසා

අති පුජ්‍ය කොටගම වාඩිස්සර හිමි අටමස්ථාන විහාරාධිපති ගරු. රේවත හිමි, ඉසුරුමුණි විහාරාධිපති ගරු සංඝරක්ඛිත හිමි ආදීන් හා වෙනත් සමාජ යහපත උදෙසා ක්‍රියාකළ භික්ෂූන් වහන්සේලා සමඟ ඉතා සමීප ඇසුරක් පැවැත්වූ එතුමා ලංකාවේ ප්‍රධාන ආගම් හතරේම විමුත්ති අධ්‍යාත්මය පණ ගැන්වීමේ ලා විමුකිති ධර්ම කෙන්ද්‍රය පිහිටුවිමට ද දායක වූවේය. ලියෝ නනායක්කාර රදගුරු තමා සමඟද සමිප ඇසුරක් පැවැත්වූ වික්‍රමසිංහ රදගුරු තුමා සාධාරණත්වය සඳහා ක්‍රියාකරන ක්‍රිස්තියානින්” නම් වූ සංවිධානය පිහිටුවා සියලු සභාවන්ට අයත් කිතුනුවන් මනුෂ්‍ය අයිතීන් රැක ගැනීමට ඒකරාශි කිරීමට කටයුතු කළේය.

ජාතින්ගේ ප්‍රශ්නය තුළ

සිංහල සංස්කෘතිය හා සිංහල ජාතිය කෙරෙහි වූ අනුපමය භක්තිය හේතුකොට ගෙන එතුමාට මුලදී ද්‍රවිඩ ජනයාගේ ප්‍රශ්න තේරුම් ගැනීම දුෂ්කර විය. නමුත් හෘදය සංවේදී වූද යාච්ඤාමය භාවනාවට මුල් තැන දුන්නාවූද පුද්ගලයෙකු වූ එතුමා හෘදයාංගමව ඔවුන්ගේ ප්‍රශ්න තේරුම් ගැනීමට උත්සහ කළේය. උතුරෙත් නැගෙනහිරත් නිතර සංචාරය කළ එතුමා ඇති තතු දැනගැනීමට යුහුසුළු විය.

මේ සමයේ දී දියවැඩියාව රෝගයට ගොඳුරු වූ එතුමාට විවේක ගන්නා ලෙස වෛද්‍යවරුන් තදින් අවවාද කළ නිසා වසරක නිවාඩු කාලයක් ලබාගෙන එංගලන්තයට ගියේ ය. එතුමා ආපසු ලංකාවට පැමිණි විට ලංකාවේ තත්වය ඉතා නරක අතට හැරී තිබෙනු දුටුවේය. කළු ජූලියේ විනාශය ජාතින් අතර සමඟිය ඈතට ගෙන ගොස් ඇති බව ඔහුට පෙනුණි. එතුමා නුවර, මාතලේ, යාපනයේ හා සරණාගත කඳුවුරු වලට යමින් පීඩාවට පත්වූවන් බැහැදකිමින් ඔවුන්ගේ පීඩාව තම අත්දැකීමක් කර ගන්නට උත්සහ කලේය. 1983 සැප්තැම්බර් 04 පැවැති පදවි කවුන්සිලයේදි එතුමා ප්‍රධාන වශයෙන්ම කතා කළේ ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්නය ගැනය. මේ හෘදය සංවේදි රදගුරුවරයා මහත්සේ කම්පාවට පත්ව සිටියේය. ඉන් මාසයක් ගත වෙද්දී ඔක්තෝම්බර් මස 23 වනදා එතුමා මෙලොව හැර ගියේය.

ක්‍රිස්තියානි ප්‍රජා උද්ඝෝෂකයින් ගැන එතුමා සිය දේශනයකදි පැවැසූ පහත ප්‍රකාශය එතුමා සම්බන්ධයෙන්ද වලංගුවේ.

කෙසේ වුවද කැපවීම අව්‍යාජ මෙන්ම අනන්‍යතාවය මුල් බැසගත් එකක් වූ කල්හි අසාධාරණ සමාජයක් වෙනස් කිරිමේ මානව ප්‍රයත්නයට ස්වකිය ජිවිතයෙන්ම පරිත්‍යාගයේ යෙදෙති. ඔවුහු පීඩිත ජනතාව අතරේ ජනතා බලයේ ජයටැම් පිළිබඳ සාක්‍ෂි කරුවෝ වෙති. ඔවුහු ජීවිතයේ ගුණාත්මක භාවය එහි ඵල තුළින්ම පෙන්වීමෙන්, අන්‍යයන්ටද තමන් අනුගමනය කිරීමට පෙළඹවීමක් ජනිත කරති. ක්‍රිස්තියානි ප්‍රජා උද්ඝෝෂකයෙකුගේ ජිවිතයේ ඇති වූ මෙවැනි විශිෂ්ටත්වයක් අතිශයින් ප්‍රබල ලෙස ක්‍රිස්තුස්වහන්සේගේ ජිවිතය පිළිඹිබුකරයි. එහි බලපෑම වචනයෙන් ප්‍රකාශ කිරීම අපහසු වෙයි.

Jesustodaysl 2 වන වසර 33 වන සතිය 2018 ඔක්තෝම්බර් 28

Comments powered by CComment