සාතිශ්‍ය බහුතරය කිතුනුවන් වූ රටක,මෙවැනි සටන් පාඨයක් මතු විය හැකි ද ? ඔව්, එය එසේ සිදුවිය. ඒ 1980 දශකයේ දී ලතින් ඇමරිකාවට අයත් එල් සැල්වදෝරයේදීය.

 

දේශ ප්‍රේමියෙකු වීමට පූජකයෙකු මරන්න !

සාතිශ්‍ය බහුතරය කිතුනුවන් වූ රටක,මෙවැනි සටන් පාඨයක් මතු විය හැකි ද ?

ඔව්, එය එසේ සිදුවිය. ඒ 1980 දශකයේ දී ලතින් ඇමරිකාවට අයත් එල් සැල්වදෝරයේදීය.

ඇමරිකා එක්සත් ජනපදයේ රූකඩයක් වු සැල්වදොරයේ මිලිටරි රජයේ දුර්දාන්ත මර්ධනයට එරෙහිව හඬ නැගු කිතුනු පූජකයන් එකි රජයට දේශද්‍රෝහින් විය. ඊනියා දේශප්‍රේමින් විසින් මරා දමනු ලැබු දේශද්‍රෝහි පූජකයෙකු දැන් කතෝලික සභාවේ සාන්තුවර නාමාවලියට එක් වී තිබේ.

සාන්තුවරයෙකු ලෙස එතුමාව හඳුන්වන්නේ මෙසේය.

ශුද්ධ වු ඔස්කා රොමේරො
රදගුරු හා ප්‍රාණපරිත්‍යාගී

Saint Oscar Romero

Bishop and Martyr

මේ එතුමාගේ දිවි සැරියේ සංක්ෂිප්තයකි.

ඓතිහාසික වසරක උපත ලබා.

ලෝක ඉතිහාසයේ විල්පවීය වෙනසක් සළකුණු කළ 1917 වර්ෂයේ අගොස්තු 15 වනදා කතෝලික සම්ප්‍රදාය අනුව දේව මාතාවන්ගේ ස්වර්ගාරෝපණ මංගල්‍ය දින එතුමා උපත ලැබීය. ඒ සැල්වදොරයේ සියුඩාව් බැරියාස් සන් මිගෙල් හිදීය. එතුමාගේ පියා සෙන්ටොස් රොමේරෝ විය. මව ගුඩාලේප් ද ජීසස් ගලඩමෙස් විය.

2018.10.19.01

පිය පාර්ශ්වයෙන් රොමේරො නමත් මව් පාර්ශ්වයෙන් ගල්ඩමේස් නමත් එකතු කොට මේ දරුවා ඔස්කො අනල්ෆො රොමේරො වයි ගල්ඩාමේස් (Oscar Arnulfo Romero Goldamez) ලෙස මව් පියෝ බව්තිස්ම කළෝය.

‘වීර’ ‘වික්‍රමාන්විත’ එසෙත් නැත්නම් ‘බලවත්’ යන අරුත් ඇති ‘ඔස්කා’ යන නම ස්පාඤ්ඤ බසින් එන්නකි. සැබැවින්ම මේ දරුවා අවසානයේදි එල්සැල්වදෝරයේ පමණක් නොව මුළු ලොවේම දුප්පතුන් අතර වීරයෙක් විය.

ළමා විය.

සහෝදරයින් පස් දෙනෙකු හා සහොදරියන් දෙදෙනෙකු සමඟ ඔස්කා හැදි වැඩුනේය. රජයේ පොදු පාසලක තුන්වෙනි පංතියට පමණක් ඉගෙනුම ලැබීමෙන් පසු ගෙදර නැවතුන ඔස්කා හට නිවසට පැමිණි ගුරුවරයෙකු විසින් අධ්‍යාපනය ලබා දුන්නේය. වයස අවුරුදු දහතුන පිරුනු කළ නව යව්වනයෙකු වු ඔහුව පියා විසින් වඩු කාර්මික පුහුණුව වෙත යොමු කරන ලදී.

2018.10.19.02

ජේසුස් නම් වඩු කාර්මිකයා සේම නව යොවුන් ඔස්කාද ආධුනිකයෙකු වූව වෘත්තීය නිපුණතාවයක් පෙන්නුම් කළේය. එකල සැල්වදෝරයේ අධ්‍යාපන ක්‍රමය රැකියා සඳහා කිසිදු යොමුවක් නැති එකක් වූයෙන් ඔස්කාට වෙළඳාම ප්‍රගුණ කරවීමට ඔහුගේ පියා තීණය කළේය. නමුත් ඔස්කාගේ තීරණය එය නොවිය.

නව යව්වනයේදීම පූජකවරය වෙත.

ඔහු පූජකවරයෙකු වීම සඳහා ඉගෙනීමට තීරණය කළේය. ඔහුගේ බැතිමත් ජීවිතය පිළිබඳ දන්නා කිසිවෙකුට ඒ තීරණය පුදුමයක් නොවීය. අවුරුදු දහ තුන සම්පූර්ණ වෙනවාත් සමඟම යාන්තම් නව යව්වනයෙකුව සිටියදීම ඔහු මව්පියන් අතහැර ඔහු සාන්ත මිගෙල් හි කනිටු දෙව් සත් හලට ඇතුළු විය.

2018.10.19.03

පවුලට බැඳියාව.

කනිටු දෙව්සත්හලේ ඉගෙන ගන්නා අතර ඔස්කාගේ මව සිය අටවන දරුවා ප්‍රසුත කළ අතර බලවත් ලෙස රෝගාතුරු විය. ගෙදර කටයුතු දුෂ්කර වු ඒ අර්බුදකාරි අවස්ථාවේදි ඔහු මාස කීපයකට නිවාඩු රැගෙන ගෙදර ආවේය. ඇවිත් පවුලේ කටයුතු වලට උදව් උපකාර විය.

2018.10.19.04

ආකර කම්කරුවෙකුව.

එසේ ගෙදරට පැමිණි කාලය තුළ ඔහුගේ වැඩිමහල් සහෝදරයින් දෙදෙනෙකු සමඟ ඔහු රන් ආකරයක කම්කරුවෙකු ලෙස රැකියාවේ නිරත විය. වැඩ කරන දුප්පත් මිනිසුන්ගේ දුක් වේදනා ඔහු අත්වින්දේය.

2018.10.19.05

රෝමය බලා.

දේව ධර්ම අධ්‍යාපනය සඳහා රෝමයේ ග්‍රේගොරියානු විශ්ව විද්‍යාලයට රොමේරො ව යොමු කරනු ලැබීය. ඉතා උසස් ලෙස දේව ධර්ම උපාධිය සමත් වී පූජකවරයට අවශ්‍ය සුදුසුකම් සපුරාලුවන් ඔහුට පූජකවරය සඳහා තව වසරක් බලා සිටීමට සිදු විය. ඊට හේතු වූයේ වයසින් ඔහු බාල වීමයි.

2018.10.19.06

වයස අවුරුදු 25 දි එනම් 1942 අප්‍රියෙල් 24 රෝමයේදි ඔහු පූජකවරය ලැබුවේය. එහෙත් එකල දෙවන ලෝක මහා යුද්ධය පැවැතියෙන් ඔහුගේ මව්පියන්ට හෝ ඥාතින්ට ඔහුගේ පූජකවර දානයට සහභාගී වීමට නොහැකි විය. පූජකවරයෙන් පසුව ආචාර්ය උපාධිය සඳහා ඔහු තව දුරටත් රෝමයේ නතර විය.

කියුබාවේදි සිරගතව.

ආචාර්ය උපාධිය සඳහා උනන්දුවෙන් ඉගෙන ගන්නා අතර සැල්වදොරයේ ඔහුගේ පදවියේ රදගුරුතුමා ආපසු පැමිණන ලෙස දැනුම් දීම හේතුවෙන් රොමේරෝ තවත් පූජක මිතුරෙකු සමඟ ඉතාලියේ සිට සැල්වදොරය බලා ආපසු පැමිණියේය. ඉතාලියෙන් ස්පාඤ්ඤයටත් ස්පාඤ්ඤයෙන් කියුබාවටත් ඉන්පසු සැල්වදොරයටත් ඔවුන්ගේ ගමන් මඟ විය.

කෙසේ වෙතත් කියුබාවේදි ඔවුන් දෙදෙනා අත් අඩංගුවට පත් වු අතර සිරගත කරන ලදී. හේතුව වූයේ ඔවුන් පැසිස්ට් රාජ්‍යයක් වූ ඉතාලියේ සිට පැමිණීමයි. මාස කීපයක් සිර ගෙදර සිටින අතර මිතුරු පූජක තුමා අසනීප විය. දිව්‍ය ගැලවුම්කාර නිකායික පියතුමෙකුගේ මැදිහත් වීමෙන් ඔවුන් රෝහල් ගත වු අතර ඉන්පසු නිදහස් වි නැවෙන් මෙක්සිකෝවටත් මෙක්සිකෝවෙන් සැල්වදොරයටත් පැමිණිමට ඉඩකඩ සැලසුනි. සිරගතවූවන් පිළිබඳ සජිවි අත්දැකීමක් ලබා ගැනීමට රොමේරො පූජක තුමාට ලැබුනේ දුර්ලභ අවස්ථාවකි.

2018.10.19.07

මීසම් සේවක පියතුමෙකු ලෙස සෙන් මිගෙල් පදවියේ විවිධ මීසම් වල එතුමා ඉතා කැපවීමෙන් වැඩ කළ අතර නව දූත සේවා රැසක් ආරම්භ කර පවත්වාගෙන ගියේය. ඒ අතර මත්ද්‍රව්‍ය නිවාරන සේවාවක් ද සාමයේ රැජින වන්දනාව ද විය.

පත පොත කියවන උගත්, කැපවුනු මේ පූජකතුමාව අන්තර් පදවි දෙව්සත්හලේ අධ්‍යක්ෂ ලෙසද පත් කරනු ලැබුවේ ඒ අතරතුරය.

මානසිකව කඩා වැටි.

ඉතා සංවේදි හැඟුම්බර පියතුමෙකු වු ඔහු දිගින් දිගටම වැඩ කිරිමෙන් මානසිකවද ශාරීරිකවද වෙහෙසට පත් විය. 1966 වර්ෂයේදි එතුමාගේ බිඳ වැටුනු තත්වය හේතුවෙන් පෞද්ගලික ඥානකාන්තියට හා මනෝ චිකිත්සකයෙකු වෙත එතුමාව යොමු කරන ලදී.

බරපතල අසහනකාරි පෞරුෂ අර්බුදයකට එතුමා ගොදුරු ව සිටි අතර ඒ සඳහා මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට සිදු විය.

එහෙත් පදවියට පමණක් නොව රටටම ඉතා වටිනා සම්පතක් වූ රොමේරො පියතුමාව රදගුරු සමුළුවේ ලේකම් ලෙස පත් කළ අතර ඒ රාජකාරිය අතර තුරුම රදගුරු පදවියේ පුවත්පතේ අධ්‍යක්ෂ හා කර්තෘ ලෙසද පත් කරන ලදී. එකි කාර්යයන් දෙකම එතුමා සුවිශේෂි ලෙස ඉටු කරන ලදී.

2018.10.19.08

රදගුරුවරයට.

1970 දී එතුමා සැල්වදොරයේ සහය රදගුරු ලෙස පත්වීම් ලැබුවේය. වසර හතරකට පසු සැල්වදොරයේ ඉතා දිළිඳු ග්‍රාමීය පදවියක් වන සාන්නියාගො ඩි මරියා පදවියේ රදගුරු තුමන් ලෙස එතුමාව වතිකානුව විසින් පත් කරන ලදී.

ගැමි ජනතාව අතර හොඳ හිත හා ආදරය දිනා ගනිමින් බාල තරුණ මහළු සෑම හා එක්ව වැඩ කළ රොමේරො රදගුරු තුමාගේ සේවය එම පදවියට හිමිවුයේ වසර තුනක කෙටි කාලයක පමණි.

2018.10.19.09

අර්බුද යුගයක නිවැරදි තේරුමක්.

1977 පෙබරවාරි 23 වනදා ඔස්කා රොමේරො හිමි සැන් සැල්වදොරයේ අගරදගුරු ලෙස පත් කරනු ලැබීය.

එම කාලවකවානුව වානහි එල් සැල්වදොරයේ ඉතිහාසයේ අර්බුදකාරි සමයක් විය. ඇමරිකන් ගැති මිලිටරි පාලනයක් රටේ පැවැති අතර මාක්ස්වාදි පිරිස් හා පීඩනයට පත් වන ජනතාව මිලිටරියට එරෙහිව කටයුතු කරමින් සිටියෝය. සභාව තුළ ද යම් පූජක පිරිසක් මාක්ස්වාදි අදහස් වලට හා වැඩ පිළිවලට විවෘතව සහය ඵල කර සිටි සමයක විමුක්ති දේව ධර්මය මගින් අනුභාවය ලැබු ප්‍රගතිශීලි පූජක හා ගිහි ජනතාවක්ද සිටි අතර ඔවුන් රැඩිකල් රදගුරුවරයෙකු අපෙක්ෂා කරන ලදී.

එවන් පසුබිමක රොමේරෝ හිමි අගරදගුරු ලෙස පත්වීම මිලිටරි ජුන්ටාව සාදරයෙන් පිළිගන්නා ලදී. මන්ද යත් එතුමා සැලකුනේ සභාවට ඉතා ලැදි කීකරු විමුක්ති දේව ධර්මවාදි අදහස් නොදරන ඕපුස් ඩෙයි අදහස් දරන රදගුරුවරයෙකු ලෙසිනි. මේ නිසා එතුමාගේ පත් වීම ප්‍රගතිශීලී පූජකවරුන්ට බලාපොරොත්තු කඩවීමක් විය.

දුප්පතුන් හා පීඩිතයින් උදෙසා වැඩ කරන විමුක්ති දේව ධාර්මික ප්‍රවාහයට සෘණ බලපෑමක් හැටියටයි ප්‍රගතිශීලි පූජකයින් නව රදගුරුවරයාගේ පත්වීම දුටුවේ. රදගුරුවරයෙකු ලෙස රොමේරෝ හිමි තෝරාගත තිබු තේමා පාඨය (Motto) එතුමාගේ සම්ප්‍රදායික බව මොනවට පැහැදිලි කරන්නක් විය. “සභාව කෙරෙහි හැඟීමෙන්” (Fell with the Church) වතිකානුව එතුමාව පත් කරමින් අපෙක්ෂා කළේද තත්වය සමනය කරමින් අන්ත දෙක සමතුලනය කරමින් අර්බුදය පිය මං කිරීමට සභාවට නායකත්වය දීමයි.

2018.10.19.10

සිහිනය පුපුරා යයි.

අගරදගුරුවරයට එතුමා පත් වී සති තුනක් ඉක්මයාමට පෙර 1977 මාර්තු 12 වෙනිදා එතුමාගේ පෞද්ගලික මිතුරෙකු වූද ජනතාව කෙරෙහි අපිරිමිත සෙනෙහසින් දුප්පතුන් අතර කුඩා කණ්ඩායම් ප්‍රවර්ධනය කරමින් සේවය කළ ජේසු නිකායික රුටිල්ලෝ ග්‍රාන්ඬේ පියතුමාව ඝාතනය කරනු ලැබීය.

රුටිල්ලෝ පියතුමා මාක්ස්වාදි අදහස් මත ජනතාව අතර වැඩකල කෙනෙක් නොවීය. ඔහු කිතුනුකම යනු දුප්පත් ජනතාව සමඟ වැඩ කිරීම ලෙස හඳුනාගත් කෙනෙක්. කුඩා කණ්ඩායම් ගොඩනගමින් ජනතාව බලගැන්වීමට ක්‍රියා කළ කැපවුනු යහපත් පූජකයෙකි. ඒ බව රොමේරො හිමි හොදින් දැන සිටියේය. ඒ නිසා රුටිලලෝ පියතුමාගේ ඝාතනය රොමේරො හිමියන්ට රෙජිමයේ සැබැ ස්වරූපය ඉතා හොඳින් පෙන්වා දුන් අවස්ථාවක් විය.

 2018.10.19.11

රුටිල්ලෝ පියතුමාගේ මරණය පිළිබඳ රොමේරො හිමියන් මෙසේ ප්‍රකාශ කළේය.

"රුටිල්ලෝ පියතුමා ඝාතනය කළේ එතුමා පූජකයෙකු ලෙස ඉටු කළ කාර්යය භාරය නිසයි. ඔහු මත මරණයේ සෙවනැල්ල වැටි තිබුනේ ඒ ක්‍රියාකාරිත්වය නිසයි. ඒත් ඔහුගේ යහපත් මාර්ගයේම අපත් ගමන් කළ යුතුයි. එයයි ජේසුගේ මාවත"

සැල්වදොරයේ අගරදගුරුතුමා ලෙස විශේෂයෙන් රජයේ පිළිගැනීමට ලක් වු අගරදගුරුතුමා ලෙස එතුමා රජයට බල කළා. රුටිල්ලෝ පියතුමාගේ ඝාතනය ගැන පරීක්ෂණයක් සිදු කොට ඝාතකයින් නීතිය හමුවට පමුණුවන ලෙස. නමුත් රජය ඒ ඉල්ලීම නොසලකා හරින ලදී. ඒ වගේම රජයේ වාරණයට යටත් වු පුවත්පත් මේ ඝාතනය ගැන මුනිවත රකින ආකාරය රොමේරො හිමියන් තුළ දැඩි කම්පනයක් ඇති කළේය.

භීෂණය වර්ධනය වෙත්ම පාසල් වසා දැමුනි. රජය කතෝලික පියවරුන්ට විවෘතව ආරාධනා කලා රජයට සහය දෙන්න ලෙස. එකි ආරාධනයේ අනෙක් පැත්ත වුනේ ඔබ රජය සමඟ නොවේ නම් ඔබ ඉන්නේ රජයට විරුද්ධව අය සමඟය යන අදහසයි.

රුටිල්ලෝ පියතුමාගේ මරණයෙන් පසු රොමේරො හිමි ඔහු විසින් ඊට පෙර නොකළ ක්‍රියාකාරිත්වයන් වෙත යොමු වුනේය. අතුරුදහන් වූවන් ගැන තොරතුරු රදගුරු නිවසේ එක් රැස් කළේය. ඒවා ප්‍රසිද්ධ කළේය. සැඟවුනු සාක්ෂි හෙළිදරව් කිරීමට දුප්පකමට එරෙහිව, සමාජ අසාධාරණයට එරෙහිව, ඝාතනවලට වධහිංසා වලට එරෙහිව එතුමා හඬ නඟන්නට ගත්තේය.

සිවිල් යුද්ධය තුළ.

1979 දී රට තුළ සිවිල් යුධ තත්වයක් ඇති විය. ඇමරිකා එක්සත් ජනපදයේ ආධාර ඇතිව රජය මානව හිමිකම් ක්‍රියාධරයින් වාමවාදින් මෙන්ම පූජකවරුන්ද මර්ධනය කිරිමට පටන් ගත් අතර රජයට විරුද්ධව සන්නද්ධ පිරිස් සටනට එළඹුනෝය.

රොමේරො හිමියන්ට ලේ වැගිරෙන මේ තත්වය දරා ගන්න අපහසු විය. එතුමා 1980 දී ජනපති ජිමි කාටර්ට ලිපියක් ලියමින් සැල්වදොරේයේ රජයට මිලිටරි ආධාර දීම හා උපකාර කිරීම වහා නවතා දමන ලෙසත් තම අයිතින් දිනා ගැනීමට සමාජ අසාධාරණයට එරෙහිව සංවිධානය වු ජනතාව මර්ධනය කිරිමට උපකාර නොකරන ලෙසත් ඉල්ලා සිටියේය. එහෙත් ජිම් කාටර් රජය සැල්වදොරේ ජුන්ටාවට දිගටම උපකාර කළේය.

රොමේරො හිමියන්ගේ දැවැන්ත කාර්ය භාරය නිසාම එතුමාව අන්තර්ජාතික ප්‍රජාව හඳුනා ගත්තේ මේ වකවානුවේදීය. 1980 දී ලුවෙන් විශ්ව විද්‍යාලය එතුමාට ගෞරව ආචාර්ය උපාධියක් පිරිනැමුවේය. එම උපාධිය භාරගන්නා යුරෝපීය සංචාරය ඔහු සැල්වදොරයේ යථාර්ථය දැනුවත් කිරීමට අවස්ථාවක් කර ගත්තේය. දෙවන ජුවාව් පාවුළු පාප්තුමන් හමු වී තම ජනයා මුහුණ දී ඇති තත්වය පහදා දුන්නේය. පූජකවරුන් ඇතුළු ජනයා මුහුණ දී ඇති තත්වය රජය ත්‍රස්තවාදයේ ප්‍රතිඵලයක් බව එතුමා පෙන්වා දුන්නේය.

2018.10.19.12

දුප්පතුන්, පීඩිතයින් සමඟ වැඩ කරන කතෝලික ගිහි පැවිදි පූජක පිරිස්වලට එරෙහිව සිදු කරන පහරදීම්, වද දීම්, පැහැර ගෙනයාම් එතුමා තදබල ලෙස හෙදා දකිමින් වින්දිතයින්ගේ හඬ බවට පත් විය. සහෝදර පූජක තුමන්ලා වෙනුවෙන් මැදිහත්වීම නිසා එතුමාට ද වරක් පොලිස් කූඩුවේ ලැගීමට සිදු විය. එහි සිට පූජකතුමන්ලාට වඳ දෙන ආකාරය, ඔවුන්ගේ විලාපයන් අසා සිටීමට එතුමාට සිදු විය. එය එතුමාට තමාගේ ඉරණමක් එවැන්නක් විය හැකි බවට ඉගි කිරීමක් විය. “අපි මිනිස්සු අපි මිනිස්සු නවත්වන්න මේ වද දීම්” එතුමා බලධාරින් ඉදිරියේ කෑ මොර දුන්නේය.

පූජක ඝාතනය.

“දේශප්‍රේමියෙක් වන්න. පූජකයෙකු මරන්න” මිලිටරිය තුළ එවැන් සටන් පාඨයක් පවා ගොඩනැගෙන තරමට මිලිටරිය පූජකවරු කෙරෙහි වෛරී සහගත විය. එතුමා අගරදගුරු ලෙස පත් වී අවුරුදු 3 කට අඩු කාලයක් තුළ පූජක තුමන්ලා 50 කට වැඩි පිරිසක් අත් අඩංගුවට ගැනීමට පහර දෙනු ලැබීමට, බිය වැද්දීමට, වඳ බන්ධනයට පත් කිරීමට ලක් විය. හය දෙනෙකු ඝාතනයට ලක් විය. සමහර පූජක තුමන්ලාට ජීවිත ආරක්ෂාව පතා විදෙස්ගත වීමට සිදු විය.

මේ භීම සමය තුළ භීතියට පත් බැටළු රැළගේ යහපත් එඬේරා වූ රොමේරො හිමියන් හඬක් නැති මිනිසුන්ගේ හඬ බවට පත්ව සිටියේය. අගරදගුරු පදවි ගුවන් විදුලිය, පුවත්පත නිරතුරු ජනතාව වෙනුවෙන් හඬ නැගුවේය. මිලිටරියේ පහර දීමට ද ජනතාවට තොරතුරු දෙන ආයතන හා පුද්ගලයින් ඉලක්ක විය.

දුක් විඳින සභාව.

පළමු සියවසේදි කිතුනුවන් අත් දුටු මර්ධනය සැල්වදොරියානු සභාව අත්විදින කාලයක් බවට එය පත්වුණි. දහම් ගුරුවරු, ගිහි ක්‍රියාකාරින්, කිතුනු ඒකක නායකයින් නිරන්තරයෙන් පහර කෑමට, අත් අඩංගුවට ගැනීමට, ප්‍රශ්න කිරීමට පමණක් නොව ඝාතනය කරනු ලැබීමටද ගොදුරු විය.

මිලිටරි ජුන්ටාවට ලොකුම අභියෝගය වුනේ සභාවයි. දුප්පතුන්ගේ පැත්ත ගත් සභාවයි. මුලදි ඉතා ආදරයෙන් රොමේරො හිමිව පිළිගත් රජයට දැන් ලොකුම හිසරදය ඔහු විය. ඇතැම් අවස්ථාවල ඔහු රජයේ ප්‍රධානියාගේ නිවසටම ගොස් කතා කළ අතර හමුදා ප්‍රධානින් සමඟ මුහුණට මුහුණ ගැටුනි.

එතුමා පැහැදිලිව දුටු සත්‍යයක් වූයේ සෑම පූජකයෙකුම රජය මර්ධනයට ලක්වුනේ නැති බවයි. ජනතාවගේ පැත්තේ සිටින අසාධාරණයට විරුද්ධ ව හඬ නඟන පූජකයින් පමණයි මර්ධනයේ ඉලක්කය වන්නේ. “ජනතාව මිය යන තැනකදි පූජකවරුද මිය යන එක ගැන මම එක් පැත්තකින් සතුටුවෙනවා. ඒ තුලින් පෙනි යනවා පූජකවරු. ජනතාවගේම කොටසක් ඔවුන් සමඟ සිටින පිරිසක් බව” වරක් ගුවන් විදුලියේ දේශනයකදි රොමේරෝ හිමි එසේ පැවසුවා.

මාධ්‍ය මර්ධනය කොතරම් ද කීවොත් අගරදගුරු පදවි ගුවන් විදුලි මධ්‍යස්ථානයට පාවා බෝම්බ ප්‍රහාර එල්ල විය. සැල්වදොරයේ ජනතාව නිවැරදි තොරතුරු දැන ගැනීමටද මේ අර්බුදය තුළ තම ඇදහිල්ල අර්ථගන්වා ගැනීමටද රොමේරෝ හිමිගේ ගුවන් විදුලි වැඩ සටහන් වටා ගොනුවිය. වැඩීම ශ්‍රාවකයින් පිරිසක් අසන වැඩ සටහන බවට එතුමාගේ දේශන පත් විය.

විමුක්ති දේව ධර්මය.

රොමේරෝ හිමිගේ සියලුම සිතුවිලි ක්‍රියා පදනම් වූයේ එතුමාගේ ඇදහිල්ල මතයි. කිතු දහමේ විමුක්ති හරය මතයි. එකල ලතින් ඇමරිකාව පුරා ප්‍රචලිත වු “විමුක්ති දේව ධර්මය” මාකස්වාදියි, ත්‍රස්ථවාදියි සහ කිතු දහම නොවේ යැයි ඇතැම් සම්ප්‍රදායික සභා නායකයින් හංවඩු ගැසීම නිසා ම විමුක්තිය ගැන කතා කිරීම කිසියම් නොතේරුම් ගැනීමකට මුහුණ දීමක් විය.

වරක් රොමේරෝ හිමිගෙන් පුවත්පත් වාර්තාකරුවෙකු මෙසේ ප්‍රශ්න කරනු ලැබීය.

“ඔබ එකඟද විමුක්ති දේව ධර්මය සමඟ”

“ඔව්, අනිවාර්යෙන්ම. දේවර්ගයක විමුක්ති දේව ධර්මයක් තිබෙනවා. එකක් ද්‍රව්‍යමය විමුක්ති පමණක් පතන විමුක්ති දේව ධර්මයක්. දෙවැන්න සයවෙනි පාවුළු පාප් තුමන් පෙන්වන විමුක්ති දේව ධර්මය. මම ඉන්නේ ඒ දේව ධර්මය සමඟ”

එතුමා විමුක්ති දේව ධර්මය ගැඹුරින් කියවු අකේ නොවේ. ඔහුගේ ප්‍රමුඛත්වය වුනේ විමුක්ති දේව ධර්මය කියවීම හෝ ප්‍රචලිත කිරීම නොවෙයි. ජනතාවගේම නිදහස, විමුක්තිය, උදාරත්වය වෙනුවෙන් ක්‍රියා කිරිමයි. නමුත් කිසි විටක එතුමා විමුක්ති දේව ධර්මය අවතක්සේරු නොකළේය.

රොමේරෝ හිමි වරක් මෙසේ ප්‍රකාශ කරන ලදි. “මගේ ජීවිතය හා ක්‍රියාවන් පදනම් වන්නේ විමුක්ති දේව ධර්මය පිළිබඳ උනන්දුව මත නොවේ. එය පදනම් වී ඇත්තේ බයිබලීය විමුක්ති දැක්ම හා දුප්පතුන් තෝරා ගැනීම පිළිබඳ ඉගැන්වීම් මතයි”

කෙසේ වෙතත් මාක්ස්වාදින් සමාජ ක්‍රියාකාරින් ආදි සියලුම දෙනාටත් වඩා මේ කිතුනු රදගුරුවරයා සැල්වදෝරයේ ජුන්ටාවට හිසරදයක් විය.

1980 මාර්තු 23 එනම් එතුමා ඝාතනය කරන ලද දිනයට පෙර දින සැල්වදොරියානු රජයේ සෙබළුවන් ප්‍රසිද්ධියේ ආමන්ත්‍රණය කරමින් එතුමා මෙසේ ප්‍රකාශ කරන ලදී.

"සොල්දාදුවනී,
ඔබ කිතුනුවන් ලෙස
දෙවියන් වහන්සේ
උතුම් වු කැමැත්ත පමණක් - ඉටු කරන්න
මානව හිමිකම් උල්ලංඝනය
කිරීමට, හිංසාව මුදා හැරීමට
රජය ඔබට දෙන නියෝග
ක්‍රියාත්මක කිරිම නතර
කරන්න"

බාධකය ඉවක් කිරිම.

අවසානයේදි මිලිටරිය රොමේරෝ හිමි නම් වු මහා බාධකය ඉවත් කිරීමට තීරණය කරන ලදී. 1980 මාර්තු 24 වනදා ඕප්‍රස් ඩෙයි සංවිධනාය මගින් සූදානම් කළ පූජකවරුන්ගේ හා මිතුරන්ගේ මාසික ඥාන කාන්තියට එතුමා සහභාගී විය.

එදින ඔවුන්ගේ මෙනෙහි කිරීම වූයේ “පූජක දිවිය” ගැනයි. “පූජාවීමෙන් තොර පූජක දිවියක් නොමැති බව මෙනෙහි කිරීමට ලක් විය. ඥාන කාන්තිය අග එතුමා දිව්‍ය සංරක්ෂණයේ ආරෝග්‍ය ශාලාවේදි කුඩා දෙව් මැදුරේ පැවැත්වෙන සවස දිව්‍ය පානය ඔප්පු කිරීමට පිටත්ව ගියේය.

දේශනයෙන් පසු එතුමා අල්තාරය වෙත ගොස් දිව්‍ය රහස් කිරීම අරඹන ලදී. තුති පුදා කුසලානය ඉහළට ඔසවනවාත් සමඟම සහසිකයාගේ වෙඩි උණ්ඩය උන්වහන්සෙග් හිස පසාරු කරගෙන ගියේය. ක්‍රිස්තුස් වහන්සෙගේ ශ්‍රී රුධිරය බවට හැර වු මිදි යුෂ බදුන බිම වැටුනි. එතුමා ද අල්තාරය මත ඇද වැටුනේය. එතුමාගේ රුධිරය හා ක්‍රිස්තුස්වහන්සෙගේ රුධිරය එකම රුධිරයක් බවට පත් වුනි.

දුප්පත්කමට, සමාජ අසාධාරණයට, මනුෂ්‍ය ඝාතනවලට වඳ හිංසා වලට එරෙහිව අහිංසාවාදිව හඬ නැගු සැන් සැල්වදොරයේ හතරවන අගරදගුරු තුමාගේ හඬ එසේ නිහඬ කරන ලදී.

අවංමගල්‍යටත් පහර දෙති.

එතුමාගේ අවමංගල්‍ය සැන් සැල්වදොරයේ මෙට්රොපොලිටන් ආසන දෙව් මැදුරේදි 1980 මාර්තු 30 වෙනදා සිදු කරන ලදී. 250 000 කට අධික පිරිසක් එදින අවමගුල් පිළිවෙතට එක් වී සිටියෝය. විදෙස් දූත පිරිස් ද සමාජ ක්‍රියාධරයින්ද ඒ අතර විය.

මේ දැවැන්ත ජන ගඟ ජුන්ටා රජයට එරෙහිව සිදු කෙරෙන නිහඬ විරෝධතාවයක් බවට පත් වී තිබුණි. එය සැල්වදොරයේ ඉතිහාසයේ පමණක් නොව මුළු ලතින් ඇමරිකාවේම එතෙක් පැවැති විශාලතම ජන සහභාගීත්වය තිබු අවමංගල්‍ය විය.

2018.10.19.13

දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් තම පෞද්ගලික දූත පිරිසක් එයට සහභාගී කර වු අතර එතුමාගේ ශෝකය සැල්වදොරේ සභාවට ප්‍රකාශ කරමින් මෙසේ ලිවිය.

“මොහු අපගේ විමුක්තිදායක දෙවිදුන්ගේ ප්‍රියාදර සාම දූතයාය. එතුමාගේ රුධිරය සහෝදරත්වයේ සාමයේ හා ප්‍රේමයේ ඵලයක් ලෙස වගුරවනු ලැබීය. එය ඵල දරනු ඇත.”

අවමංගල්‍ය මෙහෙය පැවැත්වෙන අතර තුර ජුන්ටාව සහභාගී වී සිටි සාමාන්‍ය ජනයාාට දුම් බෝම්බ ප්‍රහාර හා වෙඩි ප්‍රහාර එල්ල කරන ලදී.

සිවිල් ඇඳුමින් සැරසි ජනයා අතර සිටි සෙබළුන් මෙන්ම ජාතික මන්දිරයේ ඉහල සිටි සෙබළුන් මේ ප්‍රහාරය දියත් කළ බව පෙනුනි. සාමාන්‍ය වැසියන් 35 දෙනෙකු පමන ඝාතනයට ලක් වු මේ තිරශ්චිත ප්‍රහාරය මිලිටරියේ නරුමත්වය ලොවට කීයා පෑවේය. බාධා කිරිම්, වෙඩි තැබීම්, මධ්‍යයේ වූවද රොමේරො හිමියන්ගේ සිරුර භූමිදානය කළ පසු මිනිසුන් පෙළ ගැසිමින් තම හෘද අභ්‍යන්තරයන් ශුද්ධවරයට එස වු සාන්තුවරයට බුහුමන් දක්වන ලදී.

ඝාතනයට පසු.

දෙවන ජුවාමි පාවුළු සුදතුම් පියාණන් රොමේරො හිමිගේ සාක්ෂි දැරීම මුළු මහත් සභාවටම ආලෝකයක් බව ප්‍රකාශ කළේය.

“එතුමා හිංසාව නැවැත්වීම උදෙසා අහිංසාවාදිව කැප වු ශ්‍රේෂ්ඨ පූජකයෙකි. එතුමාගේ ජීවිතය සුභාරංචියේ වටිනාකම් උදෙසා කළ උතුම් සාක්ෂි දැරීමකි” එතුමා පැවසුහ.

ජන හදේ සාන්තුවරය.

නිල සභාව එතුමා “දේව සේවකයෙකු” “භාග්‍යවන්තෙකු” “සාන්තුවරයෙකු” කිරීමට පෙර සැල්වදොරයේ ජනතාව එතුමාව සාන්තුවරයෙකු සේ සලකන ලදී. ජනතාව එතුමාව හැදින්වූයේම සාන්ත රෝමේරෝ  (San Romero ) ලෙසිනි.

1997 දී දෙවන ජුවාම් පාවුළු පාප්තුමන් විසින් රොමේරො හිමියන්ව දේව සේවකයෙකු ලෙස ප්‍රකාශයට පත් කරමින් භාග්‍යවරයට හා සාන්තුවරයට එසවීමේ කටයුතු ආරම්භ කරන ලදී.

2010 වර්ෂයේදි එක්සත් ජාතින්ගේ සංවිධානය රොමේරො හිමි ඝාතනයට ලක් වු දිනය “මානව හිමිකම් උල්ලංඝනයන් ගැන සත්‍ය දැන ගැනීමේ හා පීඩිතයින්ගේ උදාරත්වය රැකීම පිලිබඳ දිනය” ලෙස නම් කරන ලදී. එය මානව හිමිකම් රැකීම වෙනුවෙන් එතුමා කළ මෙහෙවර අන්තර්ජාතිකව පිළි ගැනිමක් හා ඇගයීමක් විය. රටවල් කීපයක් විසින් එතුමාව නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කරන ලදි.

එතුමා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හෙළා දුටුවා. ජීවිතය සුරැකීමේ කිතුනු මූලධර්මය ප්‍රවර්ධනය කරමින් වධ හිංසාවන්ට ගොදුරු විය හැකි පුද්ගලයින් ආරක්ෂා කළා. මානව ගරුත්වය වෙනුවෙන් පෙනි සිටි එතුමා සියලු ආකාර හිංසාවන්ට විරුද්ධ වුනා. එම භාවිතාව ලෝක පරිමාණව ගත්තද සුවිසල් කැපවීමක් විය.

2018.10.19.14

සාන්තුවරයට ගමන.

එතුමා ව සාන්තුවරයට එසවීමේ ගමන ටික කලක් ඇණ හිටි තිබුණා. දෙවන ජුවාම් පාවුළු පාප් තුමන්ගෙන් පසුව සභාව නැවත සම්ප්‍රදාය ගැති වූවන්ගේ ග්‍රහණට හසුවීම ඊට බලපෑ බව පෙනී යනවා. එහෙත් නැවත එකි ක්‍රියාවලිය ආරම්භ කිරීමට 16 වන බෙනඩික් පාප් තුමන්ගේ අවසන් කාලයේදි අනුමැතිය ලැබෙනවා. ප්‍රැන්සිස් සුදතුම් පියාණන් එම ක්‍රියාවලිය නැවත පණ ගන්වමින් මෙසේ ප්‍රකාශ කරනු ලැබුවා.

"එතුමාගේ දූත මෙහෙවර සුවිශේෂි ලෙස යොමු වී තිබුණේ දුප්පතුන්ගේත් දුප්පතුන් වෙත. පරිධියට ඇද දැමු මිනිසුන් පිළිබඳ වු සහකම්පාවකින් එතුමාගේ හදවත පිරි තිබුණා. එතුමා විමුක්ති දේව ධර්මාවාදින්ගේ හා ඊට සහය ඵල කරන්නන්ගේ ගෞරවය දිනා ගෙන සිටි අතර එතුමාගේ ජීවිත සාක්ෂිය විමුක්තිවාදින්ට ආනුභාවය සපයන එකක් වුණා. එතුමා අභ්‍යන්තර වෙනසක් තුළින් සමාජ විප්ලවයක් ප්‍රාර්ථනා කළ සැබෑ කිතුනුවෙක්."

2018.10.19.15

2015 පෙබරවාරි 03 වනදා ප්‍රැන්සිස් සුදතුම් පියාණන් රොමේරො හිමියන්ව ප්‍රාණ පරිත්‍යාගීවරයෙකු ලෙස නම් මේ කොට භාග්‍යවරයට එසවුවා. එතුමාගේ මංගල්‍යය එතුමාව ඝාතනය කළ මාර්තු 24 වන දිනයට යේදි තිබේ. කතෝලික සභාව තුළ පමණක් නොව ඇන්ග්ලිකානු ජනවන්දනා දින දර්ශනය තුළද ලූතරානු සභාවේ ජන වන්දනා දින දර්ශනය තුළ එතුමාව සිහිපත් කරනු ලබනවා.

2018.10.19.16

ඇන්ග්ලිකානු සභාවේ වෙස්මිනිස්ටර් ඇබෙ දේවස්ථානයේ අඹා ඇති 20 වන සියවසේ ප්‍රාණ පරිත්‍යාගීන්ගේ ප්‍රතිමා අතර එතුමාගේ ප්‍රතිමාවක්ද තිබේ.

එතුමාගේ සාන්තුවර නාමය වන්නේ රදගුරු හා ප්‍රාණපරිත්‍යාගී යන්නයි. එතුමා පීඩවට පත්වන ක්‍රිස්තියානින්ගේ නාම සාන්තුවරයා ලෙස සැලකෙන අතර කවිටාස් ආයතනයේ සම නාමසාන්තුවරය සේ නම් කර තිබෙනවා.

2018.10.19.17

උන්වහන්සේ පිළිබඳ ජනප්‍රිය කලා හා සාහිත්‍යයේ නිර්මාණ රාශියක් සිදු වී තිබෙනවා. එසේම එතුමා නමින් ලොව පුරා විවිධ ආයතන, රාශියක් බිහි වී තිබෙනවා. එතුමාගේ ජීවිතයට සිය වසක් පිරෙන මේ වර්ෂයේදි එතුමාගේ මෙහෙවර තව සිය වසක් ඉදිරියට ගෙන යාමට කැපවීම එතුමාට කරන සැබෑ ගෞරවය වෙනවා.

2018.10.19.18

 

Jesustodaysl 2 වන වසර 32 වන සතිය 2018 ඔක්තෝම්බර් 21

 

 

Comments powered by CComment