ඒ, 1990 අගොස්තු 15 වෙනිදාය. දේ මාතාවන් ස්වර්ගයට වැඩිය ණය මංගල්‍යය කතෝලික විශ්වාසයට අනුව සමරන දාය. නමුත්, සැබැ ණය යුක්තිය වන්නේ ඒ වන විටත් යුධ බිමේ හිර වි සිටින ජනතාව මුදාගෙන ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ඒම බව එතුමාට දැනුනේය. එතුමා ඒ සඳහා පිටත් විය. ඉන් වසර 28 ක් ගත වි තිබේ. එහෙත් එතුමාගේ මල සිරුර හමුවීම මතු නොව එතුමාට සිදු වු දේ පිළිබඳව වගකිව යුතු ප්‍රකාශයක්වත් තවම සිදු වී නැත. මේ එතුමා පිළිබඳ සටහනකි. එතුමාව මඩකලපුවේ සාන්ත මයිකල් විද්‍යාලයේ දරුවන් හා ආදි සිසුවන් හැදින්වූයේ බාස්කට් බෝල් ක්‍රීඩාවේ පියා වශයෙනි.

සැබෑ ධර්මදූතයෙක්

සැබෑ කිතුනු අනුගාමිකයා විශ්වාන්තරවාදියෙකි. හේ තම පවුල සේ සලකන්නේ මුළු විශ්වයයි. ජාති ආගම් භාෂා දේශසීමා ඉක්මවා සෑම මිනිසෙකුම දේව දරුවෙකු සේ සැලකීමට ඔහුට අනුභාවය ලැබෙන්නේ මුළු මහත් ලෝකයාටම විමුක්තිය ලබාදීමට කිතු සමිඳුන් ජීවිතය පූජා කළාය යන දැක්ම තුළයි.

මිෂනාරි හෙවත් ධර්මදූතවරු ආගම් ව්‍යාප්තවාදීන් සේ විවේචනයට ලක්වුවද ජනතාවගේ සැබෑ ගැලවීම උදෙසා තම මව් රටින් සැතපුම් දස දහස් ගණන් ඈත නාඳුනන මිනිසුන් අතර පුළුල් දෘෂ්ඨියකින් වැඩකරන, වැඩ කළ ධර්මදූත පියවරු අනන්තවත් වෙති. ඉයුජින් ඇබේයර් පියතුමා අයත්වන්නේ ධර්මදූත කාර්ය යනු මිනිසුන් බෞතිස්මකර සභාවේ ඔළුගෙඩි ගණන වැඩි කිරීම නොව ජනතාවගේ පූර්ණ ගැලවීමට ක්‍රියා කිරීම බව ඇදහූ සැබෑ ධර්මදූත පරපුරටය.

ඇමරිකාවේ උපත ලබා

එතුමා උපත ලැබුවේ ඇමරිකා එක්සත් ජනපදයේ ලුයිස්සිනා පළාතේ ජිනිග්ස් හිදි 1923 ඔක්තෝම්බර් 09 වන දාය. පොහොසත් පවුලක සාමාජිකයෙකු වුවද යාන්තම් වයස අවුරුදු 18 පිරෙද්දිම ඔහු නිව් ඔර්ලියන්ස් පළාතේ ජේසු නිකායික පූජක සංගමයට ඇතුලත් විය. ජේසු නිකායික පුහුණුව නිම කර පූජකවරය ලැබීමටත් පෙර එතුමා ලංකාවේ සේවය සඳහා පැමිණියේය. ලොව කොතැනක සිටින ජනතාවක් වුවද දෙවිඳුන් තුළ තම නැදෑයන් බව ඇදහූ මෙම තරුණ ජේසුනුවා ලංකාවට පැමිණ ත්‍රීකුණාමලය හා මඩකලපුව ප්‍රදේශයේ වසරක සේවයෙන් පසු ඉන්දියාවට ගොස් දේව ධර්මය හදාරා 1954 දී පූජකවරය ලැබීය.

1956 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණි පසු ඇමරිකාවේ සිටියදී ප්‍රගුණ කළ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවයටම එතුමා යොමුවිය. ප්‍රථමයෙන් ත්‍රීකුණාමලය ශාන්ත ජෝශප් විදුහලේද අනතුරුව මඩකලපුව ශාන්ත මයිකල් විද්‍යාලයේද එතුමා සේවය කළේය. බොහෝ දෙනෙකු එතුමාව හැඳින්වූයේ ඇබේයර් පියතුමා වශයෙනි.

නව යෞවනයට සමීපව

එතුමා තමන් සේවය කළ පාසල් තුළ පැසි පන්දු ක්‍රීඩාව හා පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම සඳහා වෙහෙස දැරීය. එහි ප්‍රතිඵලයක් ලෙස නව යොවුන් සිසුන් ආකර්ශනය කර ගැනීමට එතුමා සමත්විය. සමස්ත ලංකා මට්ටමේ කීර්තිධර පාසලක් බවට පත්වීමට එතුමාගේ සේවය පාසලට ලැබිණි. ඇත්තෙන්ම පැසි පන්දු ක්‍රීඩාව මෙරටට හඳුන්වා දීමට පුරෝගාමී මෙහෙවරක් එතුමාගෙන් සිදු විය.

පාසල් රජයට පවරා ගත් පසු නැගෙනහිර පලාතේ කාර්මික විද්‍යාලයක් ලෙස තරුණ තරුණියන්ට විශාල සේවාවක් කළ නැගෙනහිර කාර්මික ආයතනයේ අධ්‍යක්ෂවරයා ලෙසද, පුහුණු කරුවෙකු ලෙසද ඇබේයර් පියතුමා සේවය කළේය. ඔහුගේ පොහොසත් නැදෑයින් ඔහුට තෑගි ලෙස එවූ අළුත්ම මෝටර් රථ ළමුන් සමඟ එකතු වී සම්පුර්ණයෙන් ගලවා නැවත සවිකිරීම මඟින් ප්‍රායෝගික පුහුණුවක් ලබා දීමට ඔහු ක්‍රියා කළේය භෞතික භාණ්ඩ කුමකට ද යන්න ඒවාට ආසා කරමින් සිටිනවුන්ට ආදර්ශයක් වෙමින් තරුණ ජීවිත අයාලේ යාම වලක්වා ඔවුන්ගේ ජවයෙන් රටට පූර්ණ සේවයක් ලබාගැනීමට නම් ඔවුන්ව ආර්ථික අතින් ශක්තිමත් කිරීමට අවශ්‍ය රැකියා ජනිත කල යුතු බව ඇදහූ එතුමා, පුරෝගාමි කාර්මික විදුහලක් ලෙස එය සංවර්ධනය කළේය. තරුණ සංවර්ධනය හුදු තරුණ සමිති, හමුවීම් වලට සීමා කිරීම අර්ථ විරහිත බවත් ක්‍රීඩාව, වෘත්තීය පුහුණුව, අධ්‍යාත්මික වර්ධනය යන අංශ තුනම එකට වර්ධනය කළ යුතු බවත් එතුමාගේ අදහස විය. ජේසු නිකායික අධ්‍යාත්මය ඒ පුළුල් දැක්ම එතුමාට සපයා තිබුණි.

යුද්ධයේ භීෂණය මැද

නැගෙනහිර පලාත යුද්ධයේ රුදුරු භීෂණයට ගොදුරුවූ 90 දශකයේ ආරම්භයේ එම පලාතේ සේවය කළ සියලු පූජක - පැවිදි පිරිස් උරගා බලන කාලයක් බවට පත්විය. ඇවිලී යන යුද්ධය ඉතා නරක ලෙස බලපෑ තරුණ පිරිසගේ ජීවිත දැඩි අවදානම් තත්වයට පත්විය. තරුණයන්ගේ ජීවිත හා සම්බන්ධව සිටි ඇබේයර් පියතුමා යුද්ධයේ අනතුරින් තරුණයන් ගලවා ගැනීම ගැන නිතර නිතර කල්පනා කළේය. අනිත් පැත්තෙන් මරණයේ අවධානම හැමතැනම විය.

සිය ගණන් දෙමළ - සිංහල ලාංකිකයෝ යුද්ධය සමඟ, ලංකාව ජීවත් වීමට සුදුසු තැනක් නොවෙයි කියා ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සොයා යද්දී, තමාටද යුධ භූමියක ජීවිතය අවධානමේ නොහෙලා තම මව්රට වූ ඇමරිකාවට පහසුවෙන් යා හැකිව තිබුණද ඇබේයර් පියතුමාට තම සේවා භූමිය දෙවිදුන් තුළ තම මව්රට විය. එතුමා යුධ භීෂණය මැද මෙහිම සිටිමින් ක්‍රියා කළේය.

1990 අගෝස්තු මැද නැගෙනහිර තත්වය නරක අතට හැරුණේය. මුස්ලිම් හා දෙමළ ජනතාව අතර ගැටුම් උත්සන්න විය. එහි ප්‍රතිඵලයක් ලෙස ඝාතනය හා ප්‍රති ඝාතනය වර්ධනය විය. කාන්තන්කුඩි මුස්ලිම් දෙව්මැදුරේ ඛගඔගඔගෑගය විසින් සිදු කළ ඝාතනය, තත්වය බරපතල කරන ලදී. අවට තිබුණු මුස්ලිම් හා දෙමළ ප්‍රජාවන් සිටින ගම්වලට ගැටුම ඇවිළිණි. වාලච්චේනෙයි ප්‍රදේශයේ බොහෝ ද්‍රවිඩයින් සරණාගතයින් සේ මඩකලපුවට ගිය අතර වාලච්චේනෙයි සිටි කන්‍යා සොයුරියන් හා ඔවුන් සමඟ සිටි ගැහැණු දරුවන් හා සහයකයින් එසේ යා නොහැකිව එහිම කොටු විය. ඔවුන් බේරාගෙන ඒමේ වගකීම රදගුරුතුමා අගෝස්තු 13 වන දින හර්බට් පියතුමාට බාරදෙන ලදී. එතුමා නොබියව ඒ සඳහා ඉදිරිපත් විය.

මෙහිදීද එතුමාට දේපාර්ශවයේම සන්නද්ධ පිරිස් සමඟ ගැටෙන්නට සිදු විය. ජනතාවගේ ජීවත්වීමේ අයිතිය උදෙසා මරණය නොතකා එතුමා එම අවධානම් ක්‍රියාවේ නියැලිනි.

ණය මංගල්‍යය දා ජීවිතය පුදමින්.

1990 අගෝස්තු 15 වනදා දේව මාතාවන් ස්වර්ගයට වැඩි ණය මංගල්‍ය දා එතුමා පවරා ගත් ණය යුක්තියක් වූ යුධ බිමේ හිරවූ ජනතාව මුදාගෙන ආරක්ෂිත ස්ථානයක් කරා ගෙන ඒම තව දුරටත් සිදු කිරීම සැබෑ මංගල්‍යය සැමරීම බව ඇදහු, එතුමා එදින එම කාර්්‍යය සඳහා යොමු විය.

ධර්මිෂ්ඨකම නොසිඳි ගලන ගක් සේද, යුක්තිය ගලා හැලෙන දිය දහරක් සේද පැවතීම සැබෑ මංගල්‍යය කාරණාවන්ය. එයින් තොරව කෙරෙන මංගල්‍යයට අරුතක් ලැබෙන්නේ යුක්තිය ධර්මිෂ්ඨකම හා ජීවිතය වෙනුවෙන් ක්‍රියාකිරීමෙන් පමණි. පියතුමා යුධ බිමේ හිරවී සිටි තම කාර්මික විදුහලේ තරුණ ශිෂ්‍යයෙකු වු බර්ට්‍රම් ප්‍රෑන්සිස් තම යතුරු පැදියට නංවාගෙන වාලච්චේන ප්‍රදේශයේ සිට එරාවුර් හරහා මඩකලපුව බලා පැමිණෙමින් සිටියේය. සන්නද්ධ කණ්ඩායමක් පැමිණ ඔවුන්ව හරස්කොට තරුණයාව පැහැරගෙන යාමට තැත් කළේය.

බලහත්කාරයෙන් තරුණයා රැගෙන යාමට ඉඩ දී බලාසිටීම තම දුත කාර්ය නොවන බව එතුමා හොඳින් දැන සිටියේය. සන්නද්ධ පිරිස සමඟ තර්ක කරමින් තරුණයාව ගලවා ගැනීමට එතුමා උත්සහ කළේය. ඒ උත්සහාය තම ජීවිතයේ ජනතාවගේ ගැලවීම වෙනුවෙන් ගත් උත්සාහයන් හි අවසානය බව එතුමාට දැනෙන්නට ඇත. එහෙත් එය අත්හැර දැමීමට එතුමාගේ ඇදහිල්ල ඉඩ නුදුන්නේය. සන්නද්ධ පිරිස එතුමාට තව දුරටත් ජීවත්වීමට ඉඩ නුදුන්නෝය. අද වන තුරුත් එතුමාගේ දේහය හමු නොවු අතර උතුරේත් දකුණෙත් දහස් ගණන් අතුරු දහන් කරනු ලැබූවන් අතරට එතුමාද එක් වී සිටී.

තමා උපන් දේශයෙන් වෙනත් දේශයකට පැමිණ ඒ දේශය තුළ දී හුදෙක් තම ආගමට අයත් කිතුනුවන්ට පමණක් නොව හින්දු මුස්ලිම් හා මඩකලපුවේ සිටින වෙනත් සුළු ජාතීින්ට ද ආදරය කළ මිනිසෙකු එම දේශයේ දූපුතුන් වන විවිධ ජාතීින් එකිනෙකාට එරෙහිව කරන යුද්ධයට බිලිවීම අපට පවසන්නේ සියළු දෙනා එකම සහෝදරයන් සේ සලකන රටක් නිර්මාණය කර නොගැනීමේ පාපය නොවේද ?

මානව හිමිකම් ක්‍රියාධරයෙකු ලෙස මඩකලපුව සාම කමිටුවේ ප්‍රබල සමාජිකයෙකු වූ එතුමා සියළු පර්ශවයන් විසින් කරන අතුරුදහන් කිරීම් හා ඝාතන හෙලා දකිමින් කටයුතු කළේය. පාරේ රස්තියාදු වෙමින් සෙල්ලම් කරමින් කාලය නාස්ති කරන දරුවන් පවා පාසලට රැගෙනවිත් අධ්‍යපනයට යොමු කිරීමට තරම් දරුවන්ට ආදරය කළ හර්බට් පියතුමා දරුවන් මුහුණ දෙන විනාශයට එරෙහි වූ වේ කිසිවෙකුගේ දිරිගැන්වීමකින් නොව ඇදහු කිතුතුමන්ගේ ආදර්ශය තුළය.

jesustodaysl 2 වන වසර 23 වන සතිය 2018 අගෝස්තු 12

Comments powered by CComment