මේ 2018 ජූලියයි. ලාංකේය ඉතිහාසයේ අඳුරුතම ජූලිය වු කළු ජූලියට වසර 35 කි. එක කළු ජුලිය තුළ සියගණනක් අහිංසක දෙමළ පුරවැසියන් මරා දැමුහ. ඒ ඔවුන් දෙමළ වීම නිසාමය. ඒ සිය ගණනක් අතර ගරු මේරි ඇග්නෙටා සොයුරිය යනු එක් අයෙකු පමණි. අප ඇය ගැන කථා කරන්නේ සෙසු අය අපට අවැදගත් නිසා නොවේ. ඇය ලාංකේය ඉතිහාසයේ මිනිසුන්ට ජාතිභේදයකින් තොරව ආදරය කළ වරදට ඝාතනය වූ පළමු පැවිදි සොයුරිය නිසාවෙනි. මේ ඇගේ කතාවය.

1983 ලාංකීය ඉතිහාසයේ එක් හැරවුම් ලක්ෂයකි. ජාතීන්ගේ ප්‍රශ්නය යුද්ධයක් දක්වා වර්ධනය වීම කෙරෙහි බලපෑ ප්‍රධාන සංධිස්ථානයක් වූයේ 1983 කළු ජූලියයි. ඒ අඳුරු ජූලිය ලංකාව පුරා විසිරි සිටී බොහෝ ද්‍රවිඩයන්ගේ දොරට මරණයේ දූතයා තට්ටු කළ සමයක් විය. ද්‍රවිඩයන්ගේ දොරට පමණක් නොව ඇතැම් විට ද්‍රවිඩයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියවුන්ගේ දොරට ද හිංසාවේ දුතයා තට්ටු කළේය. 1983 ජූලි 27 දා රාත්‍රියේ ලුණුගල ‘කුඩාමල’ කන්‍යාරාම යේ දොරට ද හිංසාවේ මාරයා තට්ටු කළේය. පිපුරුම් හඬ මැද ගරු මැග්නෙටා සොයුරිය බිම වැටෙන තෙක් වෙඩි පිට වෙඩි පත්තු විය. අනෙකාගේ ජීවිත අයිතිය වෙනුවෙන් පෙනී සිට ප්‍රාණ පරිත්‍යාගි වූ ලංකාවේ පළමු පැවිදි සොයුරිය එසේ කන්‍යාරාමයේ සීතල පොළවට ඇඳ වැටුණාය.

පිරිමි හය දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු ගෙන් යුතු පවුලේ බඩ පිස්සී ලෙස ඕ 1941 අගෝස්තු 11 වනදා උපත ලැබුවාය. බැතිමත් කතෝලිකයන් වු මව්පියෝ ඇයට තැබු බව්තිස්ම නාමය සුසිලියා එව්ලින් බර්නඩෙත් ගුණසේකර විය.

නව යුගයකදී පැවිදි දිවියට

වැඩි කතා බහක් නැති ලජ්ජාශිලී යුවතියක වු සුසිලියා ගැඹුරු යාච්ඤා ජීවිතයකට කුඩා කළ සිටම හුරුව සිටියාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඇය තම ජීවිත මාවත ලෙස පැවිදි දිවිය තෝරා ගෙන 1965 දි ආධුනික තාපසාරාමයට ඇතුළු වූවාය. එය ඇගේ දිවියේ ඉතා ප්‍රීතිමත් දිනයක් විය. එවකට ලංකාවේ සමාජය තුළ පැවැතියේ අසහනකාරි වාතාවරණයකි. විශේෂයෙන් තරුණ තරුණියන් තුළ අපේක්ෂා භංගත්වයක් ලියලමින් තිබුණු වකවානුවකි.

දෙවනි වතිකානු කතිකාවතින් පසු පැවැති පිබිදීම හේතු කොට ගෙන සුසිලියාගේ තෝරා ගැනීම හුදු සම්ප්‍රදායික පැවිදි ජීවිතයකට කොටුවීමක් නොවනු ඇතැයි සිතු ඇගේ මිතුරියෝද ඇයට සුභ පැතුවෝය.

සුසිලියා සතු වු නිහඬ බව තුළ ගැඹුරක් හා ශක්තියක් පවතින බව දුටු මිතුරියෝ ඇය සම්ප්‍රදායික පැවිදි දිවියකට යොමු වීම අපරාධයකැයි සිතුවෝය. 1968 දි පළමු වේදභාර පොරොන්දු ලබාදුන් සුසිලියා එව්ලින් බර්නඩෙත් එතැන් සිට ගරු මේරි ඇග්නෙටා පැවිදි සොයුරිය බවට පත් වූවාය. අපෝස්තලික කාර්මේල් නිකාය තුළ ඇය ජීවත් වූ පොදු හවුල් තුළ ද, මීසම තුළ ද බාරගත් සෑම ක්‍රියාවකදීම ඇග්නෙටා සොයුරිය උද්යෝගිමත් ක්‍රියාශිලී තැනැත්තියක වූවාය.

ධ්‍යානපර ජීවිතයට යොමු වී

තම කැදවීම ගැන ගැඹුරින් මෙනෙහි කළ, දෙවිඳුන් තුළ ගැඹුරු යාච්ඤාවක නියැලි ඇග්නෙටා සොයුරියට තමා මේ ක්‍රියාවලිය තුළ මරණයට වුවද පත්විය හැකියැයි දැනුණාය. එය යාච්ඤා ජිවිතය තුළ ඇය අත්දුටුවක් මිස ඒ වනවිට ඇය අවදානම් සහගත සමාජ ක්‍රියාකාරීත්වයක නිරතව නොසිටියාය. මේ හැඟිම තුළ ඇය නිකායේ ශ්‍රේෂ්ඨ මව්තුමියට ලිපියක් ලියමින් සමාජ ජීවිතයකින් තොර යාච්ඤාවේ ජීවිතයක් ගතකරන කන්‍යාරාමයට සීමා වු ධ්‍යානපර සොයුරියක් වීමට අවසර පැතුවාය. ශ්‍රේෂ්ඨ මව්තුමිය ඒ සදහා ඇගේ අවසරය ලබා දුන්නෙන් ඇය ධ්‍යානපර සොයුරියන් ගේ තාපසාරාමයකට ඇතුළු වී ඒ සඳහා පුහුණු වීම ඇරඹුවාය.

කීකරු කමට ප්‍රතිචාර දක්වමින්

ටික කලකට පසු ඇගේ නිකාය කන්ද උඩරට ලුණුගල, පිහිටි ‘කුඩාමල’ කන්‍යාරාමයේ ප්‍රධාන මව් තුමිය ලෙස සේවය කිරිමට යන ලෙස ඉල්ලා සිටි අතර කීකරු කමේ වේදභාරය තුළ ඕ තොමෝ ඒ ඉල්ලීමට අවනතව ලුණුගල බලා පිටත් වුවාය. ඒ 1982 ජනවාරි 15 වනදාය. ලුණුගල සේවය ඇග්නෙටා සොයුරියගේ සිත් ගත්තාය. දුප්පත් වතු ද්‍රවිඩ ජනතාව සමඟ සමීපව කටයුතු කිරීම ඇයට තෘප්තියක් වූවාය.

එහි සේවය කරන අතර ඉන්දියාවේ පැවැත්වෙන ප්‍රධාන මව්තුමියන්ගේ පුහුණුවකට ද ඕ සහභාගි වූවාය. එහිදි ඇග්නේටා සොයුරිය කාගෙත් පැසසුමට ලක් වූයේ ඈ සතු නිරහංකාර, සරල හා ක්‍රියාශීලි ගතිගුණ නිසාය. 1983 ජූනි මාසයේදී නිකායේ ලෝක නායිකාව ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. එහිදි ඇගේ පරිවාරක සොයුරිය ලෙස ඇග්නෙටා සොයුරිය ක්‍රියා කළාය. ශ්‍රේෂ්ඨ මව්තුමිය ලංකාවෙන් පිටවී යද්දී ඇග්නෙටා සොයුරියගේ සුවිශේෂි ගුණාංග පසසමින් සටහනක් තැබුවාය. ඒ සටහන මානයෙන් තොරව අවිහිංසක සිනාවකින් පිළිගත් ආකාරය ගැනද ශ්‍රේෂ්ඨ සොයුරිය සතුටින් කතා කළාය.

පැවිදි දිවියේ සැබෑ අරුත තුල

ඇග්නෙටා සොයුරිය ඉතාම ප්‍රබල චරිතයක් ලෙස තම සොයුරියන් අතර ජනප්‍රිය විය. ඉගෙනීමේ කටයුතු ද අනෙක් සියලු කටයුතු ද අන් අයගේ ගැලවීම උදෙසා ම යොදා ගත්තාය.

ලුණුගලට පැමිණි පසු ප්‍රධාන මව්තුමිය ලෙස සැබෑ නායිකාවක් වූයේ එළ දෙනුන්ගෙන් කිරි දෙවීම, ගවගාල ශූද්ධ පවිත්‍ර කිරීම, ගවයන් තණ කෑමට රැගෙන යෑම, ඉවුම් පිහුම් කටයුතු, වතු වැඩ ආදියේ ද නිරතවන අතර මීසමේ වැඩටද හවුල් වෙමිනි. ඇගේ කැපවීම ජේසු තුමන්ගේ ආදරය අන්අය හා බෙදා ගැනීමට තිබු අශාවේ ප්‍රතිඵලයක් විය.
ක්‍රියාකාරි සමාජිකාවක් වූ එතුමිය පොදු හවුල තුළත්, මීසම තුළත් සියළු දෙනාවම තරා තිරම් නොබලා පිළිගත්තාය. කිතුතුමන් සේ විශ්වීය බවට ආදරය කරන්නටත්, විවිධත්වයට, ගරු කරන්නටත් ඇය තුළ වූයේ ඉමහත් උනන්දුවකී.

ජූලියේ කලබල තුල

1983 ජූලියේ ඇති වු ජාතිවාදි ගිනිදැල් ලුණුගලටද ව්‍යාප්තවිය. පැවිදි වරයෙකුට ජාතිය යනු සියලු දෙනාම බව ඇදහූ අප සොයුරිය ද්‍රවිඩයන් සොයමින් මරාදැමීමට උත්සහ කරන ජාතිවාදි උම්මත්තකයින්ගෙන් ඔවුන්ව ආරක්ෂා කිරීමට ඉතා සංවේදිව ක්‍රියා කළාය. ගරු මාරි ජූඩිත් හා පුෂ්පා තෙරෙස් යන සොයුරියන්ව ආරක්ෂා කිරීමට යහපත් එඬේරවරියක් ලෙස ඇය ඉදිරිපත් වූවාය.

එසේම ද්‍රවිඩ ජනතාව අතර ඔවුන්ගේ සුභසිද්ධිය හා උදාරත්වය ගොඩනැගීමට ක්‍රියා කල ගරු බොස්කෝ මධුරනායගම් පියතුමා විශාල ජීවිත තර්ජනයකට මුහුණ පා සිටියේය. එතුමා ද්‍රවිඩ සන්නද්ධ කල්ලියකට සම්බන්ධ කරමින් ඇතැම් ධනවත් බලවත් පිරිසක් චෝදනා එල්ල කරන ලදී. ඒ චෝදනාවට හේතුවූයේ පියතුමාගේ ක්‍රියාකාරිත්වය නිසා මේ පිරිසට වෙනදා මෙන් අහිංසක වතු දෙමළ ජනතාව තම අරමුණු සඳහා පාවිච්චි කල නොහැකි වීම බව ඇග්නෙටා සොයුරිය හොඳින් දැන සිටියාය.

මේ සහෝදර පූජකතුමාගේ රැකවලා වීම සමිඳුන් තමාගෙන් අපේක්ෂා කරන බව තේරුම්ගත් එතුමිය. ඒ භිෂණ වතාවරණය තුළ එතුමාගේ ආරක්ෂාව පිණිස කටයුතු කීපයක්ම සංවිධානය කළාය. එතුමාගේ අත්‍යවශ්‍ය ගමන්වල දී සිංහල සොයුරියක් ලෙස එතුමා සමඟ එක්වීම, ලුණුගල මීසමේ සිංහල පවුල් එකතුකොට පියතුමාගේ ජීවිත ආරක්ෂාව සඳහා ඔවුන් සංවිධානය කිරිම, අනුනායක පියතුමා හමුවි බොස්කෝ පියතුමාට ඇති ජිවිත තර්ජන පිළිබඳ දැනුවත් කිරීම ඒ අතර විය.

වෙඩි පහරට ගොදුරුව

ඒ වනවිට රට පුරා රාත්‍රි කාලයේ දී ඇඳිරි නීතිය පනවා තිබුණි. 1983 ජූලි 27 වනදා රාත්‍රි ප්‍රවෘත්තිවලට සවන් දුන් ඇග්නෙටා සොයුරිය ඇතුළු පැවිදි සොයුරියෝ රටේ ඇති වු අවසනාවන්ත තත්වය ගැන කම්පිත හඳවතින් යුතුව නින්දට යාමට සුදානම් විය. නමුත් තත්වය ගැන නිතර සෝදිසියෙන් සිටි ඇග්නෙටා සොයුරිය එක විටම කන්‍යාරාමය ඉදිරිපිට මහා විශාල ගිනිදැල් නැගෙන බව දුටුවාය. දෙව්මැදුර ගිනි තබන බවක් ඇයට හැඟුනෙන් ඇය අනෙක් සොයුරියන්ට කෑ ගැසුවාය. හරියටම සිදුවන දෙය කුමක් ද දැක ගැනීමට ඇයට අවශ්‍ය විය. ඇය ජනලයේ ග්‍රීල් තුලින් බලන්නට උත්සහ කළාය.

මොහොතකින් විශාල පිපුරුම් ශබ්දයක් සමඟ මුළු පරිසරයම නිසල විය. ඇග්නෙටා සොයුරිය දොර අල්ලාගෙන තත්පර කිපයක් නැඟි සිටි නමුත් බිම ඇඳ වැටුණාය. සිදුවු කිසි දෙයක් පැහැදිලි නොමැති ඒ රාත්‍රියේ ඇය වතුර බිඳක් ඉල්ලා සිටියාය. එය ඇයට ලැබුණි. එහෙත් එතැන් සිට විනාඩි 20 ක් සිහිසුන්ව වැතිර සිටියාය. අනෙක් සොයුරියෝ කළ යුතු කිසිවක් ගැන සිතාගත නොහැකිව ඒ අඳුරු රාත්‍රියේ අසරණ විය. ඇග්නෙටා සොයුරිය යමක් කියන්නට උත්සහ කළාය. එහෙත් බියෙන් මුසපත්වී සිටි අනෙක් සොයුරියන්ට එය වටහාගත නොහැකි විය. විදුලි පන්දම් එලියෙන් අනිත් සොයුරියන් දුටුවේ ඇග්නෙටා සොයුරියගේ සිරුරෙන් ලේ ගලන බවයි. නමුත් එය වෙඩි වැදීමෙන් සිදුවන ලේ ගැලිමක් බව ඒ මෙහොතේ අනිත් සොයුරියන්ට දැනුනේ නැත.

තත්වය බරපතල බව දැනුණු සොයුරියෝ බිය සැක පසෙකලා විදුලි පහන් දැල් වීය. ඇග්නෙටා සොයුරිය අසාධ්‍ය තත්වයේ පසුවන බවත් වෙඩි වැදි ඇතිබවත් ඔවුන්ට දැක ගත හැකි විය. සොයුරියෝ උණු වතුරෙන් ඇගේ තුවාල සෝදා හැරිය අතර ප්‍රථමාධාර ලබාදුනි. ඇග්නෙටා සොයුරිය ඒ මොහොතේද අන් සොයුරියන්ට ස්තුති කළාය. ඒ ස්තූති පූර්වක ඇගයුම ඇගේ ජිවිතය පුරා රැදි තිබුණු සුවිශේෂ ගුණාංගයකි. ඒ වන විටත් කන්‍යාරාමයේ පොළව ඇග්නෙටා සොයුරියගේ රුධිරයෙන් නැහැවී තිබුණි.

කොතැන වුවත් සාත්තුවරයෙකුගේ රුධිරය, ප්‍රාණ පරිත්‍යාගිවරයෙකුගේ රුධිරය ක්‍රිස්තුස් වහන්සේගේ රුධිරය වේ. ඒ නිසා ඒ ස්ථානය ශූද්ධවු ස්ථානයක්ම වේ. (ටී. එස්. එලියට්)

පැවැතුනු වතාවරණය තුළ සිදුවීම පිළිබඳ පණිවුඩය කොළඹ ප්‍රාදේශීය ගෘහයට ලැබෙන විට පසුදා දහවල් එකොළහා පසුවිය. ඒ වන විට අප සොයුරියව ලුණු ගල රෝහලෙන් බදුල්ල රෝහල යවා තිබුනත් බදුල්ල රෝහල ඇයව රත්නපුර රෝහලට මාරුකර යැවීමට තිරණය කර තිබුණී. නමුත් තත්ත්වය යහපත් නැතිබව තේරුම් ගත් බදුල්ල මීසම් සේවක පියතුමා ඇතුළු පිරිස පියතුමාගේ වාහනයේම ඇයව කොළඹ මහ රෝහල වෙත ගෙනා වෝය. පැය පහක හදිසි ශල්‍ය කර්මයකට භාජනය කර දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලදී. නමුත් වෛද්‍යවරුන්ගේ සියලු උත්සහයන් ව්‍යර්ථ කරමින් ඕ තුමිය 1983 අගෝස්තු 03 වනදා අවසන් හුස්ම හෙලුවාය.

බෝම්බ තුවක්කු ගැන කිසිවක් නොදන්නා සොයුරියන්ට සිදුවූ දෙය දැනගත හැකිවූයේ පසුවය. පෙට්ට්‍රල් බෝම්බයක් පුපුරුවා හැරීමත් තුවක්කුවෙන් වෙඩි තැබීමත් සිදු වී ඇත. ඇගේ සිරුරට වෙඩි උන්ඩ අටක් ඇතුළු වී තිබුණී.

මරණයෙන් පසු උදාවූයේ තවත් වේදනාකාරි තත්වයකි. රටේ පැවැති භීෂණකාරී තත්වය හේතුවෙන් මරණයට පත්වු අයගේ මලමිනී ඥාතින්ට බාර නොදී ඉතා සීමිත ඥාතින් පිරිසක් සමඟ පොලීසිය විසින් සිදුකල යුතු බවට නියෝගයක් රජය පනවා තිබුණි. ජාතිවාදි ගැටුම උත්සන්න වීමට ඉඩදි පළමු දින කිහිපයේ බලාසිටි රජය ඉන්පසු තත්වය සමනය කරීමට එවන් නිති රීති පැනවීම හාස්‍යජනක කාරණයක් විය. එම දේශපාලනික තත්වයන් ගැන සවිඥානික බවක් නොතිබුණු සොයුරියෝ මේ තත්වය හමුවේ අසරණ විය.

ඇග්නෙටා සොයුරියගේ මාමා කෙනෙකු වූ බෞද්ධ භික්ෂූන්වහන්සේ නමක් මැදිහත්වී බදුල්ල රදගුරුතුමා හරහාත් රජයෙන් ඉල්ලීමක් කරමින් විශේෂ අවසරක් ලබා නොගන්නට ඇග්නෙටා සොයුරියගේ භූමදානය ද ඒ අඳුරු දින කීපයේදි එසේ වලඳැමු සියගණනක් නොදන්නා භූමිදානයන්ගෙන් එකක් වීමට ඉඩ තිබුණි.

නඟුලට අත තබා ආපසු නොමහැරුණු, තම ද්‍රවිඩ සහෝදර සහෝදරියන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් කොන්දේසි විරහිතව කැපවීම වෙනුවෙන් තම දුත මෙහෙවරේ මිල රුධිරයෙන් ගෙවූ ඇය, කෙටි පැවිදි ජිවිතය තුළ වේදනාවන් සපිරි තමා උපන් පුංචි රටට සැබෑ පැවිදි දිවියක ආදර්ශය ඉතිරි කර, දෙවිඳුන් බලාපොරොත්තු වූ දේ ඉටුකර ප්‍රාණ පරිත්‍යාගී වරියකගේ සන්සුන් ඉරියව්වෙන් අවසන් ගමන් ගියාය.

jesustodaysl 2 වන වසර 19 වන සතිය 2018 ජූලි 15

 

Comments powered by CComment