ශ‍්‍රී ලංකාවේ කාන්තා පැවිදිවරය තුළ සුවිශේෂි සළකුණක් තැබු සැල්වටෝරියානු නිකායික ගරු බෙනඩික්ටා ප්‍රනාන්දුපුල්ලේ පැවිදි සොයුරිය පසුගිය ජූනි 17 වෙනිදා 79 වසරක තම දිවි සැරියට සමුදුන්නාය. ඇවිද යාමට දෙපා සවි තිබෙන අන්තිම මොහොත දක්වාම දිළිඳුන්, පීඩිතයින්, කොන්වූවන් ශක්තිමත් කරනු පිණිස එතුමිය වෙහෙසුනාය. මේ සටහන එතුමියගේ සුවිශේෂි සාක්ෂි දැරීමට උපහාරයක් වනු පිණිසය.

”අලූත් උපතක් සඳහා දුක්විඳීම අනිවාර්යය බව මාගේ හෙදි - වින්නඹු සේවා අත්දැකීම තුළින් මා පසක් කරගෙන තිබුණා. කීකරුකමට යටත්ව බුත්තල සේවය සඳහා මා කළ ඉල්ලිම් ප්‍රතික්ෂේප වුණා. කීකරුකමේ කෙළවර දෙවියන් බව මට දැනුණා. දෙවියන් මගෙන් ඉල්ලන දේට කීකරු වෙන්නට අවසානයේ මම තීරණය කළා. කිසිදු අවසරයකින් තොරව මම අළුකලවිට ගම්මානයේ සේවයට ගියා”

මයිකල් රුද්‍රිගු පියතුමා ඝාතනය වන විට එතුමා සමඟ දිව්‍ය පූජාව ඔප්පු කරමින් සිටි කුඩා සංඝයේ සාමාජිකාවක වූ ගරු බෙනඩික් ප්‍රනාන්දුපුල්ලේ පැවිදි සොයුරියගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් සටහන් වූයේ එලෙසින්ය.

දංකොටුව ප්‍රදේශයේ ප්‍රධාන පොල් හා කොහු මෝල් හිමි ව්‍යාපාරික පවුලක් වූ බෙනඩික් - ජොසපින් ප්‍රනාන්දුපුල්ලේ යුවළගේ නව දෙනෙක් වන දරුවන් අතරේ සිව්වැනියා ලෙස 1939 අපි‍්‍රයල් 18 වෙනිදා ඇය උපත ලැබීය. ප්‍රනාන්දුපුල්ලේ පවුල යාන වාහන, වතුපිටි වල හිමිකරුවන් වුවද ඔවුන්ගේ ජීවිත පැවැත්ම සුඛෝපභෝගි නොවීය. ඔවුන් සරල ජීවිතයක් ගත කළෝ වූහ. ගෙදර දොර වැඩ පහසු කිරීමට මෙහෙකරුවන් සිටියත් දරුවන් සියලූ දෙනාටම පැවැරුනු කාර්යභාරයක් විය. සියලූ කටයුතු වලදී ‘පිළිවෙළ හා අරපිරිමැස්ම’ මූලික මූලධර්ම විය. එකල, මෙකල මෙන් සියලූ දේ වැය කර විශාල ගෙවල් දොරවල් සෑදීම වත්පෝසත්කම් ඇති අයගේ පවා සිරිත නොවීය.

ප්‍රනාන්දුපුල්ලේ පවුලේ නිවස ද විශාල එකක් නොවීය. එය කෙමෙන් කෙමෙන් ගොඩනැගුනේ දරු මල්ලන් ටිකෙන් ටික වැඩෙන විටයි. බ්‍රෙන්ඩා ප්‍රනාන්දුපුල්ලේ ළදැරිය සරල චාම් පිළිවෙල ජීවිතයක මුල් පොත බව පවුල තුළ උගත්තාය.

හෝඩිය හා පළමු පංතිය දුම්මල කොටුව රෝමානු කතෝලික විදුහලෙන් සම්පූර්ණ කළේ ගමේ අනිත් ළමුන් සේම පා ගමනේ පාසල් යමිනි. ඉන්පසු වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ජෝසෙ මාමාගේ කරත්තයේ නැගී වසර අටක් ගිය ගමන සොබා සෞන්දර්යේ අපූර්වත්වය විඳ දරා ගැනීමට ලද මා හැඟි අවස්ථාවක් විය. ගහ කොළට, සතා සිව්පාවට, නැගෙන ඉරට ආදරය කරන්නට ඒ විඳීම ඉගැන්විය. අටවෙනි ශ්‍රේණියෙන් පසු මීගමුව ආවේ මරියාවට පැමිණි බ්‍රෙන්ඩා නව යව්වනිය සාමාන්‍ය පෙළ වන විට කිසියම් සමාජ සංවේදිතාවයකින් යුතු වූවාය.

සමාජයට සංවේදී වෙමින්

එයට හේතු කාරක වූයේ ඇය ළමා හා නව යොවුන් වියේ අත්දුටු දේවල්ය. පොල් මෝලේ වැඩ කළ බොහෝ දෙනෙකු ඒ අවට කුඩා ලයින් කාමර වල ජීවත් වුණේ අවම පහසුකම් යටතේ ය. සමහර පවුල් වල දරුවෝ විශාල ගණනක් සිටියහ. මේ දරුවෝ පාසල් ගියේ නැත. දෙමව්පියන්ට ඒ සඳහා අවශ්‍යතාවයක් තිබුණේ නැත. නව යොවුන් බ්‍රෙන්ඩා පාසල ඇරී පැමිණි පසු සමහර දිනවල ගෙදරට හොරෙන්ම මේ ලයින් කාමර වල ඇවිදින්නට යයි. අපිරිසිදු දරුවන්ගේ කකුල්වල ඇති තුවාල දකින ඕ, ඒවා පිරිසිදු කර බෙහෙත් දමන්නීය. ඔවුන් හා සෙල්ලම් කරන්නීය.

”මම ඒ අය එක්ක සෙල්ලම් කළත්, ඒ අය කවදාවත් අපි එක්ක සෙල්ලම් කරන්න අපේ ගෙදරට ආවේ නෑ.”

”අපි සතියකට සැරයක් කොහු මෝලට යනවා. ඉහළට නැගුනු කොහු කඳු දිගේ නගිමින් බසිමින් පෙරලෙමින් සෙල්ලම් කරනවා. කොහු කඳු උඩට නැග්ගාම ලයින් කාමර පේනවා. එහි සිටින දරුවෝ කිළුටු පෙරාගෙන, උඩුකය නිරුවත්ව අපි දෙස බලා ඉන්නවා. අපි ළඟට එන්නට ඔවුන්ට තහංචි තිබුනේ නෑ. හැබැයි කවදාවත්ම ඔවුන් අපි ළඟට ආවේ නෑ.”ඔවුන් අපේ ගෙදරට ආවේ අවුරුද්දට එක දවසයි. එදාට තමන්ට තිබෙන හොඳම ඇඳුම ඇඳගෙන පෙරහැරක් වගේ ලොකු කැවිලි පෙට්ටියක් අරන් එන්නේ.”

”අනිත් අතට මා ගිය පාසල් වල අත්දැකීම වෙනස් එකක් වුණා. සමහරු පංති කාමරය ළඟටම වාහනයෙන් එන්නේ. විවේකය වේලාවේදී ගෙදර මෙහෙකාරිය කෑම රැගෙන එනවා. හැඳි ගෑරුප්පු වලින් කෑම කන්නේ. ඉංගී‍්‍රසි භාෂාව කථාකරන්නේ. පාසල ඇරෙන කොටත් වාහනය පංති කාමරය ළඟ" 

ජිවිතයේ අරුත සොයමින්

ඇය අත් දුටු මේ දරුවන් දෙවර්ගයේ සමාජ පරතරය ඈ තුළ කුතුහලයක්, ප්‍රශ්නාර්ථයක්  බවට පත් විය. දුප්පත් දරුවන් කෙරෙහි ඈ තුළ කිසියම් අනුකම්පාවක් ඇතිවිය. උසස් පෙළට පිවිසීමත් සමඟ ජීවිතයේ හරය කුමක්ද? යන්න පිළිබඳ සෙවීමකට සිත යොමු විය. පවුල් පසුබිම තුළ වෛද්‍ය ක්ෂේත්‍රයට නැඹුරුවක් තිබුණු නිසාම බ්‍රෙන්ඩාගේ සිත ද ඒ කෙරෙහි යොමු විය. නමුත් වඩාත් ජනතාව අතරට යමින් යමක් කළ යුතු බව හැඟුුණු නිසා හෙදියක් වීමේ ආශාව අතහැර පැවිදි ජීවිතය තෝරා ගැනීමට උසස් පෙළ හදාරමින් සිටියදීම ඈ තීරණය කළාය.

2018.06.20.09

ඉතා සරල හා අවම පහසුකම් මැද මාරවිල වැලිපන්නගහමුල ප්‍රදේශයේ සැල්වටෝරියන් නිකායට අයත් සොයුරියන් ජනතාව වෙත සාත්තු සේවා සපයන ආකාරය දුටු බ්‍රෙන්ඩා එම නිකායට සම්බන්ධ වෙන්නට තීරණය කොට, 1960 ජනවාරි 04 වෙනිදා ආධුනිකාරාමයට ඇතුළු වූවාය. 1962 අගෝස්තු 15 රෝමයේදී බෙනඩික්ට ප්‍රනාන්දුපුල්ලේ නමින් පළමූ වේදභාර පොරොන්දු දුන් ඕ තොමෝ 1962 - 65 කාලය තුළ රෝමයේ සල්වටමුන්ච් ජත්‍යන්තර රෝහලෙන් හෙද පුහුණුවද, 1970 ඉන්දියාවේ බැංගලෝරයේ ශාන්ත මාර්තා රෝහලෙන් වින්නඹු පුහුණුව ද ලැබුවාය.

නිකාය තුළ අරගලය

රෝමයේ අධ්‍යාපනය හා පුහුණුව ලබන සමයේදී බෙනඩික්ටා සොයුරිය ලද අත්දැකීම් ඇයව නැවතත් අභියෝගයට ලක් කරන්නක් විය. තම නිකායේ නිර්මාතෘවර ජොර්දන් පියතුමාගේ දර්ශනය සාම්ප්‍රදායික පැවිදි ජීවිතය හා ඉගැන්වීම් තුළ පොත්පත් වලට පමණක් සීමා වී ඇති බව ඕ තේරුම් ගත්තාය. සාමාන්‍ය ජනතාවගෙන් ඈතට ගිය වතිකානුවේ දේව මන්දිර, පැවිදි ආරාම, ප්‍රිය සම්භාෂණ ඈ තුළ ඇති කළේ නොසතුටකි. හෙදියක ලෙස ඉහළම සාමාර්ථයක් ගෙන ලංකාවට පැමිණිය ද, සේවය කළ මාරවිල සාන්ත ආනා සාත්තු නිවාසය තුළ නැවත වරක් අත්දුටු ඇති නැති පරතරය විසින් තමා කළ යුත්තේ මෙයද යන ප්‍රශ්නය හදවත පාරන්නට විය. එහි වූ තනි කාමර, විශාල ගොඩනැගිලි, දැරිය නොහැකි මිළ ගණන් නිසාම මුහුදුකරයේ අසරණ රෝගීන්, තුවාලකරුවන්, ගැබිනි මව්වරුන්, දරුවන් තමා සේවය කරන සාත්තු නිවාසය පසු කරමින් රජයේ රෝහල වෙත යන දුක්බර දසුන ඈ නිතර දුටුවාය. සභාව ලෙස අප සේවය කරන්නේ කාටද? කිතු සමිඳුන් තෝරාගත් ජනතාවටද? යන ප්‍රශ්නය ඇයට වද දුනී.

”සාත්තු නිවාසයේ සිටින අතර තුර බෙහෙත් පෙට්ටියක් රැගෙන මූදුකරයේ ජනතාව වෙත යමින් යමක් කරන්න මා පටන් ගත්තා. පසුව මාව සාත්තු නිවාසයේ ප්‍රධාන පාලිකාව ලෙස පත්කළා. හලාවත රදගුරුතුමාගෙත්, නිකායෙත්, තදබල විරෝධතාවය මැද මා සාත්තු නිවාසය වසා දැමීමට කි‍්‍රයා කළා. අපේ නිකායේ දැක්ම මේ දේ නොවෙයි කියන හැඟීම, ජෝර්දාන් පියතුමාගේ කරිස්මාව මට ඊට අනුබල දුන්නා.”

අනතුරුව ඇය ඒ වන විටත් කොලණියක තත්වයේ පැවැති විජය කටුපොත කන්‍යාරාමයට පැමිණ හෙදියක් ලෙසත්, වින්නඹු මවක් ලෙසත් කටයුතු කරන්නට පටන් ගත්තාය. දිනපතා රෝගින් විශාල ගණනක් පැමිණෙන විට කන්‍යාරාමය සාත්තු නිවාසයක් බවට පත් විය. විටක ප්‍රසුතිකාගාරායක් බවට පත් විය. ගැමියන් ඉන් ලබාගත් සහනය ඇයටද ජීවයක් විය.

1979 දී පැවිදි දිවියේ චාරිත්‍ර ප්‍රකාරව ඇයට ඇමරිකාවට යාමට සිදු විය. එහිදී ලැබුණු සියලූ ඉගැන්වීම් නැවත වරක් ඇය තුළ ඇති කළේ හිස් බවක්. ඒවායේ හරසුන් බව සඳහන් කරමින් ඇය ලංකාවට ලිපි කීපයක්ම ලියා එවූ අතර, වෙනත් විකල්ප සේවාවක අවශ්‍යතාව අැයට තදින් දැනෙන්නට විය.

විකල්පයක් සොයා

”1980දී නුවර සෙටික් ආයතනය හා එක්ව වතුකරයේ ජනතාව වෙනුවෙන් සේවය කරන අතර තුර හමු වූ මයිකල් රුදිගු පියතුමා සමඟ මම ඇමරිකාවේ සිටියදී ලියූ ලිපි ගැන සාකච්ඡා කළා. ඒ අතරම එතුමා මට බුත්තල අලූකළවිට ජනතාව සමඟ සේවය කිරීමට ඇරයුම් කළා.”

2018.06.20.02

”වෛද්‍ය සායන, සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම් සඳහා මා කීප විටක් අලූකළවිට ගියේ රහසින්. කීප විටක් මා නිකායෙන් අවසර පැතුවා. නමුත් ඒ වන විට මයිකල් පියතුමා නිල සභාවෙන් ප්‍රතික්ෂේප වෙමින් සිටි නිසා අවසර ලැබුනේ නෑ. නමුත් මා එහි සේවයට යාමට තීරණය කළා. 1981 ජූලි 11 සංඝයක් ලෙස අපි එහි ස්ථාපිත වුණා. මයික් පියතුමා, මම, මිල්බර්ගා සොයුරිය.

බුත්තල සුබසෙත් ගෙදරින් මයිකල් පියතුමා මුල්කොට ගෙන සිදු වූ සේවය බොහෝ දෙනා දන්නා කාරණයක්. එහිදී ඇගේ දායකත්වය ගැන මතක මාත්‍රයක් මේ.

”දිනපතා මා හට හමුවුනු රෝගින් සංඛ්‍යාව ගැනත් ඔවුන්ගේ තොරතුරු ගැනත් මයික් පියතුමා සමඟ සාකච්ඡා කිරීම අනිවාර්යය අංගයක් වූණා. එහිදී කකුලේ තුවාල වලට හේතු වන සෙරෙප්පු දෙකක් ගත නොහැකි දුප්පත්කම, මන්දපෝෂණයට හේතු වූ නුගත්කම, දේශීය ඖෂධ වළලා දමමින් ව්‍යාප්තවන ඖෂධ ජාවාරම ආදිය ගැන කතිකාවක් ඇති වුණා. සුබසාධනයට සීමා නොවී ජනතාවගේ ගැලවීම සඳහා කළ යුතු අරගලයක් තිබෙන බව අපට වැටහුණා.”

මේ අතර නිකාය, අලූකලවිට හැරදා ආපසු එන ලෙස බෙනඩික්ටා සොයුරියට ලිපි එවූ අතර, ඇතැම් අය පෞද්ගලිකව ද එම ඉල්ලීම සිදු කරන ලදී. ඇතැමුන් සභා විරෝධි, ශ්‍රේෂ්ඨයන්ට අවනත නොවන, කඩාකප්පල්කාරිනියක් ලෙස ඇයවද  හංවඩු ගැසුවා. විවිධ අපහාස, උපහාස සිදු කළා. පියතුමෙකු සමඟ පැවිදි සොයුරියන් දෙදෙනෙකු ගිහි ජීවිත ගත කරන බව අැතැම් හූ පැවසූහ.

අප දිනපතා දිව්‍ය පූජාව ඔප්පු කළා. දිව්‍ය පූජාව තුළ අපට එල්ලවන නින්දා අපහාස මෙන්ම, ජනතාවගේ දුක කඳුල ගැන මෙනෙහි කළා. යාච්ඤාව අපේ ජීවිතවල බලගතු අවිය වුණා.”

1987 වන විට රට පුරා තරුණ නැගිටීමක ලකුණු පහල වී තිබුණි. සුබසෙත් ගෙදර වටා ප්‍රදේශයේ තරුණ ජවයක් එක් වෙමින් තිබුණි. ඔසු උයන, ඔසු පැන්හල, දත් බෙහෙත් නිපදවීම, හෙදියන් ලෙස තරුණියන් පුහුණු කිරීම වැනි කටයුතු වලටත්, බෙනඩික්ටා සොයුරිය දායක වෙමින් සිටියා ය. නමුත් තරුණ ජවය එකතුවීමත්, අනෙක් අතින් පැලවත්ත සීනි කම්හල සඳහා මයික් පියතුමා දැක්වූ විරෝධයත් හේතු කොටගෙන කෙලින්ම රහස් පොලීසියේ ප්‍රශ්නය කිරීම් හා හමුදා පොලිස් නිලධාරින්ගේ අනතුරු හැඟවීම් වැඩිවිය. තරුණයන් අතරුදහන් වීම් ආරම්භ වී තිබුණු අතර, මයික් පියතුමා ඒවාට විරුද්ධව හඬ නැගීය. මයික් පියතුමා, බෙනඩික්ටා සොයුරිය, මිල්බර්ගා සොයුරිය හා කාන්ති ශිරානි ඇතුළු සංඝය පූජාව පවත්වමින් සිටියදී මයික් පියතුමාව ඝාතනය කරන්නේ මේ පසුබිම තුළය. ඒ වන විට තර්ජන ගර්ජන මධ්‍යයේ වුවද සුබසෙත් ගෙදර අත් නොහැර යෑමට ඔවුන් තීරණය කර තිබුණි.

මයික් පියනම ඝාතනයෙන් පසු

සුබසෙත් ගෙදර සංඝයේ සියලූ දෙනාට බුත්තල අතහැර එන්නට සිදුවුණි. බොහෝ දෙනාගෙන් ලැබුණේ ප්‍රතික්ෂේප කිරීම්, නින්දා අපහාස හා අවමානයන්ය. ජේ. වී. පී. සිස්ටර් කෙනෙක් යනුවෙන් හංවඩු ගැසුවා පමණක් නොව, ගම්වලදී ප්‍රසිද්ධියේ පවා ඇතැම්හු අවමන් කළෝය. ඒ සියල්ල උපේක්ෂා සහගතව බාරගන්නට ශක්තියක් ඇය තුළ ජනිත වී තිබුණි. ”කනගාටුව තිබුනේ ඒ ගැන නෙවෙයි. බුත්තල ජනතාව අතහැර දමා ඒමට සිදුවීම ගැනයි.”

2018.06.20.04

1986 වන විට නිකාය තුළින් කුරුණෑගල ‘ජන සෙත’ හී සේවය කිරීමේ අවස්ථාව ඇයට හිමි වූවා. ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයලත් ඕ තුමිය නන්දෙ වත්ත, මානව, එළුගල වැනි ප්‍රදේශ වල ජීවත් වූ අඩු කුලයේ යැයි කොන් කළ ජනතාව ගොඩ නැඟීමට ප්‍රයත්න දැරුවාය. 1992 ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය අධ්‍යාපනිකව හා සෞඛ්‍යමය ලෙස ගොඩනැඟීම අරමුණු කොටගෙන මැටියගනේ ‘විමුක්ති නිවස’ නමින් ආයතනයක් සෙල්වි, නන්දා, ශිරෝමි, ඇන්ටනී, ජයරත්න යන ගිහියන් සමඟ ආරම්භ කිරීමට ඇය සමත් වූවාය.

වැඩි කලක් යාමට පෙර මෙම ආයතනය කුරුණෑගල පදවියට පවරා ගැනීමට රදගුරුතුමා යෝජනා කළ නමුත්, බෙනඩික්ටා සොයුරිය එයට එකඟත්වය පළ නොකළා ය. එම හේතුව නිසා කුරුණෑගල පදවියෙන් ඉවත්ව යාමට ඇයට සිදුවිය. නමුත් ඇයගේ නිකාය, කඳාන සාන්ත ජෝශප් කන්‍යාරාමයේ සිට විමුක්ති නිවසේ කටයුතු සම්බන්ධීකරණය කිරීමට විශේෂ අවසරයක් ඇයට ලබාදෙන ලදී. එතැන් සිට මේ වෙනස් සොයුරියගේ මෙහෙවරට ඉඩ සලසමින් නිකාය ඇයට සහයෝගයක්වීම ඇගේ ඉදිරි දිවි ගමනට අත්වැලක් විය.

කඳාන ප්‍රදේශයේ වීදි දරුවන් සමඟ කි‍්‍රයාකරන අතරම, විවිධ ගම්මානවලට ගොස් සේවාවන් හි නිරත වීමට අවස්ථාව සලසා ගන්නා ඇය කිලී පියතුමා සමඟ එක්වී වන්නි ප්‍රදේශයද හෙද සේවයේ යෙදෙන්නීය. 1996 දී නැවත විජය කටුපොත කන්‍යාරාමයට පැමිණි ඇය සාම්ප්‍රදායික කන්‍යා සොයුරියකගේ භූමිකාවෙන් ඔබ්බට ගිය සේවාවක නිරතව සිටියා ය.

”වසර හතලිහකට පමණ පසු විජය කටුපොත අවශ්‍යතා වෙනස් වී තිබුණා. කාන්තාවන් සවිබල ගැන්වීම අවශ්‍ය බව මට හැඟී ගියා. ඒ නිසා මව්වරු සමඟ වැඩ කිරීමට පෙළඹුනා.”

ආර්ථිකමය වශයෙන් කාන්තාවන් ශක්තිමත් කිරීම සඳහා බැංකු ක්‍රමයක් ආරම්භ කරමින් ගමේ සමූපයන්හි හිමිකරුවන් බවට කාන්තාවන් පත් කිරීමේ පදනමක් දැමීමට කි‍්‍රයාකරමින් සිටියාය. හුදු ආර්ථික ප්‍රතිලාභ ලබාගැනීමෙන් ඔබ්බට යමින් ගමේ රටේ සමාජයීය ප්‍රශ්න වෙතට ඔවුන් යොමු කරමින් ආකල්පය වෙනසක් කරා කාන්තාවන් රැගෙන යාමක් දැකිය හැකි විය.

2018.06.20.08

විජය කටුපොත වැව ආරක්ෂා කර ගැනීමටත්, ප්‍රදේශය පුරා තද බල සේ ව්‍යාප්තව ඇති මත්පැන් උවදුරු දුරු කිරීමටත්, ලිංගික අපචාරවලට එරෙහි වීමටත්, පන්සල - පල්ලිය ඒකාබද්ධ කරගෙන, කාන්තාවන් ප්‍රමුඛ කොට කි‍්‍රයාත්මක වීමට බෙනඩික්ටා සොයුරිය තම හැත්තැනම වියේදීත් මැටියගනේ හා බුළුපිටිය යන ප්‍රදේශයන්හි ද නායකත්වය ගෙන කි‍්‍රයා කිරීම, විමුක්ති ගමනක යන කාන්තාවන් හිඟ ලාංකීය කිතුනු ප්‍රජාවට විශාල ආදර්ශයකි.

දිළිඳුන්, පීඩිතයින් තෝරා ගත් දෙවිඳුන්ගේ සැබෑ ශ‍්‍රාවිකාවියක වූ ඔබ ක්‍රිස්තු මෙහෙවර උදෙසා අදත්, හෙටත් අපට ශක්තියකි.

2018.06.21.01

        ගරු. බෙනඩික්ටා ප්‍රනාන්දුපුල්ලේ පැවිදි සොයුරිය ඔබට අපගේ ගෞරවණීය උත්තමාචාරය !

 

jesustodaysl 2 වන වසර 16 වන සතිය 2018 ජූනි 24

Comments powered by CComment