1967 ජූනි 11 වෙනිදා මෙලොව එළිය දුටු පාක්‍ය රංජිත් පියතුමා ජීවත් වූයේ නම් අද (2018 ජූනි 11) දිනට එතුමාට වයස අවුරුදු 51 සම්පූර්ණ වන්නේය. එහෙත් 2007 වර්ෂයේදි මන්නාරමේදි ක්ලෙමෝ බෝම්බ ප්‍රහාරයකට ඉලක්ක වී ජීවිතක්ෂයට පත්වෙද්දී ඔහුට යාන්තම් අවුරුදු 40 ක් විය.

යාපනය ඊච්චාමොඩෙයි හීදී 1967 ජූනී 11 වන දින උපත ලැබූ පාක්‍ය රංජිත්ගේ පියා පිලිප් සෙබස්ටි නිකලොයි පිල්ලේ විය. මව පාක්‍ය රංජිදම් මේරි රාණි වූවාය. කුඩා කළ සිටම ප්‍රියමනාප දරුවෙකු වූ ඔහු අන් අයගේ සිත් දිනාගැනීමට සමත් විය.

යාපනය දොන් බොස්කෝ පාසලින් ප්‍රාථමික අධ්‍යාපනයත්, ශාන්ත පැට්ටි‍්‍රක් විදුහලින් ද්විතීය අධ්‍යාපනයත් ලැබූ ඔහු තම නව යෞවනය ඉක්ම වීමත් සමඟ පූජකවරය ජීවිත කැඳවීම ලෙස 1988 දී ශා. මාටින් කුඩා දෙව්සත්හලට ඇතුළු විය. කොළොම්බතුරෙයි ශා. ප්‍රැන්සිස් සේවියර් දෙව්සත්හලින් පූජක පුහුණුව ලැබූ ඔහු 1997 දෙසැම්බර් 17 වන දින පූජකවරය ලැබුවේය.

පේසාලේ, මඩු, තල්වපාඩු, දේවන්පිඞ්ඩි, මන්නාරම, වව්නියාව යන දෙව්මැදුරු වල මීසම් සහයක පියතුමා ලෙස විශේෂයෙන් අසරණ ජනතාවගේ ආදරයට පාත්‍ර වෙමින් ඔහු සේවය කළේය.

අවබෝධතා ගිවිසුමෙන් පසු ඇති වූ නිදහස් වාතාවරණය වන විට එතුමා දේවන් පිඞ්ඩි මීසම්භාර පියතුමා ලෙස ක්‍රියා කළේය. තම ජනතාවට සේවය කිරීමේදී ඉතා ක්‍රියාශීලිව කටයුතු කළ එතුමා සංවේදී සිතැත්තෙකු විය.

වඩාත් දරුණූ ලෙස යුද්ධය ආරම්භ වන විට බොහෝ කාලයක් අනාථ වෙමින් යළී අනාථ වෙමින් යුද්ධයෙන් බැටකන වව්නියා හා මන්නාරම් ප්‍රදේශයේ ජනතාවගේ ජීවිත ගොඩනැංවීම සඳහා විශේෂ පරිශ‍්‍රමයක් දැරීමේ අවශ්‍යතාවය ඇතිවිය. එම අවශ්‍යතාවය පහසු ක්‍රියාවලියක් නොවුනේ යුද්ධයට සම්බන්ධව අවි දරා සිටින දෙපාර්ශවයක් මැද කළ යුතු කාර්යයක් වීම නිසා ය. යථාර්ථය තුළ ජීවත් නොවන විවිධ පාර්ශවයන් කුමන දේ ප්‍රකාශ කළත් ද්විත්ව බලයක් මැද අනාථයන් උදෙසා වැඩ කිරීම අසීරු කාර්යයකී. මන්ද අනාථයාට බලපාන සමීපම සිදුවීමට දෙපාර්ශවයෙන් එක් පාර්ශවයක් අනිවාර්යයෙන්ම සම්බන්ධ නිසාත්, අනිත් අතට දෙපාර්ශවයම එය අනෙක් පාර්ශවය පිට දැමීමට ක‍්‍රියාකරන නිසාත්ය.

මේ අසීරු අවදානම් කාර්යය බාර ගැනීමට තරුණ රංජිත් පියතුමා ඉදිරිපත් විය. 2006 වසරේ සිට එතුමා ජේසු නිකායික පුනරුත්ථාපන ආයතනයේ අධ්‍යක්ෂක ලෙස ක්‍රියා කිරීමට පටන් ගත්තේ තමා නිරත වන කාර්යයේ අවධානම හොඳින් දැනගෙනය.

දෙව්සත්හලේ පුහුණුවන කාලයේ සිටම තමා විශ්වාස කරන දෙවිඳුන්ව විශේෂාකාරයෙන් හමුවිය හැක්කේ දිළිඳුන් හා පීඩිතයින් අතර බව එතුමා හඳුනා ගත්තේය. එය වඩාත් අර්ථවත් කරන්නට හැකි සෑම විටම එවැනි මිනිසුන් සමඟ ජීවත් වීම සඳහා ඔහු ස්වෙච්ජාවෙන්ම ඉදිරිපත් වූයේය. ජනතාව අතරට ගොස් ජනතාව සමඟ වැඩ කිරීම ඔහුගේ පිළිවෙත විය. අපේක්ෂා භංගත්වයෙන් පෙලෙන ජනයාට බලාපොරොත්තුවක් වීමට තමාව දෙවිඳුන් කැඳවා ඇති බව ඔහු විශ්වාස කළේය. ජනතාවට පුනරුත්ථාපන ආධාර සැපයීමේදී ඔහුට නිතර නිතර හමුදා නිලධාරින් සමඟ කථාබස් කරන්නට සිදු වූයේය. යුදමය තත්වය තුළ තිබූ ඇතැම් සීමා ඔහුගේ දූත කාර්යයට බාධාවක් විය. ඒ නිසා අත්‍යාවශ්‍ය සේවා සඳහා යාමට ඔහු නිතර අවසර ඉල්ලූවේය. හමුදාවට සැබවින්ම ඔහු කරදරකාරයෙකු විය. අනිත් අතට ජනතාව අතර සිටින පියතුමෙකු හරහා යථා තත්වය පිළිබඳ තොරතුරු පිටතට ගලා යාමද වැලැක්විය නොහැකි තත්වයක් විය.

2007 වර්ෂය ඇරඹෙන්නේ යුද්ධයේ අළුත් අදියරක් සමඟිනි. පාක්‍ය රංජිත් පියතුමාගේ දූත කාර්යය වගකීම් වැඩිවන තරමට භයානක කම ද වැඩිවන එකක් විය. ඔහු ඒ සඳහා සැදී පැහැදී සිටියේය. මුදාගත්, නොගත් ප්‍රදේශ වෙතට නිරතුරු යාම් ඊම් කළ මේ තරුණ පූජකයා තම ජනතාව ගොඩනැගීමට ගත් අව්‍යාජ ගමන් බිමන් වලට 2007 සැප්තැම්බර් 26 වනදා නැවතීමේ තිත තැබිණ. මන්නාරමේ මුදා නොගත් ප්‍රදේශයකදි ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට ඉලක්ක වූ එතුමා ජීවිතක්ෂයට පත් වූ යේය.

2009. 09. 28 දින පැවැති එතුමාගේ අවමංගල්‍ය පෙරහැර සාන්ත සෙබස්තියන් දෙව්මැදුරෙන් පිටත් වී සුසාන භූමියට ළඟා වීමට පැය තුනකට වඩා ගත විය. කඩ සාප්පු වසා දමා තිබු අතර පොදු ප්‍රවාහන සේවා එදින නවතා තිබුණී. එතුමාට අවසන් ගෞරව දැක්වීමට 15 000ක් පමණ ජනතාව පැමිණීයහ. එය එතුමා ජනතාවට ඉටු කළ සේවය පිළීබඳ සාක්ෂියක් විය.

කිතුණු විශ්වාසය තුළ කිසිවෙකුට තමා වෙනුවෙන් පමණක් ආත්මාර්ථකාමිව ජීවත්විය නොහැක. සැබෑ කිතුණුවා මරණයට පත්වන්නේද තමා වෙනුවෙන් පමණක් නොව බොහෝ දෙනාගේ මිදීම සඳහාය. පාක්‍ය රංජිත් පියතුමා ජීවත් වූයේද මිය ගියේද ජනතාව උදෙසාය. කිතුණූ ජීවිතයේ පරිපූර්ණත්වය ඔහුගේ මරණය තුලින් ප්‍රකාශයට පත් විය.

jesustodaysl 2 වන වසර 14 වන සතිය 2018 ජූනි 10

Comments powered by CComment