මේ වර්ෂයෙද් ශී‍්‍ර ලංකාවේ තේ වගාවට වසර 151 ක් පිරේ. එහෙත් කඳුකර ද්‍රවිඩ කම්කරු ජනතාවගේ ජීවිත ශත වර්ෂ එකා මාරකට පසුත් පවතින්නේ දියුණු තැනක නොවේ. වසර 151 ක් ගත වන තැන කඳුකර ද්‍රවිඩ පාසල් වල ඉගැන්වීමට ඉන්දියාවෙන් ගුරුවරු ගෙන්වීම ගැන කතා බහා ඇති වන්නේ ඒ නිසයි. කඳුකර ද්‍රවිඩ ජනයාගේ ජීවිතය ගොඩනඟන කිතුනු මෙහෙවර ගැනද අපිට සෑහීමකට පත් විය නොහැකිය. ජාකොබ් පියතුමාගේ කතාව ඒ මෙහෙවර සඳහා කිතුනු සභාවලට අභියෝග කරයි.

 ඉන්දියාවේ ජීවිතය

1921 ජූලි 1 වන දින ඉන්දියාවේ කිරනවේල්හි මානප්පාඩු ග්‍රාමයේදී උපත ලද ජෙකොබ් ප්‍රනාන්දුගේ පියා නසරේනු ප්‍රනාන්දු වූ අතර මව ජොසපින් ප්‍රනාන්දු විය. සොයුරන් දෙදෙනෙකු හා සොයුරියක සමඟ හැදුනු වැඩුනු ඔහු තම මූලික අධ්‍යාපනය මානප්පාඩු ශාන්ත ජොසප් විදුහලින් ලබාගෙන උසස් අධ්‍යාපනය සඳහා ටි‍්‍රඩි හි ශා. ජෝසප් විදුහලට ඇතුල් විය. ද්විතිය අධ්‍යාපනය ඉතා හොඳින් නිම කළ මේ දක්ෂ සිසුවා 1938 දී චෙන්නායි විශ්ව විද්‍යාලයට ඇතුලත්ව අචාර්ය උපාධියක් හිමි කරගත්තේය.

ආචාර්ය උපාධිධර ජෙකොබ් තරුණයා තම ජීවිතයේ ඉදිරි මඟ ලෙස දුටුවේ පූජකතුමෙකු වීමය. 1943 ද සෙම්බගපූර්හි දෙව්සත් හලට ඇතුලත් වී සමාජ විද්‍යාව හා දේවධර්මය හදාරා 1956 දී ජේසු නිකායික පියතුමෙකු ලෙස පොරොන්දු ගනු ලැබුවේය. පූජක වරයෙන් පසු වසර කිපයක් ශාන්ත සේවියර් දෙව්සත්හලේ සේවය කළ ජෙකොබ් පියතුමා ශී‍්‍ර ලංකාවට පැමිණීමට තීරණය කරන්නේ ශී‍්‍ර ලංකාවේ වතු කම්කරුවන් ගැන තම සමාජ විද්‍යාත්මක අධ්‍යයන වලදී ඇති වූ සංවේදී තාවය හේතු කොට ගෙනය.

ජීවිතයෙන් ඈත්වූ ඇදහිල්ල දැකීම

ලංකාවට පැමිණි මුල් කාලයේදී කිතුනුවන් රාශියක් හමුවුවත් උන්වහන්සේට දැක ගත හැකිවූයේ විශ්වාසය ඔවුන්ගේ ජීවිතයෙන් ඈත්ව පවතින්නක් බවයි. මේ නිසා පළමුව වතු ජනතාවගේ සමස්ත දෛනික ජීවිතයට ඇතුළුවීමට උන්වහන්සේ තීරණය කළේය. ප්‍රසාද නිධාන ලබා දීම පිළිවෙත් වලට පමණක් සිමාවූ විශ්වාසය ජීවිතයේ සෑම ක්ෂේත්‍රයක් හා සම්බන්ධ කළ යුතු බව එතුමා තේරුම් ගත්තේය. 1958 - 1959 දී රත්නපුරයෙත් සේවය කරන පියතුමා සියළු ජාතීන්ගේ හා ආගමිකයන්ගේ ප්‍රසාදය දිනා ගනිමින් වතුකර ජනතාවගේ සුබසාධනය සඳහා අධ්‍යාපනයට හා සෞඛ්‍යයට බර තබමින් කි‍්‍රයා කළේය.

දෙව්මැඳුර ජන හමුව සඳහා

කුඩා ලයින් කාමරවල ජීවත් වන ජනතාවට හමුවීම හා සංවාද සඳහා ස්ථාන තිබුනේ නැතිතරම්. ඒ නිසා එතුමා වතුකරයේ ඉතා දුෂ්කර ප්‍රදේශවල කුඩා දේවස්ථාන ඉදීකිරීම මඟින් ජනතාව ඒකරාශී කළ හැකි මධ්‍යස්ථාන බවට ඒවා පත් කළේ ය. කුඩා දේවස්ථාන ඉදීකිරීම නිසා සභාව ද එතුමාගේ කි‍්‍රයා කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. විශාල නූගත් කමකින් පෙළෙන වතුකර ජනතාව දෙව් මැඳුරු තුළ යාච්ඤාවට යොමු කරමින් එම යාච්ඤා මෙහෙයන් හා පූජාවන් වලදී තම ජීවිත අත්දැකීම් බෙදාගැනීමට ජනතාව යොමු කරමින් ජනතාවට ඉතා සමීප මිතුරෙක් විය.

83 ජූලියේ සාක්ෂිකරුවෙකු ලෙස

1981 දී විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වූ කහවත්ත මීසම් සේවක ලෙස පත්ව ආ ජේකොබ් පියතුමාට තම ජීවිතයේ ඉතා ප්‍රබල අත්දැකීමකට යොමු වන්නට සිදු විය. 1983 ජාතිවාදී කෝලහාල හේතුවෙන් දමිළයෙකු වූ පියතුමාට ද බොහෝ කෙනෙහිලි කම්වලට මුහුණ පෑමට සිදු විය. පහරදීමට ලක්වන මරණ බියෙන් පසු වන තරුණයින් හට එතුමා මීසම් ගෘහයේ ආරක්ෂාව සැපයීය. නමුත් එක් දිනක් සන්නද්ධව පැමිණි පිරිසක් විසින් මීසම් ගෘහය තුළදීම දස දෙනෙකු සාහසික ලෙස මරා දැමූ අතර එම ඝාතනයේ එකම සාක්ෂිකරු තමා වීම හේතු කොටගෙන එතුමා දරාගත නොහැකි වේදනාවෙන් කම්පාවට පත්විය. ඒ කාලයේදීම එතුමා විසින් කහවත්ත ප්‍රදේශයේ ඉදීකිරීමට පටන්ගෙන තිබූ දෙව්මැදුරක් ද කඩා බිඳ දැමිණි. මේ සිදුවීම් වල කම්පනයෙන් මිදී නැවතත් තම කටයුතු කරගෙන යාමට එතුමන් සමත් වන්නේ එතුමන් ඇදහූ දෙවිඳුන් ගිනි මැදින් යන විටද ජල මැදින් යනවිටද තමා සමඟ සිටින බවට වූ විශ්වාසය තුළයි.

ගාලූ පදවියේ පළමු වතු මීසම බවට දොලොස්වල මීසම පත් වෙද්දී එහි මීසම් සේවක ලෙස එතුමා වැඩ බාරගත්තේ සතුටිනි. වතු ජනතාවට සභාව තුළ යම් පිළිගැනීමක් එමඟින් හිමිවූ බව එතුමාගේ අදහස විය. ගාලූ පදවිය තුළ ආරම්භ කෙරුනු සුබසාධන හා සංවර්ධන කටයුතු වල පුරෝගාමියා ලෙස ජේකොබ් පියතුමා සැලකිය හැකියි.

සමාජ වෙනසක් උදෙසා

පියතුමාට සැබැවින්ම අවශ්‍යවූයේ වතුකර ජනතාව තුළ හුදු ආගමික නැඹුරුවක් ඇති කිරීම නොවේ. ජනතාවගේ සමාජ ජීවිතය තුළ පැහැදිලි වෙනසක් සිදු කරමින් ඔවුන්ට ලාංකිය සමාජය තුළ සම හිමිකමක් අනන්‍යතාවයක් ලබා දීමයි එතුමාගේ ප්‍රමුඛ අරමුණ වූයේ වතුකර ජනතාව මුහුණ පෑ මූලික ගැටළු දෙකක් කෙරෙහි එතුමා වඩාත් සංවේදී විය. පළමු වැන්න වතුකර දෙමළ ප්‍රජාවගේ විවාහ වල තිබුණු නිත්‍යානුකූල නොවන ස්වභාවය නිසාවෙන් දරුවන්ගේ උපත්හි සුජාතභාවය ඇති කර අනන්‍යතාවයක් ලබා ගැනීමට නොහැකි වීම. දෙවැන්න වතුකර ජනතාවගේ ශ‍්‍රමය තුළින් උපයන විදේශීය විනිමය මඟින් රටේ සියලූ දෙනාට ප්‍රතිලාභ ලැබුනත් වතුකර ජනතාවට ශ‍්‍රමයට අදාල අවම හිමිකම් වත් හිමි නොවීම.

මේ ප්‍රශ්න දෙක සඳහා කි‍්‍රයාමාර්ග ගැනීමට එතුමා ජනතාව යොමු කළේය. ආගමික ලෙස හා නිත්‍යානුකුල ලෙස විවාහයන් සිදු කර දරුවන්ගේ උප්පත්ති ලියාපදිංචි කොට සුජාත පුරවැසි බවක් ලබාදීමට කටයුතු සංවිධානය කළ පියතුමා අතිකාල දීමනා අර්ථසාධක ආදිය දිනා දීමට ද කටයුතු කළේය. වතුකරයේ දරුවන්ගේ අධ්‍යාපනය නගා සිටුවීමේ අරමුණින් වතු පාසල් වල තද බල ගුරු හිඟයට ස්වේච්ඡා ගුරුවරුන් අනුයුක්ත කිරීමට පියවර ගත්තේය. ඒ සඳහා වතුකරයෙන් උගතුන් සොයාගත නොහැකි වූ නිසා උතුරු නැගෙනහිර පළාත්වලින් එම ගුරුවරුන් ගෙන්වා ගැනීමට කටයුතු කළ නමුත් 1983 ජාතිවාදි කෝලහාල නිසා එසේ පැමිණ සිටි ගුරුවරු තම ජීවිත ආරක්ෂාව පතා වතුකරයේ පාසල් හැර ගිය බැවින් නැවතත් වතුකරයේ සැලකිය යුතු ගුරු හිඟයක් ඇතිවිය. නොයෙකුත් අයගෙන් අනුග්‍රහයෙන් සොයා ගනිමින් ස්වේච්ඡා ගුරුවරුන් සඳහා වැටුපක් ලබා දෙමින් ද පාසල් වලට සම්පත් සපයා දෙමින්ද වතුකරයේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ අරගලය තුළ එතුමා දිගටම නිරත විය. රජය සමඟ ඒ සඳහා නිරන්තරයෙන් අරගල කරමින් සුදුසුකම් සහිත ගුරුවරු 400 ක් පමණ රජයේ සේවයට අනුයුක්ත කිරීමට එතුමා සමත් විය.

ඉන්දියාවෙන් පැමිණ, ඉන්දියානු දෙමළ යැයි පාලකයින් නාමකරණය කළ ජනතාව උදෙසා තම හැකි උපරියෙන් කළ සේවය හුදු සුබසාධන කාර්යයක් නොවන්නේ, වතු ද්‍රවිඩ ජනයාට සමාජය තුළ පැවැති, තවමත් පවතින අඩු සැලකුම් වල තත්වය තුළයි. එසේම තම රට තුළ වියත් කථිකාචාර්යවරයෙකු ලෙස සුවිසල් නමක් දිනා ගනිමින් වැජඹෙන්නට තිබුණු අවස්ථාව හිස්කර ගනිමින් මෙරට අව වරප්‍රසාදිත ජනතාවක් වෙනුවෙන් වැයවීම සැබැවින්ම විමුක්තිදායක කිතුනු බවට සාක්ෂි දැරීමක් වේ. 1983 ජූලියේ අවිලූනු ගිනිදැල් මරණයේ අඳුරු අත්දැකීම බරපතල ලෙස පෙන්වා දෙද්දීත් නැවත සිය රට බලා ගොස් පහසුවෙන් ජීවත් විය හැකිව තිබියදී එසේ නොකර තම තෝරාගත් ජනතාව සමඟ සිටීමට ගත් තීරණය පැසසිය යුතුමය.

jesustodaysl 2 වන වසර 13 වන සතිය 2018 ජූනි 03

 

Comments powered by CComment