පූජක දිවියට වසර 50 ක් ජීවිතයට වසර 80ක් සපිරෙන. ගරු මයිකල් සිල්වා (නි.ම.නි) පියතුමාගේ සංගීත දූත සේවාව පිළිබඳ කෙටි ඇගයුමකි.

සංගීත දූත සේවාව පිළිබඳ කෙටි ඇගයුමකි.

දේශයේ නිදහස පිළිබඳ කාහල නාදය උච්ච ස්වරයෙන් රාව ප්‍රතිරාව නැංවෙන යුගයක, එනම් 1938 මාර්තු 14 කටුනායකයදි උපත ලද මයිකල් සිල්වා 1968 දී නිර්මල මරිය නිකායික පියතුමෙක් ලෙස පූජකවරය ලැබීය. එබැවින් අපේ මේ කතාවේ කතානායකයා මයිකල් සිල්වා (නි.ම.නි) පියතුමා ලෙස අපි හඳුන්වමු.

අපගේ මේ කථාව එතුමන්ගේ සංගීතමය දූත සේවාව පිළිබඳ කෙටි විමසුමකට සීමා වන බව ප්‍රථමයෙන් පැවැසිය යුතු වන්නේ, එතුමාගේ එම මෙහෙවර ගැන සංක්ෂිප්ත ඉදිරිපත් කිරීමකින් සිදුවිය හැකි අසාධාරණය සාධාරණිකරණය කරනු පිණිසය.

දෙව්සත්හල් සංගීතාභාෂය.

රට පුරා ඇති කුඩා දෙව්සත් හල් තුළ මෙන්ම අම්පිටිය (නි.ම.නි) දෙව් සත්හල හා ජාතික දෙව් සත්හල තුළද සාහිත්‍යය හා කලාවට ඇත්තේ වෙසෙස් ස්ථානයකි. එබැවින් දෙව්සත්හල යනු සංගීතයට ඇළුම් කරන්නෙකුට අනගි තෝතැන්නකි. අප කථා නායකයාණෝ ඒ තෝතැන්නෙන් අත්පොත් තැබු සංගීත චාරිකාවේ තවමත් ගමන් කරන්නේය.

ඒ වනාහි දෙව්සත්හල් තුළින් ඔප් නංවා ගන්නා සාහිත්‍යමය හා සංගීතමය තලෙන්තු අකාලයේ සැඟවී යන්නට ඉඩදෙන බොහෝ පූජකවරුන්ට නිහඬ පාඩමකි.

හැදැරීම අත් නොහල විද්‍යාර්ථීයා

අද බොහෝ දෙනෙකු ගොඳුරු වී සිටින රෝගයක් වන්නේ යන්තම් පෙති දෙපති විහිදන දක්ෂතාවයක් මතු වූ පමණින් මාධ්‍ය වීරයින් බවට පත් වී හැදැරීම අත්හැර දැමීමය. අප මයිකල් සිල්වා පියතුමාව දකින්නේ හැදැරීම අත් නොහල වියපත් නොවුනු විද්‍යාර්ථීකයෙකු ලෙසය. ජීවිතේ ගමන ඉගෙනීම බව එතුමා අමතක කළ නොකළේය. එතුමා ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයෙන් වාදන හා සංගීත විශාරද උපාධිය ලැබු ප්‍රථම සිංහල කතෝලික පියතුමාය.

වෙහෙස නොබැලූ පර්යේෂකයා

මයිකල් සිල්වා පියතුමා හින්දුස්ථානි රාගධාරි සංගීතය හදාරණ අතරේම, දේශිය සංගීතයද හැදැරුවේය. ජන සංගීතය ගැන විධිමත් පර්යේෂණයක, නියැලූනු ප්‍රථම පියතුමා ලෙස අපට එතුමාව හඳුන්වා දිය හැකිය.

කිතුනු සම්භාව්‍ය සංගීතය, හින්දුස්ථානි රාගධාරි සංගීතය හා දේශිය ජන සංගීතය එකට මුසු කරමින් එතුමා නිර්මාණය කරන ලද ගී තනු අනුකාරක වූ ඒවා නොවේ. ඒවා ඉතා ඉහල ගණේය අත්හදා බැලීම් විය.

පණතක් මම ඔබට
පෙම් දක්වනු සැමට නිති
මා කළ සේ නිති දිනයේ
පණ පුදමින් කුරුස ගසේ

නම් වු ගීතිකාව පමණක් සැලකිල්ලට ගත්තද අප ඉහත කී කරුණ සනාථ වේ.

ගේය කාව්‍යයේ හා සජ්ඣායනයේ නාදයට සමීප වන ලෙස ගී අනුරුවේ නාද රටාව නිර්මාණය වී ඇත්තේ රිද්මය එයින්ම මතු කර ගනිමිනි. ගිටාරයට යෝග්‍ය වන ලෙස නාද රටාව නිර්මාණය කර එතුමා මෙහි ගී අනුරූප ලියා තිබේ.

කිතුණු සංජ්ඣායන නාද රිද්ම රටා ඇසුරු කර ගනිමින් දේශිය හඬ වර්ධනය කළ එතුමාගේ තවත් විශිෂ්ඨ ගීතිකා නිර්මාණයක් මෙසේ නිදර්ශනය කොට දැක්විය හැක.

කුමක් කමුද කුමක් බොමුද
අඳිමුදැයි කියා
ලතැවි ඉන්නේ මන්ද සොයුර
පියෙක් ඇත බල

මයිකල් පියතුමාගේ ශාස්ත්‍රීය ගවේෂණයේ, පර්යේෂණයේ අග්‍ර ඵලය ලෙස එතුමා විසින් චිරචිත

”චිරන්තන සිංහල සංගීතයේ ප්‍රවණතා” ග්‍රන්ථය හඳුන්වා දිය හැක.

එකි ග්‍රන්ථයට පසු වදනක් සපයන රදගුරු නෝබට් අන්ද්‍රාදී (නි.ම.නි.) පියතුමා මෙසේ සඳහන් කරයි.

සංගීතමය පිළිබඳ සපිරි වටිනාකමක් නියෝජනය කරන මෙම නිබන්ධනය ප්‍රයත්නය, හදවතේ කිසියම් සුරැකි ස්ථානයක සංගීතයට තෝතැන්නක් වෙන්කර තබාගෙන සිටින තැනැත්තන්ට, තම උන්නතිය සඳහා ආරක්ෂිත ව ළඟ තබාගත යුතු හා භාවිත කළ යුතු එකක් වන බව පැවසිය හැකි අතර, සිංහල සංගීතය සම්භාව්‍ය ගුණයෙන් සෑදි සේ සැලකුවහොත් එහි ප්‍රවනතාවය ලබමින් වර්ධනය වී, ප්‍රසාරණය වන විෂය අඩංගු එකක් ලෙස මා හට අවබෝධ වී ඇත. කෘතිය ඇත්තෙන්ම ම ප්‍රශංසනීය.

හෙළ ගීතයේ හා සජ්ඣායනයේ ප්‍රවර්ධනයද, ඊට එක් වු සංගීත භාණ්ඩද, නාඩගම් තාල් පද, බෙර පද හා රබන් පද ද, ජාතික උරුමය තුළ රැකවරණය ලබමින් ආරක්ෂාව වන සිංහල අවුරුදු නත්තල් කැරොල්, නාඩගම් හා පාස්කු පසමි යනාදි නොයෙකුත් දේ ද, නාද සිත්තම් කිරීම හා කාව්‍යකරණයද, පර්යේෂණාත්මක ව හා සන්සන්දනාත්මක ව සත්සර දහම් හඬින් නිර්මාණය වූ අත්හදා බැලිම් ද මෙම කෘතිය තුළ නොනිමෙන පහන් එළියක් සේ දැල්වෙනවා මට දැනෙන්නේ ය.”

අභිත මැදිහත් විචාරකය 

මැදිහත් විචාරකයෙකු වු එතුමා තම අදහස් ප‍්‍රකාශ කිරිමේදි අභිත වූවෙකි. පෘතුගීසිහු බයිලා කපිරිඤ්ඤ පමණක් නොව, දැහැමි සංගීතයක්ද උරුම කළ බව නොපැකිල ප්‍රකාශ කළ එතුමා කිතුනු සංගීතය අපරදිග (බටහිර) හැදි වැඩුනද බටහිරෙන් අපට ලැබුනද බයිබලීය සංගීතය වනාහි පෙරදිග සංගීතයක් බව හේතු සහිතව පෙන්වා දී ඇත.

දැහැමි තනු රචකයා

වත්මනේ බොහෝ ජනප්‍රිය ගීතිකා දෙවමැදුරු වල පවා රාව ප්‍රතිරාව නැංවේ. එහෙත් එකහෙලා කිව හැකි වන්නේ ඒවා බහුතරයක් ගීතිකාවට අදාල තනු හෝ සංගීත රචනා නොවන බවයි. ඒවා බොහොමයක් බොළඳ ඕලාරික පේ‍්‍රම ගීත වල අනුකාරක තනු රචනා හා පද රචනා වේ.

මයිකල් සිල්වා පියතුමාගේ ඇති සුවිශේෂි ගුණය වන්නේ එතුමාගේ තනු රචනා නියම ශාස්ත්‍රීය තනු නිර්මාණ වීමයි. දැහැමි සංගීතයකට නිදර්ශන සපයන බවයි. නියම මාත්‍රාවට නියම රාගයට, තාලයට අනුව ඒවා රචනා වී තිබේ.

සංගීත ධර්මදූතයා

සංගීතමය හා සජ්ඣායනය දූත මෙහෙවරක් (A Mission) බව පසක් කරගත් මයිකල් සිල්වා පියතුමා වැඩි කථා බහක් නැතිව එකි දූත මෙහෙවරේ නිමග්න විය.

සුවිශිෂ්ඨ හැකියාව මෙන්ම පන්සල හා විද්වත් පර්ෂද සමඟ තිබුණි සම්බන්ධය ද හේතු කොට ගෙන මර්සලිනු ජයකොඩි (නි.ම.නි) පියතුමා සිංහල සංගීතයේ කිතුනු තරු ලකුණු වූ බව අවිවාදිතය.

අප මයිකල් සිල්වා පියතුමාව හඳුන්වා දෙන්නේ ජයකොඩි පියතුමාට පසුව සංගීතය පිළිබඳ ප්‍රමුඛතම මෙහෙවර සිදු කළ නිර්මල මරිය නිකායික පියතුමා ලෙසිනි. නමුත් ජයකොඩි පියතුමාට ලැබුනු ජනප්‍රියත්වයේ සෙවනැල්ලෙන් මයිකල් පිය භූමිකාව වැසී ගිය බවක් පෙනී යයි. ශාස්ත්‍රීය පරිචය අතින් ගත් කළ මයිකල් පියතුමා ජයකොඩි පියතුමාටද මඳක් ඉදිරියෙන් බවයි අපගේ අදහස.

ජයබිම සිකුරු රහසක්

මයිකල් සිල්වා පියතුමාගේ සංගීතමය දූත මෙහෙවර ගැන වු අපගේ මෙම කෙටි විමසුම එතුමාගේ ගීතිකාවලීයේ අප ඉතා ඇළුම් ගීතිකාවක රස විඳුමකින් නිමා කරන්නට සිතමු. ඒ වනාහි දුක්බර දිවියක රහසක් ඇත. මට නම් වු අපුරු ගීතිකාවයි දේව වචනය සෘජු ලෙසම යොදා නොගෙන ජීවිත අත්දැකිමක් ප්‍රශස්ථ කිතුනු හි සජ්ඣායන්ගේ බවට පත් කිරීම පිලිබඳ මා හැගී නිදර්ශනයකි මේ ගීතය.

දුක්බර දිවියක රහසක් ඇත මට
ජය බිම සිකුරු නිසා
විඳ ගැනුමට ඇත දහසක් කරදර
සිතුවිලි හොඳ හින්දා
අපවාදය පිරි රැවුම් බැනුම් මැද
නොසැලෙන ගතිය නිසා
සතුරන් මැද්දේ දිවිය ගෙවන්නෙමි
සමිඳුගේ මහිමේ නිසා

ගීතිකාවේ පද වැල රචනා වී ඇත්තේ ලතෝනි ගීයක ස්වරූපයෙනි. පද සංඝටනාව තුළ දිව යන්නේ යහපත කරන්නට හොඳ හිතින් ඉදිරිපත් වූවෙකු අපවාදයට අවමානයට පාත්‍ර වීමක් තුල විඳින වේදනාවයි. නමුත් ඒ වේදනා දරාගන්නට ශක්තිය ඔහු සතු වේ. ”සත්‍යය කවදා හරි ජය ගන්නවා” යන සිතුවිල්ල තුල සමිඳුන් කෙරෙහි වු අචල විශ්වාසය ඉන් ප්‍රකාශ වේ.

සියල්ල තුල ඔහුට වැදගත් වන්නේ සමිඳුන්ට මහිමය ලබා දීමයි. තමා අපවාදයට ලක් වූවත් ඒ තුලින් සමිඳුන් මහිමයට පැමිණ වීමයි.

කුසගින්නක් ඇත නිවහනක් නැත
හැදුනුම නොලත් නිසා
සේවය ලැබුමට සැම දෙන ආවේ
ශක්තිය ඇතැයි සිතා
සමිඳුන් සෙව්වේ සේවය පැතුවේ
කිතු හිමි දකිනු පතා
දුබල වූ මා ළඟ කිතු හිමි හිටියේ
මගේ පණ රකිනු සොඳා.

පුද්ගලයෙකු සතු වු පෞද්ගලික අනුභූතියක් පොදු බවට පත් කිරිමට පද රචනාව සමත් වේ. කුසගින්නට ආහාරය ද තමා සිටින නිවසද අහිමි වී ඇත. තමා වෙත සේවය පතා ආ බොහෝ දෙනා තමා ගැන විශ්වාසය කළ බවත් තමා තුළින් කිතු හිමි ප්‍රකාශ විය යුතු බවත් මේ අන්තරා කොටස පවසයි. තැලෙන බිඳෙන හදවතක් අමතක නොකර න සමිඳුන් දුබල මොහොත තුළ තමාව රකිනු පිණිස තමා හා සිටියි.

තනිවි සිටියෙමි මිතුරන් නොමැතිව
බොරුවක් නොකළ නිසා
යහපත් වදනින් හිංසා නොමැතිව
ඉවසමි සැබෑ වඩා
සමිඳුගේ ජීවිතේ මීටත් කටුකයි
ගැලවුම්කරු වු නිසා
කිතු හිමි නොවන්න මා ඇත තනි වී.
දහිරිය නැතිව සදා

කිසියම් සිදුවීම් මාලාවක ප්‍රතිඵලය වශයෙන් මිතුරන්ද ඔහුව අතහැර ගොසිනි. එහෙත් ඔහු සාමය පිලිබඳ පාරමිතා ඇත්තේ වෙයි. ඒ නිසා හිත් රිදුම් දෙන වචන භාවිතයට අකමැතිය. අත්දැකිම් කටුකය. තනි භාවය ප්‍රීතියක් නොව කාලකන්නි මනෝභාවයකි. ඔහුට සැනසීම ගෙන දෙන්නේ කිතු සමිඳුන් වෙත ඇති බැඳියාවයි. ගැලවුම්කරු වු සමිඳුන්ගේ ජීවිතය මීට වඩා කොතරම් කටුක වීද ? එසේ නම් සමිඳු හමුවේ දූවිලි තරම් නොවටිනා මම මේ තනිකම ගැන තැවී තැවී සිටිම නිශ්ඵලය. ඒ සිතුවිල්ල ඔහුව තනි නොකරන බලය වේ.

පෞද්ගලික අත්දැකිමක් පොදු බවට පත් කරන අපූර්වත්වයකින් යුතු මේ ගීතිකාවේ සංගීතය ඌබි කරිටාස් නැමැති සජ්ඣායන ගීතයේ හා වැලපුම් ගී හෙඬි ආභාසයෙන් නිර්මාණ වී ඇත.

දුක් පිරිපතට පත්වූවන්ට ශක්තියක් ලබා දෙන ගීතමය ඔසුවක් වන් මේ ගීතිකාව බොහෝ දෙනෙකුට ශක්තියක් වී තිබේ. මයිකල් සිල්වා පියතුමාගේ සරල පද රචනාව මෙන්ම ඊට උචිත තනු නිර්මාණය ගීතයේ සාර්ථකත්වයට හේතු වී තිබේ.

6cac3e4af71ab8dda6dba234a97e4887 මහින්ද නාමල්

jesustodaysl 2 වන වසර 12 වන සතිය 2018 මැයි 27

Comments powered by CComment