මොවුන් වෙනුවෙන් උතුරේ රදගුරුවරු යුක්තිය ඉල්ලා හඬ නැගීම ද්‍රෝහී කමක්ද ? රට පාවා දීමක්ද ? එහෙත් ඔවුන් එසේ නොකරන්නේ නම් එය ඔවුන් ජනතාවට කරන ද්‍රෝහිකමකි. දකුණේ සභා නායකයින් ඊට එරෙහි වන්නේ, අතුරුදහන් වූයේත් යුක්තිය ඉල්ලා හඬ නඟන්නේත් දෙමළුන් වීම නිසාද?

 

උතුරේ දමිළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හා සමඟ පැවති යුද්ධය 2009 මැයි මස 18 දින අවසන් වූ බව රජය නිල වශයෙන් ප්‍රකාශ කළේය. යුද්ධයේ අවසාන දින කීපය තුළ දහස් ගණන් සටන්කාමීහු රජයේ හමුදාවන්ට භාර වූහ. 2009 මැයි 18 දින සටන්කාමී නායකයන් පිරිසක් හමුදාවට භාර වීමට තීරණය කළ විට ජෝෂප් ප්‍රැන්සිස් පියතුමා ඒ නායකත්වය ගෙන හමුදාවට භාර කෙරුණි. යටත් වුණු පිරිස සමඟ පියතුමාවද හමුදා ට්‍රක් රථයක නංවාගෙන රැගෙන යන ලද බව එම අවස්ථාවේ ඔවුන් සමඟ සිටි දහස් ගණන් ජනතාව පවසති. මෙම සිද්ධියෙන් පසු 2014 වසර වන විට වසර 5 ක් නිමා වීමට ආසන්නව ඇතත් ප්‍රැන්සිස් ජෝෂප් පියතුමාට හෝ රැගෙන ගිය අන් අයටද සිදු වූයේ කුමක්දැයි කීමට අද වන තුරුත් කිසිවෙකුත් ආපසු පැමිණ නැත.

මේ නිසා ප්‍රැන්සිස් පියතුමා හා තවත් අතුරුදහන් වූ කිහිප දෙනෙකු සොයා දෙන මෙන් හෝ සිදු වූයේ කුමක්දැයි කියා පරීක්ෂණ පවත්වා දන්වන සේ ඉල්ලා සිටිමින් ඔවුන්ගේ ඥාතීන් විසින් වවුනියාව මහාධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. පසුගිය ජනවාරි 22 දින තුන්වෙනි වරට මෙම නඩුව ඇසීම ආරම්භ කළ විට පරීක්ෂණ ආරම්භ කිරීමට පෙබරවාරි 19 දිනට නැවත කැඳවීමට මහාධිකරණ විනිසුරුතුමිය විසින් තීරණය කරන ලදි. මෙදින අතුරුදහන් වූවන්ගේ ඥාතීන් පිරිසක්ද යාපනය හා මන්නාරම යන පදවි වලින් 20 දෙනෙකුට වැඩි පියතුමන්ලා පිරිසක්ද අධිකරණයට පැමිණ සිටියහ.

ප්‍රැන්සිස් ජෝෂප් පියතුමා කාර්යක්ෂම පරිපාලකයෙකු මෙන්ම දක්ෂ ගුරුවරයෙක්ද විය. ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳ නිපුණත්වයක් දැරූ එතුමා ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසද යාපනයේ කීර්තිමත් විදුහලක් වන සා. පැටි‍්‍රක් විද්‍යාලයේ විදුහල්පති වශයෙන්ද සේවය කරමින් එය මනාව ඔප්පු කළේය. උතුරු නැගෙනහිර ජනතාව අතර එතුමාව නොදන්නා කෙනෙක් නොමැති තරම්ය. අධ්‍යාපනය මගින් ජනතාව සමාජයේ ඉහළට ගෙන ඒමට එතුමා දැරූ උත්සාහය ප්‍රශස්තය. යාපනයේ සා. පැටි‍්‍රක් විදුහලේ විදුහල්පති ධුරයෙන් විශ‍්‍රාම ලැබූ පසු ජනතාවගේ අධ්‍යාපනය නැංවීමේ ශුද්ධ වූ මෙහෙවර සඳහා තමන්ගේ සෙසු ජීවිත කාලයම කැප කළේය. 1995 යාපනයේ ලක්ෂ 5 කට අධික ජනතාවක් යුද්ධය හේතු කොට ගෙන අවතැන් වී වන්නියට පළා ගිය විට පියතුමා ඔවුන් අතර සිටිමින් ඔවුන්ගේ පූර්ණකාලීන සේවකයෙක් විය.

2002 වසරේදී රජය හා දමිළ සටන්කාමීන් අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් කාලයේදී තමන්ගේ දිගු කාලීන සිහිනයක් වූ ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා අධ්‍යාපන පීඨයක් ආරම්භ කිරීම වෙනුවෙන් සම්පූර්ණයෙන් ඇප කැප විය. තරුණයන් අතර මහත් උනන්දුවක් සහ පිබිදීමක් සමඟින් 2004 වසරේදී කිළිනොච්චියේදී මෙම විදුහල ආරම්භ විය. ඉගැන්වීම් හා පරිපාලන කටයුතුවල නිමග්නව සිටියත් කිළිනොච්චිය මීසමේ, මීසම් සේවක ලෙස මීසම් ජනතාවගේ ආගමික කටයුතු කිසිදා අතපසු කළේ නැත. ජනතාවගේ නිදහස, විමුක්තිය වෙනුවෙන් එතුමා නිර්භයව එඩිතරව නිතර කථා කළේය. මේ අතරතුර එතුමාගේ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වුවත් ප්‍රතිකාර ගැනීම සඳහා වන්නිය අතහැර යාමට අකමැති විය. ප්‍රතිකාර ගැනීම සඳහා වන්නිය අතහැර යාපනයට ගියහොත් ආපසු වන්නියට ඒමට නොහැකි වේය යනු එතුමාගේ අදහස විය. උතුරේ සභා නායකයන් කොතරම් උත්සාහ කළත් වන්නිය අත නොහැර එහි සිටි අසරණ වූ ජනතාව සමඟ නැවතී සිටීම එතුමාගේ එකම තීරණය විය.

2009 වසරේ මුල් අවදියේ හා යුද්ධය අවසාන අදියරේදී ජනතාව සමඟ එතුමාද තැනින් තැනට ගමන් කළේය. සටන්කාමී නායකයන් විසින් එතුමාගේ ආරක්ෂාව පතා බෝට්ටුවකින් යැවීමට දරන ලද උත්සාහයද එතුමා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරමින් තමන් ජනතාව සමඟ සිටිය යුතු බව පැවසුවේ යැයි සඳහන් වේ. මේ වන විට 75 වියේ පසු වූ එතුමා බෝම්බ ෂෙල් වෙඩි ප්‍රහාර මඟින් දහස් ගණන් මරා දමනු ලැබූ අති බිහිසුණු කෘරතර යුද්ධ භූමියේ බංකරයක සිටිමින් මරණය හමුවේ සිටි ජනතාව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම සිදු කළේය.

හමුදාවට භාර දුන් තමාගේ ස්වාමි පුරුෂයා පුතා දරුවන් හට කුමක් වූවා දැයි දැන ගැනීමට නීතියේ සරණ පතන බිරින්දෑවරු හා අම්මලාද පසුගිය 22 වෙනි දින වවුනියාවේ මහාධිකරණයට පැමිණ සිටියහ. ඉන් කිහිප දෙනෙකු තමන්ගේ බිහිසුණු ඛේදජනක අත්දැකීම් ප්‍රකාශ කළේ මෙසේය;

”සංවිධානයට මොනයම් විදිහකින් හෝ සම්බන්ධ වෙලා සිටිය නම් ඒ හැම කෙනෙකුටම භාර වෙන්ඩ කියල හමුදාව දැනුම් දුන්නා. මගේ මහත්තයා භාර වුණේ මා ඉදිරියේමයි. ඒ වෙලාවෙ එක හමුදා භටයෙක් කිව්වා ඔක්කොමන්වම මරනවා කියල. අද වෙනතුරුත් මහත්තය නැහැ. හැම කඳවුරකටම සොයමින් ගියා. එයා ඉන්නවද නැද්ද මොනව වුනාද කියල දන්නේ නැහැ”.

”මගේ මහත්තයාගේ දකුණු අත නැහැ. එයාව හමුදාවෙන් බස් එකට දා ගත්තා. හමුදාවෙ අය එක්ක මම සන්ඩු කළා. මහත්තය ඒ වෙලාවෙ කිව්වා කෑ ගහන්ඩ එපා යන්ඩ කියල. එතකොට හමුදාවෙ අය කිව්වා දවසකින් සෙට්ටිකුලමෙ කෑම්ප් එකට ගේනව කියල. අද වෙනතුරුත් මහත්තය ආගිය අතක් නැහැ”.

”මගේ පුතයි එයාගෙ බිරිඳයි දරුවො තුන්දෙනයි. පුතාට කිව්ව බිරිඳවයි දරුවො තුන්දෙනාවයි මම එක්කරගෙන යන්නම් කියල. ඒත් බිරිඳ කිව්වා මගේ මහත්තය නැතුව මම එන්නෙ නැහැ කියල. එයත් දරුවොත් එක්කම හමුදාවෙ වාහනේම ගියා. ඒ අය අතර ප්‍රැන්සිස් ජෝෂප් පියතුමත් හිටිය. මගේ පුතයි බිරිඳයි දරුවොයි කොහේ ඉන්නවද දන්නෙ නැහැ”.

අතුරුදහන් වූවන්ට කුමක් වූයේද කියා නීතියේ පිහිට පතා අධිකරණයට පැමිණ සිටින්නේ ඉතා ස්වල්ප දෙනෙකි. එහෙත් අතුරුදහන් වූවෝ දහස් ගණනකි. එයිනුත් පිරිසක් තමන්ගේ උදුරාගත්තවුන් සොයා දෙන මෙන් විරෝධතාවලට යති. කිය හැකි සෑම දෙනෙකුටම කියති. අවුරුදු පහක් ගෙවී ගොස් හමාරය. තවමත් පිළිතුරක් ලැබී නැත. ලැබෙන සෙයක්ද නොපෙනේ. ඔවුන්ට කුමක් වූවාදැයි කියා දැන ගැනීමේ අයිතිය අහිමි කළ හැකිද?

jesustodaysl 2 වන වසර 11 වන සතිය 2018 මැයි 20

 

 

Comments powered by CComment