2009 මැයි 18 දින මෙම සංහාර භූමියෙන් තම ජනතාවත් සමඟ පිට වී පැමිණෙන අතරමඟචදි එතුමා මරණයට පත් විය. සති ගණනාවක් තිස්සේ ආහාර හා ජලය වෙනුවට ඔවුන්ට ලැබුණේ බෝම්බ, ෂෙල් වෙඩි ප්‍රහාරයන්. ඊට ගොදුරු වුණු තම ජනතාවගේ සිරුරු කෑලි බවට පත්වන අයුරු එතුමා සියැසින් දිටීය.

 

මැයි 18....

එකම දේශයක ජීවත්වන ජාතින් දෙකක් ප්‍රතිවිරුද්ධ අරුතක් විඳි දිනයකි. දෙමළ ජනයාගේ අභිලාශයන් නොතේරුම් ගත් ඉතිහාසයක් සන්නද්ධ අරගලයක් බවට පත්ව අවසන මහා සංහාරයකින් නිමා වූයේ මැයි 18 ය.

බහුතර සිංහල ජනයා එදින ජයග්‍රහනයක් භුක්ති විදි අතර බහුතර දෙමළ ජනයා එදින සංහාරයක් අත්දිටිය. සරාජිවන් පියතුමා අවසන් යුද්ධයේ කුරිරූ අත්දැකිම තම ජනයා හා විඳිමින් ජනයා අත් නොහැරීම නිසා මරණයට පත් වූ පියතුමෙකි. මේ සටහන එතුමා ගැනයි.

 

රජය විසින් උතුරුකරයේ මුල්ලිවයික්කාල් ආරක්ෂක කලාපය (NO FIRE ZONE) වශයෙන් නම් කොට, එහි රොක් වී සිටි තුන් ලක්ෂ පනස්දහසකට අධික ජනතාව අතරින් කුඩා දරුවන්, ළමුන්, මව්වරුන් ඇතුළු දස දහස් ගණන් අහිංසක ජනතාව සංහාරයට ලක්කළ, කූරතර යුද්ධය නිමා වී මැයි 18 දිනට වසර 9 ක් සම්පූර්ණ වේ. මෙම ඝාතක භූමියේ අනාරක්ෂිතව, අසරණව සිටි ජනතාව අත්නොහැර, අවසාන මොහොත දක්වාම ඔවුන් සමඟ සිටි පියතුමන්ලා කිහිප දෙනා අතරින් කෙනෙකි, මාරියම් පිල්ලෙයි සරත්ජීවන් පියතුමා.

2009 මැයි 18 දින මෙම සංහාර භූමියෙන් තම ජනතාවත් සමඟ පිට වී පැමිණෙන අතරමඟචදි එතුමා මරණයට පත් විය. සති ගණනාවක් තිස්සේ ආහාර හා ජලය වෙනුවට ඔවුන්ට ලැබුණේ බෝම්බ, ෂෙල් වෙඩි ප්‍රහාරයන්. ඊට ගොදුරු වුණු තම ජනතාවගේ සිරුරු කෑලි බවට පත්වන අයුරු එතුමා සියැසින් දිටීය. තැන තැන විසිරී තිබූ සිය ගණන් මළ මිනී මතින් ගමන් කිරීමට එතුමාට සිදු විය. මෙම අති බිහිසුණු අත්දැකීම හා දර්ශන එතුමාගේ දුබල සිරුරට හා දැඩි කැළඹීමට පත්ව තිබූ සිතට තව දුරටත් දරා ගැනීමට නොහැකි වූවාට කිසිම සැකයක් නැත. එනිසාම තමන් සමඟ ඒ මොහොතේ සිටි තම සහෝදර පියතුමන්ලාද තම ජනතාවද අත්හැර, අනුකම්පා විරහිතව ඝාතනය කරන ලද දහස් ගණන් ජනතාව අතරට එතුමාටද එක්වන්නට සිදු විය.

2009 මැයි 18 දින සිට සෑම වසරකම එම දිනයේදී ජනඝාතක යුද්ධයේ ජයග්‍රහනය දකුණේ් උත්කර්ෂයෙන් යුතුව සමරන්නේ උතුරේ යුද්ධයෙන් මිය ගිය, බොහෝ විට භූමදාන කිරීමට පවා නොහැකි වූ තම දූ පුතුන්, දෙමාපියන්, ඥාතීන්, මිතුරන් සිහිකොට ආගමික වතාවන් පමණක් නොව හුදෙක් ඉටිපහනක් හෝ දැල්වීම තහනම් කෙරෙන අති අමානුෂික නීති, නියෝග දමිළ ජනතාවට පණවමිනි. සටන්වලදී මිය ගිය දහස් ගණන් සටන්කාමීන් භූමදානය කරන ලද සුසාන භූමි යුධ හමුදාව මඟින් සම්පූර්ණයෙන් විනාශ කළ අතර, මිය ගිය කිසිවෙකු වෙනුවෙන් කුඩා හෝ සිහිවටනයක් ඉදි කිරීම ඔවුන්ට සම්පූර්ණයෙන් තහනම් කරන ලදි. එහෙත් යුධ හමුදාව විසින් යුධ ජයග්‍රහනයේ විශාල ස්මාරක හා යුධ කෞතුකාගාරයක් ඝාතක භූමීන් වන කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කවල ඉදිකර ඇත. මේ වන විට මෙම ස්ථාන දකුණේ සිට උතුරුකරයට විනෝද චාරිකා යන්නන්ගේ ආස්වාදයට ලක්වූ ආකර්ෂණීය ස්ථාන බවට පත්ව ඇත.

මෙවැනි ඉතා මර්දනකාරී හා දරුණු වාතාවරණයක් තුළ වුවද සරත්ජීවන් පියතුමා අවසානයේ සේවය කළ උර්තිරපුරම් දේවස්ථාන භූමියේ එතුමා හා යුද්ධයෙන් මිය ගිය සැම සිහිවීමට කුඩා ස්මාරක දෙකක් ඉදිකිරීමට ජනතාව හා පියතුමන්ලා සමත් වූහ. එය නිරාවරණය කරනු ලැබුවේ 2010 මැයි 18 දින එතුමාගේ ප්‍රථම අනුස්මරණ උත්සවයේදීය. එවක් පටන් සෑම වසරකම මැයි 18 දින මීසම් ජනතාව, පවුලේ සාමාජිකයින්, ඥාතීන්, පියවරුන්, පැවිදි සොයුරු සොයුරියන් මෙම යහපත් එඬේරා සිහිපත්කර ගෞරව දැක්වීමට උරුතිරපුරම් දේවස්ථාන භූමියට රැස් වෙති.

මේ වසරේදීද මැයි 17 දින අපි සැම එම ස්ථානයට එක්රැස් වූයේ එතුමාගේ උතුම් ජීවිත පරිත්‍යාගයේ 5 වෙනි අනුස්මරණයටය. නැවතත් රජය විසින් උතුරේ මළා වූවන් සිහිපත් කිරීම සඳහා කෝවිල් සහ දේවස්ථානවල ආගමික වත්පිළිවෙත් පැවැත්වීම හෝ පොදු ස්ථානවල එක්රැස්වීම පවා තහනම් කළ අතර, යුධ ජයග්‍රහනය රජය විසින් දකුණේ මාතරදීද, ඝාතන භූමිය වූ මුල්ලිවයික්කාල්හිදීද සමරන ලදි. දින දෙකකට පෙර උරුතිරපුරම් දේවස්ථානයට පැමිණි හමුදා සෙබළුන් සැමරීම් පිළිබඳව හා පිට ප්‍රදේශවලින් ජනතාව පැමිණෙන්නේදැයි පියතුමාගෙන් විමසා තිබුණි. 17 දින උදයේ කිලිනොච්චි උරුතිරපුරම් මාර්ගයේ හමුදා සෙබළුන් යොදවා සිටි අතර, ඔවුන් විසින් දේවස්ථානයට පැමිණෙන අය පිළිබඳව සුපරීක්ෂාවෙන් සිටින බව දැකගත හැකි විය.

පියතුමාගේ පවුලේ සාමාජිකයින්, ඥාතීන්, මීසම් වාසීන්, යාපනය පදවියේ නන්දෙසින් පැමිණි පැවිදි පූජක හා ජනතාවගේ සහභාගිත්වයෙන් සරත්ජීවන් පියතුමා හා ඝාතනයට ලක් වූ සියළු දෙනාද සිහිකොට ගෞරව දක්වමින් දිව්‍ය යාගයද, ඉන් අනතුරුව ස්මාරකවලට මල්දම් පැළදීමද සිදුකරන ලදි.

සරත්ජීවන් පියතුමාගේ උපත සිදුවූයේ කඳුරට බොගවන්තලාව නමැති කුඩා ගම්මානයේ 1968 මැයි 13 දීය. ගුරුවරුන් වූ එතුමාගේ දෙමාපියන් එවකට සේවය කළේ මේ ප්‍රදේශයේය. ඒ සමඟ තලෙමන්නාරම් කච්ඩුකාරන් කුඩිඉරිප්පු ග්‍රාමයට මාරුවීම් ලබා සේවයට ගිය අතර, 1973 දක්වා එතුමාගේ ළමා කාලය ගෙවී ගියේද මේ ප්‍රදේශයයේය.

ඉන් අනතුරුව නැවත තමන්ගේ උපන් බිම වූ යාපනයට පැමිණීමෙන් පසු සා. පැටි‍්‍රක් විද්‍යාලයෙන් සිප්සතර ලබා, දේවසේවයේ නියැළීමේ අරමුණින් 1993 දී යාපනයේ සා. මාටින් කුඩා දෙව්සත්හලට ඇතුළු විය. සා. ප්‍රැන්සිස් සේවියර් දෙව්සත්හලේ දර්ශනවාදය හා දේවධර්මය හැදෑරීමෙන් පසු 2003 මැයි 14 දින පූජකවරය ලැබීය. එතුමාගේ පළමු සේවා ස්ථානය සඳහා යවනු ලබන්නේ මුලතිවු සා. පීතර දෙව්මැදුරටය. 2004 දෙසැම්බර් ඇති වූ සුනාමි ව්‍යසනයෙන් එතුමාගේ මීසමේ බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, එතුමා සතුව තිබූ සියල්ලක්ද එතුමාට අහිමි විය.

කිලිනොච්චියේ උරුතිපුරම් පාතිමා දෙව්මැදුරේ මීසම් සේවක ලෙස, එතුමා පත් කෙරුණේ 2005 මාර්තු මාසයේදීය. 2008 මැද භාගය වන විට ජන ඝාතක යුද්ධය දරුණු වෙමින් තිබූ අතර, එතුමාද තම ජනතාව සමඟ දේවස්ථානය අතහැර නිරන්තර අවතැන්වීමට ලක්වෙමින් ආරක්ෂක ප්‍රදේශ කරා ගමන් ඇරඹීය. මෙම තීරණාත්මක කාල පරිච්ඡේදය යුධ කලාපයේ මානුෂික සේවාවන් හි නියැළී සිටි ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය, අනාථයන් සඳහා වූ එක්සත් ජාතීන්ගේ කොමිසම ඇතුළු ජාත්‍යන්තර හා දේශීය රාජ්‍යය නොවන සංවිධාන සියල්ලන්ට ගැටුම් පවතින ප්‍රදේශවලින් ඉවත් වීමට රජය නියෝග පැනවූයේ මෙම ජන සංහාරය සාක්ෂිකරුවන් නොමැති (WAR WITHOUT WITNESSES) යුද්ධයක් බවට පත් කිරීමටය. මෙම අවස්ථාවේදී තමන්ගේ ජීවිත ආරක්ෂාව පතා යුද්ධ භූමියෙන් පිටවී යාමට පියතුමාට කොතරම් අවස්ථා තිබුණද තම ජනතාව අත්හැර නොයන්නට එතුමා තීරණය කළේය.

”මම යහපත් එෙඬේරා වෙමි. යහපත් එඬේරා තම බැටළුවන් වෙනුවෙන් ජීවිතය පුද කරයි.” (ජොහාන් 10/11)

මෙතුමාගේ ජීවිතයේ යම් ප්‍රධාන අවස්ථා කීපයක් මැයි මාසය තුළදී සිදුවීම විශේෂත්වයකි. 

  • උපත            1968 මැයි 13
  • පූජකවරය       2003 මැයි 14 
  • ජීවිත පූජාව     2008 මැයි 18

 

jesustodaysl 2 වන වසර 10 වන සතිය 2018 මැයි 13

 

Comments powered by CComment