‘තමන්ට පහර දෙනු ලබන විට සහ පාගා දමනු ලබනා විට කෑගෑම හරි දෙයක්දැයි මම නොයෙක්විට කල්පනා කළෙමි. ප්‍රබල අභිමානයක් පාමින් සාවඥ නිහැඬියාවක් මගින් වධකයන්ට පිලිතුරු දෙමින් ඔවුන්ට මුහුණ දීම වඩා හොඳ නොවන්නේද?

අද දවස හරිම සුන්දර දවසක් කියන වචන ටිකෙන් මං මේ කතාව ආරම්භ කරන්න සතුටුයි. දැනට මාසයකට පමණ පෙර ජෝශප් ස්ටාලින් සහෝදරය මට කතා කරල සත්‍යවේල් පියතුමාගෙ කවිපොතක් එළිදක්වන බවත් ඒකෙදි කවි පොත ගැන කතා කරන්නට මට ආරාධනා කරන බවත් කිවුවා. ඊට පස්සෙ ජූඞ් සහෝදරයා ඒක කිතුසර කණ්ඩායමේ ප්‍රකාශනයක් බව කියමින් කෘතියේ පිටපතක් මට ලැබෙන්න සැලැස්වුවා. ඒ ආරාධනය නොලැබුණත් මං අනිවාර්යයෙන්ම අද මේ රැස්වෙලා ඉන්න පිරිස අතරෙ වාඩිවෙලා ඉන්න හරි එනවමයි. සත්‍යවේල් පියතුමා කියන්නෙ අපට නිතරම මහ පොළවේ දකින්න ලැබෙන චරිතයක්. උන්වහන්සෙගේ නිර්මාණ කෘතියක් එලි දකින මොහොතෙ එතනට නොඑනව නං ඒක එක්තරා ආකාරයකට ගුණමකුකමක්.අද දවස හරිම සුන්දර දවසක් කියන වචන ටිකෙන් මං මේ කතාව ආරම්භ කරන්න සතුටුයි. දැනට මාසයකට පමණ පෙර ජෝශප් ස්ටාලින් සහෝදරය මට කතා කරල සත්‍යවේල් පියතුමාගෙ කවිපොතක් එළිදක්වන බවත් ඒකෙදි කවි පොත ගැන කතා කරන්නට මට ආරාධනා කරන බවත් කිවුවා. ඊට පස්සෙ ජූඞ් සහෝදරයා ඒක කිතුසර කණ්ඩායමේ ප්‍රකාශනයක් බව කියමින් කෘතියේ පිටපතක් මට ලැබෙන්න සැලැස්වුවා. ඒ ආරාධනය නොලැබුණත් මං අනිවාර්යයෙන්ම අද මේ රැස්වෙලා ඉන්න පිරිස අතරෙ වාඩිවෙලා ඉන්න හරි එනවමයි. සත්‍යවේල් පියතුමා කියන්නේ අපට නිතරම මහ පොළවේ දකින්න ලැබෙන චරිතයක්. උන්වහන්සෙගේ නිර්මාණ කෘතියක් එලි දකින මොහොතෙ එතනට නොඑනව නං ඒක එක්තරා ආකාරයකට ගුණමකුකමක්.

මේ කෘතියේ තියෙන නිර්මාණ සියල්ලම පාහේ හද කොනහන, මිරිකන, වේදනා දනවන නිර්මාණ වුනත් මං ඒ කෘතිය එළි දකින අවස්ථාව සුන්දරයි කියන්නෙ අපි හැමෝම විඳිින කාළකණ්නිකම යම්තම් හෝ මග ඇරගන්න අපට තියෙන එක් අවස්ථාවක් වෙන්නෙ හිතේ ආවේගයන් නිර්මාණයක් හරහා පිට කිරීම නිසා. මෙතන මං දකින තවත් විශේෂත්වයක් තියෙනව. සත්‍යවේල් පියතුමා කියන්නෙ කවිය සිය ආත්ම ප්‍රකාශණය කරගත් වෘත්තීය නිර්මාණකරුවෙක් නෙවෙයි. උන්වහන්සෙ නිරතව ඉන්නෙ තම ආගමික විශ්වාස මත පදනම්ව, ක්‍රිස්තියානිය තුළ දෙවියන්වහන්සේගේ පණිඩුඩය ගෙන යමින් මනුෂ්‍ය වර්ගයා හට සේවය කිරීමෙයි. උන්වහන්සෙගෙ කවිය කියන්නෙ තමන් දීර්ඝ කාළයක් දකින, විඳින පීඩාවට එරෙහිව නිර්මාණාත්මක කැරැල්ලක්. උන්වහන්සෙගෙ කවි කියවන්න ගත්ත පළමු මොහොතෙදිම මට සිහිපත් වුණේ ස්ටාලින්ගෙ යුගයෙදි සෝවියට් දේශයේ මර්ධනයට ලක් කරන ලද ප්‍රමුඛ කිවියර ඔසිප් මැන්ඩෙල්ස්ටාන් ගෙ බිරිඳ නදෂේදා මැන්ඩෙල්ස්ටාන් විසින් කරන ලද ප්‍රකාශයක්. ඒක මේ ඊනියා අමුතු ඇටයේ දිවි ගෙවන හෘද සාක්ෂියක් තියෙන හැමෝටම අදාලයි. මේ ඇගේ ප්‍රකාශය:

‘තමන්ට පහර දෙනු ලබන විට සහ පාගා දමනු ලබනා විට කෑගෑම හරි දෙයක්දැයි මම නොයෙක්විට කල්පනා කළෙමි. ප්‍රබල අභිමානයක් පාමින් සාවඥ නිහැඬියාවක් මගින් වධකයන්ට පිලිතුරු දෙමින් ඔවුන්ට මුහුණ දීම වඩා හොඳ නොවන්නේද? මම කෑ ගැසීම වඩා හොඳ යයි තීරණය කළෙමි. ඇතැම් විටක ඉතාම දුර පිහිටි සිපිරි කුටියට ළඟාවන්නාවූ- එසේ වන්නේ කෙසේදැයි දන්නේ දෙවියන් පමණි- මේ සානුකම්පිත හඬ, යනු මානව අභිමානයේ අවසාන, අවධානාත්මක සංඥාව පල කිරීමකි. ඒ හෝඩුවාවක් ඉතිරි කිරීම උදෙසා මිනිසා භාවිතා කරන මාර්ගයයි. තමන් ජීවත් වූයේ , මිය ගියේ කෙසේදැයි පවසනා මාර්ගයයි. මේ කෑ ගෑම මගින් ඔහු ජීවත්වීම සඳහා වන අයිතිය තහවුරු කරයි. උපකාරය පතා බාහිර ලොවට පණිවුඩයක් යවයි. විරෝධය පා නැගෙන්නයි ඉල්ලා සිටියි. කිසිම මගක් තවත් ඉතිරිව නැත්තේ නම් යමකු කෑ ගැසිය යුතුමය. මනුෂ්‍යත්වයට එරෙහි නියම අපරාධය නම් නිහැඬියාවමය.’ 

ඉතින් සත්‍යවේල් පියතුමා උස් හඬින් කරන්නෙ මෙන්න මේ නදෙෂ්දා කියන කෑ ගෑම කියල මං හිතනව. නිහැඬියාව යනු මනුෂ්‍යත්වයට එරෙහිව කළ හැකි දරුණුම අපරාධය කියල උන්වහන්සෙ විශ්වාස කරනව. මේ කාව්‍ය එකතුව ඒ විශ්වාසයේ ඵලයක්. ඒ නිසා මේ කවි විචාරයට ලක් කිරීමේදී සම්මත විචාර මිනුම් දඬු ප්‍රමාණවත් වේය කියල මං හිතන්නෙ නෑ. උපමා රූපක, කාව්‍යාලංකාර, ව්‍යංගාර්ථ- මෙවැනි සම්මත ආම්පන්න පසෙක ලා ඉතා සෘජු කථන මගක්, වගකීම් සහගත එමෙන්ම නිර්භය ප්‍රකාශනයක් හරහා පියතුමා තම හඬ නැගීම කරනව. අප වින්ද කාලකණ්නිකම, පීඩනය විස්තර කරන්න සම්මත රූපක වලට තබා අලුතින් නිර්මාණය කරන රූපක වලටත් පුළුවන්ද කියල සැකයි. පියතුමා ඒ සියල්ල පසෙකින් තියල ඉතා සෘජු ඒ වගේම හදවතට සහ බුද්ධියට ආමන්ත්‍රණය කරන වදන් කරා යොමු වෙනව. ඒ නිසා මට නම් මේ පොතට ගැලපෙන නම මේකයි- අව්‍යාජ සටන්කරුවකුගේ හෘද සාක්ෂියේ හඬ. 

සත්‍යවේල් පියතුමාගෙ කාව්‍ය ග්‍රන්ථය එළිදකින අවස්ථාවෙදි මගෙ හිතේ ඇඳෙන රූප පෙලක් තියෙනව. ඉන් පළමුවැන්න යුද්ධයේ අවසාන අවධියේ මන්නාරමේ ප්‍රහාර ආරම්භ වුන අවස්ථාව. මන්නාරමේ රදගුරු රායප්පු ජෝශප් හිමිපාණන් මඩු මෑණියන්ගෙ ප්‍රතිමාවත් අරං දෙමළ ජනයා සමග පිටවෙනව. දකුණට මේක රුස්සන්නෙ නෑ. හමුදා පාලන ප්‍රදේශයට එනව වෙනුවට උන්වහන්සෙ යන්නෙ අනිත් දිශාවට. උන්වහන්සෙට කොටිය කියල චෝදනා දකුණෙන් එල්ල වෙනව. උන්වහන්සෙතෙ උත්තරේ හරිම සරලයි, විවෘතයි. මම මගේ දායකයන්, මගේ ජනතාව සමග සිටිමි. 

දෙවෙනි රූප සටහන පුස්තකාල ශ්‍රවණාගාරයෙ. මොල්ලිකුලම්වල සිය නිවෙස් අහිමි කළ ජනයාගේ වේදනාව පලවුන රැස්වීම. වියපත් දෙමළ පුරවැසියෙක් ඇස් දෙකේ කඳුළු පුරවගෙන මෙහෙම කිවුවා. හමුදාව අපිට කිවුවෙ දවස් තුනකට පිට වෙන්න. ඒත් අපිට ආයෙ අපේ ගෙවල්වලට යන්න ලැබුණෙ නෑ. මං ළඟදී දවසක අපේ පල්ලිය බලන්න ගියා. දැන් එහෙ ඉන්නෙ නාවික හමුදාව. මං ආපහු එද්දි වැස්සක් වැටුණා. මං ළඟ තිබුණ ගෙදරක අගුවට ගොඩවුණා. සෙබලෙක් මාව එලෙව්වා. දෙයියනේ මං වැස්සට ගොඩවෙලා තියෙන්නෙ මගෙම ගෙදර අගුවට. ඒත් මට ඒක අයිති නෑ. මට දැන් වයස හැත්තෑ ගණනාවක්. මං මැරෙන්න ඕනැ මගෙ පල්ලියෙ සීනුව ඇහෙන මානෙ. මට ඒකට අයිතියක් නෑ.

තුන්වෙනි රූප සටහන පෝට් සිටියට විරුද්ධව ජනවාරි අටෙන් පස්සෙ පාලකයන් සමග කෙරුණ රැස්වීමක්. එක ධීවර නියෝජිතයෙක් කතා කළා- තමුන්නාන්සෙලට මේක තේරෙන්නෙ නෑ. මුහුද අඳුනන්නෙ අපි. මේ වරාය නගරෙ නිසා නැති වෙන්නෙ අපේ ධීවර බිම්. මුහුද යට කලු පාට වෙලා. කැළඹිලා. මේ විනාසෙ නවත්වන්න.

හතරවෙනි සටහන වැලිකඩ සිපිරි ගෙදර ඉදිරිපිට දෙමල දේශපාලන සිරකරුවන් නිදහස් කරන්න කියල රැස්වෙලා ඉන්න පිරිසක්.  

ඊළඟට මගේ මතකය දුවන්නෙ ගිය වසරෙ සිංහල අවුරුද්දට. ප්‍රීති වෙන්න කියල මොන අවුරුද්දක්ද අපිට තියෙන්නෙ? මං මගෙ බිරිඳ සහ දරුවන් සමග යාපනය බලා ගියා. ඒ යනකොට කිලිනොච්චියෙ මව්වරු අහිමි වුණ තම පුතුන් ගේ ඡායාරූපත් තියාගෙන උපවාසයක. මගෙ හිත අසූව දශකයෙ අගභාගයෙ තෙලවල කඳවුරට දිව ගියා. ඒ මගෙ රැඳවුම් වද කාලය. හැමදාම රෑ දෙගොඩහරියට එහෙ හිටපු එක් වියපත් පියෙක් නින්දෙන්ම මගෙ පුතේ කියල කෑ ගගහල අඬනව. ඔහුගෙ පුතා ආගිය අතක් නෑ. ඔහුත් අත් අඩංගුවෙ. ඒ කාලෙ සති අග පුවත් පතක අතුරුදහන් වුන තම සැමියගෙ ඡායාරූපයත් අරන් කඳුළු වැගිරෙන මුහුණින් පසුවුන තරුණ කාන්තාවකගෙ ඡායාරූපයක් පලවුණා. මේක මුළු දකුණටම දැණුනා. හැබැයි අර කිලිනොච්චියෙ ඉන්න අම්මල දකුණට අදාල නෑ. මැක්සිම් ගෝර්කි කිවුවෙ ලෝකෙ වටිනාම දේ හිරුගේ රශ්මියත් මවගේ කිරිත් කියලයි. ඒත් අපේ රටේ අම්මලගෙ කඳුළුවලට ඉඩක් නෑ. ඉතිං මේ වගේ සිත පාරවන දසුන් සියල්ලම කැටි කරල ගත්තහම සත්‍යවේල් පියතුමාගෙ අර නිහඬ, සන්සුන් මුහුන මං දකින්නෙ ඒ හැම එකේම පොදු නියෝජනයක් හැටියටයි.  

සත්‍යවේල් පියතුමා කියන්නෙ අතිශය බියකරු සමයක පීඩාවට පත් මිනිසුන්ට ශක්තිය සහ අපේක්ෂාව අරං ආව ආගමික නායකයෙක්. පීඩිතයන්ගේ අයිතීන් වෙනුවෙන් පෙනී සිටිය කෙනෙක්. ඒ නිසාම ස්වොත්තමවාදීන්ගේ සහ ආගමික අන්තවාදීන්ගේ වෛරයට නොඅඩුව පාත්‍රවුණ කෙනෙක්. කොටින්ම කියනව නං දේශප්‍රේමීන් කියනා අත්තනෝමතික ජාතිවාදීන්ගේ ඇහින් දේශද්‍රෝහියෙක්. එවන් අඩයාලම් තමන්ගෙ උර වටා එල්ලද්දිත් උන්වහන්සෙ ඉතා අදිටන් සහගතව තම මගෙහිම යනව. උන්වහන්සෙ නියෝජනය කරන්නෙ ක්‍රිස්තියානිය තුළ මානව විමුක්තිය වෙනුවෙන් පෙනී සිටින පාර්ශවය. අපි දන්නව අදවන විට අපි ඉන්නෙ සියළුම ආගම් ඒවායේ නිර්මාතෘන්ගෙන් මුළුමනින්ම වියෝ කරල පරිභෝජනවාදයේ නහයටත් උඩින් යන තුරු ගිල්ලවපු සමාජයක. ඒ නිසා අපිට හැම තැනම පන්සල් , දේවස්ථාන, කෝවිල්, පල්ලි දැවැන්ත ආකාරයට ඉදිවෙනව දකින්න පුළුවන්. හැබැයි ඒ එක්කම ඒ ආගමික ආයතනවල පිහිට සැබෑවටම අවශ්‍ය ජන කොටස් වෙසෙන නිවෙස් තව තවත් ගරා වැටෙනව දකින්න පුළුවන්. මතුපිටින් බලන කොට ඉතිහාසයේ අන් කවරදාවත් නැති තරමට මිනිසුන් ආගමිකයි වගේ. හැබැයි ගැඹුරින් ගත්තහම පැවිදි පාර්ශවයේ ඉඳල ගිහියා දක්වාම අන්ත දූෂිතයි, ආත්මාර්ථකාමීයි. මේ තමයි කටුක ඇත්ත. එවන් සමයක මෛත්‍රිය වෙනුවට දිරි ගැන්වෙන්නෙ වෛරය පමණයි. ඉතින් ඒ වෛරීසහගත මාවත වෙනුවට මනුෂ්‍යත්වය උදෙසා වන මාවත තෝරා ගැනීම කියන්නෙම දැලි පිහි දාරයක් මත කරන ගමනක්.

මට මේ අවස්ථාවෙදි මේ කිතු දහමේ විමුක්ති කතිකාව තුළ ක්‍රියාකාරී වුණ අපේ පියතුමාගෙ පූර්වගාමීන් කිහිප දෙනෙක්ම මතක් වෙනව. මේ පිරිස අයත්වෙන්නෙ ලතින් ඇමරිකාවට. විශේෂයෙන්ම කියුබානු විප්ලවයත් සමගින් කලාපය පුරා ඇතිවන නිදහස් අරගල රැල්ල තුළ ක්‍රිස්තියානි පූජකවරුන්ගේ භූමිකාව ප්‍රශ්ණ කෙරෙනව. හෘද සාක්ෂිය සහිත පූජකවරුන්ට මනුෂ්‍යත්වය උදෙසා යොමු වුණ මාවත තෝර ගන්න සිද්ධ වෙනව. බ්‍රසීලයේ සිටි පෘතුගීසි ජාතික පියතුමෙක් වන අලිපියෝ ඩි පෙයිටාස් පියතුමා එවන් එක් චරිතයක්. විප්ලවවාදීන්ට උපකාර කළාය, මුඩුක්කුවාසී ජනතාව සංවිධානය කළාය කියල එතුමට රටින් පලා යන්න සිදු වෙනව. මේ එතුමා තම වගකීම දුටු ආකාරය.

‘මිනිසකු මෙන්ම පූජකවරයකු ලෙසද මගේ ආකල්පය වනුයේ අන් සැමදාම පැවති සහ ඉදිරියටත් පවතින්නාවූ එකමය-එනම් ගෙවීමට සිදුවන වන්දිය කෙතරම් විශාල වුවද මම කිසිම දිනෙකත් පූජකවරයකු වශයෙන් සේවය කිරීමට මට ඉරණම් කෙටුන ජනතාව අත්හැරදමා මා මෙන්ම කිතුණු දහමද පාවා නොදෙන්නෙමි. මා සියළුම ආකාරයේ කැප කිරීම් කරමින් හැකි උපරිම ආකාරයෙන් සටන් වදින්නේ එහෙයිනි. අපට ඉදි කිරීමට ඇවැසි වන්නාවූ ලෝකය අපේ අරමුණ වන්නාවූ එය සෑම ආකාරයකම කැප කිරීම් උදෙසා ගැලපෙන්නේය. එසේම එය අපේ මුළු දිවියටම අර්ථයක් දීමට තරම් කීර්තිමත්ය. මම ක්‍රිස්තියානිය පිලිගත්තෙමි. එහෙයින් මගේ අභිමානය අහිමි කර ගැනීමකින් තොරව මට ආපසු හැරිය නොහැකිය. මම දිගටම මගේ ජනයා සමග සිටිමි.’

මේ මාවතේම ගිය තවත් බ්‍රසීලියානු පියතුමෙක් තමයි ජෙසුයිට් නිකායික ෆ්‍රැන්සිස්කෝ ලාගේ පෙසෝවා. මේ එතුමාගෙ වචන. ‘සතුට සොයා යන ජනතාවට අව්‍යාජවම උපකාරී වන සමාජ පද්ධතීන් ස්ථාපිත කිරීම උදෙසා සප්‍රමාණික වන්නාවූ සියළුම මාර්ගයන් අනුගමනය කිරීමට මිනිසාට වගකීමක් සහ හිමිකමක් ඇත්තේය.’ 

මේ මාවතේම ගිය තවත් කැපී පෙනෙන චරිතයක් වෙන්නෙ සලමොන් බෝලෝ හිදැල්ගෝ පියතුමා. 1965 සැප්තැම්බර් 1 දින සැන් ක්වින්ටින් සිර ගෙදර සිට එතුමා විවෘත ලිපියක් ලියනව කාදිනල් තුමාට. ඒ ලිපිය මෙහෙමයි.

‘කාදිනල්තුමනි ඔබ ඔබේ අසල්වැසියාට ප්‍රේම කරන්නේ නම් ඔබ ඔබේ ධනය දිළින්දා හට පිරිනැමිය යුතුව තිබුනේය. මන්ද යත් ක්‍රිස්තුස්වහන්සේගේ නියමය විශේෂයෙන්ම ඉලක්ක කරනුයේ බිෂේප්වරුන් සහ කාදිනල්නරුන් වන හෙයිනි. –

නුඹ සම්පූර්ණ වන්නට කැමැත්තේ නම් ගොස් නුඹ සන්තක දේ විකුණා දිළින්දන්ට දීපන්න. මතෙව් 19-21’

දිළින්දන්ට සුව සැදිය හැකි ඔබේ සුඛෝපභෝගී කාර්, මන්දිර, රාජකීය දුම්රිය සමග සුව විඳිනා ඔබට මේ අමතකද? කොමියුනිස්ට්වාදයට එරෙහිව හඬ නගනා එහෙත් දිළින්දන්හට කිසිවක් නොදෙනා නැතිනම් ඉඳුල් ස්වල්පයක් පමණක් වීසිකරනා ධනයෙන් ආඩ්‍ය බිෂොප්වරුන්ට සහ ආගමික කණ්ඩායම්වලට මේ අමතකද? එසේ නම් අපි ආදරය සහ වෛරය ගැන නැතිනම් මාක්ස්වාදය සහ ව්‍යාජ ක්‍රිස්තියානිය ගැන කතා නොකර සිටිමු.

ඔබ රට ගැන කතා කරයි. එහෙත් රට යනුවෙන් අදහස් කරනුයේ වරප්‍රසාද ලත් පවුල් සිය ගණනක් නොවන බව මා ඔබට මතක් කළ යුතුමය. ඉතිහාසය, සම්ප්‍රදායන්, සහ භූමිය හරුණු විට රට යනුවෙන් අදහස් කරනුයේ ජනතාවයි. කෙත්බිම් සාරවත් කිරීමට. යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට, මාවත් තැනීමට, හමුදාවේ සේවය කිරීමට, විද්‍යාඥයන් තැනීමට, විරුවන් තැනීමට දහදිය හෙලනා ජනතාවයි. මේ ජනතාවට හොඳම දේ ලැබිය යුතුය. එහෙත් කාදිනල්තුමනි, පේරුවේ අශ්වයන්ට ළමුන්ටත් වබා සැලකිල්ලක් ලැබෙද්දී ඔබේ ක්‍රියාවන් මගින් වැඩි අවධානයක් යොමු වන්නේ ජනතාව සිය මළවුන් උදෙසා වැලපෙද්දී බාල් නැටුම් සංවිධානය කරනා සූරා කන සහ ධනවත් පවුල් කිහිපයක යහපත වෙනුවෙනි. 

දේශප්‍රේමීන් වනුයේ සිය මිලියන සංඛ්‍යාත ධනය විදෙස් බැංකු කරා යවන්නන් නොව පල්ලිය සහ රාජ්‍යය විසින් අමතක කර දමන්නන්ය. සූරාකෑමට එරෙහි අරගලයෙහි යෙදෙන්නන්ය.’

මේ අදහස් ඉතා නිර්දය ලෙස පල්ලියේ වගකීම ප්‍රශ්න කරනව. ඒ ප්‍රශ්ණ කිරීම හරහා අරමුනු කරන්නේ අන් කිසිවක් නොව තම ආගමික සම්ප්‍රදාය විසින් පවරනු ලබනා කාර්යභාරය පැහැර හැරීම පිලිබඳව. කොළොම්බියානු ජාතික කැමිලෝ ටොරෙස් පියතුමා කියන්නෙ මේ ප්‍රශ්ණ කිරීම ඊටත් වඩා දුර ගෙන ගිය විමුක්තිකාමියෙක්. එතුමා අවසන සිය ලෝගුව පසෙක ලා ගරිල්ලා සටන්වලට එක්ව වෙඩි කා මියෙනව. එතුමා ක්‍රිස්තියානිය තුළ තම වගකීම නිර්වචනය කරන්නෙ මේ ආකාරයට.

‘ වඩා සත්‍යවාදී කතෝලිකයකුවීම පිණිස මම ලෝගුව අත් හළෙමි. සෑම කතෝලිකයකුගේම වගකීම වනුයේ විප්ලවවාදියකු වීමයි. සෑම විප්ලවවාදියකුගේම වගකීම වනුයේ විප්ලවය කිරීමයි. විප්ලවවාදී නොවන කතෝලිකයා දරුණු පාපයෙහි ගැලී දිවි ගෙවන්නේය.’

මේ සෑම පූජකවරයෙක්ම ප්‍රශ්ණ කරන්නෙ පල්ලිය ජනතාවට දිළින්දාට කල යුතුවන සේවය පැහැර හරිමින් දිලින්දා පෙලනා පීඩකයා සමග අත්වැල් බැඳ ගැනීමට එරෙහිව. මේක සෑම ආගමකම අපි ඉතා පැහැදිලිව දකිනා දෙයක්. බෞද්ධ සම්ප්‍රදාය තුළ අප නිතරම මතක් කරන දෙයක් තියෙනව. ඒ බුදුන්වහන්සෙ සාගින්නෙන් පෙලෙන තැනැත්තාට පලමුව ආහාරදී පසුව දහම් දෙසුවය කියන කාරණය. එහෙත් අද සාගින්නෙන් පෙලෙන්නාට පවා දැඩිව පවසනු ලබන්නෙ  දානයෙහි උතුම්කම. භික්ෂූන්ට දානය පිරිනැමීමේ ඇති කුසලය ගැන. ආගම් එහි නිර්මාතෘන්ගෙන් ඈත් වෙවී සුඛෝපභෝගී මැදුරු බවට පත්වන විට භක්තිවන්තයාගේ ජීවිතය අගාධ පත්ලට යනව. ඊට එරෙහිවීම කියන්නෙ විප්ලවීය කාරණයක්. අතිශය දුෂ්කර ගමනක්. කැමිලෝ ටොරෙස් පියතුමත් සත්‍යවේල් පියතුමා වගේ කවි ලියනව. මේ එතුමාගේ කවියක දළ සිංහල පරිවර්තනයක්.

කොලොම්බියාවෙනිඅපේ විමුක්තිය වෙනුවෙන් සටන් කරනට අවදි වනු මැනවි, නිර්භය වනු මැනවිතව දුරටත් විඳවනු නොරිසි ඔබ ඉදිරිපිට සිටිනා ජනයා දෙස බලනු මැනවි

ඝාතක රාජ්‍යයට එරෙහිවිප්ලවය ඇරඹී ඇතකම්කරුවාට සහ ගැමියාට ජය අත්කර දෙමින්එය ජයග්‍රාහීව අවසන් වනු ඇත
කොළොම්බියාවේ ධනයහුදෙක් එක් පංතියක් උදෙසාම නොවේදේශයේ කම්කරුවන් වෙනුවෙන් අපි ජය ලබන්නෙමු

මේ සියළු උදාහරණ අඩු වැඩි වශයෙන් මතු කරන ප්‍රධාන කාරණය වන්නේ අප සේවය කළ යුත්තේ කාටද කියන එක. සත්‍යවේල් පියතුමා සිය භාවිතාව තුළ නැවත නැවත එය ඔප්පු කරමින් සිටින කෙනෙක්. උන්වහන්සේගේ සුරත දිගුවෙන්නෙ පීඩකයාට නැගිටින්න නෙවෙයි. පීඩිතයා නැගිටුවන්න. ඒ තුළ සීමා මායිම් නෑ. භේද නෑ. වෙන් කිරීම් නෑ. ඒ වගේම ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේදී තමන්ට ලැබෙන්නෙ ප්‍රශංසාවද ගැරහීමද කියන එකත් උන්වහන්සෙ අදාල කරගන්නෙ නෑ. මනුෂ්‍යවර්ගයාට සේවය කිරීම කියන කොන්දේසිය කියන එක හැර අන් සියල්ලම උන්වහන්සෙ පසෙක දානව. අපට උන්වහන්සෙ විවිධ පෙරමුණු වලදී පීඩිතයා සමග එක පෙලට සිටිනව දකින්න ලැබෙන්නෙ ඒකයි. දීර්ඝ කාලයක් පුරා දෙවන පෙලට ඇද දැමුණ, වාර්ගික අසමානතාවට ලක්වුණ දෙමල ප්‍රජාව වෙනුවෙන් අසීරු අරගලයක උන්වහන්සෙ සිය ජීවිතයෙන් වැඩි කාලයක් ගත කරනව. ඒ අතරම සූරාකෑඋමට අසාධාරණයට ලක්වන පීඩිතයාගේ අරගල බිමෙහිත් උන්වහන්සෙ සක්‍රීයව ඉන්නව. ලංකාවේ එසේ සිය ජීවිතය ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් කැප කළ පූජ්‍ය පක්ෂයේ සීමිත පිරිස අතර උන්වහන්සෙ ඉදිරියෙන් ඉන්නව. ඉතිං උන්වහන්සෙගෙ කවිය කියන්නේ මේ අසීරු ගමන පුරාම අත්විඳි සකලවිධ ඛේදයන්  ප්‍රතිනිර්මාණය කිරීමක්. එය නිර්මාණාත්මක අභ්‍යාසයක් වෙනව වගේම හෘද සාක්ෂියේ අව්‍යාජ නිරාවරණයක්. උන්වහන්සෙ සිය කවි වලදි කිසිවක් වාරණය කරන්නෙ නෑ. එහි වගකීම එහෙම පිටින්ම තමන් වෙත පවර ගන්නව. කිසිම මගහැරීමක් නෑ. ප්‍රහාරය, විවේචනය එල්ල කළ යුතු තැනටම එල්ල කරනව. කාව්‍යාලංකාර මගින් සිය කවියෙහි මතුකළ යුතු තැන් සුමට කරන්න උන්වහන්සෙ තැත් දරන්නෙ නෑ. කෙනකුට මේ කවි අමුය කියල විවේචනය කරන්න පුළුවන්. ඒත් මේ හැර ඒ අදහස ප්‍රකාශ කරන්න සුමට වදන් තියෙනවද? අප ඉදිරියේ කැකෑරෙන නග්න සත්‍යය අව්‍යාජව ප්‍රකාශ කිරීම හැර අන් මගක් නැති බව උන්වහන්සෙ සිය කවිය හරහා පැහැදිලිවම ප්‍රකාශ කරනව. උන්වහන්සෙගෙ කවියෙහි ඇති මුඛ්‍ය ලක්ෂණය තමයි අව්‍යාජත්වය. අන් බොහෝ නිර්මාණ තුළ අඩුවෙන් තියෙන අව්‍යාජත්වය මේ කවි තුළ දෝරෙ ගලනව. සේකර වරෙක ලිවුවෙ පලමුව කල යුත්තේ පැසවන සැරව ගෙඩිය පලා දැමිය යුතුය කියලයි. ඒත් අපි ඉතිහාසය පුරාම කරමින් ඉන්නෙ සැරව ගෙඩියට පැලැස්තර දැමීම. සත්‍යවේල් පියතුමා මේ සැරව ගෙඩිය පලන්න සිය කවිය තියුණු අවියක් ලෙස භාවිතා කරනව. එතකොට දෙමලට විතරක් විශේෂයෙන්ම තියෙන ප්‍රශ්ණෙ මොකක්ද කියල අහන වර්ගොත්තමවාදීන්ට රිදෙනව. 

ලංකාවෙ මෑත ඉතිහාසය පුරා තරුණ අරගල තුනක් සිද්ධ වෙනව. දෙකක් චකුණෙ. අනෙක උතුරෙ. හැත්තෑ එක සහ අසූකමය දක-ණට ලේවිලක්. උතුරට අයුරුදු තිහක්ම ලේ විලක්. මේ අරගල සමයන් තුළ ජීවිත අහිමි වුන වැඩි පිරිසක් තරුණ පරපුර. වෙනස් විධිහට සිතන්න පෙළඹුන තරුණ පරපුර. රටේ ජාතික ධනය අමු අමුවේ සූරා කන දේශපාලකයන්ට වරදාන දෙන බැරි වෙලා හරි රිමාන්ඞ් වෙන්න වුණොත් ගෙවන රෝහල් වාට්ටුවෙ දොර ඇරල දෙන පාලකයන් හැමදාම කළේ වෙනස්ව හිතන තරුණයන්ට අවියෙන්ම උත්තර දෙන එක. අුනෙක් අතින් ලංකාවෙ තරුණ දේශපාලන ව්‍යාපාරත් වෙන් වෙන්ව අරගල කළා මිසක් ඒකව කරනා පංති දේශපාලනයක් ගැන හිතුවෙ නෑ. ඒ අරගලය සීමා වුණේ කතා වලට විතරයි. එහි ප්‍රතිපලය වුණේ විනාශය. අපි ඒක අඩු නැතිව වින්ද. උතුර තමන්ගේම රාජ්‍යයක් පිලිබඳව හිතද්දි දකුණ උතුර සැලකුවෙ පිටු දැකිය යුතු කොටසක් හැටියට. මේ උගුලෙදි ලංකාවෙ පැරණි වගේම අලුත් වමත් සපුරා අසමත් වුණා. අපි අද මේ වගේ තැනකට වැටෙන්න ඒක බරපතල හේතුවක්. මේ වියරු දේශපාලන තත්වය ගැන දකුණේ තරුණ අරගලයෙ සක්‍රීය සාමාජිකයෙක් වුන චන්ද්‍රකුමාර වික්‍රමරත්න සහෝදරය දකුණේ සිට කියල අපූරු කවියක් අසූව දශකයෙදි ලිවුවා. ඒක මෙහෙමයි.

එකම අපායක අප හැම දැවෙන සඳවෙනම අපායක ඉන්නට පතයි නුඹඅපා දෙකක කිරුළට යුද වදින සඳකඳුළු කඳුළුමය කාගේ වුනත් මට
පැලී විවරවූ ළයකින් නගන හඬමගේ ළය පැළුණු විට නගනා හඬය මටඔබත් මමත් උන් තුන් පිලකම වුවදඔබෙ මරණයත් මගෙ මරණය සේය මටමේ අරගල දෙස මීටත් වඩා දේශපාලනිකව බලන්න කවියෙකුට පුළුවන්ද?

අප පෙලන මේ කටුක දේශපාලන යථාර්තය සත්‍යවේල් පියතුමා නිවැරදිව ග්‍රහණය කරගන්නව. උන්වහන්සෙගෙ කවියේ විශේෂත්වය ඒකයි. වරෙක එය උතුරුකරයේ අන්ත දරුණු පීඩාවට ලක් කරන ලද මිනිසුන් සහ කාන්තාවන් විෂය කරගන්නව. විටෙක ඒ හඬ වතුකරයේ පාගා දමන ලද කම්කරුවන් වෙනුවෙන්. තවත් විටෙක එය කම්කරු අරගල වෙනුවෙන්. ඒ සමගම රටේ ජනතාවගේ අනාගතය සුන්නද්දූලි කළ දේශපාලකයන් සියළු දෙනාම නිරුවත් කරන කවියක් අපට හමුවෙනව. අනෙක් අතින් තවත් කවියක් ලියවෙන්නෙ නූතන පාරිභෝජනවාදී සමාජයේ රසකාරක මත පිසෙන ක්ෂණික ආහාර සමගින් රෝගී කෙරෙන සමාජය ගැන. ඇත්තටම උන්වහන්සෙගෙ කවිය ගැන කෙරෙන මේ සාකච්ඡාවෙන් පසුව මගෙ නම් යෝජනාව වෙන්නෙ මේ කවි කියවීමේ සැඳෑවල් සංවිධානය කළ යුතුය කියන එකයි. පුළු පුළුවන් හැම තැනකම. කවිය ජනතාව අතරට ගෙන යාමේ වැඩ සටහන් අපට තිබිය යුතුමයි. සත්‍යවේල් පියතුමාගෙ කවි දේශපාලනික කවි. මට උන්වහන්සෙගෙ කවි කියවන විට මතක් වෙන්නෙ දෙමල කිවියර එස් සිවසේකරම් ව. ඔහුගෙ කවිත් අතිශය දේශපාලනික කවි. කොහොම වුනත් උන්වහන්සෙගෙ කවි වෙන වෙනම කියවන්න මේ වෙලාව ගන්න බැරිවීම එක්තරා විදිහකට පාඩුවක්. මං කල්තියාම ජූඞ් සහෝදරයට කියල වෙලාව ඉල්ල ගත්තෙත් මගේ කතාව ලේඛණගත කළෙත් කාලයෙ සීමාවන් ගැන හිතලමයි. ඒ නිසා මං මේ කවිය ඔබට ඉදිරිපත් කරන්නම්.

උතුරු පොලවේ පසරතු පාටට ඔබ දකීවිඒත් ඒ....පස් නොවේහෙලූ රුධිරයයිබලන්නරතුපස්වල පසදරතු පාටයිඑබැවින්එහි පූදින මල්දරතු පාට විය යුතුය

අවාසනාව කියන්නෙ උන්වහන්සෙ දේශපාලනිකව දකින මේ සත්‍යය පසුගිය මැතිවරණයේදී රතුපස්වල බහුතරයකට වටහා ගන්න බැරි වීමයි. 

උන්වහන්සේ දමිල ප්‍රජාවගේ අභිමානය වෙනුවෙන් නිර්භයව පෙනී ඉන්නව. යටත් කර තබා ගැනීමේ වර්ගෝත්තමවාදී අභිලාෂයන්ට සරදම් ස්වරයෙන් උත්තර දෙන්න

උන්වහන්සෙ තෝර ගන්න රූපකය වෙන්නෙ ගාලු මුවදොර. එය අලංකාරවත් කිරීම උදෙසා තල් පැල සිටවීමේ අසාර්ථක තැත.

තල් ගසසෘජුව නැගී සිටීකිසිදා නොනැමෙයිවන්නි මාතාවගේඇඳිවතට ගිනි අවුළුවාඇය ගැබෙන් උදුරාගත්තල් පැලගාළු මුවදොර පෙලටසිහළ-බොදු කමෙන් වට කොටයටත් කොට-තනි කොටවහල් දිවියක් උරුම කොටගත් තැත පවත්වා ගන්නටබලන් පැරදුන සැටි වටපිට

උන්වහන්සෙ නෙළුම් පොකුණ දකින්නෙ බර්මියුඩා ත්‍රිකෝණය ලෙසට. සියළු දෑ ගිල ගැනීමට සැරසුණ මාර මුඛය. 

පාර්ලිමේන්තු සෙංකෝලය යගුලියකි ලේ හලන උන්ගෙ බසින් සාකච්ඡාව හා සම්මුතිය යනු පට්ටපල් බොරුව හා ලේ වැකි කුමන්ත්‍රණයමයඉතින් ත්‍රස්තවාදය රාජද්‍රෝහය ජනතාද්‍රෝහය දේශද්‍රෝහය උන්ගෙන්ම නොවන්නේ කෙසේද?

මේ උන්වහන්සෙගෙ වචන. මනුෂ්‍යත්වයේ මූලිකම කොන්දේසියක් වෙන්නෙ අනෙකාට ගරු කිරීම. අනෙකාගේ සංස්කෘතියට ගරු කිරීම. ඒ සංස්කෘතිය මත අනෙකක් බලෙන් පටවන්න යාම කියන්නෙම මනුෂ්‍යත්වයට නිගා දෙන වැඩක්. උතුරේ දමිල සංස්කෘතියට ඉඩ නොදී එහි බලෙන් බෞද්ධ සංස්කෘතියක් ගොඩ නැගීමට තැත් දැරීම එවන් දෙයක්. අනෙකාට ගරු කරන්න අපට නොහැකි නම් අපට ගරුත්වයක් හිමි වෙන්නෙත් නෑ. උන්වහන්සෙ මේ සංස්කෘතික ආක්‍රමණය ගැන බරපතල විවේචනයක් පිළිම කළ බුදුන් කවිය මගින් සාකච්ඡාවට ගන්නව. මිලිටරිකරණය, ආගමික බලාත්කාරය, ආරක්ෂාවේ නාමයෙන් සිය වගා බිම් අහිමි කිරීම ආදී වශයෙන් උන්වහන්සෙ කවියට නිමිති කරගන්නා කලාපයන් ඉතා විවිධාකාරයි. ඒ සෑම කවියක්ම අපට අප දෙස බලන්නට එල්ලන කැටපතක්. සත්‍යවේල් පියතුමාගෙ කවියෙ මං විශේෂයෙන්ම අගය කරන එක් ලක්ෂණයක් තියෙනව. ඒ ඔහු කිසි විටෙක අපේක්ෂා භංගත්වයට ඇද නොවැටීම. උන්වහන්සෙ අළු මතින් නැගිටින ෆීනික්ස් පක්ෂියා වගේ නැගිටින කවියක් නිර්මාණය කරන්නෙ. එහි තියෙන්නෙ අනාගතය ගැන අපේක්ෂාවක්. සියළු පීඩිතයන් එක්ව කරන විමුක්ති අරගලයක් ගැන උදානයක්. උන්වහන්සෙ නෙළුම් පොකුණ නම් කවිය අවසන් කරන්නෙ මෙහෙම.

දවසක් උදාවේකකුළුවන් නෙළුම් පොකුණසිදුරු කරනජලය සිඳී යයිකිඹුලන් මැරෙයිනිදහසේ මල් පිපෙයි

ඔව්, සමහර විට අපට ඒ දවස නොදැකම අපේ දිවි ගමන හමාර කරන්න සිදු වේවි. ඒත් අප නික්මෙන්නෙ ඒ සුබවාදී අපේක්ෂාව සමග. අපේ වගකීම් ඉටුකර තබමින්. උන්වහන්සෙ සමාජයට සපයන්නෙ ඒ දැක්ම. ඊට අවශ්‍ය ධෛර්යය. ඒ නිසා මං ආයෙත් කියනව. මේ කවි සම්මත නිර්ණායක හරහා කියවන්නට තැත් දැරීම නිරර්ථකයි. අපි මේ කවි ඊට අදාල පසෙහි තබා කියවමු. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ දියවන්නා හෝටලයෙන් අපට වීසි කරන පිළුණු කොත්තුවක් නෙවෙයි. එය අප ම එකතුව නිර්මාණය කරගත යුත්තක්. ඉතිං තම දිවි ගමන පුරාවට ඒ අරගලය වෙනුවෙන පිරිස් සමග විටෙක තනිවම සිටගත් සත්‍යවේල් පියතුමනි, අරගලය කවියක් බවට හරවන සත්‍යවේල් කවියානනි අවසාන වශයෙන් මට ඔබ වැළඳගන්න ඉඩ දෙන්න. ස්තුතියි.

චූලානන්ද සමරනායක 2018 මාර්තු 05 සවස 3 ට කොළඹ සමාජයීය හා සාමයීක කේනද්‍රයේ

ගින්නෙන් මෝදු විය කාව්‍ය ග්‍රන්ථය එලිදැක්වීමේ උලෙලේදී කළ කථාව

6cac3e4af71ab8dda6dba234a97e4887 චූලානන්ද සමරනායක (ලේඛක)

jesustodaysl 2 වන වසර 9 වන සතිය 2018 මැයි 06

Comments powered by CComment