අවුරුදු 32 ක තරුණයෙකු ලෙස ඔහු පූජකවරය තෝරා ගත්තේය. එය කුඩා කල තිබු ආසාවක ප්‍රතිඵලයක් නොව පරිනත හදවතක තෝරා ගැනීමකි. ඒ වන විටත් ඔහුට දෙමළ තරුණයෙකුට නැති අනාගත සුරක්ෂිතභාවයක් තිබුණි. ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසද, සහය බැංකු කළමනාකරුවෙකු ලෙසද ඔහුට අවැසි නම් දකුණට වී රැකියාව කරගෙන සිටීමටද ඉඩ තිබුණි.

අප්‍රේල් මාසයකදීම මරා දැමුනු අහිංසාවාදි කිතුනු දෙව් ගැතිවරයෙකු, ඔව්, 1968 අප්‍රේල් 4 දා ඇමරිකා එක්සත් ජනපදියේදි ඝාතනය කල වර්ණ බේදවාදයට විරුද්ධව කළු මිනිසුන්ගේ අභිමානය හා ගෞරවය වෙනුවෙන් සටන් කළ මාටින් ලූතර් කිං දෙව් ගැති තුමාගේ ප්‍රකාශයකින් මේ කතාව යටත් ගන්න අප කැමැතියි. එහිදි එක වචනයක් ඔව් කලු යන වචනය පමණක් මා වෙනස් කරනවා. ඒ වෙනුවට ද්‍රවිඩ යන වචනය මා ආදේශ කරනවා.

“අසමානතාව දුටු තැන ඊට එරෙහි වන්න. ඔබට දුක් විඳින්න වේවි. ඔබව සිරභාරයට ගනිවී. ඔබට ශාරීරික මරණය පවා ගෙන දේවී. මේ සිදුවන අපරාධ ඉදිරියේ නව ලොවක් වෙනුවෙන් ඔබ ගෙවිය යුතු මිළ ශාරීරික මරණය නම්, ඔබේ දරුවන් ද්‍රවිඩ නිසා සදාකාලිකව මානසික මරණයට පත් නොවී සිටිනු පිණිස ඒ මිල ගෙවීම වටී. අපි කොහොමද ඊට මුහුණ දෙන්නේ. අපිට ඇති ආරක්ෂාව කුමක්ද ? අපේ ආරක්ෂාව අපේ ආත්ම ශක්තියයි. ධෛර්යයි. එක්සත්කමයි”

අප ආදර කිලි පියතුමා ඒ මිල ගෙව්වේය. ශාරීරික මරණය පෙනී පෙනී ඒ මෙහෙවර ඉටු කළේය. මාටින් ලූතර් කිං කිවු ලෙස ඔහුගේ ආරක්ෂම වූයේ ආත්ම ශක්තියයි, ධෛර්යයි, ඇදහිල්ලයි.

29 වසරකට පෙර සහෝදර සහෝදරයනී, අද අපි මේ ස්ථානයට එක් රැස් වී සිටින්නේ අප ආදර කිලි පියතුමාගේ දස වන සැමරුම වෙනුවෙනි. නමුත් අපේ  මතකය දිව යන්නේ 2008 අප්‍රියෙල් මාසයට නොව, 1989 සැප්තැම්බර් මාසයටය. ඔව් වසර 10 ක් අතීතයට නොව වසර 29 ක් අතීතයටය.

එවකට යාපනයේ රදගුරු දියොගුසිල්ලේ හිමිපාණන් අතින් කිලි පියතුමා පූජකවරය ලබාගත්තේ 1989 සැප්තැම්බර් 25 වනදාය. කිලි පියතුමාගේ දකුණ මිතුරන් වෙනුවෙන් ජූඞ් ලාල් පියතුමාත්, (අද ආචාර්ය ජූඞ් ලාල් ප්‍රනාන්දු) සේසිරි ලෙනාඞ් පියතුමාත්, මමත්, කිලි පියතුමාගේ පළමු දිව්‍ය පූජාවට සහභාගී වීම සඳහා දකුනේ සිට පැමිණියෙමු.

එකල හැට දහසක් තරුණ තරුණියන් රාජ්‍ය ත්‍රස්තවාදය විසින් දකුණේදි මරා දැමුනු භීෂණ යුගයකි. එහි රුදුරු සෙවනැලි සම්පූර්ණයෙන්ම මැකී නොතිබුණි. එදා උතුර පැවැතියේ ඉන්දීය සාම සාධක හමුදාව යටතේය.

කතිකා කරගත් පරිදි කොළඹින් පිටත්වන වව්නියා බසය අල්ලා ගැනීමට මටත් සේසිරි පියතුමාටත් වේලාවට පැමිණීය නොහැකි විය. අප පමා වූයේද භීෂණයේ සෙවනැල්ලෙන් ආරක්ෂා වී පැමිණිය යුතු නිසාවෙනි. අප සිටියේද අනාරක්ෂිතවය. මොරටුවේ සිට කොළඹට මෝටර් සයිකලයෙන් පැමිණි අප දෙදෙනා බසය පිටත් වී තිබුණෙන් අසරණ වීමු. 

එකල අද මෙන් මොබයිල් ෆෝන් නොවීය. අද මෙන් වව්නිය බස් පැයෙන් පැයට නොතිබුණි. රාත්‍රී  බස්ද නොතිබුණි. කුමක් කරමු ද ? අපි මෝටර් සයිකලයෙන්ම වව්නියාව බලා පිටත්වීමු. තරුණ පියතුමෙකු හා තරුණයෙකු ලෙස ඒ ගමන අවධානම් සහිත වූවකි. එහෙත් කිලි අපට ඉතා වැදගත් සහෝදරයෙකු වි, අපේ සබඳතා වල ශක්තිමත් බව වෙනුවෙන් ඒ ගමන ඉතා වැදගත් බවට අපි තීරණය කර තිබුණි. ලෝගුවේ ආරක්ෂාව ශක්තියක් කර ගෙන අපි පිටත් විමු. 

එක් වරක පුත්තලමට ආසන්නයේදි ඉර මුදුන් වේලේ තෙල් බව්සරයක ගැටීමෙන් අප බේරුනේ හාස්කමකින් මෙනි. තව වරක් අනුරාධපුරයට ඔබ්බෙන්, බයිසිකල් රෝදයක පැච් එකක් නිසා කිලෝමීටර් දෙකක් පමණ අප බයිසිකලය තල්ලු කරගෙන ගියෙමු. රෑ වීමට පෙර අපි වව්නියාවට ආවෙමු. වව්නියාවේ රැයගත කළෙමු.

වව්නියාවේ සිට ගමන දුෂ්කර විය. බට්ටෙක් යැයි හඳුන්වන කුඩා බසයක නැගී දූලි පිරුනු මාවත දිගේ අපි ගමන් කළේමු. එදා මිය ගිය ද්‍රවිඩ සටන්කාමියෙකුගේ සැමරුමක් විය. ඉන්දියන් හමුදාව මධ්‍යයේ වූවද තැනින් තැන හන්දි වල මල් පැලක් තනා ඔහුගේ ඡායාරූපයක් තබා, මල් මාල හා මල් වලින් ජනයා ගරු බුහුමන් කරනු අපි දුටුවෙමු. මදක් පමා වී අපි කිලිට සුබ පැතීමට පැමිණියෙමු. කිලිගේ නිවසින් ආහාර ගත් අපි සවස් වරුවේ කිලි සමඟ කේ. කේ. එස් මුහුදු වෙරළට ගියෙමු. කේ. කේ. එස්. මුහුදු වෙරළේ වාඩි වී කිලි අප හා කථාබහ කළේ දකුණ තරුණ සංහාරය ගැනයි. මේ සංවේදි මිනිසා එම තරුණ සංහාරය ගැන ඇසීමෙන් තද බල ලෙස කම්පාවට පත්වූවා  මතකය. ඒ වන විට උතුර ජනයාද මර්ධනයේ කුරීරු අත්දැකිම විඳිමින් සිටියෝය.

සැබැවින්ම ඒ නිශ්චිත මොහොතේ උතුරේත්, දකුණේත් තරුණ පූජකවරුන් පිරිසක් ලෙසත් තරුණ පිරිසක් ලෙසත් අප මෙනෙහි කරමින් සිටියේ උතුරේත් දකුණේත් තරුණ තරුණයින් සංහාරයකට ලක්ව සිටින විට, අපගේ පූජකවරයේ අරුත කුමක්ද යන්නයි. අපගේ කිතුනුකමේ තරුණකම අරුත කුමක්ද යන්නයි. මේ තරුණ පූජක පිරිසට තිබුණේ තමන්ගේ අනාගත පූජක දිවියේ තනතුරු නිලතල පත්වීම්, පිළිබඳ කථාබහක් නොවේ. මේ තරුණ පිරිසට තිබුනේ තමන්ගේ පෞද්ගලික අනාගත සිහින ගැන කතා බහක් නොවේ.

මදක් දිගු වූවද මේ අත්දැකිම ඔබ හා බෙදාගන්නේ එය කිලිත් අපත් අතර දකුණෙන් උතුරට උතුරෙන් දකුණට සිදු වු ගමන් බිමන් හා සංවාද වල එක් ඇරඹුමක් නිසාය.

“දැවෙන පඳුර” තුළින් ඇසෙන සමිඳු කට හඬට පිටුපැමට නොහැකි වු කිලි ඒ හඬට දුන් පිළිතුරු දේව විරෝධි බලවේග විසින් නිමාකරවුයේ ඊට අවුරුදු 19 කට පසු 2008 අප්‍රේල් 20 වන දාය. අදින් වසර 10 කට පෙරය.

අවුරුදු 19 ක් ඔහු කළේ මොනවාද?

මේ වර්ෂ 19 තුළ ඔහු කළේ, කාලයේ සළකුණු තුළින් ඇසුනු දේව හඬට අවනත වීමයි. පීඩිතයාට ගැලවීම දෙන විමුක්තිදායකයාණන් පිළිබඳ ඔහුගේ ඇදහිල්ල ජීව්ත කර වීමයි. ඔව්, සැබෑ පූජකවරය ජීවත් කරවීමයි.

ඕනෑම යුගයක දේව හඬ වන්නේ, පූජකවරය වන්නේ පීඩිතයාගේ පැත්තේ කොන්දේසි විරහිතව සිට ගනිමින් ක්‍රියා කිරීමයි. භීෂණ යුගයක තිරශ්චීන යුද්ධයක් ඇවිල ගිය යුගයත දේව හඬට කන්දීම වනාහි නිසැකවම පෙනෙන මරණයේ අවධානම භාර ගැනීමකි. නොතේරුම් ගැනීමට වරදවා වටහා ගැනීමට අත්හැර දැමීමට මුහුණ දීමකි. “ඇදහිල්ල” උරගා බැලෙන්නේ එවිටය.

එක් අතකින් රාජ්‍ය ත්‍රස්තවාදය දැවැන්ත හමුදා මෙහෙයුමක් ලෙස ක්‍රියාවට නැංවෙන විට හැම දෙමළ ජාතිකයෙකුම කොටියෙකු ලෙස නම් කරන අධිපතිවාදයක් ක්‍රියාත්මක වන විට, අනිත් අතින් එල්. ටී. ටී. ඊ. සංවිධානයේ ප්‍රති ප්‍රහාරාත්මක මතවාදී ආධිපත්‍ය ක්‍රියාත්මක වන විට බොහෝ දෙනා හිංසාවේ විෂම චක්‍රය තුළ අතර මං ම පුදුමයට කරුණක් නොවේ. එහෙත් පීඩිතයා පිළිබඳව පිළිගත් සත්‍යයක් සහිත මිනිසෙකුට ඔව් යුක්තිය සාධාරණ ප්‍රේමය පිළිබඳ තිරසර දැක්මක් හා නිර්භය ආධ්‍යාත්මයක් ඇති මිනිසෙකුට එක් පැත්තකට අනන්‍ය නොවී සිටීම කළ නොහැකිය. කිලි තම භූමිය තුළ වඩාත් පීඩිතයා තෝරාගත් නිසාම, ඔහු තුළ වඩාත් පීඩිතයා තෝරාගත් නිසාම ඔහුට එල්. ටී. ටී. ඊ. ලේබලයද ඇලවුණි. ඔහු එය ගලවා දැමීමට විශේෂ උත්සහයක් තෝරා නොගත්තේ එය අලවා ගැනීමටද විශේෂ උත්සහයන් නොගත් නිසාය. ඔහු තම මෙහෙවරේ නොබා ඉදිරියට ගියේය. අපි ඊට හිස නමමු. අපිට ඔහුගේ ස්ථාවරය ක්‍රිස්තියානි එකකි.

කිලිගේ තෝරාගැනීම.

අවුරුදු 32 ක තරුණයෙකු ලෙස, ඔහු පූජකවරය තෝරා ගත්තේය. එය කුඩා කල තිබු ආසාවක ප්‍රතිඵලයක් නොව පරිනත හදවතක තෝරා ගැනීමකි. ඒ වන විටත් ඔහුට දෙමළ තරුණයෙකුට නැති අනාගත සුරක්ෂිතභාවයක් තිබුණි. ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙසද, සහය බැංකු කළමනාකරුවෙකු ලෙසද ඔහුට අවැසි නම් දකුණට වී රැකියාව කරගෙන සිටීමටද ඉඩ තිබුණි. 

උතුරේ උගත් තරුණයින් විදේස්ගත වීම තෝරාගනිද්දී තවත් තරුණයින් විවිධ සන්නද්ධ හෝ සන්නද්ධ නොවන සංවිධාන තෝරාගනිද්දී කිලි තෝරාගත්තේ පූජකවරයේ මාවතයි. අනෙකා මරා දැමීම නොව අනෙකා වෙනුවෙන් පූජාවීමේ මාවතයි. අද අපි සමරන්නේ ඒ පූජකයාගේ පූජාවීමයි. තම බැටළුවන් අත් නොහැර රැඳී සිටි යහපත් එඬේරාගේ යාග වීමයි.

උතුරු දකුණ සංවාදය.

කිලි පියතුමාගේ පැතිරුනු ක්‍රියාකාරිත්වය ගැන කථා කරගන්නට බොහෝ දේ තිබේ. නමුත් අපගේ කාර්යය මේ මොහොතේ එය නොවේ. කිලි ගේ මෙහෙවරේ සුවිශේෂි කොටසක් වන උතුරු දකුණු සංවාදය ගැන පමණක් අප මෙහිදි කථා කරමු.

ඒ සංවාදය එතුමාගේත්, අපගේත් ඇදහිල්ල තුළින් පැණ නැගුනකි. ලංකා පොළව මත දේව රාජ්‍ය උදාවීමට නම් වඩාත් ප්‍රේමනීය රටක් බිහිවීමට නම් උතුරේත් දකුණේත් පීඩිතයින්ගේ එක්වීම අත්‍යාවශ්‍ය බව අප තේරුම් ගෙන තිබුණි. දෙමළ, සිංහල, මුස්ලිම් පීඩිතයින් එක්ව සටහන් නොකරන තාක් කල් අප දිනපතා කියන ඔබගේ රාජ්‍ය පැමිණේවා යන්න යථාර්ථයක් නොවනු ඇත.

කිලි පියතුමා දකුණට විටින් විට පැමිණියේය. දන්න සිංහලෙන් දකුණ ජනයා ඇමතුවේය. දකුණ ජන හඬට ඇහුම්කන් දුන්නේය. ඇත්තට අවදී වීමට කැමැති සැමට උතුරුට ඇවිත් සංවාදයේ යෙදෙන්නට  පහසුකම් සැලසුවේය. එතුමාගේ මේ ප්‍රයන්තය කිසි විටක ව්‍යාපෘතියක් නොවීය. මෝස්තරයක් නොවීය. නිල සභාව පවරා දුන් රාජකාරියක් නොවීය. එය දෙවිදුන් තුළ පවරාගත් දේව කාරියක් විය. අද අප මෙහි පැමිණීමද ඒ කාර්්‍යයේ එක් ප්‍රතිඵලයකි.

කිලි පිය මෙහෙවර අද.

උතුරේ ජන සංහාරය සඳහා ශ්‍රී ලංකා ආණ්ඩුව ශක්තිය ලබා ගත්තේ ජාත්‍යන්තරයෙන් පමණක් නොවේ. දකුණේ පීඩිතයාගෙන්ද ඒ ශක්තිය ආණ්ඩුව ලබාගත්තේය. දකුණේ පීඩත පංතියේ දේශපාලනය කරනවා යැයි කියන අයගේ ද ශක්තිය ආණ්ඩුවට ලැබුණේය. දකුණේ සභාවේ ශක්තියද ඊට ලැබුණේය. දකුණේ පීඩිත පංතියේ පවුල්වල දරුවන් රණවිරුවන් බවට බව්තිස්ම කොට උතුරේ පීඩිත පංතියේ දරුවන් මර්ධනයට කැඳවීමට හැකි වූයේ ඇයි ?

කිලි පියතුමා ඉටු කළ උතුරු දකුණු සංවාදය පරිසමාප්තියකට පත් නොවීම ඊට එක් ප්‍රධාන හේතුවකි.

නමුත් කිලි පියතුමා හා සංවාදයේ යෙදුනු පිරිසගේ සහය සංහාරය සඳහා නොලැබුනේය. ඔව් හු යුද්ධයට එරෙහිව දිගින් දිටගම පෙනී සිටියෝය. ඒ දේශද්‍රෝහින් වීමේ අවධානම භාර ගනිමිනි. කිලි හා අප අතර ඇත්තේ සහෝදරත්වයකි. අපි එකම සංඝයක සහෝදරයින්ය. ඒ සංඝය වනාහි කිතු තුමන්ගේ සංඝයයි. පීඩිතයාගේ පැත්ත ගන්නවුන්ගේ සංඝයයි. දකුණේ නිල සභාව උතුර වෙනුවෙන් පෙනී සිටිම අත් හැරියද කිලිගේ මිතුරු සංඝය ඒ ක්‍රිස්තියානි යුතුකම අත්හැරීයේ නැත.

කිලි අද අපට පවසන්නේ ඒ මෙහෙවර බලවත්ව, සවිමත්ව, ඉටු කරන ලෙසයි.

සංහාරයකට පසු කුමන සංවාදයක් දැයි උතුරට සිතීම සාධාරණය. එහෙත් ක්‍රියාකාරි සංවාදය අපි අත්හරිමු නම්, නැවත නැවතත් සංහාරය අපේ අත්දැකීම වනු ඇත. යුද්ධය මිස ප්‍රශ්නය නිමා වී නැත. විසඳුම සොයා ගත යුතුය. සංක්‍රාන්ති යුක්තිය අතුරුදහන් වූවන් ගැන තොරතුරු ලැබීම තම භූමිය නිදහස් වීම තම අනන්‍යතාවය හා ගරුත්වය ඇතිව නිදහසේ ජීවත්වීමේ අයිතිය තම ප්‍රදේශයේ සංවර්ධනය පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය මිලිටරියෙන් නිදහස් වීම ද්‍රවිඩ ජනයාට හිමි විය යුතුය. ඒ සඳහා අරගලයක් අවැසිය. ක්‍රියාකාරි අහිංසාවේ අරගලයක් සඳහා සිංහල, දෙමළ පීඩිතයින් එක් විය යුතුය. මෙහිදි මට නැවත ලූතර් කිං පූජකතුමාගේ වදන් සිහි වේ.

"කළු ආධිපත්‍යත්, සුදු ආධිපත්‍යය මෙන්ම භයානකයි. අප අතර තිබිය යුත්තේ සුදු කළ ගැටුමක් නොවෙයි. සාධාරණත්වය හා අසාධාරණත්වය අතර ගැටුමක් ජයග්‍රහණයක් වෙතොත් එය කළු ජාතිකයින්ට පමණ නොව, එය සාධාරණත්ව හා ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක් අපේ රටම අඳුරු ආගාධයකින් ගොඩ ගැනීම සඳහා සුදු කළු ලෙස එකතු වී මේ අඳුර ජය ගත යුතුය." 

කිලි උතුරේ කුලවාදයට පාසල් වියේ සිටම විරුද්ධ වූවෙකි. ඔහු කුලහීන යැයි සැලකුවෙකු තම ප්‍රදේශයේ නියෝජිතයා ලෙස මැතිවරණයේදී ජයග්‍රහනය කිරීම වෙනුවෙන් තම තරුණවියේදි වෙහෙස වූවේය.

කිතුනුවන් ලෙස අපට මේ අරගලයේදි සුවිසල් කාර්යභාරයක් ඉටු කිරීමට තිබේ. කිලි පියතුමාට කල හැකි ඉහළම උපහාරය වන්නේ ඔහු නිරත වූ ඒ මෙහෙවර ඉදිරියට ගෙනයාමට ඉදිරිපත් වීමයි.

කිලි පියතුමාට සැමරිය යුත්තේ ඇයි ?

කිලි පියතුමාව අපි සැමරිය යුතුය. එය ඔහුට උරුම කරදුන් දුෂ්ඨ මරණය සැමරිමක් නොවේ. ඔහුගේ ජීවිතය, ඔහුගේ මෙහෙවර සැමරීමකි. පසුගිය දස වසර පුරාම අපි සෑම වසරකම කිලි පියතුමා ගැන කුඩා හෝ සැමරුම් සටහනක් තැබුවෙමු.

කිලි පියතුමාව අපි සැමරිය යුත්තේ ඒ සැමරිම අපට අපගේ කිතුනු කැඳවීම අලුත් කර ගැනීමට උපකාර කරන නිසාය. මෙහෙවර මතක් කර දෙන සිසාය.

අපගේ නිවසට ඉහළින් සෑම උදැසනකම පාහේ රෑන ගිරා රංචුවක් කෑම සොයා පියඹා යයි. බොහෝ දිනවලදි අප ඒ දසුන නරඹමු. ඒ හැම විටහ පාහේ අපට කිලි පියතුමාව සිහිපත් වේ. කිලි පියතුමාව සිහිපත්වන හැම විටම එතුමාගේ මෙහෙවර සිහිපත් වේ.

කිලි පියතුමා හා අප දකුණේදි හමු වු බොහෝ හමුවීම් නිමා කළේ අත් අල්ලාගෙන ස්වර්ගයේ වැඩ සිටින යාඥාව කියමිනි. එහිදි කිලි හා එහි සිටි දෙමළ සොයුරන් දෙමළ භාෂාවෙනුත්, අපි සිංහල භාෂාවෙනුත් එකවර ඒ යැදුම කළේමු. අප අදහන දෙවිදුන් සිංහලයන්ද, ද්‍රවිඩයන්ගේද සියලු ජාතින්ගේද පියාණන් බව අපි අදහමු. ස්වර්ගයේ වැඩ සිටින යාච්ඥාව කියන බොහෝ විට අපට කිලි පියතුමාව සිහි වේ. ඒ හැම විටම කිලි පියතුමා ඉටු කළ මෙහෙවර සිහි වේ. එයට පණ පෙනීමට ඇතුලාන්ත පෙළඹවවීමක් ඇති වේ.

අපේ අතිරික්ක ජීවිතයට අරුතක් දෙමු.

කිලි පියතුමා දෙව් සත්හල් සිසුවෙකුව සිටියදි හමුදා වෙඩි පහරකට ලක්ව මරණය අසලටම ගොස් යාන්තම් ජීවිතය ගැලවුනි. ඔහුට ලැබුනු ඒ අතිරේක ජීවිතය ඔහු උදාර මෙහෙවරකට කැප කළේය. ඔහු යාන්තම් බේරුනු ජීවිතය රැක ගනිමින් පැත්තකට වීමට තරම් ආත්මාර්ථකාමි නොවීය.

සංහාරයක අත්දැකිම් පසු කළ උතුරේ ඔබත්, දකුණේ අපත් මරණයට පත් නොවී මේ ගෙවන්නේ අපට ලැබුනු අතිරික්ක ජීවිත කාලයකි. බොහෝ දෙනෙකු අපේ දෑස් ඉදිරිපිට ඛේදනීය ලෙස මිය ගියෝය. අපි අපේ මේ අතිරික්ක ජීවිත කාලයට ගැඹුරු අරුතක් දිය යුතුය. ආත්මාර්ථකාමිත්වයේ කටුව තුළට රිංගා ගැනීමට අපට අයිතියක් නැත. කිලි අපට ආලෝකයකි.

හිතාදර කිලි පියතුමෙනි.

ඔබගේ මරණය අපිට සතුටක් නොවේ. එය සදාතනික වේදනාවකි. නමුත් ඔබගේ ජීවිතය අපට සදාතනික සැමරුමකි, ප්‍රීතියකි, සංතෘෂ්ටියකි. ඔබගේ මරණයේ දේව කැමැත්ත නොවේ. හිංසාවාදින්ගේ කැමැත්තයි. නමුත් ඔබේ ජීවිතය දේව කැමැත්තයි. ඔබේ මෙහෙවර දේව කැමැත්තයි. ඒ මෙහෙවර නැමැති දේව කැමැත්ත ඔබගේ නාමයෙන් අපි අද දින සිහි කරමු. එයට කැපවෙමු.

මේ මෙනෙහි කිරිම ආරම්භයේදි අප උපුටා දැක් වු මාටින් ලූතර් කිං දෙව් ගැති තුමාවම අවසානයේදීත් උපුටා දක්වන්නට කැමැත්තෙමු. ලූතර් කිං තම මරණයට මාස දෙකකට පෙර මෙසේ කීවේය.

“මට ඉතිරි කර යන්නට මුදල් නැහැ. සුඛෝපභෝගි භාණ්ඩ නෑ. මට ඉතිරි කර යන්නට තිබෙන්නේ කැපවුණු ජීවිතයක් පමණයි. ඒ කුමක් සඳහා ද පොරොන්දු දේශයක් වෙනුවෙන්.” 

කිලි පියතුමාද ඒ කැපවුණු ජිවිතාදර්ශය ඉතිරි කර ඇත. නොනිමි මෙහෙවරද අපට ඉතිරි කර ඇත. අපි කුමක් කරමුද ?

jesustodaysl 2 වන වසර 7 වන සතිය 2018 අප්‍රේල් 22

Comments powered by CComment