”මිනිසුන් වෙහෙසට පත්වන කාලයක් එනවා. මේ සැන්දැවේ අප රැස්ව සිටින්නේ මෙතෙක් කල් වෙනස්කම් කල අප වෙහෙසෙට පත්ව ඇති බව, කොන් කරනු ලැබීමෙන් අවමානයට ලක් කිරීමෙන් වෙහෙසට පත්ව ඇති බව, පීඩනයේ අමානුෂික පහර දෙනු ලැබීමෙන් වෙහෙසට පත්ව ඇති බව දැන්වීමටය”

 1968 අපේ‍්‍රල් 4 එක් රටක ජීවත් වු මිනිසෙක් විශ්වයේම සැබෑ මිනිසුන්ගේ හදවත් වල සදාතනිකව ජීවත් වෙන්න පටන් ගත්තා. ඒ ඉතිහාසයේ ජනතා වීරයින්ගේ මරණයට පත් වීමෙන්. ඔහු සුදු ඇමරිකාවේ ජීවත් වු කළු ජාතික මාටින් ලූතර් කිං දේවගැති තුමා.

කළු ජාතික දේව ගැතිවරයෙකුගේ පුත්‍රයෙකු වූ නිසාම ඔහු අයත් වූයේ කළු ධනේශ්වරයන්ගේ සමාජයටයි. ඒ නිසා සුවපහසු ළමා වියක් ඔහුට හිමිව තිබුණා. ඔව්, වර්ණ භේද වාදයේ කුරිරු හස්තය ඉතා තදින් ක්‍රියාත්මක වන යුගයක කළු ජනහනයෙන් 65% පමණ සංඛ්‍යාවක් අනාථ ආධාර ලැයිස්තුවට ඇතුලත් කර තිබු සමයක. අඳ ගොවියන් දහස් ගණනක් ගම් වලින් ඉවත් කල සමයක, පාසල, කඩ පොල, බස්රිය, හෝටලය ඇතුළු සියල්ල කළු සුදු ලෙස වර්ග කොට වෙනස් කොට සලකන සමයක වුවද කිං පවුලේ ජීවිතය යහපත් එකක් වුනා.

මිනිසුන්ගේ ජීවිත ගැනත් තමාගේම ජීවිතේ අරුත ගැනත් කල්පනා නොකලේ නම් තම යහපත් ගෘහ ජීවිතයේ සැප පහසු කාමරවලට වී සිටියා නම්, තම උගත් ජීවිතය විද්‍යාතන වල නිබන්ධන වල සිරකොට සිටියේ නම්, කලූ ජනතාවගේ දුක් ගැහැට ගැන නොබලා සුදු ජනතාවගේ සුඛෝපභෝගි ජීවිත රටාව ලූහු බැන්දේ නම්, ආත්ම ගරුත්වය පාවා දෙමින් මිනිස්කම පාගා දමා අධිරාජ්‍යවාදි සුද්දන්ගේ ලෝකයේ ඔවුන් හා ජීවත්වන හැටි උගත්තේ නම්, ඔහුට ඇමරිකානු සමාජයේ දෙවන පන්තියේ ලොකු මිනිසෙක්ව වැජඹෙන්නට තිබුනා. එහෙත් කිං ජීවිතයේ සිද්ධින් වලින් ඉගෙන ගත්තා. ඔහු කුඩා කල සිටම ප්‍රශ්න කලා, කල්පනා කලා, අසල්වැසි සුදු යාලූවන් හා සෙල්ලම් කිරීමට අවස්ථාව නොලැබෙන විට ඊට හේතුව ඔහු මවගෙන් විමසුවා.

පියා සමඟ සපත්තු කඩයට ගිය විට සාප්පු හිමියා පියාට පුටුවල වාඩි වෙන්න නොදීම ගැන පියා දැක් වු විරෝධය තුලින් ඔහු කලූ සුදු පරතරය ගැන වහල් ක්‍රමය ගැන අවබෝධයක් ලබා ගත්තා. කලූ මිනිසුන්ට වෙන් වු බස්රථ, කඩ සාප්පු, නිවාස ඒ සියල්ල ඔහුගේ හද වත තුල නිකම්ම නිකං සිද්ධින් නොවීය. හැමෝම දෙවිදුන්ගේ දරුවෝ නම් ඇයි මේ වෙනස ? තරුණ කිං අධ්‍යාපනය ලබන අතර මෙට්ට කම්හලක වැඩ කළා. එකම කාර්ය  කලත් සුදු තරුණයින්ට ගෙවන වැපුප වැඩි බව ඔහු දුටුවා.

ඇයි මේ වෙනස ?

ඔහු වඩ වඩා අවබෝධ කර ගත්තා. වරක ඔහු තම කලූ සුදු සහෝදරයින් සමඟ කෑම පිනිස අවන්හලකට ගිය විට අවන්හල හිමියා ඔවුන්ව ප්‍රතික්ෂේප කලා. එහෙත් එය නීති විරෝධි බව දක්වමින් කිං අධිකරණය වෙත ප්‍රශ්නය ගෙන ගියා. කලූ ගුරුවරුන්ට සමාන වැටුප් සඳහා සටන් කලා. මේ ආකාරයට තරුණ කිං තම අධ්‍යාපනය කලූ මිනිසුන්ගේ හා පීඩිතයින්ගේ ජීවිතයේ අනිවාර්යය පාඨමාලා සමඟ එකා බද්ද කර ගත්තේය. දැන් කිං ශාස්ත්‍රෙව්දි උපාධියක් අාචාර්ය උපාධියත් දිනාගත්තෙකි. ඇමරිකාවේ උතුරුකරයේ කලූ ජීවිතය දකුනට වඩා නිදහස් විය.

ඔහුට උතුරට යාමට ආසාවක් ඇති විය. දේව ගැති පදවියක් සඳහා උතුරෙන් ආරාධනාවක්ද තිබුනේය. එහෙත් හෘද සාක්ෂියට සංවේදි වු කිංට උතුරේ සුප පහසුව හා ආරක්ෂාව වෙත පලායාම ද්‍රෝහිකමක් ලෙස දැනුනේය. ඔහු වඩා අපහසු අනාරක්ෂිත දකුනෙම ජීවත් වීම සඳහා තෝරා ගත්තේය.

ඔහු දේවගැතිවරයා ලෙස මොන්ටිගෝමරි නගරයේ බැස්ටිස්ට් පල්ලියේ වැඩ භාර ගත්තේ පැවැති කුරිරු සමාජ අසාධාරණය තුරන් කිරීමේ විප්ලවයක් කිරීමට සිතා ගෙන නොවේ. එසේම එහි සිටි දායකයෝ කලූ ධනේෂ්වරයේ දරුවකු හා බුද්ධිමත් පූජකයකු ලෙස ඔහුගෙන් බලාපොරොත්තු වුයේ දේවගැතිවරයෙකුගේ සාමාන්‍ය සමාජ යුතුකම් වලට වඩා අන් යමක් නොවේ. එහෙත්  ඔහුගේ ජීවිතය ඉක්මනින් වෙනස් වුනා. වඩා නිවැරදිව කීවොත් ජනතාව වෙත තිබු ඔහුගේ බැඳීම හා ජනතා දුක වෙත තිබු සංවේදිතාවය විසින් ඔහුව වෙනස් කලා. ජනතා හඬ තුල වු දෙවිදු හඬට ඉඩදීම නම් වු අධ්‍යාත්මිකත්වය විසින් ඔහුව වෙනස් කලා.

දිනක් කළු ජාතික කාන්තාවක් සුදු ජාතීන්ට වෙන් කරන ලද බසයකට ගොඩ වුනා. එහෙත් ඇයව බසයෙන් එලියට ඇඳ දමා අත් අඩංගුවට ගත්තා. ඊට එරෙහිව බස් වර්ජනයක් දියත් වු අතර කිං තම දෙව් මැදුර. සංවිධායකයින්ට රැස්වීම සඳහා දුන් අතර ඊට පූර්ණ සහය පල කලා. දෙව්මැදුර සාධාරණය සඳහා සටන් කරන්නන්ගේ මධ්‍යස්ථානයක් විය යුතු බවට වාදයක් තිබුනේ නැහැ. කලූ මිනිසුන් කිං ඔවුන් වෙතට දුන් මෝසෙස් කෙනෙකු ලෙස දුටුවා. පූජකයකු යනු ජනතාව විමුක්තිය සඳහා එතෙර කරන නායකයෙකු බව කිංට අවබෝධ වුනා. ඔහු සාධාරණය සඳහා අරගලයේදි කලූ ජනතාවගේ නායකයා බවට පත් වුනා. දින 381 පැවැති බස්රථ වර්ජනය දිගු අරගලයක ආරම්භය විය.

එය ආරම්භ කරමින් කිං ජනතාවට මේ විදිහට කථා කලා.

”අපට විරෝධය පෑම හැර වෙනත් විකල්පයක් නැත. අවුරුදු ගණනාවක් තිස්සේ අප විශ්මයානුකූල ඉවසිමක් පෙන්වා තිබෙනවා. අපට සලකනු ලබන ක්‍රමයට අප කැමතිය යන හැඟීම ඇතැම් විට අප සුදු සහෝදරයින්ට දී තිබෙනවා. අප මෙහි සිටින්නේ නිදහස හා යුක්තියට වඩා අඩු  ඕනෑම දෙයකින් අප සංවිධානව කරන ඒ ඉවසීමෙන් මිදෙන්නයි.”

මේ ආරම්භයෙන් පසු ඔහු බාධක ගිරිකුලූ පරයා නොනැවති ගලන ගගුලක් සේ ජනතාවගේ නිදහස නැමති සයුර බලා ගමන් කරන්නට පටන් ගත්තා. මරණ තර්ජන දිනපතාම ඔහු වෙත ගලා ආවා. නිවසට කිහිප විටකම බෝම්බ ගැසුවා. ඩයිනමයිට් දමා කුඩු කලා, අවලාද, මඩගැසිම් අවුරුදු 9 ක් තුල 30 වතාවක් සිර ගත වීම් සිදු වුනා. එහෙත් ඔහුගේ අරමුණ ඔහු පාවා දුන්නේ නැහැ. ඔහු තමාටත්, තම ව්‍යාපාරයටත් ධෛර්ය සපයා ගත්තේ තමාටම මෙසේ කියා ගනිමිනි.

”යුක්තිය සඳහා නැගී සිටිනු. සත්‍යය සඳහා නැගී සිටිනු දෙවියෝ සදාකාලයටම ඔබ සමඟ සිටිනු ඇත.

”ඔහු මහත්මා ගාන්ධි මෙන් අවිහිංසාවාදි බහුජන සෘජු ක්‍රියා මාර්ග අනුගමනය කලා. එහෙත් ඔහු අවිහිංාව ලෙස වැරුද්දට ඉඩ ධී බලා සිටිම අදහස් කලේ නැහැ. ඒ නිසයි වරෙක ඔහු මේ විදිහට කථා කලේ.

”අයුක්ති සහගත ක්‍රියාවකට නිහඬව සහයෝගය දීම නිසා පීඩිතයාද පීඩකයා මෙන් පාපිෂ්ඨයකු බවට පත් වේ”

මේ නිසා පාගමන්, සිය ගණනක් පෙලපාලි, වැඩ වර්ජන, සිරගතවීම්, නීති උල්ලංඝනය කිරිම්, දේශන සම්මන්ත‍්‍රණ, විරෝධතා ව්‍යාපාර දහස් ගණනක් ක්‍රියාත්මක වුනා. මරණයේ පෙනී පෙනී වුවත් ඔහු තමාගේ සිහිනය අතහැර දැමුවේ නැහැ. නිදහස පතා වොෂින්ටනය බලා වු පාගමන අවසානේය ඔහු ”මට සිහිනයක් ඇත.” යනුවෙන් අමරනීය කථාවක් කලා.

අරගලකරුවෙකුගේ හා කවියෙකුගේ ශ්‍රේෂ්ඨ ආත්මයකින් මතු වු ඒ සිහිනය නම්

”යම් දිනට ජෝරජියාවේ රතු කදු මත, ඉස්සර වහලූන්ගේ පුතුන් හා ඉස්සර වහල් හිමියන්ගේ පුතුන් සහෝදරත්වයේ මේසය වටා එකට ඉඳ ගැනීමට සමත් වනු ඇතැයි මම සිහින දකිමි. අයුක්තියේ තාපයෙන් පීඩා විදින, පීඩනයේ තාපයෙන් පීඩා විඳින ජනපදයක් වු මිසිසිපි ජනපදය පවා එක් දිනක නිදහසේ හා විමුක්තියේ ක්ෂේම භූමියක් වනු ඇතැයි මම සිහින දකිමි.”

ඒ සිහින ඉක්මන් කිරිමට ඔහු දිගටම අරගලයක නිරත වුනා. ඔව්, ඔහු සමග කෝටි 22 ක කලූ ජනතාව නිර්මානාත්මක අරගලයක නිරත වුනා. 1964 ඔහුට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවා. එය ලැබුනු පසු ඔහුට එක්සත් ජාතින්ගේ ලේකම්වරයකු වැනි කෙනෙකු ලෙස වැජඹෙන්නට තිබුනා.

එහෙත් ඔහු පැවසුවේ මෙසේය.

”මට කන්ද උඩ නැවතී සිටිය හැකි යැයි මම සිතිමි. එහෙත් මිටියාවත මට හඬගසයි. මිසිසිපිහි බලාපොරොත්තු භංගත්වයේ මිටියාවතේ බලාපොරොත්තු අවශ්‍ය ජනයා සිටිති. මා මිටියාවතට යා යුතුය.”

අන්‍යරූප විලාශ වු අවස්ථාවේ කන්ද මතට වී කූඩාරම්ලාගෙන වැජඹෙන්නට තම ගෝලයින් කල ආරාධනාව පසෙකලා කන්දෙන් බැස කුරුස කන්ද වෙත ගමන් කල තම ගුරුවරයා වන ජේසු ක්‍රිස්තු තුමන් අනුව යමින් ඔහු මිටියාවතක වෙත ආපසු ගියා. සමානාත්වය සඳහා පමණක් නොව අධිරාජ්‍යවාදයට හා යුද්ධයට එරෙහිවද ඔහු දිගටම සටන් කලා. මිටියාවත බලා ගමන තුවක්කු බටය විසින් නිහඬ කලා.

එහෙත් ඔහු ඒ සමඟම ජනතාව තුල ජීවත් වෙන්න පටන් ගත්තා, අලංකාරිය සත්‍යවූද, සත්‍ය අලංකාරය වූද නිර්ව්‍යාජ සහෝදරත්වය සහ සාමය දියමන්ති හෝ රිදී රන්වලට වඩා අගය කරන්නාවු ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ ආදර්ශය බවට පත් වුනා. ශ්‍රේෂ්ඨ පුද්ගලයෝ මරණයෙන් පසුත් ලෝකය පහන් ටැඹක් සේ ආලෝකමත් කරන බව කිං කථා කලා, ඔහුගේ අවමංගල්‍යයට දෙමසකට පෙර ඔහු කල කථාවක් අවමංගල්‍යයට සහභාගී වු සැමට අසන්නට ලැබුණා.

”අපි සියලූ දෙනාම ජීවිතයේ අවසාන පොදු සාරයේ ගොදුර බවට අපි මරණය යනු වෙන් හඳුන්වන ලබන දෙයට පත්වන දිනය ගැන යථාර්ථවාදි ලෙස සිතනු ඇතැයි මම නිතර නිතර අනුමත කරමි”

”අපි සියලූ දෙනාම එය ගැන සිතමු. මමද නිතර නිතර මගේ මරණය ගැන සිතමි. මම මගේ අවමංගල්‍යය ගැන සිතමි. මම එය ගැන දූෂිත අරුතකින් නොසිතමි. ඒ අවස්ථාවේ මා වෙනුවෙන් කිව යුත්තේ කුමක්ද යන්න ගැන මම නිතර නිතර මගෙන් ප්‍රශ්න කලෙමි. අද උදේ එම වචනම මම ඔබට පවසමි”

”මට මගේ එම දවස හමුවන විට ඔබෙන් කවුරු හෝ මා අසල සිටි නම් මට දිග අවමංගල්‍ය උත්සවයක් උවමනා නැත.”

”ඔබ කවුරුන් ලවා හෝ ප්‍රශංසා කිරීමේ කථාවක් කිරීමට බලාපොරොත්තු වේ නම් ඔහුට දිගු වෙලා කථා නොකරන ලෙස කියන්න. එසේම ඔහු විසින් කීමට වුවමනා කුමක්දැයි මම නිතර නිතර සිතමි”

”මට නොබෙල් සාම ත්‍යාගයක් තිබෙන බව සඳහන් නොකරන ලෙස ඔහුට කියන්න. එය වැදගත් නැත.”

”මට තවත් සම්මාන ප්‍රධානය 300 හෝ 400 ක් අැති බව සඳහන් නොකරන ලෙස ඔහුට කියන්න. එය වැදගත් නැත. මම ගියේ කුමන පාසලට දැයි සඳහන් නොකරන ලෙස ඔහුට කියන්න.”

”මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) අන්‍යයන්ට සේවය දීමට තම ජීවිතය දීමට උත්සහ කල බව එදාට කවුරුන් හෝ සඳහන් කරනවාට මා කැමතියි”

”මාටින් ලූතර් කිං (කනිෂ්ඨ) කාට හෝ ආදරය කිරීමට උත්සහ කල බව කවුරුන් හෝ සඳහන් කරනවාට මා කැමැතිය. ”මම නිවැරදි වීමට සහ ඔවුන් සමඟ ඇවිදීමට උත්සහ කල බව එදිනට ඔබ පවසනවාට මට කැමැතිය.

මම බඩ ගින්නෙන් පෙලෙන්නවුන්ට ආහාර ලබා දීමට උත්සහ කල බව එදින පැවසීමට ඔබ සමත් වෙතැයි මම බලාපොරොත්තු වෙමි. මම මගේ ජීවිත කාලේයිද නිරුවත් අයට වස්ත්‍ර ඇන්දවීමට ප්‍රයන්ත දරු බව එදින පැවසීමට ඔබ සමත් වෙතැයි මම බලාපොරොත්තු වෙමි. මම ජිවතුන් අතර සිටින විට සිරගෙදර සිටි අය බැලීමට උත්සහ කල බව එදින ඔබ පවසනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.”මා යුක්තිය සඳහ වු බෙර කණ්ඩායමේ නායකයා වු බව කියන්න. මා සාමය සඳහා වු බෙර කණ්ඩායමේ නායකයෙකු වු බව කියන්න. මා ධර්මිෂ්ථත්වයේ බෙර කණ්ඩායමේ නායකයා වූ බව කියන්න.”

”අනෙක් සියලූම නොගැඹුරු දෙයින් පලක් නැත.” මට ඉතිරි කර යාමට කිසිදු මුදලක් නැත. මට ජීවිතයේ ලස්සන සුඛෝපභෝගී දේ අතහැරයාමට නැත. එහෙත් මට කැප වු ජීවිතයක් ඉතිරි කර යාමට උවමනාය.”

මට කීමට ඇත්තේ එපමනය.

ඔහු ඔහුගේ වචනය ලෙසම ඒ ජීවිතය අපට ඉතුරු කර තිබෙ. මිනිසෙකුගේ ශ්‍රේෂ්ඨත්වත්, ගරු නාම පදවි වලින් නොව ඔහු තම ජීවිතය පරිත්‍යාග කිරීමට සූදානම් ව සිටි ව්‍යාපාරයෙන් පෙන්නුම් කරනවා. කිං සෙව්වේ වෘත්තියක් නොව පීඩා විඳින ජනතාවගේ විමුක්තියයි. යුක්තිය හා සත්‍ය සෙවීම ඔහුගේ ජීවත්වීමේ හරය වුවා වඩා යහපත් අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු ඔහු හා සම්බන්ධ කර සිතූ ජනතාවගේ ඉරනම ඔහුට වැදගත් කරුණක් වුනා.

විවාහකයෙක් වු කිං තම බිරිඳ හා දරුවන් සමඟ එකට සිටියේ කලාතුරකින්. එහෙත් ඔහු බිරිඳට දයාබර සැමියෙක් වු අතර දරුවන්ට ආදරණිය පියෙක් වුනා. කිං තම දරුවන්ට ආදරය කලා. ඒ වගේම හැම දරුවෙකුටත්, ජනතා ව්‍යාපාරය කැමැති දරුවාටත් ආදරය කලා, අපි ඔහු ගැන හා අපි ගැන සිතමු.

පරීශීලන

මාටින් ලූතර් කිං ජීවිතය හා මරණය පොත සහ ගාමිණි කුමාර විතානගේ පියු අඩිසිය පත කෘති ඇසුරෙනි

6cac3e4af71ab8dda6dba234a97e4887මහින්ද නාමල්

jesustodaysl 2 වන වසර 5 වන සතිය 2018 අප්‍රේල් 08 

Comments powered by CComment