1

බටහිරින් සූඩාන යටද, දකුණෙන් ඉතියෝපියාවටද මායිම්ව පිහිටා ඇති අප්‍රිකානු රටක් වන එරිටි්‍රයාව වර්ග කිලෝ මීටර 117,600 ක භූමි ප්‍රමාණයකට හිමිකම් කියයි. එහි අගනුවර හැඳින්වෙන්නේ ‘අස්මාරා’ නමිනි. 1975 වසරෙහි අස්මාරාහිදි උපත ලැබු ඇබා මූසි සෙරායි, දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවලුක පස්වැන්නා විය. එකල එරිටි්‍රයාව මාක්ස්වාදි ආණුඩවකින් පාලනය වුණු ඉතියෝපියාවේ යටත් විජිතයක් බවට පත්ව තිබුණි. එරිටි්‍රයානු දේශප්‍රේමි බලවේග, ඉතියෝපියානු ග්‍රහණයෙන් සිය මව්බිම නිදහස් කරගැනීම පිණිස ආයුධ සන්නද්ධ අරගලයක් දියත් කළේ 1961 දීය. අවුරුදු 30 ක් තිස්සේ ඇඳි ගිය මෙම යුද්ධය හරහා 1991 දී තම නිදහස දිනා ගැනීමට එරිටි්‍රයාව හැකියාව ලැබුණි. ඉතියෝපියන් හමුදාවේ ෂෙල් හා බෝම්බ ප්‍රහාරවලින් සිය නිවසේ බිත්ති දෙදරුම් කන අයුරු කුඩා කල පටන්ම අත්විඳිමේ අවස්ථාව ඇබා මූසි සෙරායිට ලැබුණේ විමුක්ති අරගලය ඔවුන්ගේ දෛනික ජීවිතයේ අංගයක් බවට පත්ව තිබු හෙයිනි. හැම නිවසකම පාහේ භූගත බංකර් ඉදිකොට තිබුණේ ගුවන් මගින් එල්ල කෙරෙන බෝම්බ වලින් බේරීම සඳහාය. ඉතියෝපියන් හමුදා ප්‍රහාරයන්ට හසුව සුණුවිසුණු වී ගිය අසල්වාසින්ගේ හා ඥාතින්ගේ මළසිරුරු, කුඩා සෙරායි තුළ මහත් කම්පනයක් ඇති කළේය.

මාපියන් අහිමිවීම.

2

පස් හැවිරිදි දරුවකුව සිටියදී, සෙරායිට සිය මව අහිමි වූයේ නව වැනි දරු උපතේදි දැඩි ලෙස අසාධ්‍ය වී ඇය මිය ගිය නිසාය. ඉංජිනේරුවකු ලෙස රාජකාරි කළ ඔහුගේ පියාද මේ වකවානුවේදි ඉතියෝපියානු හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 1979 දී ජේලර්වරුන්ට පගාව දී හිරෙන් පැනගත් සෙරායිගේ තාත්තා පයින්ම සූඩානය බලා ගියේ එරිටි්‍රයාවේ රැඳී සිටීම අනතුරුදායක වග ඔහු දැනිසිටි හෙයිනි. සූඩානයෙන් සෞදි අරාබියටද, එතැනින් ඉතාලියටද ගිය හෙතෙම එහිදි වෙනත් විවාහයක් සිදු කරගෙන එරට පදිංචි විය. මව්පිය සෙනෙහස අහිමි වු දරුවන් අටදෙනා එතැන් සිට හැදුණේ වැඩුණේ ඔවුන්ගේ ආච්චි අම්මා සමඟය. 

භක්තිමත් කතෝලික කාන්තාවක වු සෙරායිගේ ආච්චි හැම උදැහැනකම පල්ලියේ පූජාවට සහභාගී වූයෙ තම මුණුබුරු මිණිබිරියන් ද ඊට දායක කරගනිමිනි. දෙවියන් පිළිබඳ අචල විශ්වාසයක් සෙරායි තුළ ගොඩනැගුණේ, පල්ලියේ පාදිලිවරුන්ද මව හා පියා අහිමි ඔහු සහ ඔහුගේ සහෝදර සහෝදරියන්ට මහත් කරුණාවෙන් උදව් පදව් කළ නිසාය. පල්ලියේ ගීතිකා කණ්ඩායමට සම්බන්ධ වී එහි ක්‍රියාකාරි සාමාජිකයෙකු ලෙස වැඩ කිරීමෙන් සෙරායි ඉමහත් සතුටක් ලැබුවේය. පල්ලිය සමඟ වු ඔහුගේ බැඳීම කොතරම් දුරදිග ගියාදැයි කිවහොත් වයස අවුරුදු 14 දී කතෝලික පියතුමකු වීම සඳහා ඇවැසි මූලික පුහුණුව ලබාගැනීමට හෙතෙම තීරණය කළේය.
අස්තරාහි බිෂොප්වරයා, සෙරායි වැඩිදුර පුහුණුව සඳහා ඉතාලිය බලා යැවීමට තීරණය කළේ ඔහුට වයස අවුරුදු 17 පිරුණු මොහොතේය. ඒ අනුව රෝමයේ පදිංචිව සිටින බි්‍රතාන්‍ය ජාතික පූජකවරයකු වු පීටර් බෝන්ස් යටතේ පුහුණුව ලැබීමේ වරම සෙරායිට උදාවුණි. ඉතාලියට බෝට්ටුවලින් පැමිණෙන අනවසර සංක්‍රමණිකයන්ට තමන්ට හැකි අයුරින් පිහිට වීම පූජක පීටර් බෝන්ස්ගේ පරිචය විය. පල්ලියට බරක් නොවෙමින් සිය පූජක පුහුණුව ලැබිය යුතු යැයි අදිටන් කරගත් සෙරායි, රෝමයේ පියසා විටෝරියෝ වෙළපොලේ පලතුරු කඩයක අර්ධකාලීන රැකියාවක් කරමින් මුදල් ඉපැයීය.
ඉතාලි භාෂාව උගත් පසු රෝමයේ රංග ශාලාවක පිළිගැනීමේ නිලධාරියා ලෙස සේවය කරමින් ඔහු ඉහළ වැටුපක් ලබාගත්තේය. මේ මුදල්වලින් වැඩි කොටසක් ඔහු වැය කළේ සමාජ විiාව, ආර්ථික විiාව හා දර්ශනය වැනි විෂයන් හා අදාළ අර්ධකාලීන සරසවි පාඨමාලා හදාරමින් ලෝකය පිළිබඳව ගැඹුරු දැනුමක් අත්පත් කර ගැනීම උදෙසාය.

ස්කූලබි්‍රනියන් නිකාය.

3

අප්‍රිකානු හා මැද පෙරදිග කලාපයේ රටවල ඇවිළ යන විවිධ සංග්‍රාම හේතුවෙන් ඒවායින් නීති විරෝධි ලෙස පිට වී යුරෝපය බලා පැමිණෙන සංක්‍රමණිකයන්ට කෙසේ හෝ පිහිට විය යුතුයැයි යන අදිටන ඇබා මූසි සෙරායිගේ සිත තුළ මුල් බැස ගත්තේ එම අසරණයන් රැගත් බෝට්ටු බොහෝ විට මධ්‍යධරණි මුහුදේ ගිලී යනු ඔහු දුටු හෙයිනි. අනවසර සංක්‍රමණිකයන්ට පිහිටි වීම සඳහාම 1887 දී ජියොවනි බැටිස්ටා ස්කැල්බි්‍රනි නම් ඉතාලි ජානිත බිෂොප්වරයා විසින් ඇරැඹි ආගමික නිකායක් ගැන සෙරායිට දැනගන්නට ලැබුණි. එම නිකායේ බිෂොප්වරයා හමුවු හෙතෙම අදාළ පල්ලියේ ආධුනික පූජකවරයකු ලෙස සේවයට බැඳුණේය. 

දේශනාවලට පමණක් සීමාවු පූජකයකු වනවා වෙනුවට අසරණයන්ට ප්‍රායෝගික ලෙස පිහිටවන සැබෑ දේව පුත්‍රයකු බවට ඇබා මූසි සෙරායි පත්වුයේ ස්කැලබි්‍රනියන් පල්ලියට බැඳීමත් සමඟය.

30 වසරක සන්නද්ධ අරගලය මෙහෙයවා, ඉතියෝපියානු ග්‍රහණයෙන් එරිටි්‍රයාව මුදවා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි. 1993 දී ඔවුන් බලයට පත් වී වසර 4 ක් ගත වු පසුව, ඔහු පක්ෂ දේශපාලනයට ඉඩදීම සඳහා ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළද එය ක්‍රියාත්මක කිරීම පසක තබා ඒකාධිපති මාක්ස්වාදි පාලනයක් 1993 සිට මේ දක්වාම ක්‍රියාත්මක කිරිමට එරට ජනතා විමුක්ති පෙරමුණේ නායක ඉසයාස් අෆ්වර්කි පෙළැඹි සිටි.

ස්ත්‍රී පුරුෂ සියලු පුරවැසියන් මාස 18 කට නොඅඩු කාලයක් එරිටි්‍රයානු යුද හමුදාවේ සේවය කළ යුතය යන නීතිය ජනාධිපති ඉසයාස් අෆ්වර්කි විසින් හඳුන්වාදෙන ලද්දේ 1995 වසරේදීය. මාස 18 ක් කීවද, බොහෝ විට මේ හමුදා සේවය වසර 12 ඉක්මවන අවස්ථා සුලභය. පුද්ගලික කතාබහකදි වුව ආණ්ඩු විවේචනය කිරීම අතිභයංකර ක්‍රියාවක් බව එරිටි්‍රයානුවෝ දනිති. විරුද්ධ මතවාදින් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම සිදු කෙරෙනුයේ සිවිල් ඇඳුමින් සැරසුණු එරිටි්‍රයානු හමුදා නිලධාරින් අතිනි.

2001 වසරේදි ස්වාධීන මාධ්‍ය ආයතන සියල්ල වසා දැමුණු අතර වත්මනෙහි එරට දක්නට ඇත්තේ එරිටි්‍රයානු ජනතා විමුක්ති පෙරමුණේ ගුණ ගයන රජයේ මාධ්‍ය පමණි. මාධ්‍යවේදින් සිරගත කිරීම සම්බන්ධයෙන් එරිටි්‍රයාව දෙවැනි වන්නේ උතුරු කොරියාවට හා චීනය පමණි. එරිටියානු හමුදා සේවයට බැඳීම ප්‍රතික්ෂේප කරන අය නොපමාව සිර බරයට ගනු ලැබෙති. සිරකාරියන්, ජේලර්වරුන්ගේ ලිංගික වහලියන් ලෙස කටයුතු කළ යුතුය. මානව හිමිකම් කෙළෙසීම අතින් අද ලෝකයේ අංක 1 බවට පත්ව ඇත්තේ එරිටි්‍රයාවයි.

ආර්ථික වර්ධන වේගය 14% ක් වැනි ඉතා ඉහළ මට්ටමක පැවතුණද, 2011 වන විට එරිටි්‍රයානු ජනගහනයෙන් 5% ක් ඉක්මවන ප්‍රමාණයන් අනවසර සංක්‍රමණිකයන් ලෙස රටින් පැනගත්තේ බඩ කට පිරුණද මිනිසුන් ලෙස ජීවත්වීමේ නිදහසක් රට තුළ නොමැති හෙයිනි. එරිටි්‍රයානු දේශසීමාව අනවසරෙන් තරණය කරන කවරෙකුට වූව වෙඩි තබා මරා දැමීය යුතුය යන නීතිය ප්‍රායෝගික හා සාහසික ලෙස, ක්‍රියාත්මක වෙද්දීත්, දිවි පරදුවට තබමින් එරිටි්‍රයානුවෝ තම මව්බිමෙන් පැන යති. අද ඇබා මූසා සෙරායි පියතුමාගේ කාලයෙන් වැඩි කොටසක් වෙන්වෙන්නේ යුරෝපය වෙත පැමිණෙන එරිටි්‍රයානු හා ඉතියෝපියානු අනවසර සංක්‍රමණිකයන් මරණයෙන් හා අනාථභාවයෙන් මුදාහැරීම උදෙසාය.

අසරණ සරණ.

4

එරිටි්‍රයාවෙන් පනින සංක්‍රමණිකයෝ ප්‍රථමයෙන් පයින්ම සූඩානයටත්, එතැනින් කාටොම් නුවරටත්, ඉනික්බිති සහරා කාන්තාරය තරණය කොට ලිබියාවටත් පැමිණිය යුතු වේ. කැරලිකාර කණ්ඩායම් විසින් නීතිය අතට ගෙන ඇති ලිඛියාව තුළ මිනිස් ජාවාරම්කරුවන් ලෙස ක්‍රියා කරන්නේ සෝමාලි ජාතික මුහුදු කෝලලකරුවෝය.

අනවසර සංක්‍රමණිකයන් අතර සිටින කාන්තාවන් බොහෝ විට මේ සෝමාලි කොල්ලකරුවන්ගේ ලිංගික ගොඳුරු බවට පත් වේ. සාමුහික දූෂණයන්හිදි එම කාන්තාවෝ අනිවාර්යයෙන්ම මරණයට පත්වෙති. අතේ මුදල් නැති එරිටි්‍රයානුවන්ට පෙට්‍රල් වත්කොට ගිනි තැබීමට සෝමාලිවරුන් ක්‍රියා කරන්නේ ඔවුන් වෙනුවෙන් උණ්ඩයක් වැය කිරීම නාස්කියක් යැයි සලකමිනි.

අඩි 5 ක පමණ දිග පරණ බෝට්ටුවකට 500 කට අධික සංක්‍රමණිකයන් සෝමාලිරුන් විසින් පටවන්නේ බල්ලන් බළලුන් මෙනි. ඉතාලියට අයත් දූපතක් වන ‘ලම්පෙඩුසා’ පිහිටා ඇත්තේ ලිබියාවේ සිට කිලෝමීටර් 1111 ක දුරිනි. දැරිය නොහැකි මගීන් සංඛ්‍යාවක් රැගෙන මේ සා දුරක් ආරක්ෂාකාරි ලෙස ගමන් කිරිමේ හැකියාවක් පරණ බෝට්ටුවක් සතුව නොපවතී. 2013 ඔක්තෝම්බර් 3 සිට 2014 ඔක්තෝම්බර් 02 දක්වා වන කාලය අතරතුර මධ්‍යධරණි මුහුදේ බෝට්ටු පෙරළීම නිසා මියගිය සංක්‍රමණික එරිටි්‍රයානුවන්ගේ සංඛ්‍යාව 3600කි.

ලිබියානු සිරකඳවුරුවල බිත්ති මත මෙන්ම සෝමාලි බෝට්ටුවල බඳෙහිද සංක්‍රමණියන් විසින් ඇබා මූසි සෙරායි පියතුමාගේ ජංගම දුරකථන අංකය කොටා ඇත්තේ මිහිපිට සිටින ඔවුන්ගේ එකම ගැලවුම්කරුවා ඔහු බැව් ඒ අය දන්නා හෙයිනි. සෑම සති අන්තයකම සෙරායි පියතුමා ස්විට්සර්ලන්තයේ ලූසන් නුවර සිටිය යුතුමය. මන්ද රට වෙසෙන 6500 ක් පමණ වන එරිටි්‍රයානුවන් වෙනුවෙන් දේව මෙහෙය පැවැත්විය යුතු නිසාය.

කොතැන සිටියද සංක්‍රමණික බෝට්ටුවකින් තමන් වෙත ලැබෙන දුරකථන ඇමතුමට පිළිතුරු දීමට පියනම කෙසේ හෝ කටයුතු යොදයි. දැනඋගත්, සංවර හා මනා ආධ්‍යාත්මික ශක්තියකින් හෙබි ඇබා මූසි සෙරායි පියතුමාට යුරෝපා ආණ්ඩුවල නායකයෝ බෙහෙවින් ගරු කරති. මධ්‍යධරණි මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් ගිලෙමින් පවතින බවත්, වහාම ඔවුන් බේරාගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලෙසත් සෙරායි පියනම ඉතාලි හෝ ස්විස් හමුදාවෙන ්සිදු කරන ඉල්ලීමකට ඇහුම්කන් නොදීමේ හැකියාවක් බලධාරින්ට නොමැත. ඔවුන් නෑසු කන් ඇති ව සිටියහොත් පියතුමා මාධ්‍ය හරහා නිවේදන නිකුත් කරමින් මානව හිමිකම් ක්‍රියාකාරින් හා සිවිල් සමාජය අදාළ විපත ගැන දැනුම්වත් කිරීමට නොපමාව පෙළැඹෙයි. එතැනින් නොනවතින ඔහු බේරාගත් සංක්‍රමණිකයන්ට ආහාර, ඇඳුම් පැළඳුම් හා නවාතැන් සපයා දීම පල්ලියේ දායකකයන්ගේ සහායද ඇතිව වහා සිදු කරයි.

රටට බරක් නොවීම.

5

‘ඒජන්සියා හාබෙෂියා නමැති සිය පුණ්‍යායතනය ඔස්සේ සංක්‍රමණිකයන්ට යුරෝපීය භාෂා දැනුම හා රැකියා අහිමුක වෘත්තීය පුහුණුව තිළිණ කිරීම සෙරායි පියතුමා විසින් ඉතා විධිමත් හා කාර්යක්ෂම ලෙස සිදුකරනු ලබයි. ‘ඔබ අලුතෙන් පැමිණ රටේ නේවාසික වීසා ලබාගත් පසුව, එම දේශයට ණයක් නොවී ඵලදායි පුද්ගලයෙකු ලෙස ජීවත් විය යුතුයි. සුභසාධන දීමනා ලබා ගැනිම වෙනුවට රැකියාලාභියෙකු වීමට අපි ඔබට පුහුණු කරන්නේ එම නිසායි.’

සෙරායි පියනම මේ වදන් මන්තරයක් සේ සංක්‍රමණිකයන් වෙත ජප කරයි. ස්විස් හා ඉතාලි ආණ්ඩු සමඟ එක්ව මුහුදේ ගිලෙන්නට ගිය අප්‍රිකානු සංක්‍රමණිකයන් 150,000 ක් බේරාගෙන ඔවුන්ට විධිමත් රැකියාද සපයා දිමට මේ වන විට සෙරායි පියතුමා සමත්ව තිබේ. 2015 නොබෙල් සාම ත්‍යාගය සඳහා ඇබා මූසි සෙරායි පියනමගේ නාමයද යෝජනා වූයේ එම නිසාය.

2009 වසරේදි මධ්‍යධරණි මුහුද මැද ගිලෙමින් තිබුණු ධීවර බෝට්ටුවක සිට සෙරායි පියතුමාගේ මැදිහත්වීම හරහා දිවි ගලවාගත් එරිටි්‍රයානුවකු වන යෝනාස් ඩෙබ්සේ අද එම අත්දැකීම මෙසේ මෙනෙහි කරයි. ‘එදා අපි 200 ක් විතර මුහුදේ ගිලෙමින් සිටියා.

සෙරායි පියතුමාට දුරකථන ඇමතුමක් දුන් සැණින් ඉතාලි නාවික හමුදාව පැමිණ අපිව බේරාගත්තා. පියතුමාගේ පිහිටෙන් මා ජර්මන් භාෂාව ප්‍රගුණ කොට සූපවේදි පාඨමාලාවක් හැදැරුවා. 2011 දී ස්වීට්සර්ලන්තයේ ලූසන් නගරයේ අවන්හලක ආධුනික සූපවේදියෙකු ලෙස කටයුතු කළ මා අද එහි ප්‍රධාන සූපවේදියා ලෙස ඉහළ වැටුපක් උපයනවා. මට නම් සෙරායි පියතුමාව පෙනේනේ ජීවමාන දෙවියන් ලෙයසි. දෙවියන් වහන්සේ පිළිබඳ වන සැබෑ විශ්වාසය අප හදවත් තුළ අවුළුවාලුයේ සෙරායි පියතුමායි ආර්ථික වර්දනය හා සංවර්ධනය මගින් පමණක් රටක් පෙරට නොයන බවත් ඇසුරු කිරීමේ හා භාෂණයේ නිදහස ද පුරවැසියන් වෙත දියුණුව හා සමගාමිව තිළිණ කළ යුතු බවත් එරිටි්‍රයාව දෙස බලා අප උගත යුතු පාඩමය.

ප්‍රභාෂ්වර රාවය පුවත්පතට ලියු ලිපියකි.


jesustoday 44 සතිය 2017 දෙසැම්බර් 31

 

Comments powered by CComment