ශ්‍රී ලංකාව තුළ මුස්ලිම් ජනයාට එරෙහි මිථ්‍යාවන් කොතරම් දුරට මුල්බැසගෙන ඇතිද යන්න නිතර නිතර පොදුජන කතා බහ තුළදි අපට මූණ ගැසේ.

බහුතර කිතුනු ජනයා තුළ ද ඇත්තේ එකි පදනම් විරහිත අදහස්මය. මේ බව අපට නැවත පසක් කරවූයේ අප අගය කරනු ලබන කිතුනු ලේඛකයෙකු වන ජො පාරිස් මහතා පසුගියදා ඥානාර්ථ ප්‍රදීපයට ලියු ලිපියක එවැනි අදහස් ප්‍රතිරාව නංවා තිබෙනු දැකිමෙනි.

 

මුස්ලිම් ජනතාව යනු “අප නොදන්නා සහෝදරයා” ලෙස හැඳින්විය හැකි තරමට ඔවුන්ගේ සංස්කෘතිය ගැන බහුතරයකට ඇත්තේ ඉතා අල්ප වූද වැරදි වූද අවබෝධයකි.

මේ ලියුම්කරු සිංහල තරුණ තරුණියන් පිරිසකගෙන් තොරතුරු විමසීමේදි බොහෝ දෙනෙකු සිතා සිටියේ සෑම මුස්ලිම් පිරිමියෙකුම බිරියන් සත් දෙනෙකු විවාහ කරගන්නා බවයි. සෑම මුස්ලිම් පවුලකම දරුවන් පස් දෙනෙකුට වඩා සිටින බවයි. මේ එකි අනවබෝධය පිලිබඳ අල්ප නිදසුනකි.

ලංකාවේ මුස්ලිම්වරු

අනුරාධපුර යුගය අවසාන භාගය වන විටත් අප රට තුල විශේෂයෙන් මුහුදු වරායන් අසල මුස්ලිම්වරු සිටි බවට සාක්ෂි ඇත. ඔව් හු සියලු දෙනා එකල සිටම වෙළඳාමේ නිරත වු බව පැහැදිලිය. 12 වන සියවස තුළ ත්‍රිකුණාමලය වරාය අවට මුස්ලිම්වරු සිටි බවට සාක්ෂි හමු වී ඇත.

පෘතුගීසින් මෙරට පැමිණෙන කාලය වන විට පුත්තලම, මග්ගොන, පයාගල, අලුත්ගම, බෙන්තොට, ගාල්ල, වැලිගම, මාතර ආදි ප්‍රදේශවල මුස්ලිම් ජනවාස තිබි ඇති බවට සාක්ෂි හමු වී ඇත.

මුස්ලිම් විරෝධි මතය

මුස්ලිම් විරෝධි මතයක් අපරට තුළ ඇති වීමේ ඉතිහාසය සොයා බැලීමේදි පෙනී යන්නේ එය බි්‍රතාන්‍ය යුගය තුළ වෙළඳාමට පිවිසි සිංහල ප්‍රභූන් විසින් ඇති කරන ලද්දක් බවයි. 1863 වන විටත් කොළඹ නගරයේ දේශිය වෙළඳුන් අතර සිට ඇත්තේ මුස්ලිම්වරු පමණක් බව කුමාරි ජයවර්ධන විසින් පෙන්වා දී තිබේ. කෙමෙන් කෙමෙන් වෙළඳාම වෙත ප්‍රවේශ වු සිංහලුන් එතෙක් මුස්ලිම්වරුන් අත වු වෙළඳාම තමන් වෙත යොමුකර ගැනීමට මුස්ලිම් විරෝධයේ ගිනි පුළිගු දැල් වු බව පැහැදිලිය.

වර්ථමානයේදි විශේෂයෙන් රාජපක්ෂ පාලන සමය තුළ පාලකයින්ගේ අනුග්‍රහය ඇතිව ව්‍යාප්ත කළ මුස්ලිම් විරෝධයේ සැබෑ පදනම ඇත්තේද මුස්ලිම්වරුන්ගේ වෙළඳ හැකියාවට ඊර්ෂ්‍යා කරමින් එය ඩැහැ ගැනීමට සිංහල ව්‍යාපාරිකයින්ගේ අභිලාශය තුළයි.

දෙමළ ජනයාට එරෙහි හිංසනයට පසු මුස්ලිම් ජනයාට එරෙහි හිංසනය ව්‍යාප්ත කිරීමට කැස කවන කිතුදහමට පටහැනි ජාතිවාදි ගෝත්‍රවාදි අදහස් ව්‍යාප්ත කිරිමට නාමධාරි කිතුනුවන් දායක වීම විශාල පාප කර්මයකි.

මුස්ලිම් - කිතුනු සංවාදය.

ජනප්‍රිය ජාතිවාදි අදහස් වලින් මිදි සැබෑ කිතුනු අදහස් වලින් යුක්තව මුස්ලිම් - කිතුනු සංවාදයකට ඇතුළුවීමට නම් කිතුනුවන් කියවිය යුත්තේ ජාතිවාදින්ගේ කතා බහ, ලිපි ලේඛණ නොවේ. වතිකානු කතිකා නිර්දේශ හා සුදතුම් පිය ලිපි ලේඛනය.

ප්‍රැන්සිස් සුදතුම් පියතුමා තම සුපුවතේ ආනන්දය අපොස්තලික අනුශාසනාවේ මෙසේ සඳහන් කර ඇත.

“ඉස්ලාම් භක්තිකයන් සමඟ පවතින අපගේ සම්බන්ධතාවය ඉතා වැදගත්භාවයකට යොමු වී ඇත්තේ බොහෝ සම්ප්‍රදායීක කිතුනු රටවල් තුළ නිදහස් ලෙස මෙන්ම එම සමාජවලම කොටසක් වී ඉස්ලාම් භක්තිකයන් ජීවත් වන නිසාය. අප මතක තබාගත යුතු දෙයක් වන්නේ “ඔවුන් ආබ්‍රහම්තුමන්ගේ විශ්වාසය මත, කරුණාබරිතවුත් අවසාන දිනයේදි මනුෂ්‍යයා විනිශ්චය කරනු ලබන්නාවූත් එකම දෙවියන් වහන්සේට අප හා සමඟ එක් වී වැදුම් කරන බවයි” ඇතැම් ඉස්ලාමීය ශුද්ධ වු ලේඛන තුළ ඇතැම් කිතුනු ඉගැන්වීම්ද රඳවා තබාගෙන ඇත. ඔවුන් ජේසුස් වහන්සේට හා මරියාවන් හට තම ගෞරවය පුද දෙන අතර මුස්ලිම් භක්තිකයන් යාච්ඥාවට හා ආගමික මෙහෙයන් හට සම්බන්ධ වන ආකාරය විශේෂාකාරයෙන් අගය කළ යුතු වේ. එසේම දෙවියන් වහන්සේට සදාචාරාත්මකව කැපවීම හා අන්ත අසරණයන් හට පිහිට වීමද ඔව් හු පිළිගනිති.

ඉස්ලාම් භක්තිකයන් සමඟ සංවාදයේ යෙදීමට පෙර එයට සහභාගීවන සියලු දෙනා පුහුණුවකට ලක් විය යුතු වේ. අප රටවල් තුළට පැමිණෙන ඉස්ලාම් භක්තිකයන් සාදරයෙන් පිළිගත යුතු සේම ඉස්ලාමීය සම්ප්‍රදායන් පවතින රටවල් තුළට එසේම අප රටවල් වල වෙසෙන වැසියන්ද පිළිගත යුතු වේ. තවද මා බැගෑපත්ව ඉල්ලා සිටින්නේ ඉස්ලාම් භක්තිකයන් බටහිර රටවල් තුළ නිදහස් ලෙස තම දහම අදහන සේ ඉස්ලාමීය රටවල් තුළත් කිතු දහම ඇදහීමට අවසර ලබා දිය යුතු යන්නය. වියවුල් සහගත සිදුවීම් සහිත සාහසික මූලධර්මවාදය හා පිළිකුල් සහගත දේ අත් හැරීමට මඟ පෙන්වන නියම ඉස්ලාම් භක්තිකයන් හට අපගේද ගෞරවය හිමි විය යුතු වේ. මක්නිසාදයත් අව්‍යාජ ඉස්ලාම් දහම සහ කුරානය ප්‍රචණ්ඩත්වයට විරුද්ධ වන බැවිනි.”

මේ හඬට කන් දෙන්නටත් ඒ තුලින් එතුමා කරන ආරාධනයට ප්‍රතිචාර දැක්වීමටත් අප ඉදිරිපත් විය යුතුය.

jesustoday 50 සතිය 2018 පෙබරවාරි 11

 

Comments powered by CComment