අප විශ්වාස කරන ගැළවීමේ ඉතිහාසයේ ප්‍රධාන තේමාව නිදහසයි.

අප අදහන්නේ දුක් විඳින සෙනඟගේ දුක තමන්ගේ දුක කරගත් සමිඳාණන්වයි.

“මිසරයේ සිටින මාගේ සෙනඟගේ දුක්ඛිඃත ත්තවය මම දුටිමි” (නික්මයාම 3:7-10)

 

ඔවුන් මත බර පටවා, ඔවුන්ගේ නිදහස අහිමි කර ඇති විධායකයන්ගෙන් ඔවුන් මුදා ගැනීමට එතුමන් අදහස් කරයි. මෝසෙස්, ආරොන් හා වැඩිහිටියන් කැඳවයි. මුළු පැරණි ගිවිසුමම ලියැවි ඇත්තේ, වහල් කමින් නිවහල් කමට නික්ම යාමේ නැත්නම් නිදහස ලැබීමේ සිද්ධිය මුල් කරගෙනයි. එය දුක් විඳීන ජනතාවකගේ ගැළවීමේ අත්දැකීම පිළිබඳ ප්‍රකාශනයකි.

අන් සියළු රජවරු ජනයා වහල් කර නිදහස නැති කරන වගත්, මිසරයෙන් තමන්ව ගළවාගත් දෙවිඳුන් පමණක් ජනයාට නිදහස ගෙනෙන වගත් ඔහූ වූ විශ්වාස කරති.
“වහල් කමේ නිවාසය වු මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනා ස්වාමින් වහන්සේ මමය. ම ාහැර අන් කිසිම දෙවිකෙනෙකු නුඹට නොසිටිය යුතුය.” (නික්මයාම 20/2)

යළි යළිත් රජුන්ට යටත් වී වහල් වුණු ජනයා තමන්ව මුළුමෙන්ම ගළවන ගැළවුම්කරුවෙකු බලාපොරොත්තු වෙයි. ජේසු තුළ ඒ ගැළවීම උදාවෙන්නට පටන්ගත් බව අපි විශ්වාස කරමු.

“අද ඔබ සවන් දී සිටියදීම මේ ශුද්ධ ලියැවිළි පාඨය ඉෂ්ඨ වේ” (ලුක් 4/21)

මේ ගැළවීම පූර්ණ ගැළවීමකි. ආර්ථික දේශපාලනික හා සමාජීය කාරණා මෙම නිදහසේ අනිවාර්ය අංගයකි. නව අහසක්, නව පොළවක් තුළ පූර්ණ මිනිසෙකු ගැහැණියකු බිහි වනු දැකීම දෙවිඳුන්ගේ වුවමනාවයි. එවන් විශ්වාසයකට උරුමකම් කියන කිතුනුවන් යැයි කියාගන්නා මේ රටේ ජීවත් වන අපි සැබැවින්ම කාගේ දාසයන්ද ? නිදහසේ දෙවිඳුන්ගේද ? නැත්නම් බලලෝභී නායකයන්ගේද ? අන්ධ ආගමික මාර්ගෝපදේශකයන්ගේද ? අපි ඉටු කරමින් සිටින්නේ කාගේ වුවමනාවද ?

සත්‍යය ඔබව නිදහස් කරයි !

ජේසු නිදහස පිළිබඳව කී රුවන් වැකිය එයයි. මේ දිනවල රටේ කථාබහට ලක් කෙරෙන ලැබුවායැයි කියන නිදහස ගැන දෙවිඳුන් අපට පවසන සත්‍යය කුමක් ද? අප විසින් සොයා බැලිය යුතුමයි. ඒ සඳහා ඔබට කරන ආරාධනයකි මේ.

අවංකව සිතන්න.... ප්‍රශ්නාවලීයක්...

1 මේ රටේ ජීවත්වන දෙවිඳුන්ගේ ජනතාවගේ පැත්තෙන් නැත්නම් ජනතාවගේ දෙවිඳුන්ගේ ඇසින් බැලුවිට ඇත්තටම ලංකාවට නිදහසක් ලැබී ඇත්ද ?
2 එම දෙවිඳුන්ගේ ඇසින් බැලු විට 1948 පෙබරවාරි 4 වැනිදා, ජනතාව ගැළවීම වෙත යොමුවුණු එම ජනතාව විසින් මහත් හරසරින් සැමරිය යුතු සිදුවීමක් සිදුවීද ?
3 උතුරේත්, දකුණේත්, විශේෂයෙන් දුප්පත් ජනතාව තුළ පෙබරවාරි 4 වැනිදා දිනය තමන්ගේ ජීවිතවලට බලපෑ දිනයක් ලෙස හදවත්හි සටහන්ව තිබේ ද? එම දිනය          තමන්  විසින් සැමරිය යුතුයි කියා ඔවුන්ට දැනේද ?
4 පීඩා විඳින ජනතාවක් අත් දුටු නික්මයාමේ සිදුවීමද, ජේසුගේ මරණයෙන් හා උත්ථානයෙන් අත්දුටු නව ජීවනයද, තමන් විසින් සැමරිය යුතු මතු පරපුරටක් කියා දිය        යුතු  සිදුවීම් ලෙස එම ජනතාව දුටුහ. එම සිදුවීම්වල අඩංගුව තිබුණු ජනයාට නිදහස උදා කරන කාරණා යම් පමණකට වත් අපේ රටේ 1948 පෙබරවාරි 4 වැනිදා          සිදුවීමේ ගැබ් ව තිබේද ?
නැතැයි කියා අපි කියමු. ඉංග්‍රීසින්ගෙන් දේශපාලන නිදහස ලැබීම නිදහසක් නොවේදැයි ඔබ විසින් තර්ක කරනු ඇත. මේ රටේ දුක් විඳින ජනතාව තුළ සිටින දෙවිඳුන්ගේ ඇසින් බලන විට පෙබරවාරි 4 වැනිදා සිදුවූයේ විදේශිය පාලකයන්ගේම රූකඩ වන ස්වදේශිය යැයි කියාගන්නා පාලකයන්ට බලය මාරුවීමක් පමණි. එය රට වහල් කළ, විදේශිය අධිපතින්ගේම අවශ්‍යතාවය අනුව සිදුවූවකි.

කවර බලයක් වුවත් පිටු දකිමු.

මිනිස් ඉතිහාසය තුළ අපේ සමිඳානන් මිනිසුන් මුලින්ම හඳුනාගත්තේ වහල්භාවයේ නැත්නම් බලයේ නිවාසය වන මිසරයෙන් තමන්ව නිදහස් කරමින් සහෝදරත්වයේ අත්දැකිමක් වෙත තමන්ව ගෙනගිය දෙවිඳුන් හැටියටය. කවර බලයක් වුවද තමන්ව වහල් කරන වග එම ජනතාව ඇදහූහ. සියළු බලයන්ට එරෙහිව ඔවුහු අරගල කළහ. එවන් අරගලයක අද අප රට තූළ ජාති ආගම් පක්ෂ භේදයක් නොතිබිය යුතුය.

ජනතාවගේ දෙවිදුන් තුළ සිටිමින් බලවතුන්ගේ ව්‍යාජ ප්‍රතිසංස්කරණ වලින් හා සංධාන වලින්, නිදහස් සැමරුම්වලින් රටට නිදහසක් අත් නොවන වග ස්ථිරවම අප විසින් ප්‍රකාශ කළ යුතුව ඇත. ඔවුන්ගේ ව්‍යාපෘති අපගේ න්‍යාය පත්‍රයට අඩංගු නොවිය යුතුය. එසේනම් අප කුමක් කල යුතුද ?

සැබෑ නිදහස සඳහා පෙළගැසෙමු...

1 අප අපම සිර වී සිටින විවිධාකාර වහල්කමේ නිවාසයන් හඳුනාගනිමු. අප අපම අදහන මිථ්‍යාවන් හී ඇති අඳුර දැකගනිමු. බලලෝභි ස්වාමිවරුන් වැඳීම පිදීම නවතමු. ඔවුන්ගේ වචන පොරොන්දු සැළසුම් කෙරෙහි තබන විශ්වාසය දුරු කරමු.

2 කිතුනුවන් ලෙස, මේ රටේ ගැළවීමට නිදහසට ගරුත්වයට අපෙන් වී ඇති අඩුපාඩුකම් අවංකව පිළිගන්නට තරම් බැගැපත් වෙමු. අන් ආගම්වලට ගරු නොකිරීමේ, රටේ සංස්කෘතියට ගරු නොකිරීමේ ජාතිවාදි වීමේ, පක්ෂවාදි වීමේ, බලවතුන්ගේ පැත්ත ගෙන දුප්පතුන් අමතක කිරීමේ පව්වලට මන්සථාප වෙමු. කිතුනුවන් ලෙස විශේෂ වරප්‍රසාද අපට උරුම නැත. අන් ආගම් සමඟ තරඟ වැදීම කිතුනුකම නොවේ. වෙනස්කම් අගය කිරීම කිතුනුකමයි. කවර විදියකින් ප්‍රකාශ වූවත්, ධර්මයට හිස නැමීම දේව දරුකමයි. අධර්මයට විරුද්ධ වීම නිසා වරප්‍රසාද අහිමිකරගෙන කුරුසිය අත්කරගැනීම කිතුනුවාගේ උරුමයයි. ඉතිං නිදහස ගැන මිථ්‍යාව පැතිර ඇති මේ මොහොතේ එම මිථ්‍යාව තුළ සිරවී සිටින අපම අප ගැන කරගන්නා ස්වයං පාපොච්චරණයකි මෙය. දේව වචනයට ඇහුම්කන් දෙන්නට ලැබෙන ඇරයුමකි මෙය.

මෙය අභියෝගයකි.

දෙවිඳුන්ගේ කැමැත්ත එනම්, සාධාරණය, සහෝදරකම, සාමය හා නිදහස ඇති කරන පිණිස ලොව අධිපතීන්ගේ බහට අකීකරු වීමට ලැබෙන අභියෝගයකි මෙය. ඒ සඳහා දහදිය බිඳුවක්. කඳුළු බිඳුවක් පූජා කරන්නට පූජා වෙන්නට අවශ්‍යමය ඉතින් නික්මයන්නට පියවර තබමු අපි.


jesustoday 49 සතිය 2018 පෙබරවාරි 04

 

Comments powered by CComment