මම හරිම කම්මැලි ළමයෙක්. දැන් එහෙම කියන්නේ මම මයි. ඉස්සර එහෙම කිව්වේ අපේ අම්මා, තාත්තා, ආච්චි.

කම්මැලිකම කියන්නේ ජේසු මට දුන්න ජීවිතේ වටිනාකම හුඟාක් අඩු කරන පුරුද්දක් කියලා මට තේරුනේ ඊයේ පෙරේදා.

මාව උදේට ඇහැරවන එක අපේ ගෙදර ලොකුම යුද්ධය කියලා අම්මා කිව්වට මට ඒක තේරුනේ නෑ.

දහම් පාසලේ ළමා කඳවුර දවසේ අපි හැමෝටම පුංචි බයිබල් පාඨයක් ලැබුනා. ඒක අහම්බෙන් තමයි තෝරාගන්න තිබුනේ. මට හමුවුනේ මෙන්න මේ බයිබල් පාඨය.

කුහුඹුවාගෙන් පාඩම්

අලසය, කුහුඹුවා වෙත ගොස් ඌගේ
ගති පැවැතුම් බලා
නැණවත් වන්න.
ඌට නායකයෙන් නැත.
මුලාදැනියෙක් නැත
පාලකයෙක් නැත.
එහෙත් ඌ ගිම්හානයේදි
ආහාර සපයා ගනියි.
ගොයම් කපන සමයේදි
කෑම රැස් කර ගනියි
(හිතෝපදේශ 6/6-8)

ඉතිං මේ බයිබල පාඨය අපි කට පාඩම් කරගන්න ඕනි. මමත් ඉතිං කොහොම හරි කට පාඩම් කරගත්තා. ඊට පස්සේ අපිට තිබුණු ක්‍රියාකාරකම වුනේ කට පාඩම් කරගත්තු බයිබල් පදයෙන් ලැබෙන ආදර්ශය ගැන පේළි 5 ක රචනයක් ලියන්න. ඒ තුළින් තමාට ලැබුනු වැදගත්ම වචනය ගැන අනිත් අය ඉස්සරහ කියන්නත් අපිට කිව්වා.
ඇත්තම ඇත්ත කිව්වොත් මට තදින්ම හිතට වැදුනු වචනය තමයි ‘අලසය’ ඒක මටම දේව තාත්තා කියනවා කියලා තමයි මට හිතුනේ.

අලසය, අලසය, අලසය, අලසය,

ජීවිතේ තිබෙන්නේ කඩිසරව, උද්යෝගිමත්ව සතුටින් ජීවත් වෙන්න. දේව තාත්තා කැමැති නෑ අලසකමට. දේව තාත්තා කැමැති කඩිසරකමට. ඔන්න ඔය සිතුවිල්ල කඳවුරේදි මට තදින්ම දැනුනා. දැන් මම උදේට වේලාසන නැගිටිනවා. ඒ නිසා ගෙදරින් වගේම ඉස්කෝලේදිත් දැන් මම බැනුම් අහන්නේ හරි අඩුවෙන්. එදා අපේ කඳවුරේදි කියලා දුන්නු මෙන්න මේ සිංදුව නිසා කුහුඹු පාඩම මට කවදාවත් අමතක වෙන්නේ නෑ.

මිලිමීටර් දෙක තුනේ පුංචිම පුංචි කුහුඹුවාට පුළුවන්නම් ජීවිතේ ජයගන්න මට බැරි වෙන්නට බෑ මට පුළුවන් ඔව් මට පුළුවන් ජීවිතය ජය ගන්න ඉංචි දෙක තුනේ පැණි කුරුල්ලාට පුළුවන්නම් ජීවිතය ජය ගන්න මට බැරි වෙන්නට බෑ මට පුළුවන් ඔව් මට පුළුවන් ජීවිතය ජය ගන්න අඟල් දෙක තුනේ අවපැහැ පුංචි දළඹුවාට පුළුවන්නම් සමනළයෙක් වෙන්න මට බැරි වෙන්නට බෑ මට පුළුවන් ඔව් මට පුළුවන් ජීවිතය ජය ගන්න

 jesustoday 37 සතිය 2017 නොවැම්බර් 12