කටුකුරුන්ද රෝමානු කතෝලික මහ විiාලයේ සිසු දරුවන්ගේ “තරු එළියක් - 5” වාර්ෂීක නත්තල් සැමරුම ඉපදෙනු මැනවි යළිත් යන තේමාව යටතේ මෙවර පැවැතියේ දෙසැම්බර් 04 වෙනදාය.

එහිදි ඔවුන් ගැයු “කළමුල්ලෙ නත්තල් ගීතය” අප රටේම නත්තල් ගීතය සේ සැලකිය හැකිය.

ජුසේ වාස් මුනිදුනේ
ඔබේ දෙපා පහසිනේ
මිහිරියාව නත්තලේ
උදාවුනේ අපේ ගමට
අපේ රටට....

ලන්දේසි පීඩන සමය තුළ නත්තල් සැමරීම තබා නිවසක යාච්ඥා කිරීමද මරණයට, සිරගතවීමට හේතුවක් වු කාලයක ජුසේ වාස් පියතුමා පැමිණ රටේ කතෝලිකයින් නැවත ප්‍රාණවත් කළේය. එතුමා පැමිණ මේ 2017 වසරට 330 කි. එනම් එතුමා ලංකාවට ඉන්දියාවේ සිට පැමිණියේ 1687 දීය.

ජුසේවාස් පියතුමා ප්‍රථමයෙන් යාපනයේද, දෙවනුව පුත්තලමේද නැවතී සිටි අතර පසුව දකුණ බලා ධර්මදූත ගමනේ යෙදුණේය. ඒ ගමන බෙන්තර ගඟින් මෙපිටට සීමා විය. එනම් කළුතර දිසාවට සීමා විය. එකි කළුතර දිසාවට කළ ධර්මදූත සංචාරය සිදුවූයේ 1697 දීය. එතුමා ලංකාවට පැමිණ දස වසරකට පසුවය.

පාරුවක නැඟී කළු ගඟේ පළාතොට තොටුපළින් ලන්දේසි ඇල දිගේ එතුමා කළුතර කළමුල්ල ප්‍රදේශයට පැමිණ වෙරළු ගහ තොටුපලින් බැසවිත් ලැගුම්ගෙන ඇත්තේ බෝදියා බදගේ වෙළෙන්තිනු පෙරේරා නොහොත් වෙළන්ති රාළගේ නිවසේය. ජුසේවාස් පියතුමා මේ නිවසට පැමිණිමට හේතුවක් තිබුණේය. එය නම් වෙළන්තිනු රාළ මේ ප්‍රදේශයේ කතෝලිකයින්ව රහසින් සංවිධානය කළ පුද්ගලයා වීමයි.

වෙළන්තිනු රාළට එය කළ හැකි වූයේ විශේෂයෙන් ඔහුගේ රැකියාව නිසාය. ඔහුගේ රැකියාව වූයේ ඕලන්ද ඇල මාර්ගය භාවිතා කරන අයගෙන් බදු අය කිරීමය.

ඕලන්ද ඇල දියලගොඩ මෝයේ සිට පුත්තලම දක්වා විහිදුනු ඇල මාර්ගයක් විය. පුත්තලමේ සිටි ජුසේවාස් පියතුමාට වෙළන්තිනු රාළ ගැන දැන ගන්න ලැබෙන්නේ මේ ඇල මාර්ගය හරහාය. ලන්දේසින්ගේ ඇල මාර්ගය හරහාම ලන්දේසින්ගේ ඇල බද්ද අය කරන වෙළන්තිනු රාළ හරහාම පුත්තලමේ සිටි ජුසේවාස් පියතුමා කළමුල්ල පයාගල දියලගොඩ දක්වා පැමිණියේය.

මෙලෙස ජුජේවාස් පියතුමා කළමුල්ලට එන්නේ දෙසැම්බර් නත්තල් සතියේය. වෙළන්තිනු රාළගේ නිවසේ එතුමා නතර වූ කාමරයෙන් ගීතිකාවක හඬ ඇසීමෙන් නිවැසියා දිගු කලකට පසු දෙව් මිහිර අත්දුටුවෝය. ගොළුව තිබු ගී නැවත පණ ලබන ලකුණු දුටුවෝය.

h

එතුමා කළමුල්ලේ ‘පාළුවන්ත’ නමින් හැඳින්වෙන තැන පොල් අතු මඩුවක් තනවා එහි නත්තල් රෑ දිව්‍ය පූජාව පවත්වනු ලැබුවේ ලන්දේසි පීඩනයට බියෙන් සිටි ජනතාව එක් රැස් කර නැවත නත්තල උදා කරමිනි. ඒ 1697 දෙසැම්බර් 24 රාත්‍රීයේදීය. අදින් වසර 320 කට පෙරය. 

දෙව් යාගය ඇ සියල්ල
තහනම් වු අඳුරු කලෙක
නත්තල ගී ඇසුනේ නෑ
කැවුම් කොකිස් ඉදුනේ නෑ

සිඟන වෙසින් පා තබමින්
කනින් කනට කොඳුරා
රැස් කෙරුවා නත්තල් රෑ
අප මුතු මිත්තන් සෑම

ගවලෙන වගේ බෙත්ලෙහෙමේ
අතු මඩුවක කලමුල්ලේ
පුද කරමින් දෙව් යාගේ
යලි නත්තල් ගෙන ආවේ

ජුසේවාස් පියතුමා මඩුවේ නත්තල් රෑ දිව්‍ය පූජාව පවත්වා “මෙම නත්තල් පූජාව පැවැත්වු අතු මඩුව ජේසු බිළිඳුන්ගේ නමින් සදාකල් පවතිවායි” ප්‍රාර්ථනා කළ බව සඳහන් වේ. ඉතිං ඒ ප්‍රාර්ථනාව මල් පල ගැන්වී අද එතැන ජේසු බිළිඳු දෙව්මැදුරක් ඉදි වී ඇත. අද වන විට කලමුල්ල ග්‍රාමය කලමුල්ල මීසම මහා දෙව් මැදුරු පහක් ඉදි වු ගමක් බවට පත්ව තිබේ.

ජුසේවාස් පියතුමාව සභාව ශුද්ධවරයට එසවීමට පෙර කළමුල්ලේ ජනතාව එතුමාව තම ඇදහිල්ල තුළ ශුද්ධවරයට ඔසවා එතුමාගේ ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක් 1936 දී කළමුල්ල සාන්ත සෙබස්තියන් දෙව් මැදුරු භූමියේ ස්ථාපිත කරන ලදී. එය ශ්‍රී ලංකාවේ පළමු ජුසේවාස් ප්‍රතිමාවයි. කලමුල්ලේ ජනතාවට පමණක් නොව මුළු රටේම ජනතාවට ජුසේවාස් පියතුමා ගෙනා නත්තල් පණිවුඩය වූයේ “ජේසු වගේ ජීවත් වන්න” යන්නයි.

ජුසේවාස් පියතුමා පමණක් නොව සිංහල කිතුනු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන ජාකොමේ ගොන්සාල්වේස් පියතුමාද ධර්මදූත සේවාව සඳහා මාතර බලා ගිය ගමනේදි (1730 දී පමණ) කලමුල්ලේ දින කීපයක් නැවතී සිට ඇති බව පොත පතෙහි සඳහන් වේ.

පංච මහ දෙව් මැදුරු
ඉඳි වු අපේ ගම් පියසට
අද දවසේත් ඔබ කියන්නේ
ජේසු වගේ දිවි ගෙවන්න

(ගීතය බලන්න www.jesustodaysl.org)

 

jeusutoday 43 සතිය 2017 දෙසැම්බර් 24