කිතු සිරිත් මල්දම – 11

මගේ අතින් ඉස්කෝලේ ටැප් එක කැඩුනා. මට ආයේ ඉස්කොලේ යන්න බෑ කියලා අපේ යාළුවෙක් ගෙදර නැවතිලා දවස් ගානක්.

ඒක කියද්දී අපේ තව යාළුවෙක් කිව්වා. එගෝල්ලන්ගේ පන්තියේ ළමයෙක් ගෙදරදි තාත්තාගේ ෆෝන් එක එයා අතින් කැඩිලා. ඒකට බයේ ගෙදරින් පැනලා ගිහිල්ලා කියලා.

 

මේ කතා අහද්දී මට මතක් වූයේ මගේ පුංචි කාලේ.
දවසක් අපේ වඩු මඩුවේ මම පුංචි වැඩක් කර කර හිටියා. මුළු නාසරෙත් නුවරම වඩු වැඩ කරගන්න අපේ ගෙදරට ආවා. මගේ සුරැකි පියාණන් ඒ තරම් හොඳට වැඩ කළා. ඉතිං එදා මගේ සුරැකි පියා කඩමණ්ඩියට ගිහින් උන්නේ.

පුංචි ලී කෑලි වගයක් කියතෙන් කපමින් ඉන්න කොට තමයි මම දැක්කේ ඒ එක ලී ලෑල්ලක් බැංකුවක් හදන්න වෙන් කරපු ලී කෑල්ලක් බව. කොහොම හරි මම ඒ ලී කෑල්ලෙන් භාගයක්ම කපලා තිබුනේ.

ඉතිං මගේ අතින් වැරැද්දක් සිද්ධ වෙලා. මම මොකද කරන්නේ. මම කෙලින්ම ගියේ අම්මව හොයාගෙන. අම්මා මගේ මූණ බලපු ගමන් මෙහෙම කිව්වා.

‘මගේ පුතේ ඔච්චර හිතන්න එපා. වැඩ ඉගෙන ගන්නේ පුංචි පුංචි වැරදිම් සිද්ධ වෙලා තමයි. පුතා කියන්න තාත්තා ආවම එහෙම දෙයක් වුනා කියලා’

ඉතිං මම තාත්තා ආවම කිව්වා.

‘තාත්තේ මට සමාවෙන්න’ කියලා තාත්තා මට ඇහුම්කන් දීලා කිව්වා.

‘කමක් නෑ පුතා. එහෙම තමයි දේවල් ඉගෙන ගද්දී. අත් වැරදිම් සිද්ධ වෙනවා. ඒවා හිතලා කරන දේවල් නොවෙයි. ඒත් ඒ වගේ වෙලාවේදිත් ‘සමාවෙන්න’ කියලා කියන එක හොඳ දෙයක්’

වැරැද්දක් වුනාම හැංගෙන්නවත්, පැනලා යන්නවත් ඕනි නෑ. ‘සමාව ඉල්ලන්න’

‘වැරදි කරන්න ඕනි නෑ. ඒත් වැරදි වෙන්න පුළුවන් කියන දේ මතක තියා ගන්න. ඒවට දේව තාත්තා සමාව දෙනවා’ අපේ අම්මා මට කිව්වේ එහෙමයි.

කිතුනු දරුවන් ලෙස අපි ඉගෙන ගත යුතු වැදගත් යහගුණයක් තමයි සමාව ඉල්ලීම හා සමාව දීම.

දේව තාත්තා සමාව දෙන්නේ එතුමා දන්නවා වැරදි වෙන්න පුළුවන් කියලා. වැරදි වුණාම "Sorry" “සමාවෙන්න” අවංක සිතින් එහෙම කියන්න එය කිතුනු යහගුණයක්.


jesustoday 40 සතිය 2017 දෙසැම්බර් 03