පවතින තත්වය ගැන ඇන්ග්ලිකානු හා මෙතොදිස්ත රදගුරු තුමන්ලාගේ මතය මෙන්ම කතෝලික රදගුරු මඩුල්ලේ මතයද ප්‍රකාශයක් මගින් රටට ඉදිරිපත් කර තිබුනි. නමුත් දෙකට බෙදි ජනමාධ්‍ය හා දේශපාලකයින් ජනතාවට ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කරන වටපිටාවක ඉතා කෙටි ප්‍රකාශ මගින් ජනතාවට සැබෑ දේව හඬ හඳුනා ගැනීම අපහසුය.

 

වත්මන් දේශපාලන අර්බුදය පිළිබඳ කතෝලික ඇන්ග්ලිකානු මෙතොදිස්ත බැප්ටිස්ට් ආදි සියලු සභාවන්ගේ නායකත්වය එකතුව පොදු මතයක් රටට ඉදිරිපත් කරන්නේ නම් එය ඉතා වැදගත් බව අවධාරණය කරමු.

දිනෙන් දින බෙදි වෙන්වන දේශයක් තුළ අඩු ගණනේ කිතුනුවන් වත් එක මතයක සිට කටයුතු කිරීමේ ආදර්ශය පෙන්විය යුතුය.

පවතින තත්වය ගැන ඇන්ග්ලිකානු හා මෙතොදිස්ත රදගුරු තුමන්ලාගේ මතය මෙන්ම කතෝලික රදගුරු මඩුල්ලේ මතයද ප්‍රකාශයක් මගින් රටට ඉදිරිපත් කර තිබුනි. නමුත් දෙකට බෙදි ජනමාධ්‍ය හා දේශපාලකයින් ජනතාවට ප්‍රතිවිරුද්ධ අදහස් ඉදිරිපත් කරන වටපිටාවක ඉතා කෙටි ප්‍රකාශ මගින් ජනතාවට සැබෑ දේව හඬ හඳුනා ගැනීම අපහසුය.

කතෝලික රදගුරු මඩුල්ල නිකුත් කළ සංක්ෂිප්ත ප්‍රකාශයේ කරුනු දෙකක් අවධාරණය කර තිබුණි.

1. සාමාන්‍ය ජනයා පීඩාවට පත් කරන ආකාරයෙන් රට තුළ දේශාපලන අස්ථාවරත්වයක් ඇති වන ලෙස කටයුතු නොකරන්න.

2. රටේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව කටයුතු කිරීමට සියල්ලන් වග බලා ගන්න.

මේ කරුනු දෙකම දෙපාර්ශවය එකිනෙකාට ප්‍රතිවිරුද්ධව යොදා ගනී.

■ රාජපක්ෂ - මෛත්‍රී කණ්ඩායම පවසන්නේ තමන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බවත් රට අස්ථාවර කරමින් ව්‍යවස්ථා විරෝධිව ක්‍රියා කරන්නේ කථානායක ප්‍රමුඛ        රනිල්  ඇතුළු කණ්ඩායම බවත්ය.
■ රනිල් - කරු ප්‍රමුඛ පාර්ශවය පවසන්නේ මෛත්‍රී - මහින්ද පාර්වය ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කර රට අස්ථාවර කරන බවයි.

මෙවැනි තත්වයක් තුළ කෙටි ප්‍රකාශයකින් ඔබ්බට ගොස් තත්වය විවරණය කරදීම සැබෑ දිවැසිවර කාර්යභාරයයි. ඒ නිසා කිතුනු නායකයින් ඒ යුතුකම ඉටුකළ යුතුය.

අපගේ අදහස වන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකල හෝ අනුකූල නොවන බව විග්‍රහ කළ යුත්තේ වචනයක්, වගන්තියක් මත නොව සමස්ථ දර්ශනය මත වන බවයි.

ශුද්ධ වූ බයිබලයේ පණිවුඩය වචන වගන්ති මත නොව සමස්ථාර්ථය තුළ ගත යුතු බවයි අපට උගන්වා ඇත්තේ. වචන මත විග්‍රහ කොට මිනිමැරීමටත් බයිබලය යොදා ගත හැකිය.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධව රට තුළ පැවැති ප්‍රධාන විවේචනය ‘විධායක බලතල’ සහිත ක්‍රමය වෙනස් විය යුතු බවයි. ශ්‍රී ලංකා රදගුරු මඩුල්ල හා අනිකුත් සභාවන්ට අයත් ජාතික ක්‍රිස්තියානි මණ්ඩලය මේ පිළිබඳ ඉතා පැහැදිලි ස්ථාවරයක් බොහෝ කලක සිට ප්‍රකාශ කර ඇත.

එය නම් පවතින විධායක ජනපති දූරය අහෝසි කළ යුතු බවයි. ඒ නිසා පවතින තත්වය කිතුනුවන් විග්‍රහ කළ යුත්තේ එකී පදනම මත පිහිටාය.

ඒ අනුව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ගෙනා සංශෝදන තුනක් මෙහිදි සලකා බැලීය යුතුය.

1. 17 වන සංශෝධනය
එය ගෙනාවේ විධායක බලය අඩු කරන ස්වාධීන කොමිශන් සභා පිහිටුවීමයි. පාර්ලිමේන්තුව ශක්තිමත් කිරීමයි. ඒ සංශෝධනය පාර්ලිමේන්තුව සම්මත කරනු ලැබීය.
2. 18 වන සංශෝධනය
මෙය තනිකරම රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් තම බලලෝභි අරමුණු ඉටු කිරීමට ස්වාධින කොමිශන් සභා අහෝසි කර ජනපතිවරණයට ඉදිරිපත් වීමේ දෙවතාවක සීමාව අහොසි කර විධායක බලය තර කිරීමට ගත් පියවරකි. එය පාර්ලිමේන්තුවේ සම්තම වූයේ ප්‍රජාතන්ත්‍රවාදය හකුලා දැමීමක් ලෙසය.
3. 19 වන සංශෝධනය
මෙය මෛත්‍රීපාල - රනිල් යහපාලනයේ ප්‍රධාන පොරොන්දුවක් ඉටු කරමින් විධායකයේ බලතල අඩුකර පාර්ලිමේන්තුව ශක්තිමත් කර ස්වාධින කොමිශන් සභා නැවත ඇති කිරීමට ගෙනාවකි.

මෛත්‍රී ජනපති ඒ ගැන දේශියවද ජාත්‍යන්තරවද කීවේ තමාගේ බලතල අඩුකරගත් ලෝකයේ එකම නායකයා තමා බවයි. එය ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කිරීමක් බවයි.
මේ පසුබිම මත දැන් පවතින ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංකල්ප රාමුව හා මූලධර්ම රාමුව (සමස්ථ අර්ථය) විධායක බලය වෙනුවට පාර්ලිමේන්තුව බලය ශක්තිමත් කර තිබීමයි. තවත් පැහැදිලිව කීවොත් ව්‍යවස්ථාව අර්ථ දැක්විය යුත්තේ විධායක බල ශක්තිමත් කළ 18 වන සංශෝධනය අනුව නොව එය දුර්වල කළ 19 වන සංශෝධනය අනුවය.

මේ පසුබිම තුළ අපට පැහැදිලිවන්නේ මෛත්‍රී - මහින්ද පාර්ශවය දිගු කලක් කිතුනුවන් දැරු ස්ථාවරයට පටගැනිව ක්‍රිය කර ඇති බවයි. එසේ කිම රනිල් පාර්ශවයට වාසියක් විය හැකි නමුත් සත්‍ය්‍ය එයයි.

දේව රාජ්‍ය ගොඩනගන දේශපාලනයක්, සාමය ගොඩනගන දේශපාලනයක් කිතුනු දේශපාලන දැක්ම බව සුදතුම් පියවරු අවධාරණය කර ඇත. අධිපතිවාදි රාජකීය බවක් ආරෝපනය කිරීම දේව කැමැත්තට පටහැනිය.

මෙරට පවතින සුළු පිරිසක් සනසන ප්‍රධාන දේශපාලන පෙරමුණු දෙකේම දේශපාලනය දේව රාජ්‍ය උදාකරන, සාමය උදාකරන දේශපාලනයක් නොවන බව ඉතා පැහැදිලිය. ඒ නිසා කිතුනුවා ගත යුත්තේ මේ බල කණ්ඩායමේ දෙකටම අභියෝග කරන ස්ථාවරයකි.

කතෝලික රදගුරු මඩුල්ලේ ප්‍රකාශනය විස්තර කළ විට එළඹිය හැකි නිගමනය ඉතා පැහැදිලිය. විධායක බලතල යොදාගෙන බහුතරයක් නැති බව ඉතා පැහැදිලිව පෙනෙන පිරිසකට බලය පැවරීම හා ඒ සදාචාර විරෝධි නීති විරෝධි ක්‍රියාව සාධාරනිකරණය කිරීමට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම බලය හා ජනමාධ්‍ය යොදා මුසාවාද ජනගත කරන ක්‍රියාවලියට සැබෑ වූ එකම දෙවියන්ට වන්දනා කරන කිසිවෙකුට වචනයකින්වත් සහය දිය නොහැකිය.

අප අවධාරණය කළ යුත්තේ සියලු ජාතින්ට සාධාරණය ඉටුකරන නව ව්‍යවස්ථාවක් ආර්ථීක ක්‍රමයක් ආයතන ව්‍යුහයක් ඇති කරන සැබෑ වෙනසක් සඳහා දැන්වත් සියලු දෙනා එකතු වී පවතින ක්‍රමය (දේව විරෝධි) වෙනස් කළ යුතු බවයි. එයයි දේව කැමැත්ත.

සනත් පෙරේරා කළුතර

Jesustodaysl 2 වන වසර 37 වන සතිය 2018 නොවැම්බර් 25 

 

Comments powered by CComment