නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ රට තුළ මේ මොහොතේ  ඇති වී තිබෙන කථා බහ ගැන මෙතෙක් ශ්‍රී ලංකා රදගුරු මඩුල්ල නිල අදහසක් ප්‍රකාශ කර නැත.

ශ්‍රී ලංකාව තුල ජීවත්වීමේ අයිතිය පිළිබඳ සැලකිල්ලට ගත් විට ගබ්සාව තරමටම හෝ ඊටත් වඩා වැදගත් කමක් ව්‍යවස්ථා සම්පාදන කටයුත්තට හිමි වේ. අවසානාවට ගබ්සාව ගැන දක්වන උනන්දුවෙන් අංශුමාත්‍රයක්වත් ව්‍යවස්ථාව පිළිබඳ නිල කතෝලික සභාව නොදක්වයි. එය දිවැසිවර කාර්්‍යය අතපසු කිරිමකි.

වර්තමාන මොහොත තුළ රදගුරු මඩුල්ල යමක් නොකීවද පසුගිය වසර 20 ක පමන කාලය තුළ ශ්‍රී ලංකා රදගුරු මඩුල්ල නිකුත් කල ප්‍රකාශන තුල විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම, ජාතික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් සඳහා පුළුල් බලය බෙදාහැරිමක් සිදු කිරිම, මනාප ක්‍රමය වෙනුවට ජනතාවට වගකියන මැතිවරණ ක්‍රමයක් ඇති කිරීම අත්‍යාවශ්‍ය බව කීප වරක්ම අවධාරණය කර ඇත. ඒවා නැවත නැවත උපුටා දැක්වීම අවශ්‍ය නැතැයි අපි සිතමු.

විශේෂයෙන් සැබෑ බෞද්ධයින් නොව රාජපක්ෂ රෙජිමයට ආවඩන අන්තවාදි ජාතිවාදි පිරිස් තම ව්‍යවස්ථාව පිළිබඳ රට තුල ඇති කරන දුර්මත නිසා මේ වැදගත් කතිකාවට කිතුනු ආලෝකය ලබා දීම හකුලා ගෙන සිටින තත්වයට සභා නායකයින් පත්වෙනවා නම් එය ජේසුස් වහන්සේට වඩා මහින්ද රාජපක්ෂව ලොකු වීමක් බව කිව යුතුය.

කාඩිනල් හිමිපාණන් රාජපක්ෂ මතයට උපකාරිවන රාජ්‍ය අනාගමික කිරීමට යනවාය යන කරුණ ගැන පමණක් අදහස් දක්වා අනෙකුත් සාධානීය යෝජනා ගැන කිසිවක් නොකියා සිටීම මගින් සිදුකරන්නේ ව්‍යවස්ථා සංශෝධන විරෝධි ජාතිවාදින්ගේ බල ව්‍යාපෘතියට අනියමින් උපකාර කිරීම බව වටහා ගැනීමට බැරිකමක් එතුමාට නැතැයි අපි නොසිතමු.

සිදුවිය යුත්තේ රටේ මූලිකව නීතිය සංශෝධනයට ලක් කරමින් එය වෙනස් කිරීමට උත්සහ දරන මේ මොහොතේ එය රටේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදෙන ලියවිල්ලක් බවට පත් කිරීමට සාධනීය යෝජනා ඉදිරිපත් කිරිමයි. ඒ සඳහා නිර්භවයට ඉදිරිපත් වී යුගයේ දිවැසිවර කාර්්‍යභාරය ඉටු කිරීමට කතෝලික රාජගුරු මණඩලයට ද ජාතික ක්‍රිස්තියානි මණ්ඩලයටද හැකිවේවායි පතමු. ඒ සඳහා ක්‍රියාකරන්නෙයි ඔවුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

 

jesustoday 34 සතිය 2017 ඔක්තෝම්බර් 22