පේදුරුගේ පරපුරේ ගිහි පූජකයා


October 8, 2017 5:24 am

කැනිසියස් ප‍්‍රනාන්දු තම මිතුරන්ගෙන් දිවි පිදු පේදුරුගේ පරපුරට අයත් ගිහි පූජකයෙකි. ඔහුව මරා දැමුවේ ඔක්තෝම්බර් 05 වෙනිදාය. මේ සටහන ඔහුගේ අනුස්මරණය වෙනුවෙනි.
”තම මිතුරන් වෙුනවෙන් දිවි පිදීමට වඩා උතුම් පේ‍්‍රමයක් තවත් නැත.”
(ජේසුස් කි‍්‍රස්තුස් වහන්සේ)
හේ සැබවින්ම තම මිතුරන් උදෙසා දිවි කුසුම පුද කළ පේදුරුගේ පරපුරට අයත් ගිහි පූජකයෙකි.
ඩබ්ලිව්. ඬේවිඞ් ප‍්‍රනාන්දු හා ලැටීෂියා ප‍්‍රනාන්දුට දාව අට දෙනෙකුගෙන් යුතු පවුලක දෙවනියා ලෙස 1963 සැප්තැම්බර් 28 වෙනි දින ඔහු මෙලොව එළිය දුටුවේය.
පුංචි රෝමය හෙවත් මීගමුවේ සරල කිතුනු විශ්වාසය තුළ දිවි ගෙවූ ධීවර පවුලක අඟහිඟකම් නැතිබැරිකම් අතර වුව සුපුරුදු ආදරණීය ලෙංගතු බව තුළ හැඳුනු වැඩුනු කැනීෂියස් කුඩා පාඩුව දෙමළ කනිෂ්ඨ විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීය. හතරවෙනි ශ්‍රේණියට පමණක් උගත් ද පැණවතුන් හා නැණවතුන්ගෙන් සඟවා බාලයන්ට දෙවිඳුන් තිළිණ කරන ප‍්‍රඥාව නොඅඩුව ඔහුට හිමි විය. යාන්තම් නව යෞවනයට එළඹෙත් ම කරදිය වළල්ල පෑගූ ඔහු රළ එන අතට නොව උඩු අතට ඔරුව පැදයන්නට විය. වාරකන්, වළාලය, හුළං කෝඩ, වැහි කුණාටු අතර මැද ජීවිතය පරදුවට තබා ජීවිතය සොයා යන ගමන තුළ ඔහු, සරල මිනිසාට හමුවන ආලෝකමත් ප‍්‍රඥාව අත්දැකීමෙන් අයිති කරගත්තේය.
ධීවරයාට හිමි සාමුහික සහෝදරාත්මක හැඟීම, ජීවිත අරගලය තුළින් දායාද කරගත් මේ තරුණ ධීවරයාගේ හදවත තම කුටුම්භයේ සුඛවිහරණයට පමණක් යොමු වූවක් නොවීය. නිතැතින්ම එය ධීවර රැුහේ සුබසිද්ධිය උන්නතිය ගැන දැල්වුණු හදවතක් විය. ඒ හදවත හඳුනාගත් සදාසරණ කන්‍යාරාමයේ ගරු ලූසී පැවිදි සොයුරිය ජනතාව අතර නායකත්වයක් ගෙන කටයුතු කිරීමට තරුණ කැනීෂියස්ව දිරි ගැන්වූවාය.
රැුකියාව උදෙසාම බත්තලංගුණ්ඩුව, කල්පිටිය, කල්ලාර්, සිලාවතුරෙයි මන්නාරම ආදි ප‍්‍රදේශවලට විටින් විට සංක‍්‍රමණය වීමේදී, ලංකාවේ කොතැනත් සිංහල දෙමළ මුස්ලිම් කොයි ජාතියට අයත් වුවත් ධීවරයින්ගේ ජීවිතය දු:ඛිත ඉරණමකින් වැසී තිබෙන බව ඔහුට හඳුනා ගැනීමට හැකි විය. ඒ වන විටත් කුඩා පාඩුව වඩුවලර් ධීවර සමිතියේ සමාජිකයෙකු ලෙසද සාන්ත තෝමස් ධීවර සමිතියේ භාණ්ඩාගාරික ලෙසද කි‍්‍රයාකර තිබූ ඔහුට ධීවරයින් ඒකාබද්ධ කිරීම් අවශ්‍යතාවය දැනී තිබුණි. ඒ සඳහා වූ එක් පියවරක් ලෙස වැල්ල වීදිය කුඩා පාඩුව ඒකාබද්ධ ධීවර සංවිධානයේ භාණ්ඩාගාරික ලෙස ගම් මට්ටමින් ධීවරයාගේ එකමුතුකම උදෙසා වැඩ කිරීම ඇරඹුනි.
බැතිමත් කිතුණුවෙකු වූ ඔහු සම්ප‍්‍රදායික ආගම් භක්තියේ උරුමකරුවෙකු විය. ඒ නිසාම ඇතැම් අවස්ථාවල ඔහු සභාව හා ජනතාව අතර තෝරා ගැනීම් වලදී ගැටළුවකට මුහුණ දුන්නේය. කුඩා පාඩුව මීසම් සභාවේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කිරීමේදී ඇතැම් අය ඔහුව හඳුනාගත්තේ සභාවට ගැති අයෙකු වශයෙනි. උපතින්ම උරුම වූ පූජක බැතිය තිබුණද, ඔහු භක්තිවන්තයෙකු වූවද ගැත්තෙකු නොවීය. නිල සභා නායකත්වය ජනතාවගේ ප‍්‍රශ්න උදෙසා සැබෑ නායකත්වයක් නොසපයන බව කෙමෙන් කෙමෙන් අවබෝධකර ගත්තේය. මීගමුව කළපුවේ පරිසරය රැුකගැනීමටත්, ධීවර ජන අයිතිවාසිකම් පොදුවේ දිනා ගැනීමටත් විමුක්තිදායක කි‍්‍රස්තියානිය තුළ සංවිධානගත වීමේ කි‍්‍රයාකාරිත්වය තුළින් පෞද්ගලික ගැලවීමට කොටු කළ නොහැකි ජනතා ගැලවීම පිණිස දිවි දුන් විමුක්තිදායක කිතුතුමන්ව වඩා හොඳින් හඳුනා ගැනීමට කැනිෂියස්ට හැකිවීමත් සමඟම ඔහු නව ජවයකින් පොදු ධීවර අරගලයට ඇතුළු විය. එහි ප‍්‍රතිඵලයක් ලෙස ලංකාවේ පළමු ධීවර වෘත්තීය සංගමය වන සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තිය සංගමයේ භාණ්ඩාගාරික ලෙස විශාල වැඩ කොටසක් ඉටු කිරීමට ඔහු යොමුවිය.
ඒ වන විටත් දරු දෙදෙනෙකුගේ පියෙකු වූ කැනීෂියස් පවුල වෙතම කොටුවීම කි‍්‍රස්තියානිය නොවන බව වටහා ගත්තේය. කැනීෂියස් හුදකලා මිනිසෙකු නොවීය. උතුරෙත් දකුණත් නැගෙනහිරත්, බටහිරත් එකට පෙළගැසී අයිතීන් දිනාගන්නා දවසක් ගැන සිහින මැවූ මිනිසෙකි. ඒ සිහිනය සැබෑ කර ගැනීම සඳහා සංවිධානාත්මකව සටන් කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමට කාලය ශ‍්‍රමය වැය කළ මිනිසෙකි. ඒ කැපවීමේ මිල ජීවිතයෙන් ගෙවීමට වුව සිදුවන බව දැනසිටි මිනිසෙකි. ඔහු හුදු වෘත්තිය සමිති කි‍්‍රයාධරයෙකු නොවීය. ධීවර සමිති කි‍්‍රයාකාරීත්වය අතරතුරම ධීවර දරුවන්ගේ අධ්‍යාපනය හා අධ්‍යාත්මය නැංවීම කෙරෙහි දැඩි වුවමනාවකින් පසුවිය. ධීවර දරුවන්ට විවෘත නොවන කිතුණු පාසල් පද්ධතිය ගැන මෙන්ම දුප්පත් ධීවර දරුවන්ගේ පාසල් සභාව විසින් නොසලකා හැරීම ගැන ඔහු තුළ වූයේ වේදනාවකි. සුනාමි අවස්ථාවේදී ධීවර දරුවන් වෙනුවෙන් විදෙස් රටක කම්කරුවන් එවූ මුදලක් ධීවර දරුවන්ට ප‍්‍රතිලාභ නොලැබෙන පාසල් සඳහා නිල සභාව වැය කිරීම ගැන පුවතක් ඔහුගේ සිත කම්පා කර තිබුණි. විකල්පයක් ලෙස ධීවර දරුවන් සඳහා ළමා සමාජ ක‍්‍රමයක් ක‍්‍රමවත්ව අඛණ්ඩව වර්ධනය කර, තිබෙන සීමිත අවස්ථා වලින් උපරිම ප‍්‍රයෝජන ගැනීමට දරුවන් උනන්දු කරවීමේ අවශ්‍යතාවය ගැන ඔහු නිිතර කතා කළේය.
විමුක්තිය හා ගැලවීම ලබා ගැනීම එක්ව කළයුතු නිරන්තර අරගලයක් බව තේරුම් ගනිද්දී, පක්ෂ තුළ ආදි ලෙස බෙදුනු ධීවරයා එක්සත් කිරීමත්, පවුල් වල අපේක්ෂා සමඟ පොදු අරගලයේ කටයුතු කිරීමේදී කුටුම්භයේ සහය ලබා ගැනීමත් ඉබේ සිදු වන්නක් නොවන බව ඔහුට දැනුනි. ඒ නිසාම ධීවර පවුල් හා ජනයා විමුක්තිදායක කි‍්‍රස්තු අධ්‍යාත්මයෙන් පෝෂණය කිරීමේ විකල්ප වැඩසටහන් සංවිධානය කිරීමේදී ඔහු මූලිකත්වයක් ගත්තේය. ඔහුගේ මරණයට පෙර පාස්කුවේදී ධීවරයින් සඳහා මෙන්ම ධීවර පවුල් සඳහාද සංවිධානය කළ පාස්කු වැඩ සටහන් වලින් ඔහු ලද අවබෝධය ඔහු වචනගත කළේ මෙසේය.
”ඇත්ත ජේසුව අපි දකින්නේ දැනුයි. එදා ජුදා සභාවේ පූජකයින් වගේ අදත් ඇතැම් පූජකයින් ජේසුගේ විමුක්තිය මරාදමන්න හදනවා කියන එක පැහැදිලියි. එකමුතුව අරගල කිරීමෙන් හැර ජේසුට සාක්ෂි දරන්න බැහැ. ජේසුව අපිට හමුවන්නෙත් ඒ අරගලය තුළ”
මීගමුවේ දුප්පත් ධීවරයාගේ අරගලයට හා ධීවර එකමුතුකමට විරුද්ධව ප‍්‍රාදේශීය දේශපාලකයින් හා එකතුව ඇතැම් පූජකවරු ගෙනගිය කි‍්‍රයාදාමයක් කැනීෂියස්ට ජේසුගේ මරණය හා එදා සිට පරිසි පූජක නායක සම්බන්ධය තේරුම් ගැනීම පහසු කර තිබුණි. ව්‍යාජ නායකත්වයක් මඟින් හෙම්බත් කර මංමුලා කරනු ලැබූ බැටළුවන් පිරිසක් බවට පත්ව සිටි ධීවරයන් දිනාගැනීමටත් ඔවුන් පෝෂණය කිරීමටත් පේදුරු නම් මහා ධීවරයාගේ පරපුරේ කෙනෙකු ලෙස ඔහු පෙරමුණ ගත්තේය.
‘ඔබ මිනිසුන් දිනන්නෙකු විය යුතුයි’ සමිඳුන් ඔහුගේ හදවතට කථා කර තිබුණි. ඔහු ඊට අවනත විය. මසුන් අල්ලන්නෙකු පමණක් නොවී ඔහු මිනිසුන් දිනන්නෙකු ද විය. ඔහු මිනිසුන් දිනුවේ ධන බලයෙන් හෝ නිල බලයෙන් නොවේ. මිනිසුන්ගේ ප‍්‍රශ්න තමාගේම ප‍්‍රශ්න බවට සලකා කටයුතු කිරීමෙනි. මුහුද පොදු සම්පතක් වුවත් පොදු සම්පත් පෞද්ගලික හා රාජ්‍ය දේපල බවට පත් කරගත් ක‍්‍රමය අනුව මුහුදේ ඇති දේශ සීමා ඉක්මවා යාම හේතුවෙන් විවිධ රටවල ධීවරයින් අනෙක් රටවල අත් අඩංගුවට පත් වේ. එසේ අත් අඩංගුවට පත් වී මාස ගණන් අවුරුදු ගණන් හිර ගෙවල දුක් විඳිති. නමුත් මෙකී මුහුදු සීමාවන් ඉක්මවා මත්ස්‍ය සම්පත් මංකොල්ල කන විශාල සමාගම්වල නැව් හා යාත‍්‍රා වලට දුප්පත් ධීවරයින්ට අත්වන ඉරණම අත් නොවේ. කලාතුරකින් එසේ වුවත් ලොකු ලොක්කන් මැදිහත් වී ඉක්මනින් ඒ ප‍්‍රශ්න විසඳා ගනී.
අපේ ධීවරයින් ඉන්දියාවේ සිරගෙවල දුක් විඳින විට හා ඔවුන්ගේ දරුවන් කුසගින්නේ පෙළන විට ඔවුන් වෙනුවෙන් මැදිහත් විය යුතු රාජ්‍යය හා ඔවුන්ගේ කානික්කා වලින් යැපෙන සභාවත් ඔවුන් බේරා ගැනීමේ යාන්ත‍්‍රණයක් කි‍්‍රයාත්මක නොකරන නිසා ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන හා බන්ධනාගාර නිලධාරිහු එක්ව ලක්ෂ ගණනින් මුදල් අය කර පස්සා දොරින් ඔවුන් නිදහස් කරන මාෆියාවක් කි‍්‍රයාත්මක කරති. කැනීෂියස් ඉන්දියාවට ගියේ අත්අඩංගුවට පත් වූ ධීවර සහෝදරයින් පිරිසක් එම මාෆියාවට යට නොවී නිදහස් කර ගැනීම සඳහාය.
එසේ නොගොස් සම්මත අයුරින් තම බිරිඳ හා දරු දෙදෙනා පමණක් රැුක බලාගෙන සිටීමට ඕනෑ තරම් ඔහුට ඉඩ තිබුණි. නමුත් ඔහු තම දරුවන් සේම අනිත් පවුල්වල දරුවන්ගේ යහපත ද අපේක්ෂා කළ සැබෑ කිතුණුවෙක් විය. ධීවරයින් නිදහස් කර ගැනීම සඳහා මේ සාධාරණ යුක්තිගරුක අව්‍යාජ නිරායුධ මිනිසා ගත් උත්සාහයේදී ඉන්දියාවේ බන්ධනාගරයේ නිලධාරියෙකු විසින් වෙඩි තබා ඔහුව ඝාතනය කරන ලදී.
කැනීෂියස්ව මරා දැමූ වෙඩි උණ්ඩය පත්තු කළේ බන්ධනාගාරයේ නිලධාරියෙකු වුවද එසේ වෙඩි තැබීමට පිටුබලය සැපයූ දුෂ්ඨ ජරාජීර්ණ ක‍්‍රමය පවිටු දේශපාලකයින්, කොමිස් ගහන්නන් විසින් ඇති කරන ලද්දකි. ඒ නිසා එය මේ දුෂ්ඨ ක‍්‍රමය විසින් කරන ලද ඝාතනයකි.
ඔහුගේ මරණය හැඟුම්බර බවේ හෝ වැඩක් කර ගැනීමේදී මේ ලෝකයේ ප‍්‍රඥාව නැතිකමේ ප‍්‍රතිඵලයක් නොව අසාධාරණයට එරෙහිව නැඟී සිටීමේද තම මිතුරන් වෙනුවෙන් ඉදිරිපත්වීමේ ද ප‍්‍රතිඵලයකි. යුක්තිය සාධාරණය වෙනුවෙන් සටන් කිරීම සැරසිල්ලක් හෝ ව්‍යාපෘතියක් කර නොගත් මිනිසෙකු වූ කැනීෂියස්, වචනය දේශනා කරන කථා කරන කි‍්‍රස්තියානිය වෙනුවට වචනය අසා එය දිවි හිමියෙන් පිළිපදින කි‍්‍රස්තියානිය ජීවත් කළ අපේ කාලයේ සැබෑ පූජකයෙකි.
කැනීෂියස් යන්නෙහි අරුත ”සුවිශාල ’හෙවත්’ ඉමහත්” යන්නයි. නමට සරිලන සේම ඔහු සතු වූයේ අනෙකා තමාය කියා සලකන සුවිශාල හදවතකි. ඉමහත් වූ පේ‍්‍රමයකි.

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696