“දැන්වත් මා වෙතට හැරෙන්න”


February 11, 2018 8:46 am

අළු බදාදාට මෙනෙහි කිරිමක්.

“දැන්වත් මා වෙතට හැරෙන්න”

චතාරික කාලයට පිවිසෙන දිනය අළු බදාදාය.
අළු බදාදා පූජාව වෙනදාට වඩා වෙනස්ය.
වෙනස වන්නේ එදිනට විශ්වාසිකයින්ගේ නළලේ අළු තැවරීමයි.
එය නිකම්ම අළු තැවරීමක් නොවේ. අළු තවරන අතර මෙසේ පවසයි. ”දුහුවිල්ලෙන් සැදුනු නුඹ නැවත දුහුවිල්ලට හැරෙන්නේය”
එය කවියක් වාගේය. ඒ කාව්‍යමය පැවසීම මිනිසුන්ගේ හිතට වදින්නේ නැත.
සිතට වදින්නට අමුවෙන් කිව්වොත් එය මේ වාගේය.
”මතක් කරගනිං උඹ මැරෙනවා”
ඇයි මේ මරණය මතක් කරන්නේ. මරණ භය ඇති කරන්න නොවේය.
”මැරෙන බව දැනගෙන ජීවත් වෙයං” ”ඔය කරන වැරදි අත් හැරලා දාලා යහපත් මිනිහෙක් වෙයං” කියන දේ කියන්නටය.
අළු තවරා ආරාධනා කරන්නේ පශ්චාත්තාපයකටය.
”උපවාසයෙන්ද වැලපීමෙන්ද මුළු සිතින් දැන්වත් මා වෙත හැරි එන්න. වත ඉරාගෙන නොව සිත ඉරාගෙන නුඹේ දෙවි සමිදුන් වෙත හැරි එන්න” (ජොවෙල් 2/12-18)
බොරු සෝබනයට පිටතින් අළු තවරා කළු පොරවා කරන පශ්චාත්තාපයක් නොව සිත ඉරා ගන්නා සැබෑ පශ්චාත්තාපයක් ඇති කරගන්න. එයයි මේ ඇරයුම.
”දැන්වත් මා වෙත හැරෙන්න” එහෙම කියන කොට ඒකෙන් කියවෙන්නේ ‘තවමත්’ අපි දෙවිදුන් වෙත හැරි නැති බව නේද ? ‘තවමත්’ අපි දෙවිදුන්ට පිටුපා ඇත බව නේද ?
එහෙමයි කියලා පිළිගන්න ටිකක් අමාරුයි නේද ? අපි හිතන් ඉන්නේ අපි දෙවියන් වෙත හැරිච්ච යහපත් කිතුනුවන් බව නේද ?
සමහරු යම් යම් පැතිවලින් දෙවිදුන් වෙත හැරිලා ඇති. ඒත් තව බොහෝ පැති වලින් දෙවිදුන් වෙත හැරිලා නෑ කියන එක තමයි ඇත්ත.
ඇත්තටම දෙවිදුන් වෙත හැරෙනවා කියන්නේ මොකක්ද ?
පල්ලිය දෙස හැරෙන එකද ?
පුරුවමි දස බලන එකද ?
දෙවියන් වෙත හැරෙනවා කියන්නේ
සත්‍ය වෙත හැරීම යි
යුක්තිය වෙත හැරීම යි
සාධාරණය වෙත හැරීම යි
පේ‍්‍රමය වෙත හැරීම යි
සහෝදරයා වෙත හැරීම යි
පීඩිතයා වෙත හැරීම යි
අපි කොතරම් නම් පාපිෂ්ට දේශපාලකයින් වෙත හැරි සිටිමුද ? ගෙවුනු මාසය පුරාම දේශපාලන පක්ෂ වෙත හැරී කටයුතු කළාද ?
අපි කොයිතරම් ජාතිවාදය වෙත හැරී සිටිමුද ?
දෙමළ සහෝදරයා ගැන, මුස්ලිම් සහෝදරයා ගැන කොයිතරම් බොරු ප‍්‍රචාර ඇත්ත සේ පිළීගෙන සිටිනවා ද ?
ජේසු තුමන් පවසන්නේ කුමක්ද ?
”ලෝකයා ඉදිරියේ ඔබේ පුන්‍ය ක‍්‍රියා නොකරන්න. එසේ කළොත් ඔබ විපාකයක් නොලැබෙන්නේය” හොරණැ නොපිඹින්න. වමතින් දෙන දේ දකුණතට නොදැනේවා ” (මතෙව් 6/1-6, 16-18)
ජේසුගේ මේ වදන් අපි පිළිපදිනවාද ?
පූජක තුමන්ලා රදගුරු තුමන්ලා ආදින් පවා ආධාර උපකාර දෙන්නන් ගැන ප‍්‍රශස්ති ගායනා කොපමණ නම් කරනවාද ?
නම කියාගන්නා දේවලට මිස එසේ නොවන දේවලට ආධාර උපකාර කරන්නේ කීයෙන් කී දෙනාද ?
පසුගිය මාසයේ දෙකේ මංගල්‍ය වලදි පුරාජේරු ප‍්‍රකාශ කරන ව්‍යාජ දාන ධර්ම කොපමණ ප‍්‍රදර්ශනය වුනාද ? එසේ නොකරන්නැයි කියන්නට දිවැසිවර හඬවල් තිබුනේම නෑ නේද ? මල් වෙඩි, සංගීත ප‍්‍රසංග, මහ බත් දාන, සංදර්ශන වලින් මේ ජේසු වදන තුට්ටුවකට මායිම් නොකරන හැටි පූජක පැවිදි ගිහි සෑම බලාසිටියා නොවේද ?
දැන්වත්
දැන්වත්
දැන්වත් මා වෙත හැරෙන්න.
මේ හඬට කන්දෙමු.
එක් දෙයකින් හෝ හැරෙන්නට තීරණයක් ගමු
ඒ තීරණය නැති අළු තවරා ගැනීම
ජේසු කියන ආකාරයේ
ලෝකයට පරකාසයක්ම පමණි.
jesustodaysl 50 සතිය 2018 පෙබරවාරි 11

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696