මුස්ලිම් ජනතාව දෙස


August 6, 2017 7:45 am

මුස්ලිම් ජනතාව දෙස ප‍්‍රැන්සිස් ආකල්පයෙන් බලමු – 1


අයි. එස්. ක‍්‍රියාකාරිත්වය සමඟ ලොව පුරා වෙසෙන මුස්ලිම් විරෝධි හැඟීම් සහිත පිරිසට තම මුස්ලිම් විරෝධය ඉතා හොඳින් මුදා හැරීමට සරු පසුබිමක් ගොඩනැගුනි.
‘‘මුස්ලිම් විරෝධය’’ යට සැඟ වී ඇත්තේ වෙළඳ පොල ධනවාදය ආගම්වාදය හා ජාතිවාදය බව සෘජුවම පැවැසිය හැකිය.
ශ‍්‍රී ලංකාව තුළ ද ශී‍්‍ර ලංකාවේ කිතුනු සභා තුළ ද ‘‘මුස්ලිම් විරෝධය’’ ඉස්මතු වී තිබේ. අපගේ මෙම ලිපියේ අරමුණ වන්නේ එකි ‘‘මුස්ලිම් විරෝධය’’ දෙස දේව ධාර්මික බැල්මක් හෙලීමයි.
කිතුනුවන්ගේ මුස්ලිම් විරෝධයේ හේතු මොනවාදැයි අපි සංවාදයකදි ඇසුවෙමු.
1 ‘‘අයි. එස්. ත‍්‍රස්තවාදින් කිතුනුවන්ව මරා දමනවා, ඵලවා හරිනවා. කිතුනු දෙව්මැදුරු විනාශ කරනවා’’
2 ‘‘ඔවුන් සූක්ෂවම තම ජනගහනය වර්ධනය කරනවා. ඔවුන් රට අල්ලා ගනිවි’’
3 ‘‘ඔවුන් හැම තැනම වෙළඳ ආධිපත්‍ය දරනවා’’
4 ‘‘ඔවුන් සිංහලයින් වඳ කිරිම සඳහා විවිධ දේ කරනවා’
මේ මුස්ලිම් විරෝධයේ පදනම් ලෙස ඔවුන් මතු කළ අදහස්….
මුස්ලිම්වරුන් දරුවන් වැඩි පිරිසක් සෑදීම ඔවුන්ගේ සමාජීය හා ආගමික නැඹුරුවක්, රදගුරුවරුන්, පූජකවරුන්, මහානායක හිමිවරුන්, සංඝයාවහන්සෙලා පසුගිය වර්ෂ ගණනාවක් පුරා තම ආගමිකයින්ගෙන් පවුල් සැලසුම් නොකර දරුවන් හැකි තරම් හදන ලෙස ඉල්ලා කළ ආයාචනයට කිතුනු බොදුනු ජනතාව ප‍්‍රතිචාර නොදක්වා ඇත්තේ ඇයි ? සිතා බැලිය යුත්තේ එයයි. ආගමික හෝ ජාතික අර්ථයකින් දරුවන් සෑදීම දේව කැමැත්තද?
යම් ජාතියක් ගණනින් වැඩි වර්ධනය වීම එම ජාතියට විරුද්ධව මර්ධනය දියත් කිරිමෙන් යටපත් කල නොහැකි අතර එසේ කිරිමද දේව කැමැත්ත නොවේ.
නික්මයාම පොතේ ආරම්භයේදි ගණනින් වර්ධනය වන ඊශ‍්‍රායල් ජනතාව මර්දනය කර යටපත් කිරීමට උත්සහ කළ පාරාවෝවරුන්ගේ පැත්ත දෙවිදුන් නොගත් බව කිතුනුවෝ දනිති.
මුස්ලිම්වරුන් වෙළඳාමේදි දක්වන දක්ෂතාවයට ඊර්ෂ්‍යා කිරිම කිතු දහමට හෝ බුදු දහමට අනුකූල නොවේ. එය පැහැදිලිව ජාතිය ආගම පිළිබඳ කරුණක් නොව ලාභය සියතට ගැනීමේ දේව විරෝධි වෙළඳාමේ සටන් පාඨයකි. ‘‘සිංහල කමට සිංහල අවුරුද්දේ සිංහල කඬේකින් බඩු ගන්න’’ වැනි ඉතා අධාර්මික ප‍්‍රචාරණයක් යට සැඟ වී ඇත්තේ ගැනීම හා විකිනීම අතර සැඟ වි ඇති පාපය වැනිම පාපයකි.
මුස්ලිම්වරුන් සිංහලයින් වඳ කිරීමට ක‍්‍රියා කරනවා යන්නද ඉතා මෝඩ, පදනම් විරහිත ප‍්‍රචාරයකි. එවැනි ක‍්‍රියාවකින් සිංහල ජාතිය හෝ වෙනත් ජාතියක් වඳ කිරිමට හැකි වෙනවා නම් එසේ වඳ වෙන ජාතිය තුළ කිසිදු සබුද්ධිත මිනිසෙකු සිටිය නොහැකිය.
අපගේ අවධානය යොමු විය යුතු යම් කරුණක් අත්නම් ඒ ඉතා පැහැදිලි ලෙස පෙනෙන අපි එසේ ඇතුළු මුස්ලිම් අන්තවාදි සංවිධානවල ත‍්‍රස්තක‍්‍රියාවන්ය. නමුත් අප ඇසිය යුතු මූලික ක‍්‍රිස්තියානි ප‍්‍රශ්නයක් ඇත. මෙකි අන්තවාදය හෝ ත‍්‍රස්තවාදය පැන නැගුනේ කෙසේද?
තලේබාන් නායකයා වේවා. අයි. එස්. නායකයා වේවා ඔවුන් බිහිවූයේ කෙසේද ? ඔවුන් සන්නද්ධ වූයේ කෙසේද ? යන්නයි ඇමරිකානු හා බටහිර කොල්ලකාරි ත‍්‍රස්ථවාදි වෙළඳ පොළ බිහි කල බව ඔප්පු වී හමාරය. බින්ලාඩන් යනු එක් කාලයක ඇමරිකානු ඔත්තුසේවාවේ පඩි ලැබු සේවකයෙකි.
අප මුස්ලිම් ලෝකය තේරුම්ගත යුත්තේ රාජපක්ෂවරුන්ගේ අධිපති මතවාදය තුළ පිහිටා නොවේ. ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් පෙන්වා දෙන දේව ධර්මය මතු පිහිටාය. ඒත් අවාසනාවකට ලංකාව තුළ මුස්ලිම් විරෝධය අවුලන කිතුනුවන් තුළ තිබේනනේ රාජපක්ෂ ආකල්පයයි. ක‍්‍රිස්තුස් වහන්සේ තුළ හෝ ප‍්‍රැන්සිස් පාප්තුමන් තුළ තිබෙන ආකල්පය නොවේ.
අපි දැන් ප‍්‍රැන්සිස් පාප් තුමන් මුස්ලිම් ජනයා වෙත දක්වන ආකල්පය හඳුනා ගැනීමට උත්සහ කරමු. එතුමාගේ ආකල්පය ගොඩනැගී ඇත්තේ ක‍්‍රිසතු ආකල්පය හා එය විස්තර කරන ලද දෙවෙනි වතිකානු කතිකා නිර්දේශ මතය.
එකි නිර්දේශ තුල කිතුනුවා මුස්ලිම් ජනයා වෙත ඉතා ඉහල පිළිගැනීමක් කළ යුතු බව පෙන්වා දෙයි. ‘‘මුස්ලිම්වරු අප මෙන්ම ඉතා දයාවන්ත හා බලවත් දෙවිදුන් කෙරෙහි විශ්වාස කරයි. ඔවුන් පැරනි ගිවිසුමේ බොහෝ පදනම් අදහයි. ඔවුන් ජේසුතුමා හා මරිය තුමිය වෙත ඉහලම ගෞරවයක් දක්වයි. ඔවුන් අවසන් විනිශ්චය ගැන විශ්වාස කරයි. ඔවුන් යාච්ඥාව උපවාසයේ යෙදීම දාන ධර්ම දීම තුළින් ගැඹුරු අධ්‍යාත්මික ජීවිතයක් වෙත යොමුවයි.’’
දෙවන වතිකානු කතිකාව තව දුරටත් පෙන්වා දී ඇත්තේ අතීතයේදි කිතුනු හා මුස්ලිම්න් අතර ඇති වු ඛේදනීය ක‍්‍රියාවන් අප අමතක කොට සියලූ මිනිසුන් වෙත දයාව දැක්වීමට අප දයාබර දෙවි පියාණන් අපට කරන කැඳවීම අනුව මුස්ලිම් ජනයාව ගැඹුරින් අවබෝධ කරගෙන, තේරුම් ගෙන ඔවුන් හා එක්ව සමාජ සාධාරණත්වය, අධ්‍යාත්මික වටිනාකම් සාමය හා නිදහස දිනා ගැනීමට ක‍්‍රියා කළ යුතු බවයි.
ඉහත කී වතිකානු කතිකාවක් පදනම පාප් ධූරයට පත්වීමට පෙර ලතින් ඇමරිකාවේ වැඞීම මුස්ලිම් ජනගහනයක් සිටින අර්ජන්ටිනාවේ බූවනොස් අයර්ස් නගරයේ රදගුරු ලෙස එතුමා ක‍්‍රියාවට නැං වු බව ඉතිහාසය පෙන්වා දෙයි. පාප් ධූරයට පත්වීමෙන් පසු විශේෂයෙන් වර්ථමාන සංදර්භය තුල එතුමා ඉතා ප‍්‍රබල ලෙස තම භාවිතාව ඉදිරියට ගෙන යනු ලැබේ.
එහෙත් ලංකාවේ කිතුනුවන් උන්වහන්සෙගෙන් ඉගෙන ගන්න බවතක් නොපෙනේ. උන්වහන්සේට ඇහුම්කන් දෙන බවක් නොපෙනේ. ඒ වෙනුවට ඔවුන් බුදු දහමට අනුකූල නොවන රාජපක්ෂවාදි සිංහල බෞද්ධ මතවාදයට ඇහුම්කන් දෙමින් සිටිති.
මුස්ලිම් විරෝධයේ පදනම් දේව ධාර්මිකව සාධාරණීකරණය ලෙස අප ඉල්ලා සිටි විට කිසිවෙකු ඊට ඉදිරිපත් නොවිය.
ලබන සතියේදි අපි මුස්ලිම් – කිතුනු සංවාදය පිණිසත් වර්ථමාන සංදර්භය තුළ කිතුනු ප‍්‍රතිචාරය කුමක් විය යුතු ද යන්න පිළිබඳවත් ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ භාවිතාව හඳුනා ගනිමු.
ලබන සතියට

jesustodaysl 22 සතිය 2017අගෝස්තු 06


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696