සුදුපිය දැක්ම විමසමු – 5


October 22, 2017 12:00 am

ඉබාගාතේ දුවන සභාවක් දෙවිදුන්ට අවශ්‍ය නොවේ.

‘සුපුවතේ ආනන්ඳය’ අපොස්තලික අනුශාසනාව ඇසුරින් ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් හෙළි කරන කිතුනු දැක්ම පිළිබඳ ලියැවෙන ලිපි මාලාවේ මෙම ලිපිය පළමු පරිච්ඡේදයේ අදහස් විමසන අවසන් ලිපියයි.
පළමු පරිච්ඡේදයේ  අවසාන අනු මාතෘකා වන්නේ විවෘත හදවතකින් යුත් සභා මාතාව’’ යනුයි. සුදතුම් පියා එහිදි අවධාරණය කරන්නේ වත්මන් පූජක වරුන්ගේ ‘කාර්ය බහුල තාවය’’ නැවත ඇගයීමකට ලක් කළ යුතු බවයි. ජනතාවගේ දුකට වේදනාවට ඇහුම්කන් දීමට බැරි තරම් වැඩකින් වැඩකට දිවයන මේ ලෝකයේ කාර්යබහුලතාවය ඉබාගාතේ දිවිමක් ලෙස උන්වහන්සේ අර්ථ දක්වයි.
‘‘පිටත් ව යන’’ ශුද්ධ වු සභාවක් නම්, නිරන්තරයෙන් එහි පිවිසුම් විවෘත විය යුත්තේය. මනුෂ්‍යත්වයේ එළිප්තතට පිවිසෙනු වස්, ඔවුන් වෙත ගමන් කිරීම යනු ලෝකය පුරා අරමුණක් නැතිව ඉබාගාතේ දිවිමක් නොවේ.’’
විලාසිතාවක් වී ඇති ‘හරි බිසි’ ‘වැඩ ගොඩ ගැහිලා’ ‘වෙලාවක් නෑ’ ‘වුවමනා වුනත් මිනිස්සු බැහැ දකින්න විදිහක් නෑ’ ආදි ප‍්‍රකාශ සිදු කරන පූජක පැවැත්ම තිත තබා කළ යුතු දේට අවදිවෙන්නැයි උන්වහන්සේ ඉල්ලා සිටි.
‘‘එක් දෙයකින් තවත් දෙයකට ලහි ලහීයේ මාරුවීම මඳකට නවතා, මඟ වැරදුණු කෙනෙකුට සවන් දීම සඳහා අපගේ අන්‍යවශ්‍ය වේගය මඳකට අඩු කිරීම වඩාත් යහපත්ය. නාස්තිකාර පුත‍්‍රයාගේ පියා තම පුතා පියවි සිහියට පැමිණ නැවත හැරි එන විට පහසුවෙන් නිවසට ඇතුළුවීමට හැකිවන පරිදි තම නිවසේ දොර පියන් හැරගෙන සිටියාක් මෙන්, අපිදු විවෘත හදවතකින් යුතුව සිටිය යුතු වෙමු.’’
වර්ථමානයේදි සභාවක් දෙව් මැදුරු දෙස බලන්නේ, දෙව් මැදුරක් යන්නෙහි සැබෑ අරුතින් ඈත් වු මනසකිනි. දොරගුලූ ලා ආරක්ෂා කරන භාන්ඩාගාර තත්වයට දෙවි මැදුරු පත් වී ඇත. ජනතාවට පැමිණීමට තිබෙන ඉඩකඩ සූරා දැමු තාප්ප වලින් වට කරනු ලැබු නිශ්චිත වේලාවල් වල පමණක් විවෘත කරන ව්‍යාපාර ස්ථාන බවට ඒවා පත්ව තිබේ. පියතුමන්ලා හමුවීමද කාර්යාල වේලාවක් වලට සීමා වී ඇත. මේ තත්වය දේව අභිමතය නොවන බව එතුමෝ පෙන්වා දෙති.
‘‘ශුද්ධ වු සභාව, පියාණන්ගේ ගෘහය වන්නටත් එහි දොරපියන් නිරන්තරයෙන් විවෘතව තබන්නටත් ආරාධනා ලැබ ඇත. එවන් විවෘතභාවයක වඩාත් ප‍්‍රායෝගික සළකුණක් වශයෙන් අප දේවස්ථාන දොරටු නිරන්තරයෙන් විවරව තැබිය යුත්තේ, ආත්මයාණන් වහන්සේ විසින් මෙහෙයවනු ලැබ, යමෙක් දෙවිඳුන් සොයා දෙව් මැදුරට පැමිණෙන විට, ඔහු හෝ ඇය විසින් වැසුණු දොරක් නොදකිනා පිණිසය. විවෘතව තැබිය යුතු තවත් දොර පියන්ද ඇත්තේය.’’
සභාවන් වත හැරි එන්නන්ට දොර විවෘත කිරිමෙිද පියවරුන් විසින් දක්වන දැඩි පිළිවෙත එතුමා හෙලා දකින අතර ඒ දැඩි පිළිවෙත් වෙනස් කළ යුතු බව පෙන්වා දෙයි. අද බොහෝ පියවරුන් තම අධිකාරි බලය පාමින් විවිධ නීති නියෝග පණවමින් සක‍්‍රමේන්තු දානය කිරීමට සීමා පැනවීම එතුමා තරයේ හෙලා දකි.
‘‘කිතුනු සංඝයේ කොටස්කරුවෙකු වෙමින් ශුද්ධ වු සභාව උන්නතිය උදෙසා බෙදා හදා ගන්නට යමක් සෑම විශ්වාසකයෙකුම සතුවන හෙයින්, මොනයම් හෝ කරුණක් නිසා සක‍්‍රමේන්තුමය ජීවිතයකට ඇති ඉඩ හසර කිසිම විටෙක ඔවුනට අහිමි නොකළ යුත්තේය.’’
මෑතකදි මීසමක පියතුමෙකු අභිවෘධි ආලේපය සඳහා වු පංති 24 න් 23 කට පැමිණි අයෙකුටද අභිවෘධි ආලේපය දීම ප‍්‍රතික්ෂේප කර තිබුණා. එවන් පියවරු සුදතුම් පියාටත් වඩා ප‍්‍රබලයන් ලෙස පෙනී සිටිම කනගාටුවකි.
විශේෂයෙන් දුබලයන් පව්කරුවන් සක‍්‍රමේන්තු ජිවිතයෙන් පළවා හරින දැක්ම වහා වෙනස් විය යුතු බව එතුමා පෙන්වා දෙයි.
‘‘සක‍්‍රමේන්තුමය දිවියේ පූර්ණත්වය වන පාරිශුද්ධ දිව්‍ය යාගය දුබලයාගේ පෝෂණය හා බලගතු ඔසුවක් වනවා මිස, පූර්ණත්වයට පත්වූවන් සඳහා ම පමණක් වන තිළිණයක් නොවන්නේය ’’
වත්මනේ බහුතරක් පූජකවරුන් වෙළඳ නියෝජිතයන් ලෙස ක‍්‍රියාකරන තත්වයක් තිබෙන බව එතුමා පැකිලිමකින් ප‍්‍රකාශ කරන්නේ මෙසේය. 
‘‘බොහෝ විට අපි ක‍්‍රියාකරන්නේ දේව වරප‍්‍රසාදයේ බලධාරින් ලෙස විනා, එහි සේවක සැපයුම්කරුවන් ලෙස නොවේ.’’
දෙව් මැදුරු තානායම්, හෝටල් කාමර, නොව දෙවියන්ගේ ගෘහය විය යුතුය.
‘‘නමුත්, ශූද්ධ වු සභාව වනාහි තම තමන්ගේ අඩුපාඩුකම් සමඟ ම සෑමට එක්ව වාසය කිරිමට ඉඩ පහසුකම් ඇති දෙව්පියාණන්ගේ ගෘහය විනා ගෙවන මුදලේ පමණට සැප පහසුකම් භූක්ති විඳිය හැකි තානායමක් නොවේ.’’
සභාවේ තෝරාගැනිම දිළිඳුන් විය යුතු බවත් ඇති හැකි අයට, තමන්ට වරප‍්‍රසාද තෑගි භෝග දෙන ප‍්‍රභූන්ට හිතවතුන්ට සලකන පවතින ක‍්‍රඹය වෙනසකට බදුන් විය යුතු බව සුදතුම් පියා අවධාරනය කරන්නේ මෙසේය.
‘‘මෙම ධර්මදූතික දැක්මෙන් ශුද්ධ වු සභාව කි‍්‍රයාකරන්නහු නම්, එවිට කිසිදු භේදයකි්න තොරව සකල ජනයා වෙත ඇය යා යුතු වන්නීය නමුත්, පළමු ව ඇය යා යුත්තේ කා වෙතද ? ශුද්ධ වු සුවිශේෂය කියවන අපට ඒ සඳහා පැහැදිලි ඉගියක් සම්භ වේ. අප පළමු ව යා යුත්තේ අපට ‘ප‍්‍රතිඋපකාර දෙන්නට නොහැකි’’ (ලූක් 14:14) දුගීන්, රෝගීන් හා සමාජයෙන් කොන්වූවන් වෙත විනා අප මිතුරන් හා පොහොසත් අසල්වාසින් වෙත පමණක් ම නොවේ. මෙවන් සුපැහැදිලි පණිවුඩයක් දුර්වල කරවන වෙනත් කිසිදු අර්ථකථනයකට හෝ සැකයකට අප ඉඩ නොතැබිය යුතුය. එදා අද මෙන් හෙටත් සුබ වදනේ ‘වරප‍්‍රසාද ලත් ප‍්‍රතිලාභියා දිළින්දාම’’ වන අතර ජේසුස් වහන්සේ මෙලොව ස්ථාපිත කරන්නට පැමිණි දේව රාජයයේ සළකුණක් ලෙස කිසිදු බාධාවකින් තොරව සුබවදන ඔවුන්ට දේශනා කිරිම යුතුවන්නේය ‘අපගේ විශ්වාසය හා දිළින්දා අතර වෙන්කල නොහැකි සබැඳියාවක් ඇති බව අපගේ නිරහංකාර වදනින් ප‍්‍රකාශ කළ යුතුය. අපි කවදාවත් දිළින්දන් අත්නොහරිමු.’’
සභාව එහි නිර්මාතෘ ජේසුස් වහන්සේ අනුව යා යුතුය. ඒ වෙනුවට ලස්සන පිරසිදු මතුපිටක්, දිස්නයක් දෙන්නට වෙසෙන වත්මන් පූජක පරපුරට උන්වහන්සේ මේ හඬ ඇසිය යුතුය.
‘‘එබැවින් නොමඟ ගියවුන් සොයා අපි පෙරමඟ ගනිමු. ඔවුන් සොයා ගොස්, ජේසු සමිඳුන්ගේ ජීවිතය ඔවුන්ට ප‍්‍රදානය කරමු. බුවනෝස් අයෙර්ස් (Buenos Aires) හි පූජා ප‍්‍රසාදීන් වහන්සේට සහ ගිහි විශ්වාසිකයන්ට මම නිතර ම කී දෙය සමස්ත කතෝලික සභාවටම මම මෙහිදි නැවතත් කියමි. හුදෙක් තම ආරක්ෂාව සොයමින් දොර ජනෙල් වසා තැබීම නිසා ජීවත් වීමට නොහැකි ලෙස පිරිසිදු වාතාශ‍්‍රය නොමැති වු සභාවකට වඩා, මිනිසුන් අතර මහ මඟ හැසිරිම නිසා අපිරිසිදු වු වෙහෙසට පත් වු පීඩිතව වේදනා විදින සභාවක් මම අගය කරමි. කේන්ද්‍රගත වීමේ අරමුණ ඉටුකර ගනුවස් ක‍්‍රමවේදයන් තුළම සිර වී විශ්වාසකයන්ගේ ජීවිත යථාර්ථයන්ට සංවේදි නොවන සභාවක් මට අවශ්‍ය නැත.’’
දිළින්දාගේ හඬට කන්නොදි පූජක නිල ඇඳුමේ සුරක්ෂිත බව තුළ දිවි ගෙවමින් සමාජයේ තවත් ප‍්‍රභූ කණ්ඩායමක් සේ ජීවත්වන පූජක ජීවිතය සැබෑ පූජක ජීවිතය නොවේ. පූජකවරයේ කැඳවීම එවැනි ජීවිතයක් ගත කිරිම නොවේ.
’‘අප සහෝදර සහෝදරියන් බොහෝ දෙනෙකු ජේසු සමිඳාණන්ගේ මිත‍්‍රත්වයෙන් ගලා එන ශක්තීය ආලෝකය හා සුව සහනය නොමැතිව ද, ඔවුනට සහය වන්නට විශ්වාසයේ සංඝයක් නොමැතිවද, ජීවිතයට අරමුණක් හෝ අර්ථයක් නොමැතිව ද ජීවත් වනු දැකීම අපගේ හෘද සාක්ෂිය අපව සැබවින්ම කැළඹිය යුතු කරුණක් වන්නේමය. අපගේ ඇස් පනාපිට ම මිනිසුන් කුසගින්නෙන් පීඩා විඳින කල ‘‘ඔවුන්ට කෑමට යමක් දෙන්නයි’’ (මාක් 6:37) ජේසු සමිඳුන් පවසන කල, නොමඟ යෑම කෙරෙහි ඇති බියට වඩා අපට අපගේ ආරක්ෂාව ගැන සහතිකයක් දෙන අපගේ ක‍්‍රමවේදයන් තුළම රැඳෙමින් අපව අසංවේදි විනිසුරුවන් බවට පත් කරන නීති රෙගුලාසි තුළම සිරවෙමින්, අපගේ පූජක නිළ ඇඳුම් තුළම සුරක්ෂිත බව සොයමින්, මුනිවත රැුකීම ඊට වඩා භයානක දෙයක් බව සිතා ක‍්‍රියාකරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.’’
මේ විවෘත හදවතක් ඇති සභාව බවට අපි පත් වී සිටිමුද ? (සංවාදයට විවෘතයි)

jesustodaysl 34 සතිය 2017 ඔක්තෝම්බර් 22


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696