දෙව් + ජන අරගල


January 7, 2018 6:01 am

දෙව් + ජන අරගල

මානව ඉතිහාසය අරගලයේ ඉතිහාසයකි. පළමුව එය තම පැවැත්ම සඳහා කරන ලද අරගලයකි. සොබාදහම සමඟ පොර බදිමින් සොබාදහමේ නීතිරීති හඳුනාගනිමින් අව් වැසි, මැසි මදුරු සතා සිව්පාවා සමඟ පොරබදිමින් ජීවත්වීම උදෙසා කළ අරගලයකි.
දෙවනුව එය ජීවිතයේ අර්ථය අරමුණ, නිදහස විමුක්තිය සමඟ බැදුනු අරගලයකි. යටත් භාවයට වහල් භාවයට පහර දීමට විනාශ කිරීමට එරෙහි අරගලයකි. දේශපාලකින ආර්ථික සමාජීය නිදහස හා තෘප්තිමත් ජීවිතයක් දිනා ගැනීම සඳහා අරගලයකි. ඊට වෙනස් බලලෝභි ජාතිවාදි, වරණවාදි අරගල ද නැතුවා නොවේ. එහෙත් එවා සැලකිය යුත්තේ ජන අරගලය ලෙස නොවේ. ගැටුම් හෝ බලහත්කාර යෙදීම් වශයෙනි.
ක‍්‍රිස්තියානිය අරගලයෙන් උපන්නකි.
ක‍්‍රිස්තියානින් අදහන දෙවිදුන්ව මානව ඉතිහාසය තුළ හඳුනා ගන්නේ ‘නික්මයාම’ නැමැති ඓතිහාසික අරගලය තුළයි. ඒ ක‍්‍රිස්තු පූර්ව 1446 – 1406 තරම් ඈත කාලයකයි.
නික්මයාම යනු ඒ යුගයට සාපෙක්ෂව අධිරාජ්‍යයක් වු මිසරය තුළ වසර 400 ක පමණ කාලයක් වහල්භාවයේ සිටි ජනතාව (පසුව ඊශ‍්‍රාරයල් ජාතිය බවට පත් වූ) එම වහල්භාවයෙන් මිදි නිදහස දිනා ගැනීමේ අරගලයයි. දේශයක් දිනා ගැනීමේ අරගලයයි.
එම අරගලයට අනුභාවය සැපයු දෙවියන්ව එම ජනතාව නම් කරන්නේ ‘‘අපව වහල්භාවයෙන් නිදහස් කල දෙවියන්’’ වශයෙනි. එම අරගලයට නායකත්වය දුන් මෝසෙස්ව දෙවිදුන් ඒ සඳහා කැඳවන්නේ මෙසේය.
‘‘මිසරයේ සිටින මාගේ සෙනඟගේ දු:කීත තත්වය මම දිටිමි ඔවුන්ගේ විධායකත්වයන්ට විරුද්ධව නගින මොර ගැසීමට මම සවන් දුනිමි. ඔවුන්ගේ දුක්වේදනා මම හොඳින් දනිමි. මිසර ජාතින්ගේ අතින් ඔවුන් මුදා ඒ රටින් ඔවුන් පිට කරවා. සාරවත් විශාල දේශයකට ඔවුන් පමුණුවාලීම සඳහා මම බැස ආමි.
දැන් ඉතින් මෙන්න ඊශ‍්‍රායල් ජනතාවගේ මොර ගැසීම මාවෙත නැගී ඇත. තවද මිසර වාසින් දෙන දරුනු පීඩාවන් ද මා දැක ඇත. එබැවින් දැන් ඉතිං එන්න මාගේ සෙනඟ වත ඉශ‍්‍රායල් ජනතාව මිසරයෙන් පිටතට ගෙන යනු පිණිස මම නුඹ පාරාවෝ වෙත යවමි. (ශුද්ධ වු බයිබලය නික්මයාම 3/9-10) මෙම බයිබල් පාඨය තුළ ‘‘ජන අරගලයේ දෙව්දහම’’ අපට මනාව හඳුනාගත් හැකිය. ප‍්‍රථමයෙන් අපට හඳුනාගත හැක්කේ නිදහස උදෙසා කරන ජන අරගලය යනු ‘‘දෙව් + ජන අරගලයක්’’ බවයි.
දේව ජනතාව යනු පීඩාවට පත් ජනතාවයි. තෝරාගත් ජනතාව යනු ඊශ‍්‍රායල් ජනතාව නොවේ පීඩාවට පත් ජනතාවයි. දෙවියන් සිටින්නේ පීඩිත ජනතාවගේ පැත්තේය. දෙවිදුන් ඔවුන්ගේ පැත්තේ සිටින්නේ ඔවුන් හොඳ නිසා නොවේ. ඔවුන් පීඩිත නිසාය.
දේව අභිමතය වන්නේ ඔවුන් දුක තුළ පීඩිත බව තුළ සිටීම නොවේ. පීඩිත බවින් මිදි සතුටින් ප‍්‍රීතියෙන් නිදහසින් ජීවත් වීමයි. මෝසස්ව කැඳවන්නේ ඒ අරගලයට නායකත්වය දීමටයි.
ජනතාවගේ දුක දකින අදෝනා අසෙන වේදනාව දැනෙන දෙවියන් අරගලය තුළට බැස එයි. ඒ නිසාම එය දෙවියන්ගේ හා ජනතාවගේ අරගලයකි.
ජන අරගල හා ප‍්‍රමුඛ අරගලය.
ජන අරගල මතුවන්නේ ජනතා ප‍්‍රශ්න මුල් කරගෙනය. එකි ජනතා ප‍්‍රශ්න විසදීමට රා්‍යය අසමත් වන විටදීය. රාජ්‍ය විසින්ම ජනතාව මත පීඩනය පටවන විටදීය.
‘‘හේතුව’ ට එරෙහිව සිදුවන අරගලය අරගලයත් අතර සැබෑ අරගලය වේ. ඒ අතර තුරම විවිධ ඵලයන් වළක්වා ගැනීමට ද අරගල කළ යුතුය.
පෝට් සිටියට එරෙහි අරගලය උමා ඔය ව්‍යාපෘතියට එරෙහි අරගලය වැනි අරගල අවැසිය. එහෙත් ඒ සමඟම වඩා ප‍්‍රමුඛතාවය දිය යුතු අරගලය වන්නේ මෙවැනි ව්‍යාපෘති කැඳවන නව ලිබරල් වෙළඳ පොළ ආර්ථික ක‍්‍රමයේ අගතියට එරෙහිවත් එය ක‍්‍රියාවට නංවන චෞර දේශපාලන ක‍්‍රමයට එරෙහිවත් කරන අරගලයයි. අවශේෂ අරගල මගින් ප‍්‍රමුඛ අරගලයේ පෝෂණය කිරීම සිදු විය යුතුය.
රාජ්‍ය හා ජනතා අරගල
ගෝලීය ධනවාදයේ වත්මන් අදියර තුළ ශී‍්‍ර ලංකාවේ ජන අරගල වල පොදු සාධකය වන්නේ ඒවා සියල්ලම රාජ්‍යයට එරෙහි අරගල බවට පත්ව තිබීමයි. ජනතා අරගලවලට හේතු වන ප‍්‍රශ්න නිර්මාණය වන්නේ රාජ්‍යය විසින් ක‍්‍රියාත්මක කරන ආර්ථීක හා දේශපාලන ක‍්‍රමය මගිනි.
මේ නිසා ජන අරගල මර්ධනයට රාජ්‍ය ඉතා තිරශ්චින ලෙස මැදිහත්වීම මෑත ඉතිහාසයේ දැකිය හැකිය. රතුපස්වල වතුර පිළිබඳ ප‍්‍රශ්නය විසඳන ලෙස ඉල්ලා සිටි ජනතාවට එරෙහි ප‍්‍රහාරය, ඉන්ධන මිල ඉහලයාමට එරෙහිව හලාවත ජනතාව කළ අරගලයට එරෙහිව කල ප‍්‍රහාරය නිදහස් වෙළඳ කලාපයේ අර්ථසාධක අරගලයට එරෙහිව කළ ප‍්‍රහාරය, සයිටම් විරෝධි සිසු සටනට එරෙහි ප‍්‍රහාරයක් විසින් පෙන්වා දෙන්නේ මේ කුරිරු යථාර්ථය.
වර්ථමානයේදි රාජ්‍යය ජන අරගල මර්ධනය කිරීමට සිය පීඩාකාරි උපකරණ වන හමුදා, පොලිසිය, අධිකරණය, බන්ධනාගාරය වැනි දැ යොදා ගැනීමට අමතරව දෘෂ්ටිවාදි උපකරණ ඉතා සැහැසි ලෙස යොදා ගනී. ජාතිවාදය, වාර්ගික ස්වොන්තමවාදය, ආගම්වාදය, සංවර්ධනවාදය මෙවැනි දෘෂ්ටිවාදී උපකරණ වෙති.
ජන අරගල මර්ධනය සඳහා ත‍්‍රස්තවාදයට උපකාර කිරීම රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වීම, මහජන සමයට බාධා වීම, ආගමට ඇති තැන නැති කිරීම, දේශද්‍රෝහි වීම, එන්. ජී. ඕ. මුදල් වලට යට වී රට බෙදීම ආදි සටන් පාඨ යොදා ගැනීම දැකිය හැක්කේ මේ දෘෂ්ඨිවාදි උපකරණ වශයෙනි.
ක‍්‍රිස්තියානිය මේ ආකාර දෙකේම මර්ධනයට පක්ෂ නොවේ. පාරාවෝවරුන්ගේ පීඩාකාරි උපකරණ වල මර්ධනයට එරෙහිව ඊශ‍්‍රායල් ජනතාවගේ ගැලවීම උදෙසා ක‍්‍රියා කල දෙවිදුන් පසුව ඊශ‍්‍රායල්වරු විසින් සියොන් ස්වොත්තමවාදය පෙරටු කොට ගෙන අන් ජාතින්ට එරෙහිව සිදු කරනු ලැබු පීඩාවටද එක සේ විරුද්ධ වෙයි.
ජේසු වහන්සේ ඊශ‍්‍රායල් මහ ජාතිවාදයට විරුද්ධවත් එහි ‘මතවාදි නායකයින් වන නායක පූජකයින්, පරිසිවරුන්, විනයධරුන්ට එරෙහීවත් කළ ප‍්‍රකාශන මෙයට නිදර්ශන සපයකි.
‘‘පරිසිවරුන්ගේ ද සදිසිවරුන්ගේ ද මුහුන් වලින් පරිස්සම් වන්න’’
‘‘විනයධරයෙනි, පරිසිවරුනි කෛරාටික වූ ඔබට වන විපතක මහත’’
වත්මන් මාධ්‍ය සමාජය තුළ ජන අරගල වලට එරෙහි දෘෂ්ටිවාදයන් වැපිරීම ඉතා ප‍්‍රබලව සිදුවීම ගැඹුරින් සැලකිල්ලට ගත යුතුව ඇත. පෝට්සිටිය පිළිබඳ සිරස මාධ්‍ය ජලය හරහා කරනු ලැබු බලපෑම දෙමළ ජනතාවගේ මේ මොහොතේ ඉඩම් නිදහස් කර ගැනීම වැනි අරගල වලට එරෙහිව ජාතිවාදි රාජපක්ෂවාදි පුවත්පත් හා මාධ්‍ය මගින් හා ආගමික පූජ්‍ය පූජකවරුන් මගින් කරන දෘෂ්ටිවාදි බලපැම් ඊට නිදසුනක්. අරගලය තුළ මෙකි දෘෂ්ටිවාදයන්ට එරෙහිව සිදු කරන මතවාදි අරගලය ද ඉතා වැදගත් වේ.
ජන අරගල දේශපාලනය හා ආගම
ජන අරගල වලට දේශපාලයක් පවතී. දේශපාලනික නොවන ජන අරගල සැබෑ අරගල වන්නේ නැත. ආගමික නායකයින් වර නඟන ජනප‍්‍රිය සටන් පාඨයක් වන්නේ දේශපාලනය ඇති නම් එකි අරගල වලට දායක නොවිය යුතු බවය. එහෙත් එම ප‍්‍රකාශනයම පවතින දේශපාලන ක‍්‍රමය ආරක්ෂා කරයි. ඒ ප‍්‍රකාශනයම දේශපාලනයකි.
ජන අරගල දේශපාලනික විය යුත්තේ ඊට පාදක වන ප‍්‍රශ්න දේශපාලනික වන නිසාය. නමුත් අප සියුම්ව වටහා ගත යුතු වන්නේ පවතින අධිපතිවාදි දේශපාලන පක්ෂ හා ව්‍යාපාරවල අත් අඩංගුව ජන අරගල පත්වීමට ඉඩ නොදිය යුතු බවයි. ලංකාව තුළ බොහෝ විට එම වරද සිදු වේ. එවිට අරගලය පරාජය වන අතර අධිපති පටු දේශපාලනය ජයග‍්‍රහණය කරයි. ඒ නිසා ජන අරගල දේශපාලන අව භාවිතාවට ලක්වීමෙන් වළක්වා ගැනීමේ අභියෝගය රට හමුවේ පවතී.
ජන අරගලවල ආකෘතිය මෙන්ම වැඩ පිළිවලද මේ යුගයට සරිසලන ලෙස නැවත සලකා බැලිය යුතුය. ජන අරගල රාජ්‍ය නොවන සංවිධාන වල මුදල් පදනමින් ඔබ්බට රැුගෙන යා යුතු අතර එය එදිනෙදා පුරුද්දෙන් ඔබ්බට ගොස් නැවත ප‍්‍රතිෂ්ඨාපනය කළ යුතුය.
මෙහිදි වත්මන් ජන අරගලවලට අනුභාවය සපයන ආධාරකයක් ලෙස ක‍්‍රිස්තියානි දේව ධර්මය එහි සැබෑ හරයෙන් මතු කරගත යුතුය. එය ක‍්‍රිස්තියානිට පමණක් සීමා නොවී ලංකාවේ ජන මනස තුළ තවමත් ආධිපත්‍ය උසුලන ආගම් හි ධර්මයන්කට අදාල කර ගත යුතුය. මන්ද ආගම ජන අරගල දිය කර හැරීමට දෘෂ්ටිවාදි උපකරණයක් ලෙස භාවිතා වීම සිදුවන නිසාවෙනි.

jesusutodaysl  45 සතිය 2018 ජනවාරි 07


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696