තිත්ත ඇත්ත


December 3, 2017 12:00 am

නත්තලෙන් කිතු උපතේ හරය වසා දැමීමට ඉඩ නොදෙමු.

තිත්ත ඇත්ත
අද ‘නත්තල’ කියන වචනය කිතු උපතේ සැබෑ හරය හඳුනා ගැනීමට බැරි තරමට විකෘතිකරණය වී තිබේනවා.
වර්තමානයේදි නත්තල යනු ගෝලීය වෙලඳ පොළ ආර්ථික ක‍්‍රමයේ තොග අවසන් කිරීමේ මංගල්‍යයි. ආත්මික සළුපිළි වලින් එය සරසන්නට උත්සහ කළත්, එය ගෝලීය ධනවාදයේ මහා සැණකෙලිය ලෙස පැවැත්වෙන බව ඉන් නිශ්ප‍්‍රභ නොවේ.
ධනවාදි ආර්ථික ව්‍යුහයේ තිරශ්චින ලෙස සූරාකෑමට ගොදුරු වන කම්කරුවන්ට සොච්චම් බෝනස් එකක් දී හෝ නොදී එකී බෝනස් මුදල හා වසර පුරා මහන්සියෙන් එකතු කරගත් සොච්චම් මුදල හෝ කණකර උකසට තබා හෝ පොලියට ණයට ගත් මුදල පීඩිත කම්කරු ජනයා හා පහළ මධ්‍යම පාංතිකයින් ඔවුන් විසින් අත් විඳින කාලකන්නි විගලිතභාවය අකාමකා ගැනීමට කොල්ලකාරි වෙළඳුන් සාදා දී තිබෙන සංස්කෘතික ආතල් එක, වර්ෂාවසාන ෆන් එක, සඳහා වැය කිරීමේ මංගල්‍යය නත්තල වී තිබේ.
එය එසේ නොවේ නම් නත්තල සැමරීමෙන් කිතු තුමා තෝරාගත් ලෝකය තුල වෙසෙනා පීඩිතයා ලබාගත් එක ජයග‍්‍රහනයක් හෝ පෙන්වා දිය හැකිද ? 1505 න් පසු වසර 510 ක් පමණ කාලයක් මෙරට කිතුනුවන් නත්තල සැමරීමෙන් මෙරට පීඩිතයාට ලැබුණු එක ජයග‍්‍රහනයක්වත් පෙන්වා දිය හැකිද ?
කුරුසියේ සිට ගවලෙනට.
ක‍්‍රිස්තියානියේ ප‍්‍රධාන මංගල්‍ය පාස්කුවයි. පාස්කුවෙන් තොරව කිසිදු මංගල්‍යයකට අරුතක් ක‍්‍රිස්තියානිය තුළ ලබාදිය නොහැකියි. අද පාස්කුව කියන්නේ විශ්වයේ විමුක්තිය උදෙසා කිතු තුමන්ගේ ජීවිත පූජාව හා උත්ථානයයි.
විවාහ මංගල්‍යයකදීත්, පල්ලියේ මංගල්‍යකදීත්, නත්තල් මංගල්‍යයේදිත්, සාමානයෙන් කිතුනුවන් පවත්වන්නේ දිව්‍ය පූජාවයි. ශුද්ධ සහභාගිකමේ මෙහෙයි. ඒ කියන්නේ පාස්කුවයි. ඒ විමුක්තිදායක සිදුවීමෙන් තමයි සියල්ලටම ආලෝකය ලැබෙන්නේ.
ඒ නිසා පාස්කුවෙන් තොරව නත්තලක් නැති බව අප හොඳින් මතක තබා ගත යුතුය. අපි මතක් කර ගත යුතුයි.

නත්තල් මංගල්‍යය ශුද්ධ බයිබලයේ නැත.
ශුද්ධ බයිබලය තුල නත්තල යනුවෙන් මංගල්‍යයක් හමුවන්නේ නෑ. කි‍්‍රස්තු උත්පත්ති සිදු වීම පමණයි අපට හමුවන්නේ. එහිදිත් පාස්කු සිදුවීම සුවිශේෂකවරු හතර දෙනාම වාර්තා කරද්දී කි‍්‍රස්තු උත්පත්ති සිදුවීම වාර්තාකරන්නේ ලූක් හා මතෙව් සුවිශේෂකවරු දෙදෙනා විතරයි.
ජේසු තුමන්ගේ සමීපතමයන් පවා එතුමාගේ උපත මංගල්‍ය සිරියෙන් සමරා නැති බව පැහැදිලියි. නමුත් ශුද්ධ වු බයිබලයේ අපට හමුවෙනවා ජේසු තුමන්ගේ සමීපතමයින් හා මුල් අනුගාමිකයින් පූප කැඞීම, පාස්කුව සැමරීම සිදු කළ බව.

ඒ යුගයේ කෙනෙකුගේ උපත සැමරීමේ සම්ප‍්‍රදායක් පැවැති නෑ. කෙනෙකෙුගේ වටිනාකම තීරණය කරන්නේ උපතින් නොවෙයි. ජීවිත මෙහෙවරින්. පුද්ගලයා සැමරිය යුතු කෙනෙක්ද යන්න තීරණය වන්නේ ඔහුගේ මරණයෙන් පසුවයි.
නත්තල සැබෑ ක‍්‍රිස්තියානියෙන් උපන් මංගල්‍යයක් නොවේ.
නත්තල සැබෑ කිතුනු අනුගාමිකයින් තුළින් පැන නැගුණු මංගල්‍යය නෙවෙයි. එය අධිරාජවාදින්ගේ කිතු දහම විසින් හඳුන්වා දුන් මංගල්‍යයක්. නත්තල් සැමරිම අපට හමුවන්නේ කිතු දහම රෝම අධිරාජයේ ආගම බවට පත් වූවාට පසු ඉතිහාසයෙන්.
කිතු තුමා දෙසැම්බර් 25 වනදා ඉපදුනු නිසා එය එදිනට යොදාගෙන නැහැ. රෝම බහු දේවවාදි මංගල්‍යයක් වන අපරාජිත සූර්යයාගේ මංගල්‍ය පැවැති දෙසැම්බර් 25 වනදා කිතු තුමාගේ උපන් මංගල්‍යය ලෙස යොදාගෙන රෝමයෙන් පටන්ගත් මංගල්‍යයකි නත්තල.
සැබැවින්ම සිදුවූයේ කොන්ස්තන්තීනු අධිරාජ්‍යා ක‍්‍රිස්තියානිය වැළඳ ගැනීම නොව, කි‍්‍රස්තියානිය කොන්ස්තන්තීනු අධිරාජවාදයට නතු වීමය. එතැන් සිට කි‍්‍රස්තියානිය සතු වු විමුක්තිදායක ජීව ගුණය ගිලිහී යන්නට පටන් ගත්තේය. කිතු තුමා සපුරා විරුද්ධ වු අධිරාජ්‍යවාදයේ හැඩයට අනුව ක‍්‍රිස්තියානිය ප‍්‍රතිසංස්කරණය විය.
එම නිසා කිතුනුවන් අකැමැත්තෙන් වූවද පිළීගත යුතු සත්‍යය වන්නේ නත්තල සැබෑ කි‍්‍රස්තියානි සම්ප‍්‍රදාය මතින් පැන නැගුනක් නොවන බවයි. එය ක‍්‍රිස්තියානියේ සතුරා විසින් ඇට වු දෙයක් බවයි. සියලූ ආකාර අධිරාජවාදයන්ට එරෙහිව වූ සැබෑ කිස්තියානි සම්ප‍්‍රදාය තුල තිබුනේ අධිරාජවාදයට අලවි කිරීමට අපහසු පාස්කු මංගල්‍යයයි.
නත්තල ජේසු තුමන්ගේ ක‍්‍රිස්තියානියේ මංගල්‍යය නොවේ. ජේසු තුමන්ට පිටුපෑ ක‍්‍රිස්තියානියේ මංගල්‍යයි.
ක‍්‍රිස්තු උත්පත්තිය මංගල්‍ය කාරණයක් නොවේද ?
සැබැවින්ම ක‍්‍රිස්තෝප්පත්තිය මංගල්‍යය කාරණාවකි. නමුත් නත්තල එකී මංගල්‍ය කාරණාව නියෝජනය නොකරයි. නත්තල කියනු වෙනුවට ක‍්‍රිස්තු උපත නැත්නම් කි‍්‍රස්තු උත්පත්ති මංගල්‍යය ලෙස ව්‍යවහාර කිරීම සුදුසුයි.
ක‍්‍රිස්තු උත්පත්ති මංගල්‍යය එහි සැබෑ අරමුණින් හැඩයෙන් ස්ථාපිත කිරීම නම් නත්තල කනපිට හැරවීමක් අවශ්‍ය වේ.
නත්තල ගෝලීය ධනවාදියේ තොග අවසන් කිරීමේ මංගල්‍යයි.
කිතු උපත ගෝලීය ධනවාදයේ තර්කය අවසන් කිරීමේ මංගල්‍යයි.
නත්තල අධිරාජ්‍යවාදි ක‍්‍රිස්තියානියේ මංගල්‍යයි
කිතු උපත අධිරාජ්‍යවාදයට එරෙහි ක‍්‍රිස්තියානි මංගල්‍යයි.
නත්තල සොබාදහමේ සංහිදියාව විනාශ කිරීමේ මංගල්‍යයි.
කිතු උපත සොබාදහමේ සංහිඳියාව ඇති කිරීමේ මංගල්‍යයි.
නත්තල කාමය, රාගය, සුරාව සපිරි තානායමේ මංගල්‍යයි.
කිතු උපත කාමයින්, රාගයෙන්, සුරා සූදුවෙන් හිස් වු ගවහලේ මංගල්‍යයි.
නත්තල සංස්කෘතික විවිධත්වයන් අහෝසි කිරිමේ මංගල්‍යයි.
කිතු උපත සංස්කෘතික, ජාතික විවිධත්වයන් සුරකින මංගල්‍යයි.
නත්තල ධනවතුන්ගේ බලවතුන්ගේ මංගල්‍යයි.
කිතු උපත නිර්ධනයයින්ගේ දුබලයින්ගේ මංගල්‍යයි.
කිතු උපත මංගල කාරණාවක් වන්නේ ඇයි ?
කිතු උපත සැබැවින්ම මංගල කාරණාවකි. මක්නිසාද නික්මයාමෙන් ඇරඹුනු පීඩිතයාගේ වහලාගේ දිළින්දාගේ අසරණයාගේ විමුක්තිය සහතික කළ ධර්මයක්. එක් ජාතියක ස්වොත්තමවාදයක් තුළ හිරකර තැබීමේ ද්‍රෝහි දැක්මෙන් මුදවා විශ්වීය පොදු උරුමයක් බවට පත් වීම කිතු උපතින් ඇරඹුනි. ඒ නිසා කිතු උපත සැබෑ මංගල්‍ය කාරණාවකි.
කිතු උපත තුලින් ප‍්‍රකාශ වන්නේ අසාධාරණ බල ව්‍යුහයන් හා අධිරාජ්‍යවාදයේ නියෝජිතයින් සමඟ පේ‍්‍රමය මත පදනම්ව අරගල කළ මහා පුරුෂයෙකුගේ කතාන්දරයයි. කිතු උපත තුළින් ප‍්‍රකාශ වන්නේ ලෝක ඉතිහාසය දෙකඩ කළ නව කාලපරිච්ෙඡ්දයක ඇරඹුමයි.
සැබෑ ලෙස කිතු උපත අප සමරන්නේ නම් එය එසේ සමරන අයගේ ජීවිත වෙනස් කරන අත්දැකීමක් විය යුතුය.
ආගමනය දෙයාකාරය.
කිතුනු ලෝකය ක‍්‍රිස්තු උත්පත්තිය මංගල්‍ය සැමරුම් කාලය ආගමනය කාලය ලෙස සලකයි. ආගමන කාලය තුල දෙයාකාර ආගමනයක් ගැන මෙනෙහි කරයි.
කිතු තුමන්ගේ පළමු පැමිණිම හෙවත් ඓතිහාසික කිතු උපත.
කිතු තුමන්ගේ දෙවන පැමිණිම හෙවත් දේව රාජ්‍යයේ උදාව.

අදට අවශ්‍ය සැමරුම
තවමත් අපගේ ආගමන කාලය විශාල වශයෙන් යොමු වී තිබෙන්නේ අතීත කිතු උපත සැමරීමට. නමුත් අද ජීවත් වන අපගේ ජීවිත අරුත සමඟ වඩාත් බැඳි තිබෙන්නේ දෙවන ආගමනය හෙවත් දේව රාජ්‍යයි. මාංශවත්වූ කිතු තුමන් අපට ඉගැන් වු විශ්වාසයේ කේන්ද්‍රය එයයි. දේව රාජ්‍ය කේන්ද්‍රය විය යුතුය. ඔබගේ රාජ්‍ය පැමිණේවා ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් මෙලොවේහිද ඉටු වේවා යන යැදුමේ අර්ථය එයයි.

දේව රාජ්‍යයෙන් තොරව කිතු උපතට අරුතක් නොලැබෙන නිසාම දේව රාජ්‍යය හා සම්බන්ධ නොවේ නම් කිතු උපත සැමරීමට ද අරුතක් නොලැබේ. අපේ නත්තල සැමරීමේ පදනම විය යුත්තේ අප රට තුළ මේ ලොව තුළ ඒ පේ‍්‍රමයේ රාජ්‍ය ඇති කිරිම සඳහා ක‍්‍රියා කිරීමයි.
සිතා බලමු.
අපි සිදු කරන නත්තල් සැමරුම් පේ‍්‍රමයේ රාජ්‍ය ගොඩනැගීමට ඉවහල් වෙනවාද ?
අසාධාරණ ගෝලීය වෙළඳ රාජ්‍ය ගොඩනැගීමට උපකාරි වෙනවාද ?
අපි සිතින් වචනයෙන් ක‍්‍රියාවෙන හෝ අතපසු කිරිමෙන් දේව රාජ්‍යයට විරෝධි පවතින ධනවාදි ජාතිවාදි රාජ්‍යයට සේවය කරනවාද ?
දේව රාජ්‍ය හා පවතින රාජ්‍ය
ආගමනය කාලයේ ශුද්ධ ලියවිලි වලින් මතු වන කිතු තුමන් ප‍්‍රකාශ කළ දේව රාජ්‍යයේ ලක්ෂන.
ජාතින් අතර භේද එතුමාණෝ නිරවුල් කරන සේක ජාතියක් ජාතියට විරුද්ධව නඩු ගන්නේ නැත. ඔවුන් තව දුරටත් යුද්ධයට පුහුණු වන්නේ නැත.
ආක‍්‍රමණික හමුදාවේ පාවහන්ද, ලෙයින් තැවරුනු ඇඳුම් සියල්ලද ගින්නෙන් දවනු ඇත. ඉමහත් පී‍්‍රතියක් ඔබ ඔවුනට දුන් සේක, මක් නිසාද යත් ඔවුන්ට බරක් වු වියගහද කර මත තැබු වියදණ්ඩ ද ඔබ කඩා දැමු සේක.
අපට පුත‍්‍රයෙක් දෙන ලද්දේය. එතුමාණෝ සාමයේ කුමාරයාණෝ යි කියනු ලබන සේක. එතුමාණෝ ධර්මිෂ්ඨකමින් ද යුක්තියෙන්ද රජකම් කරන සේක. දේශයේ සෑම තැනකම යුත්කියකත් ධර්මිෂ්ඨකමත් පවතින්නේය.
තවද මනුෂ්‍යයින් පෙරදිගිලින් හා අපරදිගින් ද උතුරු දිගින් හා දකුණු දිගින් ද පැමිණි දෙවියන් වහන්සේගේ රාජ්‍ය මංගල්‍ය භෝජනයට අසුන ගන්නෝය.
ධර්මිෂ්ඨකම වාසභවනය වූ වන අහසක් ද වන පොළවක් ද දෙවියන් වහන්සේ අපට පොෙරොන්දු දී ඇත. අපි එය බලාපොරොත්තුවෙන් සිටිමු. එහිදි සියලූ කඳුළු පිස දමනු ලැබේ. වැළපීම් ද හැඞීම්ද වේදනාව ද තවත් නැත.

අපේ කාලයේ ලකුණු තුළින් මතුවන ධනලෝභි බලවතුන් ඇති කර තිබෙන ලාංකීය රාජ්‍යයේ ලක්ෂණ.
ජාතින්, ආගම්, අතර, සැකය, වෛරය, දිනෙන් දින වැඩි වේ. දෙමළ ජනයාට මෙන්ම මුස්ලිම් ජනයාට එරෙහිව වෛරය ව්‍යාප්ත කෙරේ.
අනාථභාවයේ වියගහ තවම එසේමය. දෙමළ ජනයා දෙමළ වීම නිසා තවමත් සැකයට භාජනය වේ. සොබාවික ආපදා නිසා අලූත් අනාථයින් බිහි වේ. විධායක ජනාධිපති ක‍්‍රමය රටට වියදණ්ඩකි. මිලිටිකරණය හදිසි නීතිය පොලිසියේ අමානුෂික ක‍්‍රියා ආර්ථික පීඩා ඉතා දරුණුය.
නීතියේ සමානාත්මතාවය බිඳ වැටී ඇත. දූෂකයෝ, වංචාකාරයෝ රට පාලනය කරති. යුද ජයග‍්‍රහණ වලට මුවා වී පොදු දේපළ කොල්ල කති. පරීක්ෂණ කොමිසන් සභා ප්‍රොඩාවක් වී ඇත. දූෂිත බලවේග ජාතියට ආගමට මුවාවෙමින් යලි බලය ලබා ගැනීමට මාන බලයි.

තමන් උසස් හා අන් අය පහත් යන හැඟීම් වැඩි වර්ධනය වේ. සාංගික සාමුහික බව වෙනුවට ආතර්මාර්ථය මතු වී ඇත.
දේශය පුරා අධර්මිෂ්ඨකම ව්‍යාප්ත වේ. පුද්ගල පළිගැනීම ඝාතන මිනි මැරීම් දිවිනසා ගැනීම් සොරකම් ස්තී‍්‍ර හා ළමා දූෂණ කුසගින්න මන්දපෝෂණය අධ්‍යාපනය සෞඛ්‍ය ප‍්‍රශ්න යනාදිය නිසා කඳුළු සුසුම් වැළපීම් වැඩි වේ.
අප තුළ නව උපතක්.
මේ යථාර්ථය තුල සමිඳුන අපට පවසන්නේ දේව රාජ්‍ය සඳහා කැපවීම් ප‍්‍රමාණවත් නොවන බව නොවේද ? අඳන දෙකක් ඇති අය නැති අයට නොදීම, අයුක්ති සහගතව අය කිරීම පශ්චත්තාපයට අපි ඇතුළු වී නැති බව නොවේද ?
ජනතාව වහල් කරන වෙළඳ නත්තල සැමරීමෙන් මිදි ජනතාව නිදහස් කරන සැබෑ කිතු උපත සැමරීම සඳහා පෞද්ගලිකව ද සාමුහිකව ද නව උපතක් ඇති කර ගැනීමට සමිඳුන් අපට ඇරැයුම් කරයි. ඔබේ ප‍්‍රතිචාරය කුමක්ද ?
සාමුහිකව….
පෞද්ගලිකව…

jesustodaysl 40 සතිය 2017  දෙසැම්බර් 03


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696