අපේ හඬට සවන් දෙන්න.


October 8, 2017 5:19 am

දෙමව්පියනී, වැහිටියනී,
අපේ හඬට සවන් දෙන්න.

ළමා දිනය වෙනුවෙන් ළමයින්ගේ ආයාචනය.
කිසිදු දේශපාලන පක්ෂයකට ළමා ව්‍යාපාර නැත. ළමයා ඔවුන්ගේ විෂය පඨයෙන් බැහැරය. මන්දයත් ළමයින්ව දේශපාලන පක්ෂවල ක‍්‍රියාකාරිත්වයන්ට සෘජුව යොදාගත නොහැකි නිසාය.
නමුත් පවතින දේශපාලන ආර්ථික ක‍්‍රමයේ පීඩාව දරන්නේ ළමුන්ය. ළමුන්ට දේශපාලන පක්ෂවල, සංවිධාන වල ක‍්‍රමයට තමන්ගේ ප‍්‍රශ්න ගැන හඬ නැංවිය නොහැකිය. එහෙත් ඔව් හු හඬ නංවති. කිසිවෙකුට එය නෑසේ.
අප අසාත් නොඅසන ඒ හඬට ඇහුම්කන් දෙන්න.
ළමුන් හඬ නඟන්නේ කෙසේද ? කුමක් ඉල්ලා සිට්න්නේ ද?
* දිවි නසා ගන්නා ළමුන් පවසන්නේ,
අපිට ජීවිතය දෙන්න.
අපිට ආදරය කරන්න.
* ඉගෙනීම වදයක් වූ දරුවන් පවසන්නේ,
අපිට සෙල්ලම් කරන්න දෙන්න.
* අපචාර හා අපයෝජනයට ලක් වූ දරුවන් හඬමින් පවසන්නේ,
අපිව පාවිච්චි නොකරන්න.
අපිව ආරක්ෂා කරන්න.
* ළමා ශ‍්‍රමික දරුන් දහඩිය හෙළමින් කියන්නේ,
අපිට ඉස්කෝලේ යන්න දෙන්න.
* වීදි දරුවන් මාවත් අද්දරට වී කියන්නේ,
අපිට සෙවනක් දෙන්න.
* අනාථ දරුවන් අසරණ දෑසින් කියන්නේ,
අපිට රැකවරණය දෙන්න.
* ටියුෂන් පන්තිවලට ගාල් වී සිටින දරුවන් කියන්නේ,
අපිට විවේකයක් දෙන්න.
* විෂය නිර්දේශවලින් පීඩා විදින දරුවන් පවසන්නේ,
මේ බර සැහැල්ලූ කරන්න.
* කට පාඩම් කිරීම එපා වූ දරුවන් පවසන්නේ.
අපිට නිර්මාණශීලි වීමට ඉඩදෙන්න.
* සම්ප‍්‍රදායික ඉගැන්වීම එපා වී පංතියේ බාධාකාරීව හැසිරෙන ළමයි පවසන්නේ
අපිට රසවත්ව උගන්වන්න.
* මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් පවසන්නේ
අපිට නිසි පෝෂණය දෙන්න.
* අධිපෝෂණයෙන් පෙළෙන දරුවන් පවසන්නේ
අපිට ක‍්‍රියාකාරි වෙන්න ඉඩ දෙන්න.
* ළමා මව්වරුන් වී දුක් විදින දරුවන් පවසන්නේ
තවත් අයව මේ තත්වයට පත් නොකරන්න.
අපට ජීවිතය ගොඩනඟා ගන්න උදව් වෙන්න.
* සමාජ රෝගවලින් පෙලෙන දරුවන් පවසන්නේ
අපට නිසි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න.
* ගෘහ ජීවිතය එපා වූ දරුවන් පවසන්නේ
සෙනෙහස පිරි පවුල් ජීවිතයක් අපට දෙන්න.
* සමාජයෙන් කොන් වූ දරුවන් පවසන්නේ
අපිව අගය කරන්න.
අපව පිළිගන්න.
* අදක්ෂයි, මෝඩයි යනුවෙන් හංවඩු ගැසී සිටින දරුවන් පවසන්නේ
අප තුල ඇති කුමන හෝ හැකියාවක් මතු කර දෙන්න.
* මේ සියලූ ආකාර පීඩිත දරුවන් පවසන්නේ
අපට යහපත් ලෝකයක් නිර්මාණය කර දෙන්න.

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696