වේ ප‍්‍රශංසා විශ්ව ලේඛනය විමසුමක් – 7


February 11, 2018 9:00 am

පරිසයර රැකගැනීමට විකල්ප ආර්ථීකයක් අවශ්‍යයි.


පරිසරය රැකගැනීම පිළිබඳ කිතුනු යුතුකම, කැඳවීම, ඉටු කිරීම කෙරෙහි යොමුවීම හුදු පුද්ගලික ක‍්‍රියාවලියක් වුවහොත් එය අපව රවටා ගැනීමක් බව ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් පෙන්වා දෙති.
මෙම කුඩා ලිපියේ සිරස්තලයම බොහෝ කිතුනුවන්ට පැකිලීමකි. එහෙත් ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් ඉතා පැහැදිලිවම ප‍්‍රකාශ කරන්නේ පාරිසරක හා මානව යහසාධනය සඳහා දේශපාලනය හා ආර්ථිකය අතර සංවාදය අත්‍යාවශ්‍ය බවයි. එය යුගයේ අවශ්‍යතාවයක් බවය.
අද පොදු යහපත තකා, දේශපාලනය හා ආර්ථික ජීවිතයට, විශේෂයෙන් මානව ජීවිතයට සේවය කිරිම පෙරදැර කරගෙන අවංක සංවාදයකට පිවිසිය යුතුය.
ලොව පුරා විටින් විට මතුවන ආර්ථික හා මූල්‍ය අර්බුද පෙන්වා දෙන්නේ විකල්ප ආර්ථීක හා මූල්‍ය ක‍්‍රමයක අවශ්‍යත්වයි.
ඉතිරිකිරීමේ බැංකු සියල්ල පරදුවට තබා, මිල ගෙවීම මහජනතාව වෙත පවරමින් ද, සමස්ත පද්ධතියම පුනරීක්ෂණය කර ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වූ තිර කැපවීමක් නොදක්වමින් ද හුදෙක් යළි අවධාරණය කරනුයේ මූල්‍යමය පද්ධතියක පරමාධිපත්‍ය බලයයි. එය අනාගතයක් නොමැති, මන්දගාමි, වියදම් අධික සහ හුදෙක් ප‍්‍රතිසාධනයක් සේ පෙනී යාමෙන් පසුව නව අර්බුද මතු කිරීමට තුඩු දෙන්නා වූ බලයකි. 2007-2008 මූල්‍ය අර්බුදය විසින් නව ආර්ථීකයක් ගොඩනගා ගැනීමේ අවස්ථාවක් උදාකර දෙන ලදී.
නමුත් මෙම අර්බුද වලට දක්වන ප‍්‍රතිචාර හෝ පිළියම් විසින් එවැනි විකල්පයක් ගොඩනැගීම ගැන සිතා බැලීමක් සිදු නොකළ බව සුදතුම් පියාණන් පෙන්වා දෙති.
එය සදාචාරාත්මක ප‍්‍රතිපත්තිවලට වැඩි අවධානයක් යොමු කරමින්, විචාරාත්මක වූ මූල්‍යමය අභ්‍යාස හා අතාත්ත්වික ධනය ද පාලනය කිරීම සඳහා වු ආර්ථිකයක් විය යුතු වුවද, අර්බුදයට දැක් වු ප‍්‍රතිචාර මඟින්, ලෝකයට නොනවත්වා පාලනය කරන්නා වු, යල්පැනගිය නිර්ණායක පිලිබඳව යළි සිතා බැලීම සිදු නොවීය.
පවතින ආර්ථිකය මායාකාරි එකකි. එය පරිසරයට සිදු කරන්නේ අනර්ථ බලපෑමකි. මේ වෙනුවට සැබෑ ආර්ථිකයක් ගොඩනැගීම අවශ්‍යය.
නිෂ්පාදනය හැමවිටම යුක්ති සහගත නොවන අතර, එය සාමාන්‍යයෙන්, නිෂ්පාදිත ද්‍රව්‍යවල හැබෑ වටිනාකම හා අනිවා්ය අනුරූපිතාවක් නොදක්වන්නා වු වටිනාකමක් ඒවා වෙත පවරා දෙන ආර්ථික විචල්‍ය හා බැඳී පවති. මෙය නිතර ඉඩසලන්නේ සමහර පාරිභෝගික භාණ්ඩ අධික ලෙස නිෂ්පාදනය කිරීමටය. එය පරිසරය මත අනවශ්‍ය බලපෑමක් ඇති කරන්නා වු හා ප‍්‍රාද්ශීය ආර්ථිකය මත සෘණ ප‍්‍රතිඵල ඇති කරන්නා වු ව්‍යායාමයකි. මූල්‍යමය මායාව ද නිෂ්පාදිත මායාවක් වීමේ ප‍්‍රවණතාවක් දක්වයි. ආර්ථිකය පිළිබඳ සැබෑ ගැටලූවට උනන්දුවෙන් මුහුණදීම්ක සිදු නොවුව ද, නිෂ්පාදන විවිධත්වය හා නිෂ්පාදනය ආශ‍්‍රිත සංවර්ධනය යථාර්ථයක් බවට පත් කරන්නේ ද, සමාගම් හා ආයතන හොඳින් ක‍්‍රියා කිරිමට උපකාරි වන්න් ද, කුඩා හා මධ්‍යම ප‍්‍රමාණයේ ව්‍යාපාර සංවර්ධනය වීමට සලස්වා රැුකියා අවස්ථා නිර්මාණය කරන්නේ ද සැබෑ ආර්ථීකයයි.
පවතින වෙළඳපල ආර්ථිකයට ගැටළු විසදිය නොහැකිය. මන්ද ලාභය වැඩි කිරීමේ මාවත ගැටළුවට විසදුම් නොදෙන නිසාය.
නැවත වරක් අපි, හුදෙක් ආයතන නැතහොත් පුද්ගලික ලාභ වැඩි කිරීම මඟින් ගැටලූ අරුම පුදුම ලෙස විසඳිය හැකි යයි පවසන වෙළඳ පොළ ආශ‍්‍රීත මායාවි සංකල්පය ප‍්‍රතික්ෂේප කළයුතු වෙමු. ලාභ ලැබීම උපරිමය කරා ගෙනයාමේ බලපෑම හසුව සිටින්නන්, මතු පරම්පරා සඳහා ඉතිරිකර තබා යන පරිසරය හානිය පිළිබඳව විමසා බැලීමට නවතිනු ඇතැයි අපේක්ෂා කිරීම යථාර්ථවාදි ද ? ලාභ ලැබීම එකම අරමුණ වනවිට, ස්වභාව ධර්මය ගැන එහි පරිහානිය හා පුනර්වර්ධනය ආශ‍්‍රීත විවිධ අවධි පිළිබඳ, නැතහොත් මානව මැදිහත්වීම් මඟින් බරපතල ලෙස වියරු වැටෙන පරිසර පද්ධතියේ සංකීර්ණත්වය ගැන සිතන්නට එහි ඉඩක් නොමැත. තවද, ජෛව විවිධත්වය වෙත යම් අවධානයක් යොමු කෙරේ නම් ඒ , සූරාකෑමට හැකි ආර්ථික සම්පත් නිධියක් වශයෙන් පමණි. මෙහිදි ද්‍රව්‍යවල සැබෑ අගය පිළිබඳව පුද්ගලයන් හා සංස්කෘතින් වැදගත්කොට සැලකීම පිලිබඳව නැතහොත් දිළිඳුන්ගේ වුවමනා එපාකම් හා අවශ්‍යතා පිළිබඳව බරපතළ ලෙස සිතා බැලීමක් සිදු නොවේ.
පරිසර අර්බුදය ආර්ථික ක‍්‍රමයේ ප‍්‍රතිඵලයකි. පරිසර රැුකීමට කැමැති අය මේ ක‍්‍රමය ප‍්‍රතික්ෂේප කළ යුතුය. මේ ක‍්‍රමයට ආවඩන්නෝ පරිසරයට ආදරය නොකරයි. දෙවියන්ට ආදරය නොකරයි.
jesustodaysl  50 සතිය 2018 පෙබරවාරි 11

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696