වේ ප‍්‍රශංසා විමසුමක් – 5


October 1, 2017 7:14 am

උමා ඔය හා වේ ප‍්‍රශංසා

ශී‍්‍ර ලංකාවේ අතීශය සුන්දර භූමි ප‍්‍රදේශයක් වන බණ්ඩාරවළ ප‍්‍රදේශයට දැවැන්ත විනාශයක් කැඳවා තිබෙන උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ කතිකාව දෙස ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන්ගේ ‘‘වේ ප‍්‍රශංසා මා සමිදුන්ට’’ විශ්ව ලේඛනය ඇසුරින් බැලීම මේ කෙටි ලිපියේ අරමුණයි.
උමා ඔය ව්‍යාපෘතිය නම් කෙරුනේ බහු කාර්ය ව්‍යාපෘතියක් වශයෙනි. එහෙත් දැන් එය බහු විනාශකාරි ව්‍යාපෘතියක් බවට පත් ව ඇත.
උමා ඔය උමගේ 70 % කට වඩා නිමව තිබියදි ඇති වු කාන්දුවීමක් නිසා ජලය ගලා ඒමෙන් මහත් අවුලක් ඇති වු පසු ජනපතිවරයා නෝර්වේ විශේඥයෙකු ගෙන්වා වාර්තාවක් ලබා ගත්තේය. ඔහුගේ නිගමනය වූයේ මෙම ව්‍යාපෘතියේ නිසි පරිසර ඇගයීමක් හා නිසි තත්ව වාර්තා නොමැති ව කර ඇති බවයි.
එයට වගකිව යුත්තේ කව්ද ? එය තම දේශපාලනයට ලකුණු දමා ගැනීමේ ව්‍යාපෘතියක් ලෙස ඇරඹු පෙර පැවැති පාලකයින්ය. ඔවුන් පමණක්ද ? පාලකයින්ගේ කැමැත්ත ඉටු කිරීමට ඇත්ත යුක්තිය අමතක කළ නිලධාරින්ය. එකි පාලකයින් හා නිලධාරින් ගත් වැරදි ක‍්‍රියාව දිගටම සිදුවන්නට ඉඩදුන් වත්මන් පාලකයින්ය. මේ කාරණාව උමා ඔයට පමණක් අදාල වන්නක් නොවේ. පෝට් සිටිය ආදි බොහෝ ව්‍යාපෘතිවලට අදාල වන්නෙකි.
ප‍්‍රැන්සිස් සුදතුම් පියාණන් තම වේ ප‍්‍රශංසා මා සමිදුන් විශ්ව ලේඛනයේ පස්වන පර්ච්ඡේදයේ 111 වන උප මාතෘකාව යටතේ සාකච්ඡා කරන්නේ ‘‘තීරණ ගැනීම තුළ සංවාදය හා පාරදෘෂ්‍යබව’’ පිළිබඳවයි. සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ තීරණ ගැනීමේ ක‍්‍රමවේදය ගැන එතුමා බරපතලව සාකච්ඡා කරයි. එතුමා එයට පිවිසෙන්නේ දැනට සිදුවන වැරදි සාමාන්‍ය පිළිවෙත ගැන සඳහන් කරමිනි.
‘‘ව්‍යාපාරික කටයුතු හා ව්‍යාපෘතින්හී පාරිසරික බලපෑම ඇගයීම සඳහා නිදහසේ අදහස් හුවමරුකර ගැනීම ද ඇතුල්ත පාරාදෘශ්‍ය දේශපාලන ක‍්‍රියාදාම අවශ්‍ය වෙයි. අනෙක් අතට, ලාභ ලැබීමේ අභිලාෂයේන යම් ව්‍යාපෘතියක් මගින් ඇති කෙරෙන සැබෑ පාරිසරික බලපෑම සඟවන දුෂණ ස්වරූපයන්, ප‍්‍රමාණවත් තොරතුරු සැපයීමක් නොකර පූර්ණ විවාදයකට ඉඩ නොහරිමින් සැබෑ සේ පෙනෙන ගිවිසුම් ඇති කර ගැනීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.’’
වත්මන් රජය ද බලයට පත් වී වසර දෙකක් යන තුරුම එනම් විශාල විනාශයකින් ප‍්‍රශ්නය මතු වන තුරුම කිසිදු සාධනීය මැදිහත්මක් නොකරන ලදී. දැන් විශේෂ වාර්තා කැඳවීම අශ්වයා පැන ගිය පසු ඉස්තාලය වැසීමකි.
‘‘පාරිසරික බලපෑම ඇගයීමට ලක් කිරීම සිදුවිය යුත්තේ ව්‍යාපාරයක් පිළිබඳව ඉදිරිපත් කෙරෙන යෝජනාවක් නැතහොත් යම් ප‍්‍රතිපත්තියක්, සැලැස්මක් හෝ වැඩ සටහනක් සකස් කිරීමෙන් පසුව නොවේ. ඇගයීම, ක‍්‍රියාදාමයක ආරම්භයේ සිටම එහි කොටසක් විය යුතු අතර, එකිනෙක අතර විනය තහවුරු කරන ආකාරයෙන් පාරාදෘශව හා සියලූ ආර්ථික හා දේශපාලනික බලපෑමෙන් නිදහස් ව ඉදිරියට ගෙන යා යුතුය. සේවයේ යෙදෙන තත්වයන් හා ජනතාවගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය කෙරෙහි මෙන්ම දේශීය ආර්ථීකය හා මහජන සුරක්ෂිතතාව කෙරෙහි ඇති කළ හැකි බලපෑම ද පිළිබඳ අධ්‍යයනකට එය සම්බන්ධ විය යුතු ය.’’
අප රටේ සංවර්ධන ව්‍යාපෘති වලදි සිදු කරන ප‍්‍රධාන වරදක් උමා ඔය ව්‍යාපෘතියේදීද ඒ ආකාරයෙන්ම සිදු විය. එනම් භූමියේ ජනතාවගේ අදහස් නොසලකා හැරීමය. දේශිය විද්වතුන්ගේ අදහස් නොසලකා හැරීමයි. පාප්තුමන් පෙන්වා දෙන්නේ ඒ අදහස් අනිවාර්යෙන්ම සලකා බැලීය යුතු බවය.
‘‘දේශිය ජනයාට සාකච්ඡා මේසයේ විශේෂ ස්ථානයක් හිමි විය යුත්තේ ඔවුන් තමන්ගේම මෙන්ම තම දරුව්නගේ ද අනාගතය පිළිබඳ සැලකිල්ලක් දක්වන බැවින්, ක්ෂණික ආර්ථික වාසි ඉක්මවා යන අරමුණු කෙරෙහි අවධානය යොමු කිරීමට සමත්වන බැවිනි.’’
උමා ඔය පිළිබඳ පෙර පැවැති හා දැන් පවතින රජයන්ගේ ක‍්‍රියාමාර්ග පෙන්වා දෙන්නේ සුදතුම් පියතුමන් පෙන්වාදෙන මාර්ගය ඔවුන් තඹයකට මායිම් නොකරන බවයි. ඔවුන්ගේ සංවර්ධනය වනාහි දේව අභිමතය කෙලසන එකක් බවයි. ජනතාව හා පරිසරය නොව තම අභිමතය. කොමිස් මුදල් ප‍්‍රමුඛ වූවක් බවයි.
උමා ඔය පිළිබඳව මෙන්ම පෝට්සිටිය පිළිබඳව වත්මන ්රජය ජප කළ මන්ත‍්‍රය වූයේ නීතිමය ගිවිසුම් නිසා ඒවා ආපසු නැරඹිය නොහැකි බවයි. සුදතුම් පියාණන් පෙන්වා දෙන්නේ නීතිමය කරුනු සැබෑ ඇගයීමකට බාධාවක් නොකරගත යුතු බව.
‘‘විද්‍යාත්මක හා දේශපාලනික සාකච්ඡුාවල දි අවංකභාවය හා සත්‍ය ගරුක වීම වැදගත්ය. යම් ව්‍යාපෘතියකට නීතිමය අවසර ලැබී තිබීම හෝ ලැබී නොතිබීම යන සාධකය උක්ත කරුණු අදාළ කිරීම සඳහා බාධාවක් කර නොගත යුතුය.’’
සුදතුම් පියාණන් පෙන්වා දෙන දේව අභිමතයට පටගැනි වු සංවර්ධනයක් ක‍්‍රියාත්මක කරන දේශපාලකයින් තම වාසි වෙනුවෙන් තවමත් වන්දනාමාන කරන කිතුනුවන් කරන්නේ පළමු පනතට විරුද්ධ පාපයකි.

© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696