බයිබලයේ සංතුලන නියාම


July 23, 2017 8:33 am

බයිබලයේ සංතුලන නියාම


ශුද්ධවූ බයිබලයට අනුව නික්මයාම තුළින් මිසරයේ වහල්කමින් මුදවාගත් ජනතාව සමඟ දෙවියන් වහන්සේ ගිවිසුමකට එළඹේ. එතැන් පටන් පැරණි ගිවිසුමේ දෙවියන් ඇදහූ ජනතාව ගිවිසුම් ජනතාවක් විය.
මෙම ගිවිසුම යනු එම ජනතාවගේ ගැලවීම පවත්වාගෙන යාම සඳහා වූ ලෞකික හා ලෝකෝත්තර පැවැත්මට අදාළ පිරිපුන් ප‍්‍රතිපදාවන් ඇතුළත් වන්නකි. ආගමික හා සමාජීය දෛනික ජීවිතය ඒ අනුව ගත කළ යුතුය.
මෙම ගිවිසුම ජනතාවගේ සමාජ සම්මුතිය හෙවත් ව්‍යවස්ථාවයි. සමාජයේ සාධාරණත්වය හා සමානාත්මතාවය පිළිබඳ මිනිස් ඉතිහාසය තුළ ජනතාවක් අතර පැවති සුවිශේෂී එකකි. එහි විශේෂ අංගයක් ලෙස පරිසර සංතුලනය සඳහා වූ නීතිරීති පද්ධතියක් ද, ඇතුළත්ය.
මෙම පරිච්ෙඡ්දය තුළ බයිබලීය ජනතාවගේ එම ව්‍යවස්ථාවේ සඳහන් පරිසර සංතුලන නියමයන් ගැන සාකච්ඡුා කෙරේ.

1. භූමියට විවේකය දීම

මෙහිදී අපට හමුවන ප‍්‍රධාන නියමයක් වන්නේ දේශයටත්, භූමියටත් විවේකය දීම පිළිබඳ නියමයයි. භූමිය වුවද අනිසි ලෙස සූරා කෑම මෙමගින් අහෝසි කෙරේ.

සබත් දිනය

දවස් හයක් තුළ නුඹ වෙහෙස වී නුඹේ සියලූ වැඩ කළ යුතුය. එහෙත් සත්වන දවස නුඹේ දෙවි ස්වාමින් වහන්සේට කැප වූ සබතය. එදින නුඹවත්. නුඹේ පුතුවත්, දුවවත්, නුඹේ සේවකයාවත් නුඹේ සතෙක්වත්…. කිසි වැඩක් නොකළ යුතුය.
(නික්මයාම 20:8-11)

සබත් වර්ෂය

අවුරුදු හයක් නුඹලාට කෙතේ වැපිරිය හැකියි. මිදිවතුවල අතු පෑහිය හැකිය. ඒවා කප්පාදු කොට ඵල නෙලා ගත හැකිය. එහෙත් හත් වන අවුරුද්දේ දී ස්වාමින් වහන්සේ උදෙසා දේශයට ශුද්ධ සබත් විවේකයක් දිය යුතුය. ඒ අවුරුද්දේදී නුඹලා නොවපුල යුතුය. අතු නොපාහින මිදි වැල්වල ඵල රැුස් නොකළ යුතුය. එය දේශයට දෙන අවුරුද්දක නිවාඩුවකි. වගා නොකළ කෙත්වලින් නුඹලාටද නුඹලාගේ දැසි දසුන්ටද, කුලීකරුවාටද නුඹලා සමඟ සිටින විදේශිකයාටද නුඹේ කෙත්වතු, ඉඩකඩම්වල සිටින මෘගයන්ටද ආහාර ලැබෙනු ඇත.
(ලෙවී 25:3-7, නික්මයාම 23:10-12)

ජුබිලි වර්ෂය

පනස්වන අවුරුද්ද ජුබිලියක් බැවින් නුඹලා නොවැපිරිය යුතුය. ඉබේම වැවෙන දේවලින් අස්වැන්න නෙලා නොගත යුතුය. (ලෙවී 25:11)
මෙහිදීද ඉහත දැක්වූ ආකාරයට නියමයක් පනවා තිබේ.
මෙම නියමයන් මගින් කෘෂිකාර්මික සමාජ සංස්ථාවක් තුළ පරිසරයට දැක්වූ සුවිශේෂී සැලකිල්ල ප‍්‍රකාශ වේ. මිනිසාට පමණක් නොව වන මෘගයින්ට පවා ආහාර සහතික කිරීම පිළිබඳව කතා කරමින් භූමියට විවේකය දීම නියම කරයි.
අද මිනිසාගේ නිවාඩුව ගැන සකච්ඡා කළත් භූමියට, සාගරයට, නිෂ්පාදන මාධ්‍යයට නිවාඩු දීමක් ගැන සාකච්ඡා නෙකෙරේ. අධි පරිභෝජනවාදී සංවර්ධන ආකෘතිය තුළ දැන් දැන් මිනිසාට පවා නිවාඩු අඩු කරමින් තමාවම සූරාකෑමට ලක් කරයි. භූමියද, සාගරයද ආදී සොබාදහම තිළිණ කළ නිෂ්පාදන මාධ්‍යයන් අනවරත සූරාකෑමට ලක්කරයි. එමගින් ලොවපුරා නිස්සාරබවට පත් වන කාන්තාර බවට පත්වන ඉඩම් විශාල ප‍්‍රමාණයකි. මෙම ව්‍යවස්ථාවේ නියමයන් කි‍්‍රයාත්මක නොකළහොත් දේශය පාළුවට යන බවද ප‍්‍රකාශ කෙරේ. (ලෙවී 26:34)
මේ අනුව බයිබලිය ජනතාවගේ ව්‍යවස්ථාව තුළ භූමියට විවේකය දීම ගැඹුරු සංතුලන අරුතක් ගනී.

2. නිෂ්පාදන මාධ්‍යයේ අයිතිය ආපසුදීම

දේශය අයිති මට බැවින් එය නිත්‍ය අයිතියක් වන ලෙස නොවිකිණිය යුතුය. (ලෙවී 25:23)
එම අවුරුද්ද ජුබිලියක් නිසා සෑම කෙනෙක්ම මිල දී ගත් සියල්ල හිමිකරුවා හෝ ඔහුගෙන් පැවත එන්නන්ට ආපසු දිය යුතුය. (ලෙවී 25:10)
කෘෂිකාර්මික පසුබිම තුළ ඉඩම්, කෙත්වතු යනු ජනතාවගේ නිෂ්පාදන මාධ්‍යයයි. ජීවිතයයි. නිෂ්පාදන මාධ්‍ය දෙවියන්ට අයිති බැවින් එය රජුට නොව ජනතාවට අයිතිය. මිනිසාට ඇත්තේ එයින් යැපීමේ අයිතිය පමණි. එම අයිතිය යම් හෙයකින් විකුණනු ලැබුවහොත් ජුබිලි වර්ෂයේදී එය මුල් හිමිකරුට දිය යුතුය. මෙමගින් සමානත්වයට එරෙහිව විෂමතාවය වර්ධනයවීම වලක්වා ඇත.
මෙය සමාජ සාධාරණත්වය ගැන මෙන්ම පරිසර සාධාරණත්වය පිළිබඳවද නියමයකි.

3. අස්වැන්නෙන් කොටසක් වෙන් කිරීම

”නුඹලාගේ කෙත්වලින් අස්වැන්න නෙළන විට කෙත්වල මායිමේ තිබෙන අස්වැන්න සම්පූර්ණයෙන්ම කපා නොගත යුතුය” අස්වැන්න වරක් නෙළා ගත් විට ඉතිරි වූ කරල් එකතු කර නොගන්න. එලෙසම මිදි වත්තේ ඉතිරි වූ මිදි ඵල සියල්ලම නෙළා නොගන්න. තවද මිදි වත්තේ වැවී තිබෙන මිදි ඵලද එකතු කර නොගත යුතුය. ඒවා දුප්පතුන් සඳහාද, විදේශිකයන් සඳහාද ඉතුරු කළ යුතුය. (ලෙවී 19:9-10, 23:22,), (ද්වී 24:19-21)
”අවුරුදු හයක් නුඹේ ඉඩම් වගාකොට ඒවායේ අස්වැන්න නෙළා ගත යුතුය. එහෙත් සත්වන අවුරුද්දේ දී ඒවා පුරන් ව තිබෙන්නට හැර, ඒවායේ ඇති වන පලදාව නොගත යුතුය. එවිට නුඹේ සෙනඟ අතර සිටින දිළිඳුන්ට ඒවා කන්න පුළුවන. ඔවුන් ඉතිරි කරන දේ වන මෘගයින්ට කන්න පුළුවන. නුඹේ මිදි වතු හා ඔලීව වතු සම්බන්ධයෙන් ද එලෙස කළ යුතුය. දින හයක් නුඹේ වැඩ කොට, හත් වන දින නුඹේ ගවයාට සහ කොටළුවාට විවේකය ලැබෙන පිණිසත්, නුඹේ දාසියගේ පුතුට හා විදේශිකයාට ශරීර ශක්තිය ලැබෙන පිණිසත් නුඹ විවේක ගත යුතුය. මා නුඹට කී සියල්ලට නුඹේ අවධානය යොමු කළ යුතුය. අන් දෙවිවරුන්ගේ නාම සඳහන් නොකරන්න. ඒවා කටින් වත් පිට නොකළ යුතුය”
තමා වපුල බිමක වුවද අස්වැන්නෙන් කොටසක් විශේෂයෙන් නැතිබැරි අය සඳහා වෙන් කළ යුතුය. යනුවෙන් පැනවෙන නියමයෙන්ද සහජීවනයේ ප‍්‍රතිපදාව රැුකිම සිදුවේ. මෙම වෙන් කරන අස්වැන්න දිළිඳුන්ට පමණක් නොව සතා සිවුපාවා හා පක්ෂීන්ටද වේ.
ලාංකීය ගැමි ආර්ථිකය තුළ පැවති කුරුළු පාළුව නැමැති සංකල්පයට මෙය සමාන වේ.

4. වෙනත් නියම

”ඔබ පාරේ යන විට ගසක හෝ බිම හෝ ඇති පැටවුන් හෝ බිත්තර හෝ සහිත කුරුළු කූඩුවක් දුටුවහොත්, තවද කිරිල්ලී පැටවුන් හෝ බිත්තර හෝ ඒ මත සිටී නම් ඔබ පැටවුන් සමඟ කිරිල්ලී නොගත යුතුය” (ද්.නී: 22-6)
”ඔබේ සහෝදරයාගේ කොටළුවා හෝ ගොනා පාරේ වැටී සිටිනු ඔබ දුටුවහොත් අහක බලාගෙන නොගොස් උන් නැගිටුවාලීමට ආධාර කළ යුතුය.” (ද්.නී 22:4)
”නුඹලා දේශයට පැමිණ ආහාර සඳහා විවිධ ගස් වර්ග රෝපණය කළ පසු පළමු අවුරුදු තුනේදී ඒවායේ ඵල කෑම තහනම් ලෙස සැලකිය යුතුය. ඒවා අනුභව නොකළ යුතුය. සතර වන අවුරුද්දේදී ප‍්‍රශංසාවක් පිණිස මුළු පළදාව ස්වාමින් වහන්සේට කැප කළ යුතුය. එහෙත් පස් වන අවුරුද්දේ සිට එහි පළදා නුඹලාට කන්නට පුලූවන. මෙසේ කළොත් එහි පළදාව වර්ධනය වනු ඇත. (ලෙවී 19:23-24)

යුක්තිය සතුන්ටද ඉටු කළ යුතුය

”නුඹේ සතුරාගේ ගවයා හෝ කොටළුවා හෝ මංමුලාවී ඇවිදිනු දුටුවහොත්, නුඹ ඔහු වෙතට ඌ ආපසු ගෙන යා යුතුය. නුඹට වෛර කරන්නාගේ කොටළුවා උගේ බඩු තොගය යට වැටී සිටිනු නුඹ දුටුවහොත් ඌ සිටින මාර්ගයෙන් අහක් වී නොගොස් , ඌට උපකාර කළ යුතුම ය ”. (නික්මයාම 23:4-5)

වන්දිගෙවීම

සතුන්ට මෙන්ම අස්වැන්නටද වන්දි ගෙවිය යුතුය. ”යමෙක් කුඹුරක හෝ මිදි වත්තක හෝ තමාගේ මෘගයාට කන්න ඉඩ හරින්නේ නම් එසේ නැත්නම් ඌ ලිහා දමා තිබිය දි ඌ වෙන අයෙකුගේ කෙතක් කන්නේ නම්, ඔහු තමාගේ කුඹුරින් හා මිදි වත්තෙන් ඉස්තරම්ම කොටසින් අලාභය ගෙවිය යුතුය”. (නික්මයාම 22:5-10)
මෙම සියලූ නියෝග තුළින් පෙනී යන කරුණක් වන්නේ, ගැඹුරු පරිසර සංතුලනයක් සඳහා ක‍්‍රියා කිරීම ක‍්‍රිස්තියානි ශීල ධර්මය, සදාචාරය වන බවයි.

Jesustodaysl 17 සතිය 2017 ජුනි 25.


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696