කිතුනු ලකුණු ඇති කවියක් – 5


August 13, 2017 7:38 am

තෙරේසා හෙවත් ලොකු පුංචි

කිතුනු ලකුණ සිංහල කවිය තුළ, සිංහල කවියේ එක් ශානරයක් ලෙස සැලකිය හැකි තරමට සලකුණ කල කවියා මංජුල වෙඩිවර්ධනයි. රසික විචාරක දෙපාර්ශවයේම සම්භාවනවාට පාත‍්‍ර වු කවියෙකු කෙටිකතාකරුවෙකු, නවකතාකරුවෙකු, ගේය පදරචකයෙකු, පුවත්පත් කලාවේදියෙකු, පිටපත් රචකයෙකු ආදි සාහිත්‍ය ක්ෂේත‍්‍ර ගණනාවක සමත්කම් පාන සම්මානලභියෙකු වන මංජුලගේ ‘‘ඇහැළ ඇමතුමකට ඇහැරෙමි’’ කාව්‍ය සංග‍්‍රහයේ එන ‘‘තෙරෙසා හෙවත් ලොකු පුංචි’’ අද අපේ විමසුමට ලක් වන කවියයි.
මෙම කාව්‍ය සංග‍්‍රහයේ එන ‘අත්තම්මා’ ‘ඇණ ගැසු නත්තල’’ ආදි කවි ගණනාවක් රස විදීමට රසිකයාට කිතුනු සංස්කෘතිය පිළිබඳ යම් අවබෝධයක් තිබිම අවශ්‍යවෙයි. ඒ තරමට ඒ කවි තුල කිතුනු ලකුණ සංගෘහිත වෙයි.
මේ කවිය කවියාගේ පෞද්ගලික අත්දැකිමක් ඇසුරින් නිපන්නක් බව පෙනේ. නමුත් එය අප හදවත් සංස්පර්ශ කරන්නේ එම පෞද්ගලික අත්දැකිම පොදු බවට පත් කරන ගුණය කවිය තුළ පවතින නිසාවෙනි.
කවියා කවියේ මැයට යටින් වරහ්න තුළ සඳහනක් කරයි. එකි සදහන රසිකයා තුළ ගැඹුරු කම්පනයක් ඇති කිරිමට සමත්වෙයි.
(මගේ ලොකු පුංචි ස්වර්ගස්ථ වුණා. මම ඒ බව තාම දන්නේ නෑ)
බැලූ බැල්මට එය අප‍්‍රභංසයකි. ලොකු පුංචි ස්වර්ගස්ථ වුණාලූ. හැබැයි ඒ බව දන්නේ නැතිලූ. මේ වනාහි පිටුවහල් වු මිනිසෙකුට තමා ඉතා ආදරය කළ අයෙකුගේ මළගම නොදන්වා දැන ගැනීමේ කතාවකි. එසෙත් නැත්නම් එය එසේ වු බව පිළිගන්නට අකමැති හදවතක කතාවකි.
ආඩතෝඩ ගස් හිමදිර සෙමර සලපු
පාරේ පයිප්පෙන් නාගෙන වරල උනපු
මාව වඩා අඬ හඳ හා මොට්ටු තියපු
හාදු කඳු ගසා කොපුලත වැඩට දුවපු
ලොකු අම්මා තමා වෙත දැක් වු සාගරයක් වන් ආදරය පිළිබඳ මතකයයි මේ ලියැවෙන්නේ. පාන්දරම පාරේ පයිපෙන් නාගෙන ඔහුව සිප වැළඳ ලහි ලහියේ වැඩට දුවපු, වඩා ඔසවා ඉහළට ආදරය පෑ ලොකු අම්මා.
රැට එන විටයි කුප්පිය පණ එන්නේ
පාට ලොසින්ජර ඇස්වල විසි රෙන්නේ
ඊට වඩා ඔබේ කම්මුල රතු වෙන්නේ
කාට සමාන ද නැ තව වැටහෙන්නේ
වැටුපක් ගන්න, වැඩට යන ලොකු අම්මා ගෙදර ආර්ථිකයට ශක්තියකි. ඇ රැුගෙන එන ලොසින්ජර දීවට වඩා ඔහුගේ සිත මිහිරට පත් කරයි. අම්මාගේ තාත්තාගේ ආදරයට උපමා කොතෙක් ඇත. ලොකු අම්මාව කාට සමාන කරන්නද ? කවියා අතර මං වෙයි.
පුංචි ඇඟිලි ඇති පුංචිගේ පුංචි ඇඟිල්ලේ
පල්ලි ගියේ එල්ලිගෙන සබත මුළුල්ලේ
කන්නි මරිය මඩු හැබැගින් සිටිය ඇසිල්ලේ
පුංචි වුණා නම් තාමත් නිවි හැනහිල්ලේ
ඔහුගේ ආගමික ජීවිතය ඔහුට ලං කළේ මේ ලොකු පුංචිය. ඉරිදට පල්ලි එක්ක ගියේ ඇයයි. ඇය විසින් ඔහුට හදුන්වා දුන් අසිමිත පේ‍්‍රමයේ මාතාව වන කන්නිමරිය තුමිය ලොකු පුංචි වගෙයි ඔහුට සිතෙයි. ලොකු පුංචි ළඟ සිටිම කන්නි මරියා තුමිය ළඟ සිටිනවා වැනි සැනසුමකි. පුංචි දරුවෙකුව ඇය ළඟ සිටිනවානම් ජීවිතයේ දුක් කඳුළු පිරිපත අතර නිසැක සැනසිල්ලක් ලැබෙනු ඇත.
පළමු කවි පංති තුනෙන් පසු කවියේ ආකෘතිය වෙනස්වෙයි. එළිසමය අතහැර නිදහස් ආකෘතියකට පිවිසෙයි.
තෙරේසා ශුද්ධවරියෙකි
ඇගේ ඇස් ගෙත්සෙමනියකි
වීඩාපත් නොවන වුවනත
සිනාවත් දුක්ඛ කවියකි
පුංචි කුටියේ කවුළුව
ගල්කිස්ස කනත්තට
ඈතින් තනි රකිනා
කන්ද නැගන්
කැන්ද කැළෙන් මතු වන හැටි
පේන කොට මගේ දෑසට ඇණ ගසනා
පුංචි පියාපත් කුලියට
දෙන්න බැරිව
පුංචි නෙතින් ඉඟි මරනා
පුංචි ඔබේ පුංචි පුතා
නිසල දෙණට
උර දෙන්නට මඟ සොයනා
කතෝලික සම්ප‍්‍රදාය තුල ඉතා යහපත් කෙනෙකුට දිය හැකි ඉහළම සහතිකය ඔහු තම පුංචි අම්මාට ලබාදෙයි. ‘‘තෙරේසා ශුද්ධවරියෙකි’’ ඉන් එහාට ඇයගේ යහපත්කම් ගැන කීමක් අනවැසිය. ‘‘ඇගේ ඇස් ගෙත්සෙමනියකි’’ යන්න ප‍්‍රබල රූපකයකි. ගෙත්සෙමනිය යනු ජේසුස් වහන්සේ ගැඹුරු යාච්ඥාවේ නිරත වු උයනයි. පුංචි අම්මගේ දෑස දේව කැමැත්ත පෙන්වන කැඩපතකි, යාච්ඥාවේ දෑසකි. ඇයට ඇත්තේ විඩාපත් නොවුන මුහුණකි. පුංචි අම්මාගේ නිසල දෙණට උර දෙන්නට නොහැකිව දුරු රටක පිටුවහල් දිවියක් ගත කරන කවියාගේ හඳවත පුංචි දරුවෙකු සේ වැලපේ. පුංචි අම්මා පිළිබඳ පුංචි සන්ධියේ මතක විසින් ඔහු මේ මොහොතේ පුංචි පුතා බවට පත් වී සිටි. ඒ මතකය අවදිනවන විට ඔහු දෑසට කඳුළු උනනවා යැයි කියන සුලභත්වය වෙනුවට කවියා යොදන වචන ඔහුගේ ආත්මීය වේදනව අප වෙත විදාරණය කරයි. ‘මගේ දෑසට ඇණ ගසනා’’ එය ගැඹුරු කිතුනු ලකුණක් සහිත යෙදුමකි.
නැවත කවිය එළිසමය සහිත රිද්මයට පිවිසෙයි.
අතීතයට යන පාරේ ගොක්කොළ එල්ලා
නිදා සිටින දෙව් මැදුරේ සීනුව හොල්ලා
මුදා හැරෙන පූජාවේ පූපය ඉල්ලා
හඩා වැටෙන සිහිනයකට සිහිය ඇවිල්ලා
පාස්කුවත් වියැකි ගිය සැදැවක
දැස් බොඳ වුණා ඔරසන් තලාවක
දෑත් පිරිසිදුයි කොන්තෙද මලානික
මාත් අඳිමි කුරුසිය හුදකලාවක
මෙම කවි පංති දෙකම නිසි ලෙස රස විඳිමට රසිකයාට කිතුනු සම්ප‍්‍රදායේ ඇසුර අවැසිය. ‘‘මුදා හැරෙන පූජාවේ පූපය ඉල්ලා’’ පුංචි දරුවන්ට දිව්‍ය පූජාවේදි ලබා දෙන ජේසුස් වහන්සෙගේ ශරීය ලෙස සැලකෙන ‘‘පූපය’’ ලබාගත නොහැකිය. ඇතැම් කුඩාවුන් මව්පියන් පසු පස ගොස් එය ලබා ගැනීමට හඬා වැලපෙයි. ඔහුටද එවැනි මතකයන් පුංචි අම්මා සමඟ තිබෙන්නට ඇත.
පාස්කුව යනු කිතුනුවන්ට අනුව ගැලවීමේ මහා මංගල්‍යයි. ‘‘පාස්කුවත් වියැකි ගිය සැදැවක’’ යන යෙදුම විසින් කවියා තුල තම පුංචි අම්මාගේ වියොවෙන් ඇති කරන හිස් බව ප‍්‍රබලව මතු කෙරේ. ‘‘දෑස් බොඳ වුණා ඔරසන් තලාවක’’ පුංචි අමාමාගේ දෙණ මහ පොළවට බාර දෙන මොහොතේ කඳුලින් දෑස තෙමෙද්දි ඔරසමක් (යාච්ඥාවක්) කියනු හැර කළ හැකි අන් යමක් වේද? කතෝලික භක්තිකයෙකු මිය ගිය විට මිය ගිය තැනත්තාගේ දෑත් එකතු කොට ඇගිලි අතර කොන්තයක් රදවයි.
කොන්තය යනු ඇට පනස් පහකින් යුතු මාලයක් වැනි දෙයකි. එහි ඇට ගණන් කරමින් කතෝලිකයේ දේව මාතාවන්ට යාච්ඥා කරති. තෙරේසා පුංචිගේ දෑත් පිරිසිදුය. ඇය එතරම්ම පවින් මිදුනු යහපත් ගැහැණියකි. ඈ දැන් පස් යට සැඟ වේ. කුමක් කරන්නද කවියා අසරණය ‘‘මාත් අදිමි කුරුසිය හුදකලාවක’’ ඔහුට කළ හැක්කේ එපමණකි.
තම ආදරණියෙකුගේ මළගමට ඒමට පවා නොහැකිවන පිටුවහල් මිනිසෙකුගේ ආත්මිය ශෝකය පුංචි අම්මාගේ මරණයේ ශෝකය තරමට අප හදවත් කම්පනයට පත් කරයි.
කවියා තම පෞද්ගලික අනුභූතිය පොදු බවට පත් කොට කවිය නිමාවට පත් කරයි. අවිවාහක කාන්තාවන් සැලකිය යුතු ප‍්‍රමාණයක් අප සමාජය තුල තම සහෝදර සහෝදරියන්ගේ දරුවන් තමන්ගේම දරුවන් ලෙස හදාවඩයි. ඇතැම් විට මේ අවිවාහක කාන්තාවන්ගේ ජීවිතයේ සැදැ සමය වේදනා පිරි එකකි. තම දරුවෙකු හදනවාට වඩා අන් අයගේ දරුවන් හදන මෙවන් කාන්තාවන්ගේ මාතෘත්වය වැදු මවුන්ගේ මාතෘත්වයට වඩා විශාල නොවන්නේද ?
පුතුන් වදන කුස තරමට දක් වින්ද
ඔවුන් කවන්නට දෙතනින් ඉකි බින්ද
සවන් පුරාවෙම ගැරහුම් පොදි බැන්ද
මවුන් තරම දිගු අහසක් කොයි බින්ද
’‘තෙරෙසා හෙවත් ලොකු පුංචි’’ එවන් මව්වරුන් වෙන පිදෙන උත්තමචාරයකි.

jesustodaysl 24 සතිය 2017අගෝස්තු 13


© 2017 Mahinda Namal. All rights reserved | Developed By - ideasoft with Tharuka Fernando and Sankhaja Arthasad - 0785157696